මහ පොළොවේ මිස ගඟේ මුහුදේ බයිසිකල් පදින පුරුද්දක් ලාංකික අපිට මෙතෙක් තිබුණේ නැත. එහෙත් මාරවිල, තල්විල ගමේ පදිංචි තිස් නව හැවිරිදි දිනේෂ් මධුරංග ඒ අත්දැකීම රටට ලබා දෙන්නට සූදානම් ය. ඔහු ගඟේ පමණක් නොව මහ මුහුදේ ද පැදිය හැකි බයිසිකලයක් නිර්මාණය කර තිබේ.
ඒ, ගං දියේ සහ හෙමින් නැඟෙන මුහුදු රළ මත පැද යමින්, දෙස් විදෙස් සංචාරකයන් සැමට අපේ රටේ සිරි නරඹන්නට හැකි වන ආකාරයට ය.
තවත් විදිහකට කීවොත් ගඟේ මුහුදේ පිහිනා යමින් හෝ බෝට්ටු සවාරියකින් ලබනවාට වඩා වෙනස් අත්දැකීමක් මෙම බයිසිකලය පැද යමින් ලබන්නට, නරඹන්නට ඔහු අවස්ථාව සලසා තිබේ.
මාරවිල මුහුදු තීරයේ සිට කිලෝමීටර එකහමාරක් ඇතුළත පිහිටි තල්විල ගමේ පදිංචි දිනේෂ් මධුරංග, කුඩා කල පටන් නවෝත්පාදකයෙකි. තල්විල ශාන්ත තෙරේසා මහා විදුහලේ පහේ පන්තියේ සිටිද්දී ම හවස් වරුවේ ගෙවල් ළඟ වින්කලයකට ගොස් බයිසිකල් හදන්නට ද ඔහු ඉගෙන ගත්තේ ය. ආසාවට පටන් ගත් ඒ බයිසිකල් හැදිල්ල, අද ද නතර වී නැත. උදේ සිට හවස් වන තෙක් ගෙදර වින්කලයේ බයිසිකල් හදන ඔහු රෑ අඳුර වැටෙත් ම පාසලේ මුර සේවයට නික්ම යයි.
” 2016 අවුරුද්දේ ඉඳන් මම වැඩ කරන්නේ තල්විල, වැල්ල කනිෂ්ඨ විද්‍යාලයේ මුරකරු විදිහට අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ. හැමදාම හවස් වෙද්දී මුහුද අයිනෙන් වැටී තිබෙන පාර දිගේ මං රාජකාරියට යනවා.
ගඟ මුහුදට වැටෙන මෝය කට පහුකරන් යද්දී, මට එතැන මහා අමුතු ලස්සනක් පෙනෙනවා. මේ ලස්සන විඳින්න එන අයට සහ සංචාරකයන්ට අලුත් අත්දැකීමක් ලබා දෙන විදිහක් මම නිතර කල්පනා කළා.
අනිත් අතට, ගෙදර පොඩි වින්කලය තමයි මගේ අමතර ආදායම. සංචාරකයන් මෙතැනට ආවොත් අපේ ගමටත් හොඳ වෙයි කියලා මට හිතුණා. ඇත්තටම මට ඕනේ වුණේ, මම හොඳින් ම දන්නා වින්කල් කර්මාන්තයෙන් අලුත් දෙයක් කරන්න.
පුංචි කාලේ ඉඳන් බයිසිකල් ගලවලා රෙපෙයාර් කරන නිසා අවුරුදු දහය වෙනකොට බයිසිකලයට සහ ඒ රැකියාවට අදාළ සියලුම දේවල් මට පුළුවන් වුණා. ෆ්‍රේම් එකේ ඇද අරින්න, ස්පෝක් අමුණන්න, බකල් අරින්න සහ බයිසිකලයක් ගලවා සවි කරන්න වැනි ඕනෑම දෙයක් මට පුළුවන් වුණා.
ගමේ ඉස්කෝලෙන් සාමාන්‍ය පෙළ සමත් වෙලා, කලා අංශයෙන් උසස් පෙළ කරන්න මාදම්පේ සේනානායක මධ්‍ය විද්‍යාලයට ගියා. උසස් පෙළට බී එකයි, සී දෙකයි. ඊට පස්සේ පොඩි පොඩි රස්සා කිහිපයක් කළා. රට ගියා. ආයෙත් ආවා.
ඊළඟට, ලොරියකින් පොල් ලෙලි අදින ව්‍යාපාරයක් කළා. වෙල්ඩින් වැඩ කළා. පොඩි රෙදි බිස්නස් එකකුත් කළා. ඒත් කොරෝනාවෙන් පස්සේ මේ කුඩා ව්‍යාපාර සේරම කඩා වැටුණා. ඒ වගේම, 2016 ඉඳන් මම පාසලේ මුර රස්සාවත් කළා. වින්කලය අත් හැරියෙත් නැහැ.
