බාලේ
බොරුපන් නෙළන්නට
වනිහින්ගොඩ වෙලට
ඕලු මල් නෙළලා
ගෙලට මාලා දමා
ඉරි වැටුණු පොඩි සරම
තෙත බරිත වීලා
සීතලේ ගැහි ගැහී
මට තාම මතකයි
ලක්ෂ්මන් පතිරන
සිසිරය
චෙරි ද ඕක් ද
මේපල් ද
කොහොම හඳුනන්නද
සීමා වැට කඩුලු
මායිම්
කොහෙන් සොයන්නද
වෛවර්ණ සළු පිළි
සැඟව
හිම කබා තුළ
එකම පැහැයක් ගෙන
පැමිණි සිසිරය
සිතන්නට යමක්
ඉතිරි කර
අපට…
මාලතී රූපිකා
බුදු වේවි රත්තරං අම්මලා
පොළොවක් තරම් බර උහුලාන
අහසක් වගෙ ඉන්න අම්මලා
දරුවන්ට පමණින් බෙදා දී බත් පිඩ
කුසගින්න රස කරන අම්මලා…..
කොළඹ නුවරත් උතුර
දකුණෙමත් එක වගේ
නිහඬවම පෙම් කරති අම්මලා
දුක් කඳුළු සංකා හිත්
හද අස්සෙ අරක් ගත්
තුනී කර මතු මතුත්
බුදු වේවි රත්තරන් අම්මලා…
ඔමේෂ් ශෙහාන් දහනායක
මං කවට අන්දරේමද ?
අන්දරේ මං කවට අන්දරේ
කියලමයි ඉතිහාසයේ ලිව්වේ
මේ මටත් දුක හිතුන බව නම්
නෑනේ ඔය ඉතිහාසයේ ලිව්වේ…
මුසාවාදය හොඳට බින්ඳලු
රජතුමා ළඟ දණින් වැටුණලු
කෙළි කවටකම් හුඟක් කෙරුවලු
එහෙමමයි ඔය ඉතිහාසෙ ලිව්වේ
පුර පෝය හඳ බලා හැඬූ බව
මගේ ප්‍රේමිය අහිමි වූ බව
හිතේ තනියට කවි ලියු බව
නෑනේ ඔය ඉතිහාසයේ ලිව්වේ
නිම්නාදි සෞභාග්‍යා
සඳවත නුඹ මගේමය
සෙනෙහසින් ඔප දමා ලියා අකුරෙන් අකුර
ගල් හිතක් මුදු කළා හිතන්නත් බැරි විලස
වදන් වැල් අමුණලා අරුත් ගන්වා මසිත
ඔබයි මගෙ හදවතේ තැනුවෙ කැටපත් පවුර
හිතේ හිස් පිටු පුරා කුරුටු ගී ලිය ලියා
පාළු මගෙ හදවතේ ආදරය තවරලා
වසා තිබු කවි සිතේ දොර අගුළු ඉවතලා
නිමිත්තක් වුණා ඔබ ලියන්නට පිටු පුරා
ඇවිළෙන්න නොවේ මට නිවෙන්නට හිත පුරා
කඳුළු නොමදී ඇසට හිනැහෙන්න මුව පුරා
දස දහස් වාරයක් පිරිත් පැන් පෙර පෙරා
සෙත් පැතුවෙ සෙනෙහසින් ඔබයි මට දිවිතුරා
නිම්නාදි සංගීත් රාමනායක
සුබ සිහින දකිමු
දැක සුබ සිහින එළඹෙන හෙට දවස ගැන
කණකර ඉඩම උකසට තැබු මුදල් ගෙන
එජන්සියට බැඳ මැද පෙරදිගට යන
අපෙ වනිතාවෝ විඳිනා දුක බලනු මැන
රට රැකියා නියුතු කාර්යාංශයේ දොර
අසරණ වූ අයට නැහැ නොව විවර කර
ළතවෙන ගැහැනු දෙස මැදපෙරදිගදි අර
නිල දරුවනි බලව් ඇස් මොහොතකට ඇර
අජිත් ජෝතිය කරසිංහ
ඩෙංගු
පිවිතුරු අනගි පරිසරයක් ඇති කරමු
ලෙඩ දෙන ඩෙංගු උවඳුර නිති දුරු කරමු
පරිසර දිනය දින දින ඔපවත් කරමු
කවුරුත් එකමුතුව රට ජාතිය නඟමු
ඔබගේ ගෙයි පැලේ පාරේ හා වත්තේ
ලෙඩ දෙන මදුරුවන් හා මැස්සන් රොත්තේ
විෂ දළ නිසා දැයකට සිදුවන තත්තේ
තේරුම් අරන් නිසි පිළියම් කළ යුත්තේ
