මා ළමා වියේ සිටිය දී අපේ අම්මා චිත්‍රපට නැරඹීමට අප රැගෙන ගියාය. එකල අප කීවේ “පික්චර් බැලූවා – බලනවා” කියාය. දශකයකට හමාරකට පෙර ජේම්ස් මොනැකෝ ලියූ “චිත්‍රපටයක් කියවන්නේ කෙසේද” යන කෘතිය කියැවීමෙන් මගේ මනස වෙනස් විය. අපේ විචාරකයන් එකල ලියූ සිනමා විචාර කියවා, සංවාද කතිකාවලට සවන් දී සිනමාව ගැන කිසියම් අත්දැකීමක් ලබාගන්නට ද අපට හැකි විය.
මේ වන විට චිත්‍රපට නැරඹීමට යෑම ගැන කුසීතකමක්, කලකිරීමක් පැවතුනේ ඒවායේ නිසරු බොල් මුසාවාද, අනවශ්‍ය නාස්ති කිරීම් ආදී කරුණු හේතු කොට ගෙන ය. එහෙත් පසුගිය දිනෙක අසෝක අතාවුදහෙට්ටි අධ්‍යක්ෂණය කළ කන්දක් සේමා සිනමා කෘතිය නැරඹීමට අවස්ථාව උදාවිණ. සුමිත්‍රා රාහුබද්ධ ලියූ එම නව කතාව විද්‍යෝදය සම්මාන උලෙළේ දී ප්රශස්ත නව කතාවක් ලෙස නම් කොට සම්මානය සඳහා යෝජනා කළේ ද ම’විසිනි. මේ සිනමා කෘතියේ තිර නාටකය ලියා ඇත්තේ ද, නිෂ්පාදන අර්ථපතිත්වයෙන් කොටසක් දරා ඇත්තේ ද ඇය විසිනි. සමන්මලී පද්මකුමාර, ජයන්ත හෙට්ටිආරච්චි සහ මහාචාර්ය ආශු මාරසිංහ නිෂ්පාදක කොටස්කරුවෝ වෙති.
ප්‍රේක්ෂක මනස ඔද්දල් කරන සර්ව පිත්තල ව්‍යාජ සිනමා ටෙලිවිෂන් වැඩසටහන්, නරිනාටක වැපිරී ඇති, නව මාධ්‍ය, ඩිජිටල් මාධ්‍ය පතළ වී ඊට ඇබ්බැහි වී ඇති වකවානුවක මේ සිනමා කෘතිය කිසියම් චමත්කාරයක් මසිත රැඳවූයේය. රුවන් කොස්තාගේ සිනමාරූපී කැමරාකරණයෙන්, ප්‍රබල සමාජ ජීවන අනුභූතීන් ප්‍රේක්ෂක දෑස ආලෝලනය කරයි. අසෝක අතාවුදහෙට්ටි සිනමා අධ්‍යක්ෂවරයෙකු හැටියට ස්වශක්තිය, ප්‍රතිභාව ඉෂ්ට කොට ප්‍රදර්ශනය කර ඇත. රඟපාන නළු නිළියෝ ද ස්වකීය රංගනය උපරිමයෙන් ඉදිරිපත් කරන්න වෑයම් කරති.
ජපානය සහ ශ්‍රී ලංකා ජන සමාජය, එහි භූගෝලීය පරිසරය, හැසිරීම්, සමාජ ආචරණ, භාෂණය, හැසිරීම් අර්ථවත් කිරීමට නිර්මාණකරුවෝ ප්‍රශංසනීය භූමිකාවක යෙදෙති.
ඉසියුම් භාවාත්මක නිරූපණවලට කෙරෙන සංගීත නිර්මාණය සුරේෂ් මාලියද්දේ විසින් කුළුගන්වා තිබේ. ඔහුගේ සිනමාරූපී සාහිත්‍ය රසාත්මකය. අවස්ථෝචිතය. පෙම්බරා ගීය නවක ගායිකාවක වූ සඳලි විජේතුංග මැනවින් උත්කර්ෂයට නංවයි. මහාචාර්ය සුනිල් ආරියරත්න ඊට උචිත ගී පද බැඳුම නිමවයි. එය අප සිත් ගනී. තත් සිනමා කෘතියට අදාළ වෙයි. සිනමාව අවසානයේ සුමිත්‍රා රාහුබද්ධ ලියූ ගීයක් අභිෂේකා විමලවීර ගයනුයේ ගයත්‍රි කේමදාසගේ තනුවකට ය.
