එදා මාටින් ගුරුන්නාන්සේ සමඟ සිදුකළ කතාබහ ප්‍රසන්නය. දෙවියන් ගැන මගේ සිතේ තිබුණ පොඩි පොඩි වැරදි අදහස් බොහෝමයක්ම ඒ කතාබහ නිසා දුරු වූ බව දැනේ. විශේෂම දෙය නම් ශක්තිය, පදවිය සහ අධිපතීත්වය වෙනස් වීම තේරුම් ගැනීමය. විෂ්ණු යනු විශ්ව ශක්තියයි. එයට අධිපති වන්නේ කිසියම් කෙනෙක්ද ඒ විෂ්ණු දෙවි වේ. විෂ්ණු පදවියට පත් වන ඒ වාසනාවන්ත දිව්‍ය පුත්‍රයාගේ ඒ භවයෙහි කර්ම විපාක අහෝසි වන කලට විෂ්ණු පදවියට සුදුසු වෙනත් දිව්‍ය පුත්‍රයකු එහි එනු ඇත. හේ බෝධි සත්ත්වයෙකු වීම විශේෂිතය. මේ ආදී වශයෙන් දෙවියන් සම්බන්ධව මාටින් ගුරුන්නාන්සේ සමඟ සිදු කළ කතාබහ සුවිශේෂ බව මට හැඟී ගියේය.
සඳමාලි සමඟ මම මේ සියල්ල පවසමි. ඒ ඇය ඒ දේවල් ආශාවෙන් අසා සිටින බැවිනි. අනෙක් අතට මා අගය කරන විෂයන් ඇයද අගය කරනු ලැබීම සහ විචාරය කිරීම දෙදෙනාටම ඥාන වර්ධනය පිණිස හේතු වන බැවිනි. මා විෂ්ණු දෙවියන්ගේ කතාව ඇයට පැවසිමී. ඇය ශිව දෙවියන් ගැන මගෙන් ඇසීය. මා එදා ගුරුන්නාන්සේගෙන් ශිව දෙවියන් පිළිබඳවද තතු විමසිමී.
ශිව නම් ශුද්ධාර්ථය සමහරු “ශිව” අර්ථයෙන් මිනී අළුවලට ඒ නම පවසන බව ඔහු කීවේය. කෙසේ වෙතත්,
“සබ්බේ සත්තාච භූතාච හිතාච අහිතාච මේ
අනුමොදිත්වා ඉමං පුඤ්ඤං මොධනතු ශිවං පදං”
යන ගාථා පාඨයෙන් කියැවෙනුයේ හිතවත් අභීතවත් සියලු සත්ත්වයෝ මේ පින අනුමෝදන්ව නිවනට පැමිණෙත්වා යන්නයි. එහි ශිව පාදය නිර්වාණයට පර්යාය පදයක් සේ යොදා තිබේ.
ශිව ලිංගය පිළිබඳවද තතු එසේ අවබෝධ කර යුතුය. ‘ලිංගය’ නම් ලකුණයි. එවිට එය ශුද්ධ වූ ලකුණ වේ. “සඳමාලිට හිතෙන්නෙ නැද්ද අද අපි මේ දකින චෛත්‍යයේ ඉතාමත් ප්‍රාථමික අවස්ථාව ශිව ලිංගය කියලා. වර්තමානයේ එක එක සංස්කෘතීන්වල ආගම්වල විවිධ අර්ථයෙන් ශිව ලිංගය වන්දනාමාන කළත් වේදාන්ත මුල් දර්ශනය අනුව ශිව කියන්නෙ ඥානයට. මේ ඥාන මාර්ගය සඳහායි ශිව වන්දනා කළ යුත්තේ. ඉතින් අපේ චෛත්‍ය සංකල්පය සහ ඒ අතර යම් සම්බන්ධකමක් තියෙන බව පේනවා. කොහොම නමුත් අද බෞද්ධයන්වත්, දේව භක්තිකයෙකුවත් ඥාන මාර්ගයේ යන බව නම් පෙනෙන්නේ නැහැ. මට තේරෙන විදිහට නම් සඳමාලි මේ දෙකේ වෙනස ශිව භක්තිකයෝ ආත්ම සංකල්පයේ තදින් ගිලගෙන ඉන්නවා. බෞද්ධ දර්ශනය තුළ එය අනාත්ම සංකල්පයක් වශයෙනුයි තියෙන්නෙ. මේ දෙක තේරුම් ගැනීමට ලේසි පහසු වුණානම් බුදු කෙනෙකු උපදින්නට කල්ප ගාණක් යන්නේ නැහැනේ.“
“ඔව් ඒක ඇත්ත” ඇය මා සමඟ එකඟය. මාහට විශේෂ පාඩම් කීපයක් ලබාදෙන නිසා ඊට සූදානම් කරනු පිණිස මේ කතාබහ සිදු කළ බවත් මා විසින්ම අදාළ මාතෘකාව සාකච්ඡාවට බඳුන් කළ බවත් ගුරුන්නාන්සේ පවසන ලදී. මා සූර්ය නමස්කාරය නිතිපතා කරමි. ගුරුන්නාන්සේ එය අගයකොට මෝර පිරිත භාවිතයේ වටිනාකම ද පැහැදිලිකර දුන්නේය.
