සත්‍යය ප්‍රබන්ධයට වඩා විස්මයජනක ය. ඉන්දියාවේ තමිල්නාඩුවේ නිපදවුණු ‘800‘ මුත්තයියා මුරලිදරන්ගේ සැබෑ ජීවිත කතාව ද විස්මයජනක ය. සිංහල කලහකාරීන් පිරිසක් ගිනි තබා විනාශ කළ කන්ද උඩරට ව්‍යාපාර හිමි දෙමළ පවුලක උපන් මුරලි පසුකාලීනව ජාතික ක්‍රිකට් කණ්ඩායමට එක් වීම, පුරා දශක දෙකක කාලයක් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ ලෝක පූජිත පිතිකරුවන් සිය පිටදඟ පන්දුව ඉදිරියේ දණ ගැස්වීම, දෙමළ ඊළාම් ත්රස්තවාදයේ භීෂණය රට පුරා පැතිරී ගිය කාල වකවානුවක ක්‍රිකට් පිටියේ පෙරළිකාර දස්කම් පෙන්වා කිසිදු ජාති ආගම් භේදයකින් තොරව මෙරට බාල මහලු කාගෙත් ආදරය දිනා ගැනීමට සමත් වීම, ටෙස්ට් කඩුලු 800 සම්පූර්ණ කිරීමට කඩුලු 8ක්ම ඉතිරිව තිබියදීත් ටෙස්ට් ක්‍රීඩාවෙන් සමුගැනීමට තීරණය කිරීම සහ ඉන්දීය පිල සමඟ පැවැති සිය අවසන් ටෙස්ට් තරගයේදී අවශ්‍ය ඉලක්කය සපුරා ගැනීමට තරම් දැඩි ආත්ම විශ්වාසයකින් පසුවීම වැනි කරුණු කාරණා ප්‍රබන්ධයට වඩා සත්‍යය විස්මයජනක නොවන්නේදැයි යළි යළිත් පසක් කර දෙයි.
සිවිල් යුද සමය අතරතුර තැනින් තැන බෝම්බ පිපිරෙද්දී ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ බෞද්ධ හා කතෝලික ක්‍රීඩකයන්ගේ විවේකාගාරයේ සිටි එකම දෙමළ ජාතික ක්‍රීඩකයා මුරලි ය. ඔහු ශ්‍රී ලාංකික ක්‍රිකට් ක්‍රීඩාවේ නව පරිච්ඡේදයක් සිය නම ඉදිරියේ ලියා තබමින් ජාතියේ ගෞරවාදරයට පාත්‍ර විය. ශ්‍රී ලංකාවේදී එසේ වුවත් තමිල්නාඩුවේ දෙමළ රාජධානියේදී නම් ඔහුට එවැනි ගරු බුහුමන් ලැබුණේදැයි සැක සහිත ය. පසුකාලීනව චෙන්නායි නුවරින් විවාහයක් කරගෙන ‘තමිල්නාඩුවේ බෑණා‘ ලෙස ප්‍රකට වී සිටියත් මුරලිට තමිල්නාඩුවේ ජාතිවාදීන් කවදත් සැලකුවේ දෙමළ ජාතියට ද්‍රෝහි වූවකු හැටියටය. කොටින්ම ‘800‘ චිත්‍රපටයේ මුරලිගේ චරිතයට මුලින්ම තෝරාගෙන සිටි කොලිවුඩ් සිනමාවේ සුපිරි නළු විජේ සේතුපතිට ඉන් ඉවත් වන්නැයි බලපෑම් කරමින් තමිල්නාඩුව පුරා උද්ඝෝෂණ රැල්ලක් පැතිරී ගියේ එනිසාය.
ඊයේ පෙරේදා සිය ‘800‘ චිත්‍රපටය රැගෙන ගෝවේ නුවර පැවැති ඉන්දීය ජාත්‍යන්තර සිනමා උලෙළට ගිය මුරලි මේ සියලු කරුණු කාරණා අරබයා තමිල් නාඩුවේ පටු දේශපාලකයන් පතුරු ගැසුවේය. ඔවුන්ගේ ජාතිවාදී ආකල්ප කුඩුපට්ටම් කළේය. චිත්‍රපට උලෙළ අතරතුර ‘800‘ සිනමා නිර්මාණය ගැන පැවැති සංවාදයේදී තමිල්නාඩුවේ කිසිම රජයකට ශ්‍රී ලංකාවේ සිවිල් යුද්ධය ගැන පැහැදිලි අවබෝධයක් නොතිබුණු බව කී මුරලිදරන් තමිල්නාඩුවේ ඇතැම් දේශපාලකයන් තමා ජාති ද්‍රෝහියකු ලෙස හැඳින් වූ බවත් ප්‍රසිද්ධියේම කියා සිටියේය.
