කෙත් යායක ගොවියන් විසින් ගොයම් කොළය තනන භූමි ප්‍රදේශයක් විය. එම භූමියේ පුණ්‍ය භුමියක සුවඳ දැනුණු නිසාදෝ, කුඩා ආරාමයක් ඉදි කිරීමට ගොවියෝ සිතූහ. ඒ අනුව එහි ඉදිකළ ආරාමය ඛෙත්තාරාමය නම් විය. ගොවියන් විසින් පින් පිණිස පූජා කළ වත්ත වූ බැවින් එය පසුව පින්වන්ත ලෙසින් භාවිතයට එක් විය. එහි සමාරම්භකයාණන් වහන්සේ වන පින්වන්තේ ජයතුපාල නාහිමියන්ට ජනතා ප්‍රසාදය දිනා එය ජනප්‍රිය ස්ථානයක් බවට පත්කර ගැනීම අපහසු නොවීය.
උන්වහන්සේගෙන් අනතුරුව එහි විහාරාධිපති ධූරයට පත් වුවේ පින්වත්තේ සුමනතිස්ස මාහිමිපාණෝය. ජනාවාස වැඩි වීමත් සමඟ එම කුඩා ආරාමය ද, ක්‍රමයෙන් දියුණුව කරා පිය නැඟීය. සුමනතිස්ස හිමිපාණන් වහන්සේ ප්‍රදේශයේ වැඩ සිටි සුප්‍රසිද්ධ, ශික්ෂාකාමි, විචිත්‍ර ධර්ම දේශකයාණන් වහන්සේ නමක් ලෙස ජනාදරයට පත් වූහ. සුමනතිස්ස හිමිපාණන්ගේ හා එගොඩ උයන තාලරුක්ඛාරාමාධිපති කලුවාමෝදර සිරි ධම්මක්ඛන්ධ ස්වාමීන් වහන්සේගේ එකම ශිෂ්‍ය රත්නය වූයේ පින්වත්තේ ශ්‍රී සීලානන්ද හිමියන්ය. උන්වහන්සේ ස්වකීය ආචාර්ය සුමනතිස්ස නාහිමියන්ගෙන් හා පවර නෙරුත්තිකාචරිය මහා විහාවි රාජගුරු වස්කඩුවේ ශ්‍රී සුභූති නාහිමිපාණන් වහන්සේ විසින් ද, ඉන් පසු රත්මලානේ පරම ධම්මචේතිය පිරිවෙෙනහි නේවාසිකව වැඩ සිටි පරිවේණාධිපති ආචාර්ය සිරි ධම්මානන්දාභිධාන නායක මාහිමිපාණන් වහන්සේ වෙතින් ද, පස් වසක් පමණ ධර්ම ශාස්ත්‍රය හදාරා ඉහළ පන්තියේ ගෞරවය සහිත සමත් වූ අයෙක් වූහ.
තම අධ්‍යාපනය අවසන් කළ උන්වහන්සේ ඛෙත්තාරාමය විහාරස්ථානයට වැඩම කොට ගිහි පැවිදි විශාල ශිෂ්‍ය පිරිසකට ධර්ම ශාස්ත්‍රය ඉගැන්වීමෙහි නියුක්ත වූහ. එහිදී උන්වහන්සේ දැක්වූ නිපුණතාවය පිළිබඳව බෙහෙවින් ප්‍රසාදයට පත් සුමනතිස්ස නාහිමිපාණන් වහන්සේ එහි උසස් විද්‍යායතනයක් ආරම්භ කිරීමට අවශ්‍ය කටයුතු සූදානමින් සිටින අතර තුර නාහිමිපාණන්ගේ අපවත්වීම සිදු විය.
