Home » පාර්ලිමේන්තුව විහිළුවක් නාඩගමක් කරන්න එපා
විපක්ෂ නායකගේ හැසිරීම පාර්ලිමේන්තුවේ රැව් දෙයි

පාර්ලිමේන්තුව විහිළුවක් නාඩගමක් කරන්න එපා

අගමැති දිනේෂ් ගුණවර්ධන

by Mahesh Lakehouse
December 2, 2023 12:30 am 0 comment

පාර්ලිමේන්තුව තුළ හිතුවක්කාරී ලෙස කටයුතු කිරීමට කිසිවෙකුටත් ඉඩ නොදෙන ලෙස අගමැති දිනේෂ් ගුණවර්ධනයන් කථානායක මහින්ද යාපා අබේවර්ධනගෙන් පාර්ලිමේන්තුවේදී පසුගිය 01 දා අවධාරණයෙන් ඉල්ලා සිටියේය.

පාර්ලිමේන්තුව විහිළුවක් හා නාඩගමක් බවට පත් නොකරන ලෙසත් පාර්ලිමේන්තුව රැස්වන සෑම දිනකම උදෑසන නාඩගමක් මෙන් පෙනෙන බවත්, දේවාලයේ නැටුමක් මෙන් මෙය ක්‍රියාත්මක කළ නොහැකි බවත් අග්‍රාමාත්‍යවරයා එහිදී කියා සිටියේය.

මෙම තත්ත්වය යටතේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සියලු දෙනාටම නරක නාමයක් හිමි නොවිය යුතු බවත් මහජන නියෝජිතයින් ලෙස “අපි යන දවසට මෙම ස්ථාවර නියෝග ඉතුරු කර යා යුතු බවද“ අගමැතිවරයා අවධාරණය කළේය.

අගමැතිවරයා මේ බව අවධාරණය කළේ ස්ථාවර නියෝග 27/2 යටතේ විපක්ෂ නායකවරයා ප්‍රශ්න මතු කරමින් ස්ථාවර නියෝග පවා අවභාවිත කරමින් වෙනත් ප්‍රශ්න මතුකරන බවට චෝදනා කරමිනි.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ස්ථාවර නියෝග 27-2 යටතේ ප්‍රශ්න ඇසීමේදී ස්ථාවර නියෝග අවභාවිත කර ඇති බවත් එබැවින් ඒ සම්බන්ධයෙන් කතානායකවරයා තීරණයක් ලබාදිය යුතු බවද අගමැතිවරයා ප්‍රකාශ කළේය.

විපක්ෂ නායකවරයා 27-2 යටතේ නියමිත ප්‍රශ්නය ඇසීමේදී ඒ සමඟම වෙනත් ප්‍රශ්නයක් ඇසූ බවත් එම නිසා කවර ප්‍රශ්නයකට පිළිතුරු දිය යුතු දැයි රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර කථානායකවරයාගෙන් විමසූ අවස්ථාවේදී, ඒ සම්බන්ධයෙන් කරුණු දක්වමින් අගමැතිවරයා මේ බව ප්‍රකාශ කළේය.

ඒ අනුව ලබාදී ඇති 27-2 ප්‍රශ්නයට අමතරව තවත් 27-2 ප්‍රශ්නයක් ඇත්දැයි ඇසූ අග්‍රාමාත්‍යවරයා, කථානායකවරයා මේ ගැන එක් නියෝගයක් ලබාදිය යුතු බවත්, එය හෙට සිට හෝ ක්‍රියාත්මක කරවිය යුතු බවත් අවධාරණය කළේය. කථානායකවරයාට හෝ විපක්ෂ නායකවරයාට අවශ්‍ය නම් ස්ථාවර නියෝග අවභාවිත කළ හැකි වුවත්, ආණ්ඩු පක්ෂයට එසේ කළ නොහැකි බවද, තමන් පාර්ලිමේන්තුවෙන් ඉවත් වන දිනක, අදාළ ස්ථාවර නියෝග අනාගතයට ආරක්ෂා කර දී යා යුතු බවද අගමැති දිනේෂ් ගුණවර්ධන පැවසීය.

ගිනි ගැනීමක් වැනි හදිසි අවස්ථාවක් ගැන විපක්ෂ නායකවරයාට හදිසි ප්‍රශ්න ඇසිය හැකි වුවත්, පාර්ලිමේන්තුව තුළ හිතුවක්කාරී ලෙස කටයුතු කිරීමට කිසිවෙකුටත් ඉඩ නොදෙන ලෙසත් ඔහු කථානායකවරයාගෙන් දැඩි ලෙස ඉල්ලා සිටියේය.

පාර්ලිමේන්තු සම්ප්‍රදාය පිළිබඳව ‘අර්සිකින්‘ විසින් ලියූ පොත වසරින් වසර මුද්‍රණය වන බවත්, වසරින් වසර පිළිවෙත් හා ක්‍රියා පටිපාටි වර්ධනය වෙමින් ගොඩනැ­‌ෙඟන බවත් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන ප්‍රකාශ කළේය.

