ශ්‍රී ලංකාවේ නිල ණය හිමියන් ණය ප්‍රතිව්‍යුහගතකරණය සඳහා මූලික එකඟතාවන්ට පැමිණ තිබෙනවා. මේ ණය ප්‍රතිව්‍යුහගතකරණය සිදු වන්නේ කවදදා?
එකඟතාව ලැබිලා තියෙනවා. මේ මාසය අවසාන වීමට පෙර ඒ කටයුතු නිමා කරගන්නට හැකිවෙතැයි අපි විශ්වාස කරනවා. ප්‍රතිව්‍යුහගතකරණයට ලැබුණ එකඟතාව අපි ලැබූ විශාල ජයග්‍රහණයක්. ඩොලර් බිලියන 8කට ආසන්න සංඛ්‍යාවක් විදේශීය ණය වන අතර, අනෙක් ප්‍රමාණය දේශීය ණය. දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම මේ වන විටත් සිදුවී තිබෙනවා. එය ඉතාමත් අභියෝගාත්මකයි.
අපිට කටයුතු කරන්න වුණේ සම්ප්‍රදායික විපක්ෂයක් සමඟයි. විදේශීය ණය අතරින් බහුපාර්ශ්විය ණය එක් කොටසක් අපි ගෙව්වා. ආසියානු සංවර්ධන බැංකුව, ලෝක බැංකුව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය අපි දිගටම ගෙවාගෙන ආවා. ඒවා ගෙවීම් නවත්වන්න බැහැ. ඉතිරි කොටස ද්විපාර්ශ්වීය අංශය. එහි එක් කොටසක් රටවල් අතර සහ අනෙක් කොටස ස්වෛරි බැඳුම්කරයි.
එයට අවශ්‍ය මූලික පදනම අපි සකස් කරමින් පවතිනවා. ඊට සමඟාමීව අය වැය ලේඛනයේ ඒ සඳහා වූ ණය ගිණුම වෙනස් කර ගැනීමට අවසර ගැනීමට අපි බලාපොරෙත්තු වෙනවා. ණය ප්‍රතිව්‍යුහතකරණය කියන්නේ ඉතා බැරෑරුම් කාරණාවක්. බංකොලොත් රටක ඉතාම අසීරු සංකීර්ණ ක්‍රියාවලියක්. එය අපිට නිමා කරගන්න පුළුවන් වෙයි.
ඉදිරියේදී බංකොලොත්භාවයෙන් රට මුදා ගැනීමට හැකි බව රජය කියනවා. විදෙස් මූල්‍ය සහයෝගය ඇතිව ක්‍රියාත්මක වන ව්‍යෘපෘති සියල්ල නැවත ආරම්භ කිරීමට මුල්‍ය සහයෝගය ලැබෙතැයි ඔබ සිතනවාද?
අනිවාර්යෙන්ම, අපි බලාපොරොත්තු වෙනවා, ඉදිරි මාසයේ මැද වන විට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය වාරිකය සහ ඉන් පසුව මේ ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලියත් සමඟ නව ව්‍යාපෘති ආරම්භ කිරීමට. ඉදිරියේදී දැනට නැවතී ඇති බහු පාර්ශ්වීය සහ ද්විපාර්ශ්වීය ණය ලැබෙයි. විශේෂයෙන් මහමාර්ග, අධිවේගි මාර්ග, ජල විදුලි සංවර්ධන ව්‍යාපෘති ආරම්භ වෙනවා. මුදල් සංසරණයක් ඇති වෙනවා. රැකියා බිහි වෙනවා. ව්‍යාපාරික ප්‍රජාව ණය ගනුදෙනු සිදු කරනවා. කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සියල්ලේම පිබිදීමක් ඇති වෙනවා. එය ආර්ථික පිබිදීමක් මෙන්ම රටක සංවර්ධනය පැත්තෙන් ඉතා වැදගත් තත්ත්වයක්.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දෙවැනි වාරිකය හිමි වුවහොත් ලෝක බැංකුව සහ ආසියානු සංවර්ධන බැංකුව වැනි බැංකු තවදුරටත් මූල්‍ය පහසුකම් ලබාදෙයිද?