නාහිමිපාණන් වහන්සේ අපවත් වීමෙන් අනතුරුව විහාරාධිපති ධූරයට පත් පින්වත්තේ ශ්‍රී සීලානන්ද නාහිමිපාණන් ප්‍රදේශයේ ගිහි පැවිදි විශාල පිරිසකගේ ඉල්ලීම පරිදි පිරිවෙන ආරම්භ කිරීමෙහිලා අවශ්‍ය ක්‍රියා මාර්ග දියත් කළහ. ශ්‍රී සීලානන්ද නාහිමිපාණන්ගේ ඇරියුම පරිදි විශාල ගිහි පැවිදි පිරිසක් රැස් වූහ. ඒ අතර පවර නෙරුත්තිකාචරිය මහා විහාවි රාජගුරු වස්කඩුවේ ශ්‍රී සුභූති නාහිමිපාණන් වහන්සේ ද, වූහ. උන් වහන්සේලාගේ අනුශාසනා පරිදි ශත වර්ෂයකට වඩා පැරණි අමරපුර සිරි සද්ධම්ම වංස මහා නිකායට අයත් ඛෙත්තාරාම විහාරස්ථානයෙහි 1900 වසරේ මාර්තු මස 11 වන දින පින්වත්තේ සද්ධර්මාකර පිරිවෙන පින්වත්තේ ශ්‍රී සීලානන්ද නාහිමිපාණන් වහන්සේ විසින් පිහිටු වන ලදි.
විශේෂයෙන්ම පිරිවෙනේ අභිවෘද්ධිය සඳහා පෝහද්දරමුල්ලේ ලිවේරිස් ෆොන්සේකා අබේසේකර මුදලාලිගේ මූලිකත්වයෙන් ගම්වාසී ප්‍රභූ දායක දායිකාවන්ගෙන් යුත් ‘සද්ධර්මාධාර’ නමින් සමිතියක් ද පිහිටුවා ගන්නා ලදි.
ප්‍රාචීන භාෂෝපකාර සමිතිය මඟින් පැවැත් වූ ප්‍රාචීන ප්‍රාරම්භ, මධ්‍යම, අවසාන විභාග සමත් පණ්ඩිත උපාධිය ගිහි පැවිදි විශාල ශිෂ්‍ය පිරිසක් පිරිවෙනින් බිහි විය. සිරි සුගත සාසන කවිධජ විනයාචරිය ශ්‍රී සීලානන්ද නාහිමිපාණන්ගේ අපවත් වීමෙන් අනතුරුව පරිවේණාධිපතිධුරයට පත් වූයේ උන්වහන්සේගේ ශිෂ්‍ය පින්වත්තේ විමලකිත්ති නාහිමිපාණන් වහන්සේය. උන්වහන්සේගේ පාලන කාලය මාස හයකට සීමා වූයේ හදිසියේම රෝගාගුරව අපවත් වී වදාළ බැවිනි. ඉන් අනතුරුව සීලානන්ද නාහිමිපාණන් වහන්සේගේ තවත් ශිෂ්‍ය නමක් වූ පෝහද්දරමුල්ලේ ඤාණානන්ද නාහිමිපාණෝ පිරිවෙෙනහි අධ්‍යක්ෂ ධූරයට හා අධිපති ධූරයට පත්වූහ. නාහිමිපාණන් වහන්සේගේ හා ආචාර්ය සිරි සීලානන්ද නාහිමිපාණන් වහන්සේගේ අපත්වීමෙන් උප ප්‍රධානාචාර්ය විමලකීර්ති හිමිපාණන් වහන්සේගේ හා උප ප්‍රධාන ශ්‍රී සරණතිස්ස හිමිපාණන් වහන්සේලාගේ අපවත්වීම්ද සිදු විය. පිරිවනේ අභිවෘද්ධිය උදෙසා සුවිශාල මෙහෙයක් ඉටු කළ උන්වහන්සේලාගේ අපවත්වීම් පිරිවෙනට සිදු වූ සුවිශාල පාඩුවක් විය. එහෙත් ඤාණානන්ද හිමියන් භාෂා සාහිත්‍යයේ උන්නතිය සඳහා විශේෂයෙන්ම දීපවංශය ප්‍රතිසංස්කරණය කොට මුද්‍රණද්වාරයෙන් එළි දැක්වීමටද උන්වහන්සේ කටයුතු කළහ. .