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන වැඩිදුරටත් මෙසේද කියා සිටියේය.

“ගරු කථානායකතුමනි, රාජ්‍ය අමාත්‍යතුමා අහන ප්‍රශ්නයට, අපි කැමතියි ඔබතුමාට ගෞරවයෙන් පිළිතුරක් දෙන්න කියන්න. 27/2 ස්ථාවර නියෝග යටතේ විපක්ෂ නායකතුමාට වරප්‍රසාදයක් තියෙනවා. ඒ වගේම අනිත් පක්ෂ නායකයන්ට වරප්‍රසාදයක් තියෙනවා. ඒකට කල්දෙනවා හෝ කල් නැතුව හරි සාමාන්‍යයෙන් අමාත්‍යවරයාට දැනුම් දීලා හරි මේ ප්‍රශ්න අහනවා. ඔබතුමා අලුත් ස්ථාවර නියෝගයක් ඇති කර තිබෙනවාද නැද්ද? පාර්ලිමේන්තුවේ මෙහෙම වැඩ කරන්න බැහැ.

මම අගමැතිතුමා ලෙස, ඔබතුමාට පවසන්නේ පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග පිළිබඳ විශාල අර්බුදයක් මතු වී ඇති බවයි. පැහැදිලි ප්‍රශ්නයක් අහනවා, රාජ්‍ය ඇමතිතුමා හා අපිට කල් දීපු 27/2 යටතේ ප්‍රශ්නයට වඩා ඔබතුමා අහලා තියෙන මේ 27/2 ට අතිරේකව මොනව හරි 27/2ක් පිළි අරගෙන තියෙනවද? මම අහන්නේ 27/2 පිළි අරගෙන තියෙනවද? වෙන ප්‍රශ්න නෙවෙයි මම අහන්නේ මම අහපු එකට ඔබතුමා තීරණයක් දෙන්න. රටේ ලෝකෙ ඔක්කොම අහන්න බෑ නේ. අපි 27/2 යටතේ ඔබතුමා පිළිඅරගෙන තියෙනවද නැද්ද? කියන්න අපිට. එක්කෝ ලේකම්ගෙන් අහන්න.

මොකද පාර්ලිමේන්තුව මේ විදියට ගෙනියන්න ගියොත් ගැටලුවක් ඇති වෙනවා. අපිටත් ඉන්නවා එකසිය ගණනක මන්ත්‍රීවරු. මොකක්ද මේකෙ ප්‍රශ්නය? පාර්ලිමේන්තු ප්‍රශ්න 5කට සීමා කරල තියෙනවා,

ප්‍රශ්න වැඩියෙන් අහන්නත් මන්ත්‍රීවරුන්ට අවසර දෙන්න. ඔබතුමා හිතුවක්කාර ලෙස මේ විදිහෙ වැඩවලට ඉඩ දෙන්න එපා. පාර්ලිමේන්තුව විහිළුවක් කරන්න එපා. ඔබතුමාට බලකරනවා මේ අත්‍යවශ්‍ය නියෝග උල්ලංඝනය කරන්න දෙන්න එපා. ඒකයි මෙතන වෙන්නේ. අපි ඔබතුමාට ගරු කරනවා. නමුත් මේ නාඩගමක් වගේ. අද පාර්ලිමේන්තුව උදේ පාන්දරට නාඩගමක් වගේ. මොන ස්ථාවර නියෝග යටතේ ද ඔබ අහන්නේ ? ඔබ අහන්නේ මොකක්ද? 27/2 යටතේ. ඒක විතරක් අපිට උත්තරයක්, තීරණයක් දෙන්න.”

රාජ්‍ය ඇමතිතුමා අහන්නේ ස්ථාවර නියෝග 27/2ක යටතේ අනුමත කරලා එවලා තිබෙන ප්‍රශ්නය’

මෙතන ඕන ඕන විදියට නාඩගම් කතා කරන්න බැහැ. මේ පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝගයක් යටතේ කටයුතු කරන්න පුළුවන්. කතානායකතුමාටත් ඕනේ නම් ස්ථාවර නියෝග අවභාවිතා කරන්න පුළුවන්. (විපක්ෂ නායකතුමාට) ඔබතුමාටත් පුළුවන් ඕන්නං අවභාවිතා කරන්න.

ඒ නිසා ඔබතුමාගෙන් මම ගෞරවයෙන් ඉල්ලනවා, එක Order එකක් දෙන්න. ඒ order එක අද සිට, හෙට ඉඳන් වුණත් කමක් නෑ. Give the order. මේ 27/2ට අතිරේකව ‘27/2කවල්‘ තියෙනවද? මන්ත්‍රීතුමා අහන්නේ මේකයි.

