Home » ‘උනන්දුවා’ ජනවාරියේ ජාත්‍යන්තර වෙළෙඳපොළට

‘උනන්දුවා’ ජනවාරියේ ජාත්‍යන්තර වෙළෙඳපොළට

by Mahesh Lakehouse
December 2, 2023 12:30 am 0 comment

‘උනන්දුවා’ සිටියේ, ක්‍රිකට් පිටියේ ය. නමුත් තවත් මාසයකින්, එනම් ලබන ජනවාරි මාසයේ සිට ලංකාවට විදෙස් විනිමය රැගෙන එමින් ශ්‍රී ලාංකේය සන්නාමයක් ලෙස ‘උනන්දුවා’ නැව් නඟින්නේ ය.

ප්‍රකට ක්‍රිකට් ක්‍රීඩක කුමාර් ධර්මසේන ගේ අදහසක් අනුව, ඔහු විසින් හඳුන්වා දී තිබෙන අගාවුඩ් වගාවේ අග්‍ර ඵලය වන්නේ, ‘උනන්දුවා’ සුවඳ විලවුන් සන්නාමය යි.

ඒ සඳහා ම ඔහු ආරම්භ කළ මෙරට ප්‍රථම ‘අගාවුඩ්’ තෙල් නිස්සාරණය කිරීමේ කර්මාන්තශාලාව ඇත්තේ, බුලත්සිංහල, අයගම පිහිටි පින්තැන්න ප්ලාන්ටේෂන් හෙවත්, පින්තැන්න වතු යායේ ය.

කුමාර් ධර්මසේන ගේ හිමිකාරීත්වය ඇති පින්තැන්න හෝල්ඩින්ස් සමාගම යටතේ, අගාවුඩ් හා බැඳුණු ව්‍යාපාර ද්විත්වයක් ක්‍රියාත්මක වේ.

ඉන්, පින්තැන්න ප්ලාන්ටේෂන් ප්‍රයිවට් ලිමිටඩ් යටතේ, අගාවුඩ් වගා කිරිමේ ව්‍යාපෘති සහ ආයෝජන ක්‍රියාත්මක වන අතර, පින්තැන්න ඌඩ් ප්‍රයිවට් ලිමිටඩ් යටතේ, අගාවුඩ් තෙල් නිස්සාරණය කොට අපනයනය කිරීමේ කටයුතු සිදු කරයි. මෙම සුවිශේෂී කර්මාන්තශාලාව ක්‍රියාත්මක වන්නේ පින්තැන්න ඌඩ් ප්‍රයිවට් ලිමිටඩ් යටතේ ය. ඊට අමතරව, අගාවලින් කරන විවිධ නිෂ්පාදන සඳහා ක්‍රියාත්මක තවත් කර්මාන්තශාලා පහක් පින්තැන්න සමාගම සතු ය.

ඒ අනුව කුකුළු පොහොර වැනි කාබනික පොහොර පමණක් යොදා වගා කරන අගාවලින් ප්‍රධාන වශයෙන් ලබා ගන්නා අගා තෙල් හැරුණු විට අගා ටී, අගා හඳුන් කූරු, දවාලන විට සුවඳ විහිදෙන කුඩා කැබලි හෙවත් අගා චිප්ස් වැනි නවොත්පාදන රැසක් මෙම කර්මාන්ත ශාලාව ඔස්සේ කුමාර් ධර්මසේන විසින් හඳුන්වා දී තිබේ.

එසේම කුරුඳු, සැවැන්දරා, ගම්මිරිස් වැනි වගාවන් රැසක් ද පින්තැන්න වතුයාය යටතේ වගා කර තිබේ. විශේෂයෙන් කුරුඳු තෙල් සහ සැවැන්දරා තෙල්, සුවඳ විලවුන් නිෂ්පාදනය සඳහා යොදා ගැනීමට අවශ්‍ය කටයුතු ඔහු සම්පාදනය කර තිබේ.

මෙම වතු සමාගමේ දැනටමත් 1,250 කට වැඩි පිරිසක් සේවයේ නිරතව සිටින අතර, මේ වන විට අපේම ගස් 175,000 කට වැඩි ප්‍රමාණයක් තිබෙනවා. ඊට අමතරව, අයගම කලවාන බුලත්සිංහල අවට ප්‍රදේශවල අපි වෙනුවෙන් ම අගාවුඩ් වවන ගොවි මහත්වරු සියයක් පමණ සිටිනවා. අපි ඔවුන්ට පැළ සපයා දී තිබෙන අතර, අපි වෙනුවෙන් ඔවුන් ඒ ගස් වර්ධනය කරනවා.

