“මම සිතින් මේ මුළු ලෝ කුස සිසාරා බලන්නෙම්, තමාට වඩා වෙනත් කෙනෙකුට ආදරය කරන කිසිදු සත්ත්වයකු දැක නැත්තෙමැ”යි බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කර තිබේ. එබැවින් තමාට ආදරය දක්වන අයකු විසින් මෛත්‍රී සිත වැඩිය යුතුය. පළමු කොට ඔබ වෙතම මෛත්‍රී කරගන්න. ඒ, එම සිතිවිලි අන්‍යයන් සමඟ ද බෙදා ගැනීමේ අරමුණ ඇතිවය. මේ හැඟීම දියුණු කරගන්න. ඔබටම සම්පූර්ණයෙන් කාරුණික වන්න. ඔබ සිටින සැටියෙන්ම පිළිගන්න. අඩුපාඩු ගැන සාමකාමී වන්න. අඩුපාඩු වුවද පිළිගන්න. මේ මොහොතේ ඔබ සිටින අන්දම ගැන මුදු මොළොක් වී සමාව භජනය කරන්න. ඔබ මේ මේ විදිහට සිටිය යුතු යැයි සිතුවිලි පැන නඟින්නේ නම් ඒවාට යන්න හරින්න. මිත්‍රශීලි හා කාරුණික සිතුවිලි ගැඹුරටම ඇතිකර ගන්න. මෛත්‍රී සහගත සිතිවිලිවල බලය ඔබේ සිත කය පුරා උතුරා යන්නට ඉඩ හරින්න. එහි උණුසුම් කිරණ තුළ සන්සිඳියාවෙන් සිටින්න. මේ හැඟීම, ඔබගේ ආදරවන්ත අය වෙතත්, ඔබ නොදන්නා අය වෙතත්, ඔබ උපේක්ෂාවෙන් සලකන අය වෙතත් එමෙන්ම ඔබගේ පස මිතුරු අය වෙතත් මුදා හරින්න.
අප සෑම සියලු කෙනෙකුගේම සිත් ලෝභය, තරහ, අමනාපය ඊර්ෂ්‍යාව හා බිය යන ගතිවලින් නිදහස් වේවා! මෛත්‍රීසහගත සිතුවිල්ල අප වැලඳගෙන වසා ගනිත්වා! අපගේ සිරුරේ සෑම සෛලයක්ම, සෑම ලේ බිඳුවක්ම, සෑම පරමාණුවක්ම සෑම අංශුවක්ම සහ අපගේ සිත් ද මෛත්‍රියෙන් ශක්තිමත් වේවා!
මේ විශ්වය මුළුල්ලේ හැම දිසාවකම සිටින සියලු සත්ත්වයෝ යහපත් හදවත් ඇත්තෝ වෙත්වා! ඔවුහු සතුටින් ජීවත් වෙත්වා! ඔවුන්ට වාසනාව ළඟාවේවා! ඔවුහු කාරුණික වෙත්වා! ඔවුන්ට හිතවත් සුහද මිතුරන් ලැබේවා! සියලු තන්හි සිටින සියලු සත්ත්වයෝ අප්‍රමාණ වූ මාහැඟි වූ අසීමිත වූ මෛත්‍රී සිතුවිලිවලින් පිරීයෙත්වා! ඔවුහු වෛරයෙන්, දුක්පීඩාවලින් අසහනයෙන් නිදහස් වෙත්වා! ඔවුහු සුවසේ ජීවත් වෙත්වා!
අපේ ශරීර ශක්තිමත්ව තබා ගැනීම සඳහා අපි ඇවිදීම, දිවීම, පිහිනීම වැනි ව්‍යායාමවල යෙදෙනවා මෙන්ම, අපේ හදවත් ශක්තිමත්ව තබා ගැනීම සඳහා නිතිපතා මෛත්‍රීය වැඩීම පුරුදු කළ යුතුය. මුලදී එය නිකම්ම ක්‍රියාකාරකම් රැසක් ලෙස පෙනී ගිය ද, නැවත නැවත මෙත් සිතුවිලි සමඟ රැඳී සිටීම නිසා එය පුරුද්දක්, යහපත් පුරුද්දක් බවට පත් වේ. කල්යාමේදී, අපේ හදවත් ශක්තිමත් වී මෙත් සිතුවිලි පහළ වීම නිරායාස ක්‍රියාවක් වේ. හදවත් ශක්තිමත් වීමත් සමඟ දරදඬු පුද්ගලයන් වෙත වුවද කරුණාවෙන් හා මෛත්‍රියෙන් යුතුව සිටීමට ශක්තිය ලැබෙනු ඇත.
