ආචාර්ය විසාකේස චන්ද්‍රසේකරම් මෙරට සිනමාව තුළ යළිත් මහා සංවාදයක් උපදවා ඇත. පසුගිය දා පැවති ජනාධිපති සම්මාන උලෙළේ 2020 වසරේ ‘පාංශු‘ චිත්‍රපටය සඳහා හොඳම සිනමා අධ්‍යක්ෂණය වෙනුවෙන් ජනාධිපති සම්මාන ලාභී මහේශාඛ්‍ය සිනමාකරුවා ඔහුය. 2020 වසරේ හොඳම නිළිය ලෙස නීටා ප්‍රනාන්දු සම්මානය ලබන්නී පාංශු චිත්‍රපටයේ කළ භූමිකාව වෙනුවෙනි. හොඳම නැඟී එන නළුවා ලෙස ශේවියර් කණිෂ්ක සම්මානයට පාත්‍ර වන්නේ ද පාංශු චිත්‍රපටය වෙනුවෙනි. යුග තුනක් එකම චිත්‍රපටයක දී ජනාධිපති සම්මානයෙන් සම්මානිත වී ඇත.
අන්තර්ජාතික තලයේ දි ප්‍රහර්ෂවත් ඇගැයීමකට ලක්වන ඔහුගේ නවතම සිනමා කෘතිය “මනල් Munnel”ය. රොටඩෑම් උලෙළේ ජූරියේ සම්මානය, බැංගලෝර් සිනමා උලෙළේ දෙවැනි හොඳම චිත්‍රපටයට හිමි සම්මානය, ඉමැජින් ඉන්දියා සිනමා උලෙළේ හොඳම චිත්‍රපටයට හිමි සම්මානය, අමරිකාවෙ සියැටල්වල පැවති ටස්වි ආසියානු සිනමා උලෙළේ ප්‍රේක්ෂක සම්මානය හා ශ්‍රී ලංකාවේ දෙරණ සිනමා උලෙළේ ‘සිනමා ඔෆ් ටුමෝරෝ‘ සම්මානය මේ වනවිට මනල් කෘතිය හිමි කරගෙනය. මෙම සිනමා කෘතියෙහි සීමිත දර්ශන වාර ප්‍රමාණයක් තෝරාගත් සිනමාශාලා කිහිපයක ඉකුත් 3 වන දා සිට ප්‍රදර්ශනය වීම ආරම්භ වුණේය.
මනල් චිත්‍රපටයට පාදක වී ඇත්තේ යුද්ධය අවසානයේ සිරභාරයෙන් නිදහස් වෙන දෙමළ අරගලකරුවකු තම අතුරුදහන් වූ පෙම්වතිය සොයා යන කථාවකි. දෙමළ භාෂාවෙන් පැයකුත් විනාඩි 42ක් පුරා දිවෙන සිනමාපටය සිංහල සහ ඉංග්‍රීසි භාෂාවලින් උපසිරැසි ගන්වා ඇත. ආයාසකර නිර්මාණ කාර්යයකින් පසු එළිදැක ඇති ලෝක සම්භාවනාවට පත් ‘මනල්‘ සිනමා කෘතිය පිළිබඳ විසා සමඟ කෙටි පිළිසඳරක් ගොඩනඟා ගන්නේ එම කෘතිය පිළිබඳ උපන් ආනන්දනීය හැඟීමකිනි. විසාට අනුව මනෙල් පිටපත ලියැවෙන්නේ වසර 15කට පෙරය.
“පටන් ගත්ත තැන හරියට මතක නෑ. ඔළුවට එන්නේ පොඩි රූප රාමු ටිකක්. ජන ශූන්‍ය වෙච්චි තැනක්… හුදකලා වුණු අම්මෙක් සහ පුතෙක්…. මුලින්ම ඒක ලියැවෙන්නේ වේදිකා නාට්‍ය පිටපතක් විදිහට. පස්සේ විටෙන් විට සංස්කරණය කරමින් තමයි චිත්‍රපට තිර පිටපතක් දක්වා කෘතිය සංවර්ධනය වෙන්නේ.