මේ කියන්නේ මුත්තයියා මුරලිදරන් ශ්‍රී ලංකාවේ විවිධ ජාතීන්ට අයත් මිලියන 22ක ජනතාවගෙන් ලද ගෞරවාදරය එදා ගෝවේ සිනමා උලෙළේදී රැකගත් ආකාරය ගැනය. තමා දෙමළ ජාතිකයකු නොව පළමුව ශ්‍රී ලාංකිකයකු බව කවදත් කියන මේ ශ්‍රේෂ්ඨ දඟපන්දු යවන්නා තමිල්නාඩුවේ පටු දේශපාලනයේ රෙදි ගලවා දැමුවේය.
‘ශ්‍රී ලංකාවේ එදා තිබුණු ප්රශ්නය ඉන්දියාව කවදාවත් තේරුම් ගත්තේ නෑ. ඒක තමයි මගේ අවංක පිළිතුර. මම ඒක කියන්න බයත් නෑ. ඉන්දියාවේ මධ්‍යම ආණ්ඩුව ගැන නෙවෙයි මම කියන්නේ තමිල්නාඩුවේ ආණ්ඩු ගැනයි. එගොල්ලෝ ශ්‍රී ලංකාවේ එදා යුද්ධ කාලයේ තිබුණු සැබෑ තත්ත්වය අවබෝධ කරගත්තේ නෑ. මොකද ශ්‍රී ලංකාවේ දෙමළ ජන කොටස් විවිධාකාරයි.‘ ඉන්දීය ජාත්‍යන්තර සිනමා උලෙළේදී ‘800‘ චිත්‍රපටයේ සංවාදයකට එක් වූ මුරලිදරන් එසේ කීවේය.
‘ශ්‍රී ලංකාවේ දෙමළ ජාතිකයන් හැමෝම එකිනෙකට සම්බන්ධ තමයි. ඒත් දේශපාලන වශයෙන් කොටස්වලට බෙදිලයි හිටියේ. මගේ සීයා තමිල්නාඩුවෙන් ශ්‍රී ලංකාවට සංක්‍රමණය වුණේ 1920 ගණන්වලදියි. ඔහු ශ්‍රී ලංකාවට ගියේ බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන් බලහත්කාරයෙන් ගෙනිච්ච නිසයි. ඉතින් ඒ විදිහට තමයි මගේ පරම්පරාව බිහි වුණේ. අපි හැදී වැඩුණේ මහනුවර කන්ද උඩරට. අපිව හැඳින්වූයේ ඉන්දීය සම්භවයක් ඇති දෙමළ ජාතිකයන් විදිහටයි. එකම දෙමළ භාෂාව කතා කළාට උච්චාරණයත් වෙනස්.‘
‘ඉතින් යම්කිසි පාර්ශ්වයකට ඕන වුණා වෙනම කොටසක්. රටක් ඇතුළේ වෙනම රාජ්‍යයක්. අපිට එහෙම වෙනම රටක් වුවමනා වුණේ නෑ. අපිට ඕන වුණේ හැමෝම එක්ක සමගියෙන් ජීවත් වෙන්නයි.‘
එවකට ශ්‍රී ලංකාවේ පැවැතියේ එවැනි තත්ත්වයකි. රටේ සෙසු ජාතීන් සමඟ එකමුතුව ජීවත්වන ජන කොටසකටම අයත් තවත් පිරිසක් රට බෙදා වෙන් කර ගැනීමට ත්‍රස්ත ක්‍රියා සිදු කරමින් සිටියේය.
තමිල්නාඩුව මට ජාති ද්‍රෝහියා කියන්නේ මම ශ්‍රී ලංකාවේ සිවිල් යුද්ධය ගැනත්, ඉන් පසුව සිදු වූ දේ ගැනත් කිසිම ප්‍රකාශයක් සිදු නොකළ නිසයි. මම එතකොට පැවැති රජයේ පාක්ෂිකයෙක්. තමිල්නාඩුවේ 5%ක් හෝ 10%ක දේශපාලකයන් පිරිසක් හිතන්නේ මම ජාතීන්ට දෝහි වූ පුද්ගලයකු හැටියටයි.’ එය කෙතරම්දැයි කියන්නේ නම් ‘800‘ චිත්‍රපටයේ මුරලිගේ භූමිකාවට පණ පෙවීමට තෝරා ගත් විජේ සේතුපතිට නිවෙසින් පිටතට යෑමට පවා නොහැකි තත්ත්වයක් උදා විය. මුරලිගේ චිත්‍රපටයේ අධ්යක්ෂවරයා වූ එම්. එස්. ශ්‍රීපති මීට කලෙකට පෙර තමිල්නාඩුවේ සිට ලියුම්කරු සමඟ කළ සංවාදයේදී කියා සිටියේ මුරලිගේ චිත්‍රපටයේ රඟපෑමෙන් විජේ සේතුපතිට ඉවත් වීමට සිදු වීම දේශපාලන කාරණාවක් බවය. අනිත් අතට එය තමිල්නාඩුවේ මැතිවරණ උණුසුමක් තිබූ කාලයක් ද වූ බවය.