මේ අගාවුඩ් ගස් එකතුවට අමතරව, රට පුරා නව වගා කිරීම් ව්‍යාප්ත කිරීමට බලාපොරොත්තු වන බවත්, කුමාර් ධර්මසේන පවසයි.

“පින්තැන්න ප්ලාන්ටේෂන් කියන්නේ, 1999 පටන් අපේ පවුලේ ව්‍යාපාරයක්. ඒ කාලේ ප්‍රධාන බෝග ලෙස අපි වගා කළේ, තේ, රබර්, කුරුඳු සහ ගම්මිරිස්.

2009 දී, එක් අයි.පී.එල්. තරග විනිශ්චයක යෙදී සිටිය දී අහඹු ලෙස මට මේ අගාවුඩ් බීජය හම්බ වුණා. අත්හදා බැලීමක් ලෙස මම එය පැළ කළා. ඉන්දියාවේ දෙවැනියට විශාල අගාවුඩ් අපනයනයේ යෙදෙන කර්මාන්තශාලාව හිමි මගේ මිත්‍රයකු තමයි, මේ සඳහා මාව උනන්දු කළේ. ඔහුගේ සබඳතා මත වියට්නාමය, තායිලන්තය, බර්මා, ඉන්දියාව වගේ රටවලට ගොස් ඒ රටවලට ආවේණික අගාවුඩ් වගාව පිළිබඳ හදාරන්න මට අවස්ථාව ලැබුණා.

2010 වන විට මේ සෑම රටකටම ආවේණික අගාවුඩ් බීජ ගෙන්වා ගෙන, මම ලංකාවේ අපේ වතුයායේ වගා කළා.

අගාවුඩ් පවුලට අයත් ශ්‍රී ලංකාවට ආවේණික ගහරුවල්ලා හෙවත්, වල්ලපට්ටා කියන්නේ, ලෝකයේ අගාවුඩ් පවුලේ වටිනාම සුවඳ ඇති ශාකය. ඒ නිසාම, මැදපෙරදිග රටවල ශ්‍රී ලාංකේය වල්ලපට්ටා සුවඳට තිබෙන්නේ ඉහළ ඉල්ලුමක්. මගේ ව්‍යාපෘති ටිකෙන් ටික පුළුල් වුණාම, අගාවුඩ් සහ වල්ලපට්ටා අපනයනයට මට බලපත්‍ර ලැබුණා.

අපි අගාවුඩ් පැලයට අවුරුදු හතරක් වූ විට ඒ පැලය ආමුකූලනය කිරීම සිදුකරනවා. ඒ කියන්නේ, පණ ඇති ක්ෂුද්‍ර ජීවියෙක් ගසට ඇතුළු කරනවා. ඒ ක්ෂූද්‍ර ජීවියා ගේ ක්‍රියාකාරීත්වය මත, ගහ ඇතුළේ අගා නිෂ්පාදනය සිදු වනවා. අවුරුදු අටකට පස්සේ අගාවල උසස් තත්ත්වය හැදී අවසන්. එවිට තමයි, ගහ කපලා අගා ටික අර ගන්නේ. මේ තමයි, ශාකයේ නියම අස්වැන්න. අපි එයින් ඔයිල් හදා ටික ටික පිටරට යැව්වා.

පිටරට තිබෙන ඉල්ලුම දැක්කට පස්සේ තමයි මට හිතුණේ, ලංකාවේ මේ සඳහා කර්මාන්තශාලාවක් හදන්න ඕනේ කියලා. මගේ අදහසට රජය මට උදව් කළා. මේක රු.මි. 350ක පමණ ආයෝජනයක් නිසා, ඊ.ඩී.බී. එකෙන් මට 10% ක ග්‍රාන්ට් එකක් ලැබුණා.

මේ වන විට අපිට මාතර, ගාල්ල, මහරගම සහ මොරටුව ශාඛා තුනක් තිබෙනවා. මේ ශාඛාවලදි අගාවුඩ් පැළයක් වෙනුවෙන් මේ රටේ ඕනෑම පුරවැසියකුට ආයෝජනය කරන්න පුළුවන්. තමන්ගේ වත්තේ වුණත් ගහක් දෙකක් වවා ගන්න පුළුවන්. ගහ වැඩුණට පස්සේ, ආමුකූලනය කර, තෙල් නිස්සාරණය කිරීමේ පටන් සියලු කටයුතු අපේ ආයතනය සිදු කර, ඔවුන්ට නිසි මුදල ලබා දෙනවා. මේ රටේ සෑම පුරවැසියකුටම මම කියනවා, අගාවුඩ් ගහක් දෙකක්, තමන්ගේ ගෙවත්තේ හෝ වවාගන්න කියලා. හරි විදියට කළොත් මේක රටට විදේශ විනිමය විශාල වශයෙන් ගේන්න පුළුවන් වගාවක්.

