ග්‍රහ මණ්ඩලයේ මවු සඳුය. මේ සඳුගේ ළෙන්ගතුකම ගැන කතා කිරීමට ප්‍රථම අපි සඳුගේ ස්වභාවය ගැන මඳක් කරුණු විමසා බලමු. චන්ද්‍ර දිව්‍ය රාජයා ලෙස භාවිත කරන නමුත් ග්‍රහ ලෝකයේ මාතාව හෙවත් අම්මා ලෙස සලකනු ලබන ස්ත්‍රී ග්රහයෙකු ලෙස සඳු හඳුන්වාදිය හැකිය. විශේෂයෙන් චන්ද්‍රයාගේ චපල ගතිය නිසා එසේ ගණන් ගැනීම යුක්තිසහගතය. මෙතරම් වෙනස් වන ග්‍රහයෙක් නොමැත. දිනපතා සඳුගේ ශරීරය වෙනස් වන බව අපි කවුරුත් දන්නා කරුණකි. නමුත් මේ අයුරින් සිතිවිලි ගතිගුණ ක්‍රියාවලිය වෙනස් වන බව දන්නේ ජ්‍යොතිෂවේදීන් පමණි.
මා මේ ලිපියෙන් පෙන්වා දීමට අදහස් කරන්නේ ඔබගේ කේන්දරයේ ඒ රාශිවලදී සඳු සිටීම අනුව ඔබට ලැබෙන ගුණඅගුණ පිළිබඳ සරල විග්රහයකි.
මේ සඳු හෙවත් චන්ද්‍රයා අව පක්ෂයේදී පාප ග්රහයෙකු ලෙසත් පුර පක්ෂයේදී සුබ ග්රහයෙකු ලෙසත් සැලකේ. සඳුගේ පුර පක්ෂය හා අව පක්ෂය තේරුම් යනු මෙලෙසිනි. පසළොස්වක පෝය දෙපස දින 05 බැගින් දෙපැත්තට පුර පක්ෂයට අයත් වේ. ඉතිරි දින 10 මධ්‍යම ලෙසත් මාස පෝය දිනයේ සිට දින 05 බැගින් දෙවැන්නට අව චන්ද්‍රයා ලෙසත් හැඳින්වේ. උදාහරණයක් සඳහන් කළහොත් පසළොස්වක පෝය 20 නම් පුර පක්ෂයේ 15 – 25 අතර දින අයත් වේ. සෙත්කවි ආදිය කියවීම මේ කාලය තුළ සිදු කළ යුතුයි.
දහවල් කාලයේ උපදින අයට සඳුගෙන් ලැබෙන ළෙන්ගතුකම හෙවත් බලය අඩුය. රාත්‍රී කාලයේ උපන් අයට සඳුගෙන් ලැබෙන බලය වැඩිය. චන්ද්‍රයා බලවත් වන්නේ කටක හා වෘෂභ රාශිවලය. නීච වන්නේ වෘශ්චික රාශියේදීය. කිසියම් කේන්දරයක සඳු උච්ඡ හා ස්වක්ෂෙත්ර වූ විට සුබ පල ලැබෙයි. බොහෝ දෙනා එසේ සිතුවද එය වැරදි වන අවස්ථා ඇත. මේ අයුරින් සඳු බලවත් කේන්දරවල සඳු මහා දශා, අතුරු දශා කාලවලදී තමාට හිතවත් ඥාතිවරියකගේ මවගේ සහෝදරියගේ, නැන්දා, කුඩම්මා ආදීන්ගේ මරණ මේ කාලවලදී සිදුවීමට ඉඩ තිබේ. මේ අනුව සඳු උච්ඡ වීම (බලවත් වීම) ලෞකික වශයෙන් අශුභ පල දෙන පිහිටීමකි. නමුත් මේ පිහිටීම ලෝකෝත්තර දියුණුවට නම් ඉතාම හොඳය.
මේ අනුව සඳු බලවත් වන අයගේ තණ්හාව/ක්‍රෝධය/මානය/ඊර්ෂ්‍යාව/උඩඟුකම ආදී අකුසල ධර්මතා දක්නට නොමැත. සඳු උච්ඡව සිටින අයට මේ කාලවලදී නව යානවාහන/ඉඩකඩම්/තනතුරු පවා අහිමි වීමට හේතු වේ. මෙලොව වශයෙන් සඳු නීච වීම (සඳු නීච වන්නේ වෘශ්චික රාශියේය) ඉතාම හොඳ පිහිටීමකි. මෙවන් අය මෙලොව වශයෙන් උසස් දියුණුව ලබන අය වේ.
අපි දැන් රාශි චක්‍රයේ ඒ ඒ රාශිවල භාවවල සඳු සිටීමෙන් කේන්දර හිමියාට හොඳ නරක හෙවත් ළෙන්ගතුකම ලැබීම/නොලැබීම ගැන කරුණු සොයා බලමු.
1. ලග්නයේ සඳු – කිසියම් කේන්දරයක ලග්නයේ හෙවත් එකේ සඳු සිටීම යහපත් නොවන බව සඳහන් කිරීමට පිළිවන. විශේෂයෙන් ලග්නයේ හැර සෙසු රාශිවල සඳු සිටීම සුබ බව සඳහන් කරනු කැමැත්තෙමි.