නාහිමිපාණන් වහන්සේගේ සීලවන්තභාවය හා ගුණවන්තභාවයෙන් රටට හා සමාජයට සිදු වු ආගමික හා සමාජයීය සේවයන් සලකා අමරපුර සිරි සද්ධම්ම වංශ මහා නිකායේ මහානායක ධුරය ද පිරිනමා ඇත. එහෙත් සද්ධම්මරත්නාකර නැමැති සිංහල ධර්ම ග්‍රන්ථය සංශෝධනය සඳහා ක්‍රියා කරමින් සිටින අතරතුර 1955 දී උන්වහන්සේ අපවත් වුවද උන්වහන්සේගේ ශිෂ්‍ය නමක් වූ රාජකීය පණ්ඩිත ශ්‍රී දේවානන්ද නාහිමිපාණන් වහන්සේ එම කටයුතු ඉදිරියට කරගෙන ගියහ. මේ ලෙසින් උගත් වියත් භික්ෂූන් වහන්සේ රැසකගේ ආභාෂය ලැබූ පිරිවෙන අද වන විට ගිහි පැවිදි දෙපිරිසේම අධ්‍යාපනයේ කෙන්ද්‍රස්ථානයක් බවට පත්ව තිබේ.
වත්මන් පරිවේණාධිපති ධුරය දරන්නේ අධ්‍යාපනවේදී ගෞරව ශාස්ත්‍රවේදී තෙරුන්නාන්සේගම නන්ද හිමියන්ය. කෘත්‍යාධිකාරි ධුරය දරන්නේ අමරපුර සිරි සද්ධම්මවංශ මහා නිකායේ අනුනායක තලල්ලේ මෙත්තානන්ද අනු නා හිමියන්ය. අද වන විට පිරිවෙනේ ගිහි පැවිදි සිසු සිසුවියෝ 350ක පමණ පිරිසක් අධ්‍යාපනය ලබති. පිරිවෙන් ඒකකය යටතේ පාලනය වන නිසා අධ්‍යාපන අමාත්‍යාංශයෙන් කිසිවක් නොලැබීම ගිහි සිසුනට විශාල ගැටලුවක්ව තිබේ. විශේෂයෙන්ම විනය මූලික කරගෙන අධ්‍යාපනයද ඉහළින්ම ලබා දෙන පිරිවෙනේ අ.පො.ස සාමාන්‍ය පෙළ පංති ආරම්භ වන්නේ පෙරවරු 6.30ට වන අතර, එම පංති නිමා වන්නේ පස්වර 5.30ටය. පිරිවෙෙන් ආචාර්යවරුන් එම දරුවන් වෙනුවෙන් සිදු කරන කැපවීම එයින් ඉතා පැහැදිලිය. මෙරට කිසිදු පාසලක එවැනි ලෙසින් අ.පො.ස සාමාන්‍ය පෙළ වෙනුවෙන් කැපවීමක් සිදු කරන බවක් අප අසා නැත.
ශිෂ්‍ය ක්‍රියාකාරකම්හිද උපරිම දස්කම් දක්වන දූ දරුවන් මෙන්ම පැවිදි සිසුන්ද මෙහි අධ්‍යාපනය ලබන අතර, මේ වන විට පිරිවෙනට අනුබද්ධව මූලික පිරිවෙනක්ද සථාපිත කර තිබේ. ගිහි පැවිදි අධ්‍යාපනයට විශාල මං පෙත් හෙළි කරන පින්වත්තේ සද්ධර්මාකර පිරිවෙන දැනුම ලබා දෙන පිරිවෙණක් පමණක් නොව විනය ගරුක අධ්‍යාපනයේ තෝතැන්නක් වන හෙයින් එහි ඵල දරා ගැන්මට උපරිම දායකත්වයක් ලබා දෙන්නට අධ්‍යාපන අමාත්‍යාංශයත් පිරිවෙන් ඒකකයත් අත්වැල් බැඳගත යුතුය. ජනප්‍රිය පාසල් රැසක් අවටින් ඇතත් ගිහි සිසු සිසුවියන් පිරිවෙනට එවීමට මාපියන් කටයුතු කරන්නේ එහි ඇති විනය මූලික අධ්‍යාපනය නිසාය.
තාරක වික්‍රමසේකර