රටට විශාල වශයෙන් විදේශ විනිමය ඉපැයිය හැකි අගාවුඩ් තෙල් නිස්සාරණය සඳහා මෙම වල්ලපට්ටා හෙවත් ගහරුවල්ලා කුලයේ ශාකය සකස් කරන ආකාරය, ඉතාම සංකීර්ණ ක්‍රියාවලියක්. මිනිස්සු නිකන් වල්ලපට්ටා ගස් කැපුවට, අගා එහි නිෂ්පාදනය වන්නේ නැහැ. ඒකට මම අර ඉහත කී ක්ෂුද්‍රජීවියා ඇතුළත් කළ යුතුයි. ඒ නිසා නිරපරාදේ වල්ලපට්ටා ගස් කපන එකේ තේරුමක් නැහැ.

අනික තමයි, රටට විදේශ විනිමය උපයන මෙවැනි වගාවන් සදහා අදාළ ඒ ඒ ආයතන අපට සහාය දැක්වීම ඉතාමත් වැදගත්. වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව සහ රේගුවේ සහසම්බන්ධතාවය දැනට තිබෙන තත්වයට වඩා උසස් වනවා නම් අපට තව තවත් අගාවුඩ් අපනයනය විශාල ලෙස කර ගෙන යාමට අවස්තාව ලැබෙනවා.

රජයෙන් එන ප්‍රශ්නවලට මුහුණ පාන්න නැතුව නිත්‍යානුකූලව විදේශ විනිමය උපයන්න මහන්සි වන, අපි වගේ අයට ඉතාමත් සරල නිති සන්ග්‍රහයක් සකස් කිරිමත් ඉතා වැදගත් කියලයි මගේ හැඟීම.

මොකද මේ වන විට අපි, දියවැඩියාව ඇතුළු රෝග රැසකට ගුණ දෙන අගා ටී නිෂ්පාදනය ලංකාවට හඳුන්වා දී තිබෙනවා. අපි කාබනිකව වවන මේ එක සාර්ථක ගහකින් වසරකට අගා දලු කිලෝ පහක් විතර කඩන්න පුළුවන්. එය වෙනම ම නිෂ්පාදනයක් ලෙස ජාත්‍යන්තර වෙළෙඳපොළට යනවා.

ඊට අමතරව මේ අගා හෙවත් වල්ලපට්ටා ගසේ අතු, ඉති, කොළ, පොතු වැනි සෑම දෙයකින්ම කළ හැකි අලුත් අලුත් දේ පිළිබඳ අප නිරන්තර පර්යේෂණ සිදු කරනවා.

මෙවැනි අලුත් දේ සඳහා නවීන මැෂින් 94 ක් අප සතුයි…”

මේ ආකාරයට නවොත්පාදන ඔස්සේය සිය ව්‍යාපාර අවස්ථා පුළුල් කිරීම සම්බන්ධයෙන් කුමාර් තුළ ඇත්තේ දැඩි උනන්දුවකි.

“උනන්දුවා’ බ්‍රෑන්ඩ් එක අපි අලෙවි කිරීමට බලාපොරොත්තු වන්නේ, රුපියල් පන්දහසේ සිට ලක්ෂ දෙකක් තුනක් දක්වා මිලකට. එය ලෝකයේ අගා සුවඳ විලවුන් හා තරග කිරීමට හැකි තරමේ උසස් ප්‍රමිතියෙන් යුතු විලවුන් වර්ගයක්.

ඇත්තටම 100%ක් ස්වාභාවික නිෂ්පාදන කරන ලෝකයේ කර්මාන්ත තිබෙන්නේ සියයට දෙකයි තුනයි. මමත් ඒ විරල කර්මාන්තයකට අත ගැසූ කෙනෙක් වීම ගැන ආඩම්බරයි.

ඒ වගේම, ශ්‍රී ලාංකිකයකු හැටියට මම බොහොම වාසනාවන්ත කෙනෙක්. අපේ වතුයායේ බොහොම ලස්සන දිය ඇල්ලක් තිබෙනවා ඒ දිය ඇල්ලේ පිරිසුදු වතුරෙන් පමණයි, අපි තෙල් නිස්සාරණය කරන්නේ. තෙල් නිස්සාරණය සඳහා විශාල ජල ප්‍රමාණයක් අවශ්‍ය වෙනවා. අනික ස්වාභාවික කොම්පෝස්ට් සහ කුකුළු පොහොර පමණයි මේ අගාවුඩ් ශාකයේ වර්ධනයට යොදන්නේ.