මගේ සතුරෝ සුවපත් වෙත්වා! සතුටින් හා සාමයෙන් ජීවත් වෙත්වා! ඔවුන්ට අනතුරක් කරදරයක් නොවේවා! වේදනාවක් නොවෙත්වා! හැමවිටම සාර්ථක වෙත්වා!
“සාර්ථකත්වය? අපගේ සතුරන්ය අප සාර්ථකත්වය පතන්නේ කෙසේද? ඔවුන් අපව මරන්නට තැත් කළොත්?” සමහරු මෙසේ අසති, අපි අපගේ විරුද්ධවාදීන්ට සාර්ථකත්වය පතන විට ලෞකික සාර්ථකත්වය හෝ අසනීප අශිෂ්ට යමකින් ලබන සාර්ථකත්වය හෝ අදහස් නොකරමු. අප අදහස් කරන්නේ ආධ්‍යාත්මික සාර්ථකත්වයකි. අපේ සතුරෝ පැහැදිලි ලෙසම ආධ්‍යාත්මික අතින් සාර්ථක වූවෝ නොවෙති. එසේ වූවා නම් ඔවුන් අපට හිරිහැර වන ආකාරයට ක්‍රියා නොකරනු ඇත.
අපගේ සතුරෝ සුවපත් වෙත්වායි පතනවිට අප අදහස් කරන්නේ “මගේ සතුරෝ තරහ, ලෝභය, ඊර්ෂ්‍යාව, නැත්තෝ වෙත්වා! ඔවුන්ට සාමය, සුවය හා සතුට ළඟාවෙත්වා” යන්නයි. කෙනෙකු නපුරු හෝ අකාරුණික වන්නේ ඇයි? සමහර විට ඔහු ඉතා දුෂ්කර තත්ත්වයන් යටතේ හැදී වැඩෙන්නට ඇත. ඔහුගේ ජීවිතයේ අප නොදන්නා යම්යම් හේතූන් නිසා ඔහු හෝ ඇය නපුරු ලෙස ක්‍රියා කරනවා විය හැකිය. බුදුරජාණන් වහන්සේ අපට උගන්වා වදාළේ එබඳු පුද්ගලයන් පිළිබඳ සිතන විට, අසාධ්‍ය රෝගයකින් පෙළෙන රෝගියකු ගැන සිතන ආකාරයට සිතන ලෙසයි. රෝගී වූ කෙනෙකු කෙරෙහි අප තරහ ගන්නේ හෝ කලබල වන්නේ හෝ නැත. ඔවුන් කෙරෙහි කරුණාව හා අනුකම්පාව දැකවීමට අපට වුවමනාය. ඇතැම්විට අපගේ හිතවතුන්ට වඩා අපේ කරුණාව අවශ්‍ය වන්නේ සතුරු අයටය. ඔවුන්ගේ දුක්පීඩා වඩාත් බරපතළ බැවිනි. මේ හේතූන් නිසා අප ඔවුන් කෙරෙහි සීමා රහිතවම කරුණාව වැඩිය යුතුය. අපගේ ළෙන්ගතු අය මෙන්ම ඔවුන් ද අපගේ හදවත් තුළට ඇතුළුකර ගනිමු.
අපට නපුරක් කර ඇති සියලු දෙනාම ලෝභය, තරහ පිළිකුල, වෛරය, ඊර්ෂ්‍යාව හා බියෙන් මිදෙත්වා! මේ මෛත්‍රි සිතුවිලි ඔවුන් වැලඳගෙන වසා ගනිත්වා! ඔවුන්ගේ සිරුරුවල හැම සෛලයක්ම, හැම ලේ බිඳුවක්ම, හැම පරමාණුවක්ම, හැම අංශුවක්ම සහ ඔවුන්ගේ සිත් මෛත්‍රී සිතුවිලිවලින් ශක්තිමත් වේවා! ඔවුන්ගේ සිරුරු සන්සුන් වෙත්වා! ඔවුන්ගේ සිත් සන්සුන් වෙත්වා! සාමය හා සැනසුමත් ලබා ඔවුන්ගේ සිත කය පිරී යෙත්වා!
(හුදකලාව මෛත්‍රිය දියුණු කළ නොහැක්කේ ඇයිද යන්න
සාකච්ඡා කරමු)