ලයනල් ජයලත්
ඔබට නොදැනෙන මා
මල් රේණු හැලෙන
මඳ මුදු නද පවා ඔබට ඇසෙනව නම්
මගෙ හද හඬනා හඬ
මන්දෝ නොඇසෙන්නේ
පිනි බිඳුවක තියෙනා
සිහිල පවා ඔබට දැනෙනව නම්
මගෙ නෙතඟ උනන කඳුළක තෙත
මන්දෝ නොදැනෙන්නේ
කව්සිළුමිණ පවා ඔබට
අරුත් පසිදිනු හැකි නම්
මගෙ ආදර තෙපුල්
මන්දෝ නොම වැටහෙන්නේ
තුෂාන් විශ්වජිත් ගමගේ
මරණයේ සෙවණැල්ල
රෝගී වු රෝගියා
රෝගයෙන් සුවපත් කරන්නට
නෑසියෝ එකතු වී
දෙවියන්ට භාර වී
බැන්දෝය පඬුරු
යැද්දෝය යාතිකා
රෝගියා දෙස බලන්නට
අමතකව දෙවියන්ට
නොසිතු නොපැතු මොහොතක
සියදිවි අත්හළේය…
යදින ලද යාතිකා
හිස් අවකාශයේ රැව් දිදි
මරණයම දිනවමින්
මිනිසා පැරද විය…
මරණයේ සෙවණැල්ල
නේක නෙක වෙස් ගනිමින්
ලද ලද අවසරයෙන්
එකිනෙකා ඩැහැ ගනී…
මුණසිංහ රන්කොත්ගේ
කළුවරට යන ලොවට
කළු බරය – සුද සැහැල්ලුය
උසාවිය පිරෙන්නට
කළුය සුදුය
එහෙත් කළු බරය
කළු ලෝගු බර දරා දෙඋරින්
කළු කපා සුද තනන්නට
උ….සා….වි….ය
නිහඬ වෙයි – එක සැණින්
සුද යටව කළු මතුව
කළුවරට යන ලොවට
පායන්න සඳක් සේ
කළු කපා එළිය දෙන
උපසේන කාරියවසම්
සාගරයක රහස
තෙරක් පරක්
ඉමක් කොනක්
නොපෙනෙන
මහා සාගරයේ
නෙතට රසඳුනක්
මවමින්
නිල් කොළ
සුදු පැහැයෙන්
හැඩ වැඩ දමමින්
රැල්ලෙන් රැල්ලට
බිඳි බිඳී නැඟෙන
දළ රළ පෙළ
වෙරළට සෙනෙහසින්
රහස් මුමුණයි
හරි පුදුමයකි
නිමාවක් නැති සෙනෙහස
සුනේත්‍රා විජේරත්න
මතකය
ඉමක් කොනක් නොපෙනෙන සයුරක
නිල් දිය දහර සමඟ ගැටෙමින්
හබල් ගසා ඉදිරියට ඇදෙන
නිර්මල ජීවිත අන්දරය
ගොඩනඟන්නට වෙහෙස දරන
එක්තරා යෙහෙළියකගේ
ජීවිත කතාව…
කඳුළු බිඳුවකින්
වෙහෙස මතු කර
ගොඩට ඇදෙන
සිනහව මැකී ගිය
දුක්බර මතකයන් සමඟ
මාදැලෙන් වසන්නට
හැකිවේද අපට….
ආර්. එම්. විහඟි සඳගෝමි රත්නායක
තුන්දොර
දිනකට සිදුවේද කොතරම් අතොරක් නැති අදමිටුකම්
වරදට බැඳුනද අඟනන් විසඳනු වස් අගහිඟකම්
ඉඩමට ගැටුනද දූ දරු අමතක කර සොහොයුරුකම්
කුමකට ඉන්නේ මිනිසුන් පොදි බැඳගෙන නොමිනිස්කම්
කියුම් කෙරුම් දෙන තරමින් ඵලයක් නැති බව පෙනුනේ
වැදුම් පිදුම් කළ පමණින් සැම සිත් නැහැ මල් පිපුනේ
උතුම් මිනිස් ගතියෙන්මයි ජීවිත යහමඟ තැනුනේ
සිතින් කයින් සංවර නම් බිය සැක නෑ ළඟ රැඳුනේ
රැදුනොත් ආගම දහමෙම ජීවිත කාලෙට ඉමහත්
ගෙනවිත් දේ සැනසීමක් මිනිස් කමට එය වැදගත්
මිදුනොත් දුශ්ශීල බවින් රැකගෙන තුන් දොර සිල්වත්
ගුණවත් මිනිසකු ලෝකෙට තිළිණ කරයි එය යහපත්
බිමල් හේරත් මුදලි නායක