මෙරට පැවැති සිවිල් යුද්ධය ගැන මුරලිට පමණක් නොව එවකට ශ්‍රී ලංකා කණ්ඩායමේ සෑම ක්‍රීඩකයකුටම ඇති තරමට අත්දැකීම් තිබිණි. වසර 2009දී පාකිස්තානයේ ලාහෝර් නුවරදී ශ්‍රී ලංකා කණ්ඩායමට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වූ අවස්ථාවේදී සියලු ක්‍රීඩකයන් සිය ආරක්ෂාව තහවුරු කරගනු ලැබුවේ ශ්‍රී ලංකාවේදී එවැනි අත්දැකීම්වලට මුහුණ දුන් නිසා බව මුරලි පැවැසීය.
‘එදා ලාහෝර්වලදී අපි ගිය බස් රථයට වෙඩි තියද්දී අපි හැමෝම සීට් අස්සේ පාත්වෙලා හිටියේ. අපිට සලසලා තිබුණු ආරක්ෂාව දුර්වල මට්ටමකයි තිබුණේ. අපේ බස් රථයේ සිටි ආරක්ෂක නිලධාරීන් ආයුධ සන්නද්ධව හිටියෙත් නෑ. ‘
සැබැවින්ම 2009 වසරේ මුල් භාගයේදී පාකිස්තානයේ සංචාරය කිරීමට නියමිතව සිටියේ ශ්‍රී ලංකා පිල නොව ඉන්දීය පිල ය. එවකට පාකිස්තානයේ පැවැති අනාරක්ෂිත බව සැලකිල්ලට ගෙන ඉන්දීය පිල සංචාරය අත්හිටවූ බව එවකට ඉන්දීය ක්‍රීඩා ඇමැතිවරයා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.
‘අපි එතකොට බංග්ලාදේශයේ ක්‍රීඩා කරමිනුයි හිටියේ. එකපාරටම අපිට ආරංචි වුණා ඉන්දියාව ආරක්ෂක හේතු මත පාකිස්තාන ටුවර් එක කැන්සල් කරලා කියලා. ඒකට හේතුව ඉන්දීය පිලට ප්‍රහාරයක් එල්ල වේවි කියලා පාකිස්තානය ඇතුළෙන්ම ඉන්දියාවට තොරතුරු ලැබිලයි තිබුණේ. ඒ නිසා අපිට යන්න සිද්ධ වුණා. පාකිස්තානයේදී අපිට දැඩි ආරක්ෂාවක් ලැබෙන්නේදැයි එක්තරා අවස්ථාවකදි අප විමසා සිටියා. එවිට ඔවුන් කීවේ ජනාධිපතිවරයකුට ලැබෙන ආරක්ෂාව අපේ කණ්ඩායමට ලැබෙන බවයි.‘ ඔහු එසේ කීවේය.
‘ඉන්දියාව, පාකිස්තානය, බංග්ලාදේශය අපි කවදත් සැලකුවේ අපේම සහෝදර පිරිසක් හැටියටයි. ඒ නිසා ඉන්දියාව වර්ජනය කළ සංචාරයට අපි කැමැත්තෙන්ම එක් වුණා. කොහොමවුණත් අන්තිමේදී අපිට සපයා තිබුණේ ආරක්ෂක නිලධාරීන් දෙන්නෙක් විතරයි. කණ්ඩායම් බස් රථයේ අප සමඟ ගමන් කළ ඒ ආරක්ෂක නිලධාරින් අතේ අවි ආයුධ තිබුණෙත් නෑ.‘ ඔහු පැවැසීය.