ඩොලර් බිලියන 2.9 ප්‍රමාණයකට වඩා අපිට වැදගත් වන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මත ගොඩනැඟෙන ජාත්‍යන්තර මූල්‍ය විශ්වාසයයි. එය ඉතාමත් වටිනවා. පසුගිය වසරේ අප්‍රේල් මාසය වනවිට තාවකාලිකව ණය ගන්න බැහැ කියන දේ ප්‍රකාශ කිරීම තුළින් අපි මුහුණ දුන්න තත්ත්වයත් අපි දන්නවා.
අද අප විශාල ජයග්‍රහණයකට පැමිණ තියෙනවා. අභියෝගය බිඳ වැටුණු රට යළි ගොඩනඟා ගැනීමයි. එහිදී දෙවැනි වාරිකය ලැබුණහොත් අපි පිළිබඳ විශ්වාසය සියයට සියයක් තහවුරු වෙනවා. මෙය අනෙක් ආයතන සමඟ කෙරෙන ගනුදෙනුවලට දැඩිව බලපානු ලබනවා.
ණය පොලිය ගෙවීම සඳහා රටේ මුළු ආදායමෙන් 72%ක් ශ්‍රී ලංකාව වැය කරන බව ලෝක බැංකු වාර්තාවකින් හෙළිවී තිබෙනවා. ශ්‍රී ලංකාවේ සමස්ත ණය ප්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන 91ක් ඉක්මවා තියෙනවා. මෙවැනි රටකට මෙම ණය බර ඔරොත්තු දෙන්නේ නැහැ නේද?
අපිට විශාල ගැටලුවකට මුහුණ දෙන්න සිදුවූ කාරණය එයයි. කෙසේ වුවත් ණය ප්‍රමාණය අපේ රටට ඔරොත්තු දෙන්නේ නැති තැනකට පත්වුණා. ඒ කියන්නේ 2022 වසරේ මැද වන විට රටේ මුළු නිෂ්පාදනය දළ දේශීය නිෂ්පාදිතය 128%ක් වුණා. එය රටකට දරාගන්න අමාරුයි. 128 දරන්න පුළුවන්, එයට සාපේක්ෂව අපිට ගෙවීමේ හැකියාව තිබුණා නම්. නමුත් එය කරන්න අපිට බැරි වුණා. අපි අවුරුදු 75න් 70ක්ම අාදායමට වඩා වියදම වැඩි තත්ත්වයක හිටපු රටක්.
වර්තමානයේ අපේ ඉලක්කය වන්නේ දළ දේශීය නිෂ්පාදිතයට සාපේක්ෂව මුළු ණය ප්‍රමාණය 100%කින් පහළට ගෙන ඒමයි. ඒ ඉලක්කයත් සමඟයි අපි යන්නේ. එයට සාපේක්ෂව ණය පොලී ප්‍රමාණයත් ක්‍රමානුකූලව අඩු කරන්න අපි කටයුතු කර තියෙනවා. අර්බුදය ඉක්මනින් ඉවර කරන්න පුළුවන් තැනක නොවෙයි තියෙන්නේ. එයට කෙටිකාලීන මධ්‍යකාලීන සහ දීර්ඝ සැලසුම් තිබිය යුතුයි.
අය වැයෙන් ජනතාවට ලැබුණු සහන ප්‍රමාණවත් යැයි ඔබ හිතනවාද? අවශ්‍ය සහන නොලැබුණු බවට ජනතා විරෝධයක් තියෙනවා නේද ?
තව සහන දුන්නා නම් හොඳයි. අපි උපරිම සහනය ලබා දුන්නා.