Water Bike හෙවත්, ජලයේ පදින බයිසිකල් ගැන අහම්බයෙන් මම අන්තර්ජාලයේ දැක්කේ කොරෝනා කාලේ. ඒ ගැන මට ලොකු ආසාවක් ඇති වුණා.
අන්තර්ජාලයෙන් තමයි මම මේ දැනුම ලබා ගත්තේ. එය ප්‍රායෝගිකව සංචාරක කර්මාන්තයට යොදා ගන්න පුළුවන් කියා මට තේරුණා. ඕනෑම දෙයක් දැක අවබෝධ කර ගැනීමේ සියුම් හැකියාවක් මට තිබෙනවා.
පරණ යකඩ, අබලි යකඩ අලෙවි කරන තැන්වලට ගිහින් අවශ්‍ය කෑලි හොයා ගත්තා. බයිසිකලේ සමහර කොටස් හැදුවේ ඒවායින්. GI බටෙන් තමයි ෆ්‍රේම් එක නිර්මාණය කළේ. පාපැදිය හා සමාන බරක් ගන්න ඕනෑ නිසයි එහෙම කළේ. මලකඩ කෑමට ඔරොත්තු දෙන පරිදි මම එය නිර්මාණය කළා. ඔරු කඳන් දෙක නිර්මාණය කළේ ෆයිබර්වලින්.
රංග ජයමාන්න මගේ මිත්‍රයා මේක කරගෙන යද්දී මට රුපියල් 13,000ක් දුන්නා. පැතුම් සහ මනෝජ් කියන තවත් යාළුවෝ දෙන්නෙක් රුපියල් 5,000 බැගින් දුන්නා, ඔරු කඳන් දෙක හදාගන්න. නමුත් ෆයිබර් ඔරු කඳන් දෙක හිතුවට වඩා බරපතළ වුණා. ප්‍රමාණය විශාල නිසා හසුරුවා ගන්න අපහසු වුණා. අන්තිමේ එය අසාර්ථක වුණා. මම සියල්ල අත් හැරලා ටික කලක් ඔහේ හිටියා. ඔය අතරේ ලෝකයේ විශිෂ්ටතම පරාජිතයා විදිහට අපේ රටේ රණතුංග කරුණානන්ද කියන ක්‍රීඩකයා, 1964 අවුරුද්දේ ජපානයේ පැවති ඔලිම්පික් තරගයේ දී මීටර් 10,000 තරගය අත් නොහැර නිමා කළ වීඩියෝව අහම්බයෙන් මම දැක්කා. මම ඒක නැවත නැවතත් බැලුවා. මගේ හිතට ලොකු ධෛර්යයක් ආවා. අනිවාර්යයෙන්ම මම මේ Water Bike එක හදනවා කියලා අධිෂ්ඨාන කර ගත්තා.
මට අභියෝගයක් වුණේ ෆයිබර් ඔරු කඳන් දෙක. ඒවා හිතුවට වඩා බරපතළ වූ නිසා දිය මත පැද යාමේ දී පොඩි පොඩි අපහසුතා තිබුණා. ඉතින් මං හිතුවා මේක ලීයෙන් හදනවා කියලා. ඇතුළට ලෑලි දමලා රෙජිෆෝම් රාමුවක් සහිතව ඔරු කඳන් දෙක ආයෙත් සකස් කළා. ඒ කඳන් දෙක වහන්න, ජීප් හුඩ් රෙදිවලින් කවර දෙකකුත් නිර්මාණය කළා. ලී සහ රෙජිෆෝම්වලින් හැදූ ඔරු කඳන් දෙකක් මේකට යොදා ගත්තේ සැහැල්ලුව සහ බර ගැන හිතලා.
බයිසිකලේට පණ දෙන Propeller කොටස දොඹ ලීයකින් කැපුවා. ඒ උත්සාහය සාර්ථක වුණා. මේ සඳහා මට ගිය වියදම රුපියල් ලක්ෂ දෙකකට වැඩියි. ඒත් වැඩේ සාර්ථකයි.