100%ක් ස්වාභාවික නිෂ්පාදනයක් වන තරමට, ලෝක වෙළෙඳපොළේ තිබෙන ඉල්ලුම වැඩියි. ඒ සඳහා ගෙවන මිල ගණන් වැඩියි. වසරකට ලෝකයේ සිදු වන අගාවුඩ් අලෙවිය, ඩොලර් බිලියන හයක්.

රටවල් 37කට අපි අපේ අගාවුඩ් තෙල් යවනවා. ඉදිරියේ දී වසරකට ඩොලර් මිලියනයක විදේශ විනිමය ඒ හරහා රටට ගේන්න බලාපොරොත්තු වෙනවා..

ඒ වගේම අප හඳුන්වා තිබෙන දී තිබෙන ‘හුස්ම’ ව්‍යාපාර සංකල්පය ඔස්සේ, රු. 40,000ක් වන අගා ගස් ඕනෑම ප්‍රමාණයක් මිලදී ගන්නට පාරිභෝගිකයින් ට හැකියාව තිබෙනවා. ඒ ගස් මිල දී ගෙන, ගහ වැඩෙන අතරේ, අප අගා ටී කර්මාන්තය සඳහා දලු කඩා ගන්නවා. ඒවාට ද අප පාරිභෝගිකයාට යම් ගෙවීමක් සිදු කරනවා. එය ඔවුන්ට අවුරුදු අට අවසානයේ ලැබෙන මුදලට අමතරව ලැබෙන තවත් අමතර ආදායමක්.

2030 වන විට ලංකාව පුරා ගස් මිලියන දහයක් ව්‍යාප්ත කිරීමයි මගේ අරමුණ. ඒ වගේම සෑම විටම අපගේ තවාන්වල පැළ 5,000ක සංචිතයක් අප නඩත්තු කරනවා. ඉතින්, රටට හුස්මක් දෙන අතරේ තමන්ට ද ආදායමක් උපයා ගත හැකි ආයෝජනයක් වන ‘හුස්ම’ ව්‍යාපෘතිය සඳහා එක් වන්න යැයි, අප ශ්‍රී ලාංකීය පුරවැසියන්ට ආරාධනා කරනවා.

මොකද හුස්ම ප්‍රදානය කියන්නේ, වෙනස් ආකාරයක ව්‍යාපෘතියක්. අගා ගසේ නිෂ්පාදන ක්‍රියාවලිය වැඩි දියුණු කර, එයින් විවිධ නවෝත්පාදන හදුන්වා දී ඒවා ජාත්‍යන්තර වෙළෙඳපොළට යැවීම තුළ අප ලබන සෑම ලාභයක ම ප්‍රතිඵලය තමයි අප ආයෝජකයන්ට ලබා දෙන්නේ. මේ නිෂ්පාදන ක්‍රියාවලිය සිදුවන ආකාරය ඉතාම විනිවිද භාවයෙන් යුතුව අපගේ කර්මාන්ත ශාලාවල දී දකින්නට, අපගේ ආයෝජකයන්ට අවස්ථාව සලසා තිබෙනවා.

විශේෂයෙන් අපගේ අයගම පිහිටි වතුයායේ දී අපේ කර්මාන්ත ශාලා සියල්ල ඔවුන්ට දැකබලා ගන්නට පුළුවන්. දැනටමත් වර්ග 100කට වැඩි නිෂ්පාදන ප්‍රමාණයක් අප අගා ගසෙන් නිපදවනවා.

ඒ නිෂ්පාදන ක්‍රියාවලිය තවදුරටත් පුළුල් කර, අගය එකතු කළ නිෂ්පාදන ලෙස ලෝක වෙළෙඳපොළේ ව්‍යාප්ත වීමයි අපගේ ඉදිරි බලාපොරොත්තුව. ඒ ලැබෙන වාසිය අපි දෙන්නේ අපගේ ආයෝජකයන්ට. ඒක තමයි, හුස්ම ප්‍රදාන යේ තිබෙන විශේෂත්වය.

අනික තමයි ලංකාවේ අගාවුඩ් ආයෝජකයන් සඳහා ලබා දෙන වැඩිම ප්‍රතිලාභය මෙය වීම. ඒ අවස්ථාව ජනතාවට ලබා දෙන්නේ පින්තැන්න අපි පමණයි…”

ඡායාරූප මාලන් කරුණාරත්න

ඉනෝකා පෙරේරා බණ්ඩාර

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division