වසර 2009 මාර්තු 3 වැනිදා ශ්‍රී ලංකා කණ්ඩායමට ත්‍රස්ත ප්‍රහාරය එල්ල වූයේ ලාහෝර් නුවරදීය. කණ්ඩායම් බස් රථය ක්‍රීඩාංගණය කරා ධාවනය වෙමිනුයි තිබුණේ. ත්‍රස්ත බියක් අපේ හිත්වල තිබුණෙත් නෑ. අපි එකිනෙකාට විහිළු තහළු කරමින් සතුටින් හිටියේ. එකපාරටම වෙඩි සද්දයක් ඇහුණා. ඒ කාලයේ පාකිස්තානයේ ඒ වගේ දේවල් සුලබව සිද්ධ වුණු නිසා අපි තැකීමක් කළේ නෑ. බස් රථය ක්‍රීඩාංගණය අසල මාර්ගයේ වටරවුම ගන්නවාත් එක්කම බස් රථයට වෙඩි ප්‍රහාරය එල්ල වුණා. ඒ වෙද්දී ශ්‍රී ලංකාවේ පැවැති යුද තත්ත්වයේ අත්දැකීම් නිසා හැමෝම ඒවාට පුරුදු වෙලයි හිටියේ.‘ මුරලිදරන් ලාහෝර් ත්‍රස්ත ප්‍රහාරය විස්තර කළේ එලෙසිනි.
ත්රස්තවාදීන්ගේ රොකට් ප්‍රහාර දෙකකින් හා අත් බෝම්බ ප්‍රහාර දෙකකින් ශ්‍රී ලංකා කණ්ඩායම අනූ නවයෙන් දිවි බේරා ගත් බව මුරලිලා දැනගෙන ඇත්තේ පසුවය.
‘ඒ ප්‍රහාර දෙකම ත්රස්තවාදීන්ට මඟ හැරුණා. ඉන් එක් ප්‍රහාරයක් පොලිස් නිලධාරීන්ගේ වාහනයට වැදී තිබුණා. ඒ ප්‍රහාරයට ඔවුන් ගොදුරු වුණා. කොහොම වුණත් අපේ බස් රථයේ රියැදුරාගේ දක්ෂතාව නිසා අපි ජීවිත බේරා ගත්තා.‘
ශ්‍රී ලංකාවේ එවකට ත්‍රස්තවාදී ගැටුම් පැවති දීර්ඝ කාලයේදී මෙරට සියලු ජාතීන් සහ ආගම්වලට අයත් ජනතාව දුෂ්කරතා රැසකට මුහුණ දුන් බවත්, එය වර්තමානයේ පලස්තීනයේ යුද ගැටුම්වලට සමාන බවත් මුරලිදරන් වැඩිදුරටත් කියා සිටියේය.
‘ඒක හැම අතින්ම දැන් පලස්තීනයේ තත්ත්වයට සමානයි. පලස්තීනයේ ජනතාව දැන් මුහුණ පා සිටින දුෂ්කර තත්ත්වය එදා ශ්‍රී ලංකාවේ සියලු ජනතාව මුහුණ දුන් අත්දැකීම්වලට වඩා ලොකු වෙනසක් නෑ. ඔබ ඒ කාලයේ ශ්‍රී ලංකාවේ සිටි ඕනෑම ජාතියකට හෝ ඕනෑම ආගමකට අයත් කුඩා දරුවෙක් නම් ඔබත් ඒ අත්දැකීම්වලට මුහුණ දෙන්න ඇති. කොටින්ම පාරට බැස්සම ජීවිතය හරිම අවිනිශ්චිත තත්ත්වයකයි තිබුණේ. ඒ බය ලංකාවේ හැමෝටම දැනිලා තිබුණා.
මගේ ක්‍රීඩා දිවියත් එක්කම ශ්‍රී ලංකාවේ සිවිල් යුද්ධයත් ගලා ගෙන ගියා. යුද්ධය ඉවර වුණේ 2009 වසරේදියි. මම ක්‍රීඩාවෙන් සමුගත්තේ 2010 වසරේදියි. හැමෝගෙම පොඩි අවධානයක් මටත් ලැබිලා තිබුණා. ඒ මම ශ්‍රී ලංකා කණ්ඩායමට එකතු වුණේ දෙමළ ප්‍රජාවෙන් නිසා. ඒ නිසා කණ්ඩායමේ අනිත් ක්‍රීඩකයන්ට වඩා විශේෂ අවධානයක් කොහේ ගියත් මට ලැබිලා තිබුණා. මගේ ජීවිතයේ ක්‍රීඩාවත් එක්කම ගලා ගෙන ගිය පෞද්ගලික ජීවිතයේ මුහුණ පාන්නට සිද්ධ වුණු දේවල් තමයි ‘800‘ චිත්‍රපටයට පාදක වුණේ.‘ මුරලි එසේ සඳහන් කළේය.