“මහත්තයා ඔය කොයි ශක්තියත් ඉර – හඳ දෙන්නාගෙන් තමා අපට ලැබෙන්නේ.“ මාටින් ගුරුන්නාන්සේ හඬ ගැඹුරු කර කී හැටි මට මැවී පෙනේ. අපේ ග්‍රහ වළල්ලේ ඈතින්ම ඉන්නේ සෙනසුරු අපට ළඟින්ම ඉන්නෙ චන්ද්‍රයානේ. ඒත් ගොඩක් බලපෑම් අපට එන්නෙ හෙනහුරා නිසාම තමයි. ඒක වෙන්නෙ කොහොමද කියල ජ්‍යොතිෂය ඉගෙනගන්න කොට මහත්තයට තේරෙයි. එතකන් සෙනසුරු ස්තෝත්‍රය නිතර භාවිත කිරීම කොයි කාටත් වරදක් නැහැ. ඔහුගේ එම කතාව සඳමාලිට මතක් කර දී සෙනසුරු ස්තෝත්‍රය සඳමාලිට ද ලබා දිමී.
“නීලාංජන සමාභාෂං – රවිපුත්‍ර යමාග්‍රජම්
ඡායා මර්තංඩ සමභූතං – තං නමාමි ශනෛශචරම්”
ඔය ස්තෝත්‍රයේ අවසන් කොටස ගොඩක් අය වරදවා කියන්නෙ ඇයි කියල දන්නෙ නෑ. අන්තිම පදය “ශනෛශ්චරම්” ඒත් ඒක ශනෛශ්වරම් කියලයි ගොඩක් අය කියන්නෙ. චයන්න, වයන්න කරගෙන. එතන කියන්නෙ හිමින් ගමන් කරන්නා යන අර්ථය. “චරණය” කියන අර්ථය. මාටින් ගුරුන්නාන්සේගේ පැහැදිලි කිරිම් හොඳට මතක හිටී. මම සඳමාලිටද ඒවා ඒ අයුරින්ම පවසමි. සඳමාලි මගෙන් ඇසුවේ අමුතු ප්‍රශ්නයකි. “සෙනසුරුට සෙමින් ගමන් කරන ග්‍රහයා කියන්න ඇත්තේ ඇයිද දන්නෙ නැහැ” මට ඒකට පිළිතුරක් නැත. ඊළඟ දවසේ ගුරුන්නාන්සේගෙන් එය විමසිය යුතු යැයි සිතුවෙමි. ඒ වගේම සඳමාලි ඊළඟට කී දෙයද ඉතා වැදගත් බව අමුතුවෙන් සිතිය යුතු නොවේ. “අපේ වෙඩින් එකේ කටයුතුත් ඔය අතරේ බලනව නේද ඔයා” ඇය කීවේ පොඩි නොක්කාඩු මුහුණක් සහ සිනහවක්ද පාමිනි.
නැකත් සීට්ටුව හදන්නට ගුරුන්නාන්සෙට භාර දුන් බව ඇය දනී. එය තව සතියකින් හමාරකින් මා අතට පත්වන බව මම කී පසු ඇය සුන්දර සිනහවකින් මට සංග්‍රහ කළාය.