මේ චිත්‍රපටයේ චරිත ගොඩ නඟන්නේ මගේ ජීවිත අත්දැකීම්වලින්ම ලබපු පරිචයෙන්. නීතිඥවරයෙක් විදිහට මගේ වෘත්තීය ජීවිතය පටන් ගනිද්දී මම උසාවියෙදි දැකපු දෙයක් තියනවා. ඒ වකවානුවේ අත්අඩංගුවට පත්වෙන උතුරේ තරුණ දරුවන් සොයාගෙන කොළඹට එන්නේ ඒ දරුවන්ගේ අම්මලා. ඊට හේතු වුණේ, එක්කො ඒ දරුවන්ගේ තාත්තලා නෑ… නැති නම් ඒ තියන තත්ත්වයත් එක්ක උතුරෙ ඉඳන් කොළඹට පිරිමි කෙනකුට එන්න බෑ. මට එහෙම හමුවුණු අම්මලාගෙන් කෙනෙක් තමයි මේ කතාවට මුල්ම වස්තු බීජය සපයන්නේ. ඇයට තව ප්‍රධානම කොටස එකතු වෙන්නේ මුලතිව්වලදී මට හමුවෙන දේව වරමකින් සාස්තර කියන අම්මා කෙනෙකුගේ චරිතය. ඒ චරිතයත්, උසාවියේදී තමන්ගේ දරුවා හොයාගෙන ආපු මවගේ චරිතයත් එකතු වෙලා තමයි චිත්‍රපටයේ මවගෙ භූමිකාව කරන ‘සෙල්ලම්මා‘ නිර්මාණය වෙන්නේ.
‘රුද්‍රන්‘කියන තරුණයාගේ චරිතයට අදහස එන අවස්ථාව මට මුණගැහෙන්නෙත් උසාවියෙන්. ඒ දවස්වල මම නීති විද්‍යාලයෙන් ඉවත් වෙලා මාස හයක්වත් නැති තරුණ නීතිඥවරයෙක්. නඩුවකට කතා කරන්න තියෙන අවස්ථා අඩුයි. එත් මට අවස්ථාවක් ලැබුණා. ඒ තමයි මගේ මුල්ම නඩුව. අත්අඩංගුවට පත්වුණු දෙමළ තරුණයෙක් වෙනුවෙනුයි මා පෙනී සිටියේ.
පළවෙනි දවසේ පළවෙනි ට්‍රයල් එකේම මම නඩුව කඩා ගන්නවා. ඒ තරුණයටත් විශ්වාසයක් තිබිලා තියනවා එදා ඔහු නිදහස් වේවි කියලා. ඔහු බෑග් එක පැක් කරගෙනමයි හිරේ ඉඳලා එන්නේ. ඒක සාමාන්‍යයෙන් වෙන්නෙ නැති වැඩක්. මේ අත්දැකීම් තමයි ‘රුද්‍රන්‘ චරිතය ගොඩනඟන්න පාදක වෙන්නේ. ‘රුද්‍රන්ගේ‘ පෙම්වතිය ‘වානි‘ කියන්නේ ලිංගිකව සූරා කනු ලැබූ වින්දිත තරුණියක්. ‘වානි‘ වගේ තරුණියක් මට මගේ වෘත්තීය ජීවිතය ඇතුළෙ හම්බවෙලා තිබුණා. ඇය සුමානයකට වැඩිය එක දිගට දූෂණය වෙනවා. ඇයගේ මුහුණෙ සිනාවක් නෑ. අතීත සිද්ධියෙන් නොමැකී ගිය කම්පනය ඇය තුළ තිබුණා. ඒ ගැන සිහිවන වාරයක් පාසා ඇය ඉකි ගසමින් හැඬුවා. ඇයට අනාගතයක් සම්බන්ධව පුංචි හෝ බලාපොරොත්තුවක් නෑ. මේ ප්‍රධාන චරිත ඔස්සේ තමයි කතාව ගලාගෙන යන්නේ.“
‘පාංශු‘ සහ ‘මනල්‘යන නිර්මාණ ද්විත්වයේම ‘මවගේ‘ භූමිකාව ප්‍රබල ලෙස රූපණය වන්නේය. ‘අම්මා‘ මේ තරම් ගැඹුරින් මතු කිරීමට දරන උත්සාහ පිළිබඳ විසාවෙත ඇසිය යුතුම විය..