ස්ථාවර නියෝග අවභාවිතා කර ඇති බවට දැන් ඔබතුමා ප්‍රකාශයක් කරා. දැන් එතනින් පස්සේ මොකක්ද? හෙට ඉදලා නැද්ද? එතුමාට අහන්න පුළුවන් 10. අපි 10න් 1යි උත්තර දෙන්නේ. ප්‍රශ්නයක් නෑ අපිට මොන තරම් ලියලා එව්වත් 10න් 1යි අහන්නේ. එහෙම නැත්නම් හෙට දාන්න.

මම මේ විසඳුමක් අහන්නේ හැමදාම උදේට ඇති වී තිබෙන මේ දේවාලයේ නැටුම. මේක දේවාලයක් කරන්න එපා. පාර්ලිමේන්තු උත්තරීතර බව අපි රැකලා තියෙනවා. අපි එහා පැත්තට ගිහිල්ලා තියෙනවා. මෙහා පැත්තට ඇවිල්ලා තියෙනවා. ඒ නිසා නොඉවසීමෙන් තණ්හාවෙන් දේශපාලන බලයට හැසිරෙන්නේ නැතිව ඉවසීමෙන් පාර්ලිමේන්තුව අනුගමනය කරන පිළිවෙත් අනුගමනය කරන්න ඕන අපි.‘

 විපක්ෂ නායකතුමාට ලබා දී ඇති

වරප්‍රසාදය අවභාවිත කරලා

– කථානායක

කථානායක මහින්ද යාපා අබේවර්ධන – අපි දිනට නියමිත කටයුතු කරමු. විපක්ෂ නායකතුමාට ලබාදී ඇති වරප්‍රසාදය අවභාවිත කර ඇතිබවයි මටත් හැගෙන්නේ. ඒ තත්ත්වය වළක්වන්න අපි කටයුතු කරමු. ඒ වෙනුවෙන් අවශ්‍ය ස්ථාවර නියෝග සංශෝධනය අපි නුදුරේදීම පටන් ගන්නවා.

විපක්ෂනායක සජිත් ප්‍රේමදාස –

මේ රටේ ආර්ථිකය ගොඩනැඟීම සඳහා වැඩපිළිවෙලක් ඉදිරිපත් කර තිබෙනවා. මම කතා කළේ රාජ්‍ය ආදායම වැඩිකර ගැනීම ගැන.

අමාත්‍ය ශෙහාන් සේමසිංහ –

නිලධාරීන් විමර්ශන ආරම්භ කර ඇති කාරණා ගැන කතා කරලා වැඩක් නැහැ. ප්‍රශ්න මතු කරලා වැඩක් නැහැ. විමර්ශන ආරම්භ කර නැති දේවල් ගැන කතා කරන්න. නිලධාරීන් ආරම්භ නොකර තිබෙන දේවල් ගැන කතා කළාට කමක් නැහැ. මේ පාර්ලිමේන්තුවේ කාලය නාස්ති කරන එක තේරුමක් නැහැ. ඇමතිවරු ලෙස අපට සිදුවෙනවා, මේවට උත්තර දෙනවද කියලා කල්පනා කරන්න.

 විපක්ෂ නායකගේ භූමිකාව අප ඉගෙන ගත්තේ බණ්ඩාරනායක

මැතිනියගෙන්

– ප්‍රවාහන, මහාමාර්ග, හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන

‘කථානායක තුමනි, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 148 වගන්තියට අනුව අපි රාජ්‍ය මූල්‍ය පිළිබඳ වැදගත් විවාදයක් මේ පවත්වන්නේ. අපේ රටේ 1989 පාර්ලිමේන්තුව තිබෙන කාලයේදී විපක්ෂ නායක ලෙස කටයුතු කළේ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියයි.

අපි විපක්ෂනායකවරයකුගේ භූමිකාව පිළිබඳව චමල් රාජපක්ෂ, ලක්ෂ්මන් කිරිඇල්ල ඇතුළු අපි ඉගෙන ගත්තේ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගෙන්.

යම් කිසි දවසක මේ සභාවේ ප්‍රශ්නයක් මතු කරනවිට ආණ්ඩුවත් විපක්ෂයත් ඇතුළු සියලු දෙනා මේ සභාවේ පිරිලා හිටියා. ඒ තරම් ජාතික වැදගත් කමකින් යුතු ප්‍රශ්නයක් තමයි එතුමිය විපක්ෂ නායක ලෙස මතු කළේ. එහිදී 27/2 යටතේ විපක්ෂ නායකවරු කටයුතු කර ඇති ආකාරය හැන්සාඩ් වාර්තාවේ තිබෙනවා.

අපි ඉතාම කරුණාවෙන් විපක්ෂ නායකතුමාගෙන් ඉල්ලා සිටින්නේ පැවැති උතුම් සම්ප්‍රදාය දිගටම ගෙනයාම සඳහා මැදිහත් වෙන්න. ඒ තුළින් සභාවේ වැඩකටයුතු කරගෙන යාම සඳහා වැඩි කාලයක් ඉතිරි වෙනවා.‘

ස්වර්ණා විජේකෝන් සහ සන්ධ්‍යා කරුණාරත්න

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division