සාර්ථක වූ ඒ දෙවැනි ඔරු කඳන් දෙක තමයි පහුගිය සැප්තැම්බර් මාසයේ හදා නිම කළේ. එය සැප්තැම්බර් 13 දා වතුරට දැම්මා. අපේ ගඟේ බොහෝ දුර මම මේ බයිසිකලේ එහා මෙහා පැද්දා. බර සහ සැහැල්ලුව සමබරව තිබෙනවා. සංචාරක හෝටලයක් ඒ අසබඩ තිබෙන නිසා, සංචාරකයන්ට මේ ගෙම්බරාන්ඩිය ගඟ බයිසිකල් පදින්න හොඳ තෝතැන්නක්. ඊට පස්සේ මුහුදෙත් පැද්දා. වාරකන් කාලෙක තමයි මම මුහුදට දැම්මේ. නමුත් රැලි ගහන එක අඩු නිසා වලාල කාලයේ ඉතා හොඳින් බයිසිකලේ පදින්න පුළුවන් වුණා. ඇත්තටම ඒ බයිසිකලේ ජලය මත පදින විට කකුල්වලට ලොකු වෙහෙසක් නැහැ. ඇතියි කියලා හිතෙන කල් පදින්න පුළුවන්. තෙප්පම ට වඩා සමබරතාව ඉහළයි. තෙප්පම පෙරළුණත් මේක පෙරළෙන්න තියෙන ඉඩකඩ අඩුයි. ඇඟෙන් බැලන්ස් කරගන්න පුළුවන්.
මේ වෝටර් බයික් එක නිෂ්පාදනය කරන්න අවශ්‍ය උපකරණ ටිකක් තියෙනවා. මං ඒ ටික හදාගන්න ඕනේ. මොකද, ඒවා නැතිකම ලොකු අඩුපාඩුවක්. සංචාරකයන්ට තනියම ඔරුවක් පදින එක දුෂ්කරයි. නමුත් මේක හරිම සරල තාක්ෂණයක් තියෙන නිසා සැහැල්ලුවෙන් පදින්න පුළුවන්. අත්හදා බලන්න මගේ බිරියත් පැද්දා. පෙරළීමේ සම්භාවිතාව අවම නිසා මුහුදයි ගඟයි කියලා වෙනසක් නැහැ.
නිලාවේලි, ආරුගම්බේ වැනි සංචාරකයන් බහුලව ගැවසෙන මුහුදු පළාත්වලට මේ බයිසිකලෙන් ලොකු ප්‍රයෝජනයක් ගන්න පුළුවන්. මට මේ බයිසිකලය ලංකාවේ සංචාරක කර්මාන්තය සඳහා ප්‍රචලිත කරන්න ඕනේ. නමුත් තනි පුද්ගලයෙක් විදිහට මේක මහා පරිමාණයෙන් නිෂ්පාදනය කරන්නත්, ප්‍රවර්ධනය කරන්නත් ලොකු කාලයක් යනවා. ව්‍යාපාරිකයෙක් හරි සමාගමක් හරි මේ සඳහා මා සමඟ හවුල් වී නිෂ්පාදනය කරන්න කැමැති නම් මම ඒ සඳහා සූදානම්. එහෙම නැත්නම් මම තනියම හරි කරනවා කියන තැන ඉන්නවා. අපේ පළාතේ ප්‍රාදේශීය ලේකම් ගාවටත් මම ගියා. සංචාරක අමාත්‍යාංශය මැදිහත් වෙලා මෙය ලංකාවේ ජනප්‍රිය කරන්න මට උදවු කළොත් මේ නවෝත්පාදනයෙන් සංචාරක ව්‍යාපාරයට තවත් අලුත් ක්‍රීඩා ඉසව්වක් හඳුන්වා දෙන්න පුළුවන්. අනික කණ්ඩායම් වශයෙන් වුණත් පදින්න පුළුවන්.
මේක දෙවැනි වතාවටත් හදලා කවර මහන්න වගේ අවසන් අවස්ථාවේ දේවල් ටික කරගන්න බැරුව තවත් ටික කලක් හිටියා. ඒකට මට උදවු කළේ මගෙ අයියා. දැන් මේ, Water Bike එක සර්ව සම්පූර්ණයි. මේ බයිසිකල් ටිකක් හරියට හදා ගත්තොත් 135,000 ක මුදලකට අලෙවි කරන්න මම බලාපොරොත්තු වනවා.
මෙයින් දෙන පණිවුඩය තමයි, අපිට වතුරෙන් වුණත් ඩොලර් උපයන්න පුළුවන් කියන එක. ජලයට තෙල් මුසු වීමක් නැහැ. පරිසරයට හානියක් නැහැ. ව්‍යායාමයට හොඳයි. සංචාරකයන්ට වෙනස් විදිහකට ගඟේ මුහුදේ ලස්සන විඳින්න පුළුවන්.
මේ නවෝත්පාදනය රටේ ආර්ථිකයට දායක කර ගන්න විදිහ ගැන ක්‍රමවේදයක් සකස් කරන්නට ඕනේ වගකිවයුතු නිලධාරීන්. මට පුළුවන් උපරිම දායකත්වය මගේ රට වෙනුවෙන් මම ලබා දෙනවා…”
ඉනෝකා පෙරේරා බණ්ඩාර