“එයට ප්‍රධානම හේතුව වෙන්න ඇත්තෙ මගේ අම්මා ගැන තියෙන සමීපත්වය සහ ඇයට මා දක්වන විශේෂ ගෞරවය. මගේ අම්මා මට හරිම විශේෂයි. ඇය දුක් වින්දත් හරිම රැඩිකල් තීන්දු ගත් ගැහැනියක්. ඒ කාලෙ හැටියට දෙමළ මනුස්සයෙක්ව කසාද බැඳලා ඒ නිසාම සමාජයෙන් ආපූ විශාල ප්‍රශ්න ප්‍රමාණයකට ඇය ඉතාම සෘජුව මුහුණ දුන්නා. මට කෙනෙක් හොඳයි කියනවා නම් ඒ හොඳයි කියන දේ එන්න ඇත්තේ මගේ අම්මගෙන්…ඒ වගේම මගේ පෞරුෂ ස්වභාවය ඇය පිළිගත් විදිහ.. ලෝකයේ ලිබරල් රටවල පවා එවැනි කාරණාවකදී අම්මලා ඇතුළේ මහා සංස්කෘතික කම්පනයක් ඇති වෙනවා. ඒත් ගමේ ගොඩේ හැදුනු මගේ අම්මා මාව වටහා ගත්තේ හරිම පරිණත මානුෂීය විදිහට.“
අන්තර්ජාතික සම්මාන දිනූ මෙම නිර්මාණය ගොඩනැඟෙන්නේ නවක පිරිසක් වුවද උනන්දුවක් සහ හැදෑරීමක් කිරීමේ අභිලාෂයෙන් පසුවන තරුණ පිරිසක් සමඟයි. ඒ ගැන විසාට ඇත්තේ මෙවැනි අදහසකි.
“චිත්‍රපටයට රංගනයෙන් දායක වීමට උතුරින් පමණක් නෙමෙයි, කොළඹින්, කඳුකරයෙන් දෙමළ කතා කරන ශිල්පීන් ආවා. ඔවුන්ගෙන් ඇතැමෙක් ප්‍රථම වතාවට කැමරාවට රඟපෑම් ඉදිරිපත් කළ අය. නමුත් ඔවුන් මා එක්ක වැඩ කරන්නේම මගේ නිර්මාණ අධ්‍යයනය කරලා. චිත්‍රපටයට දායක වූ ඇතැම් ශිල්පීන් යුද්ධයේ සෘජු වින්දිතයන්. ‘වානි‘ ගෙ චරිතය කරන්නේ 2009 වසරේ නන්දිකඩාල් කලපුව තරණය කොට දිවිගලවා ගත් තරුණියක්. එතකොට ඇය ගොඩක් පුංචියි. ප්‍රධාන නළුවගේ ගෙදර යුද්ධය නිසා පාද අහිමි වූ දෙන්නෙක් ඉන්නවා. අම්මාගෙ චරිතය රඟපාන්නේ කොළඹ කෙනෙක් වුණට ඔවුන් කොළඹ තිබුණ වාර්ගික කෝලාහලවලදි වදවින්ද අය. ඒ වගේම මේ කණ්ඩායම ඉතා ඉහළ අධ්‍යාපනයක් සහිත, වැඩේ තමන්ගේ වැඩක් ලෙස කල්පනා කරලා හැදෑරීමක් සහිතව වැඩ කරපු තරුණ පිරිසක් වීම නිසයි මේ තරම් ඉහළ තලයකට මේ නිර්මාණය ගේන්න සමත් වුණේ.”
අවසාන වශයෙන් ඔහුව විමසමි. මෙතෙක් ඔහුගේ නිර්මාණවලට පාදකවන යුද්ධයෙන් එපිට වෙනත් දිශානතියක නිර්මාණයක් දැක ගත නොහැක වේවිද.
“දැන් යුද්ධය ගැන මම කළ නිර්මාණ ඇති. මා ලංකාවේ මේ ඛේදවාචකය ගැන හැදෑරුවා. ඒ අත්දැකීම් සහිත ශාස්ත්‍රීය කාරණා එක්ක ආචාර්ය උපාධියක් කළා. සිනමා කෘති දෙකක් නිර්මාණය කළා. මගේ ඊළඟ නිර්මාණය මිනිස්සුන්ට යහපත් සමාජයක් සඳහා බලාපොරොත්තුවක් දෙන නිර්මාණයක් වේවි.“ විසා කියන්නේය.
ටානියා මෝසස්