ඇවිද යන නිමේෂයේ
මා සමඟ ගමනෙ යන
නතර වන ඇසිල්ලේ
අත නෑර
තනි රකින
ළඟ නැතත්
දුරින් හිඳ
සෙමින් හද පිරිමදින…
කටු ඇනෙන
පටු අඳුරු
දිවි මඟට
එළිය දෙන…
නුඹ සමයි
ඇත්තමයි
පුර පෝය
හඳපාන….
සමාලි දිනේත්රා
සමුගන්නේ කෙලෙසද?
ගෙවුණා තෙමසක් වෙන්වී මගෙන් සදහටම
යළි ඉතින් කාව අමතන්න ද ආදරෙන්
සිහිවේ එදා එක්වූ හැටි බාධක බිඳ තිර පෙමෙන්
පනස් වසකට වැඩි අපේ අතීතය කෙසේ අමතක කරන්නද?
උගත් අත්කම් කලාවම බෙදා දුන්නේ නොමසුරුව
නිරතුරුව කාන්තා පත්තර පුරා ලිපි සරසමින්
සිප්සකර කියා දුන්නා දරු කැලකට ආදරෙන්
අනේ ඒ මිහිරි කටහඬ නැවතී ගියා හෙමිහිට
ඉපදි යළි යළිත් වේදනා විඳින මේ සසරේ
කෙළවර දැක ගන්න පතමු එක සිතින්
නිතර සිහිකර මා දෙන පින් අනුමෝදන් වී
සුගතියක උපදීවා චතුරා දහම අවබෝධව
අමා මහ නිවනින් සැනසේවා!
එඩ්වඩ් රූපසිංහ
බෝවන රෝගයකි බලයට කියන මුසා
කල දුටු කලට සැරසෙන වළ ඉහින්නට
මොළ පටු දේශපාලන පර පුටුන් හට
බල කොටු තමන් වෙනුවෙන් ගොඩ නඟන්නට
නිල පුටු මිසක බැහැ රට ගැන හිතන්නට
ඇරයුම් කළත් “එක්වෙමු” රට රකින්නට
උරදුන් කෙනෙක් නැත තවමත් දකින්නට
සැරහුම් පුටුව වෙත පියමන් කරන්නට
ගැරහුම්වලින් නැත අඩුවක් උනුන් හට
ජීවන වියදම ද බදු බර නහය වසා
පාවෙන බව පෙනේ ගුවනේ අඳුරු දසා
නෑවෙන මගක් කිසිවෙකු ළඟ කිසිම ලෙසා
බෝ වෙන රෝගයකි බලයට කියන මුසා
චන්ද්ර බණ්ඩාර ජයසිංහ
එදා සහ මෙදා
දණ ගා, බඩ ගා, වැටි වැටී පියමැන අත්වැල වූ,
දෙගුරුන් සෙනෙහස විඳි
උර මත රැඳි දවසෙත් මතකයි උන්ටම දී බැරි බර,
සෙනෙහස කර පුද
දෙපා වෙහෙස සතපන මෙවලම් ළඟ පරිසරයත්,
විරසක වී ඇති සඳ
ගුවන් යානයේ සෙවණැලි රැඳුණා ආ ගිය පා,
සටහන්වල රූ මැද
පහසු මං සොයන හැම දෙයකම අවසන වෙයි,
නාඳුනනා ලෙඩකට මුල
අලස වී ගිහින් පංචස්කන්දය දිව පිනවයි හැම,
රස මසවුළු වල
වෙහෙස නිවන්නට ගත්ත ද අපමණ වෙහෙසක්, පැල්,
බැඳ ඇති වෙහෙසට නිල
කුමටද නිල් දියවර ළිං සපිරුණු ඇත අද,
බෝතල් වතුර පිරිත් කළ
දයා ඩී. වන්නිනායක
රිය අනතුරු වළකිමු
තම ජීවිතය මෙන් අන් ජීවිත ද ගැන
සිතුවොත් බොහෝ විට දුරුවෙයි පාරෙ වින
“කහ ඉර” පවා අමතක කර ඇතැම් දෙන
ඉගිලෙන අයුරු කම්පනයකි සිතට එන
“රියදුරු” දෑත මත සැම ජීවිත ඇත්තේ
මොහොතක් වැරදුනොත් ලොකු විපතකි වන්නේ
අද වැනි කලෙක මහ මඟ කඳුළකි ඇත්තේ
ජීවිත මොහොතකින් සඳහට සමු ගන්නේ
අපමෙණ මිනිස් ජීවිතවල වගකීමක්
සැම විට ගත යුතු සුක්කානමේ දෑතක්
සතෙකුට පවා නොකරම කිසි හිරිහැරයක්
රිය පැදවුවොත් වැළකෙයි මහ මඟ විපතක්
වයි. ඇම්. හරිස්චන්ද්ර බණ්ඩාර
දුවේ මං නුඹෙ අප්පච්චි
මවු නොසිටියා නුඹ වැඩෙනා ඉසව්වක
ඈ සිහි වෙනවා නුඹ නාමෙන් හැමදාක
මගෙ රන් මැණික මගේ දෝතට වැඩි රෑක
මගෙ දිවි ගෙවුණේ නුඹෙ නමටයි හැමදාක
ඉල්ලන කාසි නොපමාවට සරි කෙරුවා
වේලක් කකා වේලක් කළ හිස් කෙරුවා
වෙනදට නුඹේ රුව මගෙ සිත සැනසෙව්වා
අද පෙරමන් බලයි නුඹෙ රුව සිත් අන්දා
කාසි නොඉල්ලා වසරක් ගත වෙද්දී
නුඹේ හඬත් සුසුමක තැවරී යද්දී
නුඹේ මුහුණ දැක ගන්නට ගොඩ වෙද්දී
නන්නාඳුනන මුහුණක සේයා ඇන්දී
කාරි නෑ දුවේ මං නුඹෙ අප්පච්චි
දිල්හානි වාසනා ජයරත්න
යළි එන්න
ඔය උරහිසට වාරුව
ගැහෙන පපුවේ රිද්මයට
දොඩමළු වුණි මම
නුබට නොදැනීම…
හදවතේ ගැහෙන සුසුමින්
සැනසුනිමි මම හෙමින් සීරුවේ
නුබට නොදැනීම …
හීනියට ගැසු පිල්ලමක් යට
සෙව්වෙමි මම ආදරයක්
නුබට නොදැනීම …
නළල සිපගත් හාදුවෙන්.
සැනසී ගියේමි මම
නුබට නොදැනීම…
යළි වඩින්න සෙනෙහසින්
තුරුලු වී සැනසෙන්න
නුඹට නොදැනීම…
සුසුමක් වී ළඟ ඉන්න
නෙත් මායිමේම දැවටෙන්න
ආදරයෙන්ම ඉතිරෙන්න
සුවෙන් ඔබ සැනසෙන්න…
නයනාන්ජලි
වඳිමු සඳගිරි සෑ වෙහෙර
තේවා හඬ ඇසේ මාළිගයේ නුවර
සඳ රැස් වැටී දිලිසෙනවා ගිරි ශිඛර
හන්තානෙන් ගලනවා සුන්දර දිය දහර
අපිත් වඳිමි සඳ ගිරි සෑ මහ වෙහෙර
නිහාල් රංජිත් පතිරණ