උකටලීව, වල්මත් වී අයාලේ යන ශ්‍රී ලාංකික ජන සමාජයේ ජීවිතය සොයා යන තාරුණ්‍යයේ සමාජ, සංස්කෘතික, ආර්ථික, දේශපාලනික ගැටුම තියුණු විමසුමකට ලක් කිරීම මෙහි එක් අරමුණකි. ශ්‍රී ලාංකික තරුණියක් නිප්පොන් දේශයේ මහලූ මිනිසකුට කසාද බැඳ දෙයි. එය කලක පටන් අප රටේ ද සිදු කෙරෙන ව්‍යාපාරයකි. සමාජ විලෝපන මැද ගොදුරක් වූ නූපා ජීවිතයේ රිදී නිම්නයක් සෙවීමට ඊට උර දෙයි. නිරෝෂා පෙරේරා සිනමාවේ එම චරිතය විශිෂ්ට ලෙස නිරූපණය කරයි. ජපන් රටේ සටන් නළුවකු ලෙස ප්‍රකට මසායෝගේ චරිතය නිරූපණය කරන නළුවා මනා චරිත නිරූපණයක යෙදෙයි. නූපා සමාජ, සංස්කෘතික, ආර්ථික පීඩන හා මුළාවීම් මැද ප්‍රේමය, ආලිංගනය, ශෘංගාරය විමසයි. එහිදී ඇය නැවතත් අතරමං වෙයි. වීසා බලපත් නැතිව ජපානේ රැකියා කරන ශ්‍රී ලාංකික තරුණයෙකු වූ සුමල් වෙතිනි. බිමල් ජයකොඩි එම චරිතයට පණ පොවයි. ජීවිතයේ ප්‍රධාන ධර්මතා දෙක වනුයේ සංයෝගය හා වියෝගයයි. මේ ධර්මතා දෙක අඩු වැඩි කිරීමට සිනමා කෘතිය උත්සුක වෙයි. සියලූ විපත්තීන් මැද නූපා නැවත අවදි වීමකට උත්සාහ කරයි. ජීවිතයේ ගති සොබාව ඇය වටහාගත්තා සේ ය.
ජනප්‍රිය, වාණිජවාදී, පාරිභෝගික ගෝලීය සමාජයක නව කතාවක් සිනමාවකට නැඟීමේ දී අභියෝග, ගැටලූ රැසකට මුහුණ දෙනු ඇත. පසුගිය කාලයේ ඇද වැටුණු සිනමා කර්මාන්තය මඳකට හෝ පිබිදීමට ලක් වූ සිනමා කෘති කීපයක් අපි නැරඹුුවෙමු. ජනප්‍රිය සංස්කෘතිය හුවා දැක්වූ මහාචාර්ය සුනිල් ආරියරත්නගේ කදිර දේව රාජ, ඔහුගේම ගැඹුරු කලාත්මක කෘතියක් වූ ක්ෂීර සාගරය කැලඹිණ, සංජීව පුෂ්පකුමාරගේ ආසු කෙටි නිදසුන් කිහිපයක් පමණි. ජවාන් ජේලර් වැනි දකුණු ඉන්දියානු සිනමා කෘතීන් සමඟ ප්‍රේක්ෂක ජනයාගේ ආකර්ෂණය දිනා ගැනීමට අපේ සිනමාකරුවෝ ඉමහත් සටනක යෙදෙති. සිනමාව විනෝදායන මාධ්‍යයකි. කර්මාන්තයකි. එහි සමාජීය සංස්කෘතීමය ආලෝචන පවති. කුඩා දූපතක වෙසෙන අපි මේ ලෝක ගෝලීය භූ දේශපාලනය මැද විශාල අරගලයක යෙදී සිටිමු. එහිදී ආතතියට, විෂාදයට පත් ජනතාවකට කන්දක් සේමා වැනි චිත්‍රපටයක් ආශ්වාදය සඳහා ඉදිරිපත් කිරීමම අභියෝගයකි. එම ගැටලූ, අභියෝග ජය ගැනීමට ප්‍රේක්ෂක අපි සම්මාදම් විය යුත්තෝ වෙමු.
මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දර