රාජ්‍ය සේවකයන් 13න් ලක්ෂයකට මාසයකට 10,000 බැගින් වැඩි කරනවා කියන්නේ අලුතින් රුපියල් බිලියන 13ක් මසකට වැඩි වෙනවා. අනෙක් පැත්තෙන් හත්ලක්ෂ තිස්දහසකට 2,500 ගාණේ විශ්‍රාම වැටුප වැඩි වුණා.
අප්‍රේල් මාසයේ සිටයි මෙය ආරම්භ කරන්න හිටියේ. නමුත් ජනාධිපතිවරයා අපිව දැනුම්වත් කරලා තිබෙනවා එයින් අඩක්වත් ජනවාරි මාසයේ සිට දෙන්න කියලා. එතුමා මේ ප්‍රශ්න දිහා ඉතාමත් සංවේදීව අවධානය යොමු කරනවා. එපමණක් නොවෙයි ඉඩම් හිමිකම් ඔප්පු හිමිකම් නැති පවුල් ලක්ෂ 20ක් අපේ රටේ ඉන්නවා.
ඉඩම් තට්ටු නිවාසවල ඉන්න පනස් දහසකට නොමිලේ හිමිකම, ලක්ෂ 20කට අස්වැසුම ලබා දෙනවා. අඩු ආදායම් ලාභීන්ට මාසකට 15,000ක්, වකුගඩු සහ ආබාධිත ආධාර 2,500කින් වැඩි වෙනවා. වැඩිහිටි ආධාරය 3,000ක් දක්වා වැඩි කර තිබෙනවා. පොරොත්තු ලේඛනයේ සිටින සියලු දෙනාටම ලබන වසරේ ලබා දෙනවා. මේ වගේ වෙලාවක රජය උපරිම විදිහට කටයුතු කර තියෙනවා කියලා මම හිතනවා.
දිළිඳු ජනතාව පිට බදු බර පටවන බවත් බදු අය කරගත යුතු අය බදු දැලට හසු කර නොගෙන රජය බදු අය කිරීම නිතරම වෙනස් කරන බවටත් විපක්ෂය චෝදනා කරනවා?
ඒවා විපක්ෂයකට තිබෙන බොළඳ චෝදනා. බදු අය කරන්නේ නැතිව රටක් කරන්න බැහැ. සෑම ආණ්ඩුවකම 92% බදු, අනෙක් 08% බදු නොවන අය කර ගැනීම් සිදුවුණේ. අපි මේ වෙලාවේ බදු ගෙවිය හැකි අයගෙන් ලබා ගැනීමටයි මුලින්ම උත්සාහ කරන්නේ. උදාහරණ ලෙස 20% ඍජු බදු, වක්‍ර බදු 80% ලෙස වුණා. මුළු බදු සංයුතිය ගත් විට එය බදු ආදායමෙන් 1 / 5ක් පමණ වෙනවා.
ගෙවීමේ හැකියාව මත අය කරලා තියෙන්නේ 4/5ක් පමණයි.
අනෙක් කොටස ඕනෑම කෙනෙකුගෙන් අය වන ලෙස අය කර ගැනීම් සිදු වෙලා තියෙන්නේ. ඒ 20% මේ වන විට 30% වෙලා තියෙනවා. එයත් අපි ඉදිරියේදී වෙනස් කරනවා.අපි ක්‍රමානුකූලව වැඩි කරනවා. රජය විසින් අධෛර්මත් කළ යුතු සියලු අංශවලට බදු අය කරනවා.
උදාහරණ ලෙස කැසිනෝ ලියාපදිංචියට කෝටි 500ක් අය කරනවා. කැසිනෝ හිමිකරුවෙකුගෙන් 40%ක් අපි අය කර ගන්නවා. අධෛර්මත් කළ අංශවලින් උපරිම බදු අරගෙනයි අපි සාමාන්‍ය මිනිසුන්ගෙන් අය කිරිම් වලට ගිහින් තියෙන්නේ.