ඔස්ට්‍රේලියාවට එරෙහිව ඔස්ට්‍රේලියානු භූමියේ පැවැති ටෙස්ට් තරගය අතරතුර මුරලිදරන් පන්දුව දමා ගසන බවට විනිසුරු ඩැරල් හෙයාර් සංඥා කිරිමේ ආන්දෝලනාත්මක සිදුවීම එවකට ලොව පුරා වැඩි කතාබහට ලක් විය.
‘ඒක සිද්ධ වුණේ 1995දියි. ශ්‍රී ලංකාවේ සිවිල් යුද්ධය ගොඩාක් දරුණු වෙලා තිබුණු කාලයකදියි. මේ කාරණාවේදී ශ්‍රී ලංකාවේ හැමෝම මට උදව් කළා. වචනයෙන් පවා ඔවුන් මාව දිරිමත් කළා. ඉන්දියාවත් එහෙමයි.‘
ඔස්ට්‍රේලියානු විනිසුරුවන් විසින් සිදු කරනු ලැබූ කෙණෙහිලිකම්වලින් මානසිකව බිංදුවටම ඇද වැටී සිටියදී එවකට ශ්‍රී ලංකා ක්‍රිකට් නායක අර්ජුන රණතුංග ඇතුළු කණ්ඩායමේ සියලු ක්‍රීඩකයන් හා පොදුවේ සමස්ත ශ්‍රී ලාංකිකයන් කිසිදු ආගම් භේදයකින්, ජාති භේදයකින් තොරව මුරලි සමඟ එකට සිටගැනීම ජාත්‍යන්තරයට කදිම ආදර්ශයක් සැපයූ සිදුවීමක් ද විය.
මුරලිදරන් යනු සැබැවින්ම ජාත්‍යන්තර ක්‍රිකට් ඉතිහාසයේ පුරාවෘත්තයකි. එහෙත් සිය දිගුකාලින ජාත්‍යන්තර ක්‍රිකට් ජීවිතය අතරතුර ඔහු කිසිදිනෙක ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වයට පත් වූයේ නැත. ඇතැමුන් මේ කාරණාව ඉස්මතු කර පෙන්වන්නේ ඔහු මෙරට සුළුතර ජාතියකට අයත් ක්‍රීඩකයකු බව කියමිනි. එහෙත් මුරලි එය දකින්නේ වෙනත් කෝණයකිනි.
බලන්න, මම සමහර වෙලාවට කණ්ඩායමේ නායකයන් එක්ක රණ්ඩු කරගෙන තියෙනවා මට බෝල් කරන්න දෙන්න කියලා. විශේෂයෙන් නම් දැරූ ප්‍රතිවාදී පිතිකරුවෙක් පිටියට පැමිණි වෙලාවට. සමහර වෙලාවට ඔබට ලොකු විශ්වාසයක් ඇතිවෙනවා මේ බැට්ස්මන් මට අවුට් කරන්න පුළුවන් කියලා. ඒත් කැප්ටන්ට වෙන අදහස් තියෙනවා වෙන්න පුළුවන්. ඒ නිසා නායකත්වය කියන්නේ ලොකු වගකීමක්. ඔබට ඔබ ගැන විතරක් නෙවෙයි ටීම් එකේ අනිත් දහදෙනා ගැනත් බලන්න වෙනවා. ඉතින් මම නායකයා වුණොත් බොහෝ විට ආත්මාර්ථකාමී වේවි. තරගය අතරතුර වෙනත් පන්දු යවන්නන් ගැන තැකීමක් නොකර මම විතරක් පන්දු යැවීම දිගින් දිගටම කරන්න ඉඩ තිබුණා. ඒක මානසිකව සිද්ධ වෙන දෙයක්. පන්දු යවන්නා වෙනස් කළ යුතු ද, ඒ වෙනස් කළ යුතු වන්නේ මොන වගේ අවස්ථාවක ද කියලා මට තේරුම් ගන්න බැරි වේවි. ‘ එය නායකත්වය ගැන මුරලිගේ අදහසය.
‘800‘ චිත්‍රපටයේ දිග හැරෙන්නේ මේ අභිමානවත් ශ්‍රී ලාංකිකයාගේ ජීවිතයේ ඔබ නොදන්නා කරුණු ගැන පමණක් නොව, දුෂ්කර අවස්ථාවලදී ඔබ වෙනුවෙන් පෙනී සිටි පුද්ගලයන් වෙනුවෙන් කෘතවේදීත්වය දැක්විය යුතු ආකාරය ගැනත් එහි බොහෝ දේවල් ඇතුළත් ය.
ෆවුස් මොහොමඩ්