සඳු ලග්නයේ සිටින අයගේ ලෞකික දියුණුව අඩුය. කිසියම් දෙයක් ගැන ඕනෑවට වඩා සිතයි. දුර දැක්ම වැඩියි. සිතින් මවාගෙන ප්‍රවේශමෙන් ජීවත්වීමට උත්සාහ ගනී. චංචල ගතියද වැඩිය. එය ලෞකික දියුණුවට බාධාවකි. නමුත් සඳු/ශනි සංයෝග වී සිටියහොත් මේ ස්වභාවය තරමක් වෙනස් වීමට ඉඩ තිබේ.
2. දෙවැන්නේ සඳු සිටීම – දෙවැන්නේදී චන්ද්‍රයාගේ ගුණ අගුණ දෙකම දක්නට ලැබේ. නමුත් ගුණ හෙවත් සුබ පල වැඩිය. සඳු දෙවැන්නේ සිටින අයගේ විවාහ ජීවිතය සාර්ථකය. පවුලේ සැමට බොහෝ හොඳ ඇල්මක් තිබේ. අඹුදරු ආදීන්ට ප්‍රියයි. තමාට අන් අයද එසේමය. මවුටද ඉතාම හිතවත්ය. හිතවත්කම් දක්වන අයද වැඩිය. ධනය අතින් විශාල ධන යෝගයක් නැතත් මුදල්වලින් අගහිඟකම් නොමැත. ඕනෑකමට කොහෙන් හෝ මුදල් ලැබේ. දුටුවන් ප්‍රිය කරන සෞම්‍ය මුහුණක් ඔවුන්ට තිබේ. බොරු වාචාල කතාවලට නොයයි. කේන්දරයේ 2වැන්නේ සඳු සිටින අයට සඳු මහා දශාව, අතුරු දශාව, විවාහය සඳහා ඉතාම සුබ කාලය වේ.
3. තුන්වැන්නේ සඳු සිටීම – කේන්දරයේ 3 වැන්නේ සඳු ඉතාම සුබ පල ගෙන දේ. මෙය ඉතා හොඳ ඥාන යෝගයක්ද වේ. ශරීරය ලස්සන වේ. මෙවැනි අයගේ කාමාශාව අධික වන අතර හිසේ රෝග/සෙම් රෝග ආදිය හට ගැනීමට හේතු වේ. පවුලේ සහෝදර සහෝදරියන් සමඟ ඉතා හොඳ සමීප සම්බන්ධතා පවත්වන අතර අන් අයගේ සම්බන්ධතා ද තමාට නිතැතින්ම ලැබේ.
4. හතරවැන්නේ සඳු සිටීම – සඳු 4වැන්නට ඉතාම සුබය. සිතේ තද කමක් නොමැත. සමහරු මේ අයට චපලයෝ යැයි කියති. ජීවිතයේ අග කොටසේදී සුවිසල් මන්දිරයක ජීවත්වීමට භාග්‍ය ලැබේ. (හොඳ නිවසක් ලැබේ.) විශේෂයෙන් සඳු නීචව 4 වැන්නේ සිටි විට ලෞකික දියුණුවට හේතු වේ. ඉඩකඩම්, යානවාහන මිලදීගෙන තම ඥාති වර්ගයා සමඟ සුහදව ජීවත්වීමට මේ අයට භාග්‍ය ලැබේ. තම මවට වැඩි ඇල්මක් දක්වන අතර තමාට ද තම මවගෙන් විශේෂ ළෙන්ගතුකමක් ලැබේ.
5. පස්වැන්නේ සඳු සිටීම – 5 වැන්නට සඳු ඉතාම හොඳය. සඳුට පමණක් නොව ත්‍රිකෝණ ස්ථාන කුමන ග්‍රහයාට වුවද 5 වැන්න සුබය. 5වැන්නේ සඳු සිටීම ඥාන යෝගයකි. බුද්ධිමත් වේ. විශේෂයෙන් කේතු සමඟ සඳු සිටියහොත් වඩාත් සුබපල ගෙන දේ. 5වැන්නේ මූලික අවධානය ගැන කියවෙන නිසා ඉතාම හොඳය.
6. හයවැන්නේ සඳු සිටීම – සඳු 6 වැන්නට එතරම් සුබදායී කියා නොමැත. නමුත් හයට සඳු හැම විටම නරකයි කියා සිතා නොගත යුතුය. ලොකු නරකක් නොමැත. බඩ ආශ්රිත රෝගවලට හේතු වේ. සොරුන්ගෙන් අනපේක්ෂිත කරදර ඇති වේ. මේ සියල්ල සිදුවන්නේ සඳු මහා දශා අතුරු දශාවලදී බව සිහි තබා ගත යුතුය.