අවුරුදු 18ට වැඩි අයට බදු ෆයිල් විවෘත කිරීමේ ප්‍රගතියක් තිබෙනවාද? බදු අය කරන්නේ නැතුව ආණ්ඩුවකට පැවැත්මක් නැහැ?
අවුරුදු 18ට වැඩි සෑම පුරවැසියෙකුටම ලිපි ගොනුවක් දෙනවා කියන එක ගැන බිය විය යුතු නැහැ. එයින් අදහස් වෙන්නේ නැහැ, හැම කෙනෙක්ටම ගෙවන්න වෙනවා කියලා.
ලෝකයේ බොහෝ රටවල හැම කෙනෙක්ම ලියාපදිංචි වෙලා තියෙනවා. ඔවුන්ට හැකි දවසක ඒ ගෙවීම් සිදු වෙනවා. මේ අනුව අපි සමාජයේ පන්ති 14කට බදු ලිපි ගොනු දුන්නා. විශේෂයෙන්ම වෘත්තිකයන්, වෛද්‍යවරු, නීතිඥයන් ඉංජිනේරුවරුන් වැනි අයගෙන් අපි එය ආරම්භ කළා .
රැමිස් හරහා බදු අය කිරීම වර්ධනය කරන බව කිව්වත් රැමිස් තවම නිසි ලෙසින් ක්‍රියාත්මක නැහැ?
මේ ව්‍යාපෘතියත් 2013 සිට ක්‍රියාත්මක කර ගැනීමට නොහැකිව දිගින් දිගටම ආවා. මේ වන විට ඩොලර් ගැටලුවක් නිසා ඇන හිටියා. ජනාධිපතිවරයා මැදිහත් වෙලා ඒ මුදල ගෙවලා රැමිස් ව්‍යාපෘතිය ආරම්භ කරනවා.
බදු ගෙවීමට ඇති විද්යුත්මක ව්‍යාපෘතිය ආරම්භ කරනවා. ගෙවිය හැකි අය නොගෙවීමේ බාධකය ලොකු විසඳුමක් ලැබෙනවා. එහිදී තවදුරටත් ඍජු බදු ගෙවන ප්‍රමාණයේ බර ක්‍රමානුකූලව විශාල වශයෙන් අඩු කරගන්න පුළුවන් වෙයි.
අධික බදු අය කිරීම නිසා වෘත්තිකයන් රට හැර යන තත්ත්වයක් තියෙනවා. ඒ සඳහා විසඳුමක් නැද්ද?
අපි කැසිනෝ, සුරාබදු සඳහා උපරිම බදු අය කරනවා. උපයන විට බද්ධ සම්බන්ධයෙන් ප්‍රශ්න ඇති වුණාට වෙනත් රටවල්වලත් මේ බදු අය කරනවා. ඒ නිසා අපි පුළුවන් පළමුවැනි අවස්ථාවේදී මේ බදු අඩු කළ යුතුයි.
ජනතාවට බරක් නැහැ කියලා නොවෙයි අපි කියන්නේ. ජීවන වියදම, බැංකු පොලිය වැඩි වෙලා බදු බරකුත් ආවාම වෘත්තිකයන්ට අමාරුයි. මුදල් අච්චු ගහන්නත් බැහැ. මෙවැනි අවස්ථාවේදී පවුල් ලක්ෂ 20 ජීවත් වෙන්න රජයෙන් උදවු ඉල්ලනවා. අපි කවුරුත් මේ බර බෙදා ගන්න අවශ්‍යයි. අපි රටක් ලෙස ගැඹුරු ආගාධයකට වැටිලා තියෙනවා. මෙයින් අපි ගොඩ එන්න සියලු දෙනාම සහාය දිය යුතුයි.
සුභද්‍රා දේශප්‍රිය