7. හත්වැන්නේ සඳු සිටීම – 7 සඳු සිටින විට විවාහය ඉක්මන් කරන යෝගය මෙන්ම ප්‍රමාද කරන යෝග ද ඇති වේ. විශේෂයෙන් 7 සඳු සිටින කාන්තාවන්ට, පුරුෂයන් ඉබේම වාගේ ලැබේ. විවාහය ඉක්මන් වේ. රූපශ්රිය හා නීරෝගීකම ද ලැබේ.
8. අට වැන්නේ සඳු සිටීම – 8 වැන්නේ සඳු සිටීම එතරම් සුබ නොවේ. විශේෂයෙන් ධනු ලග්න හිමියන් සඳු 8ට නරකය. ඒරාෂ්ටක දෙකක් එක විට යෙදේ. අෂ්ටම ඒරාෂ්ටකය හා ජන්ම චන්ද්‍ර ඒරාෂ්ටකය එම දෙකයි. මේ අයට අකල් මරණ පහසුවෙන් සාදයි. විවිධ රෝගවලට ද ගොදුරු වේ. ජීවිතයේ ප්‍රීතියෙන් ගතකිරීමට ඉඩ ලැබෙන්නේ අන් ග්‍රහයන් බලවත් වුවහොත් පමණි. සඳු 8 වැන්නේ සිටින විට සඳු මහා දශාව වෙනස් වීම මාරක අපල ගෙන දේ. 2 වැන්නේ හා 4 වැන්නේ පාපයින් සිටිද්දී සඳු 8 වේ නම් විවිධ උපද්‍රව්‍ය ගෙන දේ.
9. නවවැන්නේ සඳු සිටීම – කේන්දරයක 9වැන්නේ සඳුට ඉතාම හොඳ ස්ථානය වේ. මෙලොව දියුණුවට මෙය ඉතාම හොඳ පිහිටීමකි. ආගමික කටයුතුවලට සම්බන්ධ වන දේවලට වැඩි ඇල්මක් දක්වයි. හොඳින් ජීවත් වේ. වැඩි ග්‍රහ බලයක් සහිත සඳු සිටියහොත් මෙලොව පරලොව දෙකටම මෙම පිහිටීම ඉතා යෝග්‍ය වේ. ආධ්‍යාත්මික පැත්තට වැඩි නැඹුරුවක් පෙන්නුම් කෙරේ. අන්‍යයන්ට හොඳින් සලකයි. ඒ නිසාම අන් අයගේ සැලකිල්ලට තමාද පාත්‍ර වේ. තම මෑණියන්ට ඉතාම සුබ පිහිටීමකි.
10. දහවැන්නේ සඳු පිහිටීම – 10 වැන්නට සඳු සුබපල ගෙන දෙන බව කියා තිබේ. මෙවන් අය කාර්යශූරය. ඕනෑම දෙයකට ධෛර්යය සම්පන්නය. අලසව නොසිට පලප්රයෝජනවත් කටයුතුවල යෙදීමට ආශා කරයි. මෙය වෙළෙඳ ව්‍යාපාරවලට ඉතාම හොඳ පිහිටීමකි. පියාට වඩා මවට වැඩි පක්ෂපාතීත්වයක් දක්වයි.
11. එකොළොස්වැන්නේ සඳු සිටීම – සඳු එකොළොස්වැන්නට ඉතාම හොඳ තැනකි. චන්ද්‍රයාට පමණක් නොව 11 වැන්න කුමන ග්‍රහයාට වුවද ඉතාම සුබය. එකළොස්වැන්න ධනය උපයන ස්ථානයකි. හිතේ උසස්කමක් තබාගෙන ධනය රැස්කළ නොහැකිය. මේ නිසා 11 වැන්නේ සඳු උච්ඡ වූ විට ධනයෙන් පිරිහුන අය වෙති. සඳු ස්වක්ෂත්ර වූ විට බොහෝ විට ධනය නැති කරයි. මේවා සාමාන්‍යයෙන් සිදුවන්නේ සඳු මහා දශා කාලවලදීය.
12. දොළොස්වැන්නේ සඳු සිටීම – 12 වැන්න සඳුට සුබ පිහිටීමක් නොවේ. සඳු 12 වැන්නේ සිටින්නේනම් පිනට දහමට ලැදියි. දන් දීමට කැමතිය. අසරණයන්/රෝගීන්ට/අනාථයන්ට/අසරණ අයට/දුබලයන්ට ඇප උපස්ථාන කිරීමට මහත් ආශාවක් දක්වයි. එවැනි ස්ථානවල රැකියාව කිරීමට ද කැමතිය. ඇස් ආශ්රිත රෝගවලට ද ගොදුරු වීමේ ඉඩකඩක් තිබේ.
මා මෙතෙක් විස්තර කරන ලද කරුණු අන් ග්‍රහයන්ගේ බල දුබලතා හා විවිධ යෝග නිසා යම් තරමක වෙනස්කමක් විය හැකිය. නමුත් බොහෝ විට සඳුගේ මේ පිහිටීම කලින් කේන්දර හිමියාට ඒ ආකාරයෙන්ම බලපාන බව සඳහන් කරනු කැමැත්තෙමි.
ප්‍රවීණ ජ්‍යොතීර්වේදී, කොස්ගොඩ කේ.ඩී.ආර්.පී. රාජකරුණා