රුසියන් – යුක්රේන් යුද්ධය ආරම්භ වූයේ පසුගිය වසරේ පෙබරවාරි මාසයේදීය. රුසියානු ආක්‍රමණයට එරෙහිව යුක්රේන හමුදාවන් දියත් කළ මෙහෙයුමට විදේශීය රටවල පුහුණුව ලත් හමුදා සාමාජිකයන් බඳවා ගැනීමට යුක්රේන රජය කටයුතු කළේය. ඒ අනුව යුරෝපය ඇතුළු රටවල් රැසක යුද පුහුණුව ලත් සාමාජිකයන් රැසක් ඒ වෙනුවෙන් ඉල්ලුම් කරන ලදී. එහිදී තෝරා ගන්නා ලද විදේශ රටවල සාමාජිකයන් අතරට ශ්‍රී ලංකා ආරක්ෂක අංශ සාමාජිකයකුව සිට ඉන් පූර්ණකාලීනව ඉවත්ව සිටි රනිෂ් හේවගේ ද විය. ඔහු යුක්රේන හමුදාවට බැඳී යුද පෙරමුණේ සටන් කරන අතර තවත් වසර එකහමාරකට පමණ පසුව තවත් ශ්‍රී ලාංකිකයන් කිහිප දෙනෙක්ද එක් විය.
එලෙස රුසියානු හමුදාවට එරෙහිව සටන් වදිමින් සිටි සාමාජිකයන් තිදෙනකු පසුගිය 4 වෙනිදා මිය ගොස් ඇති බව විදෙස් පුවත් වාර්තා කර තිබුණි. එසේ මිය ගිය පුද්ගලයන් කවුරුන්ද යන්න ගැන මෙරට තානාපති අංශ මෙන්ම බොහෝ දෙනාගේ අවධානය යොමු විය.
යුක්රේනයේදී එලෙස මිය ගිය හමුදා සාමාජිකයන් අතර යුද හමුදාවේ සේවය කර පූර්ණ කාලීනව සේවාවෙන් ඉවත් වූ නිලධාරියකු වූ රනිෂ් හේවගේ ඇතුළු තිදෙනකු සිටින බව තහවුරු විය.
රනිෂ්ට අමතරව නාවික හමුදාවේ සේවයෙන් පූර්ණ කාලීනව ඉවත්ව ගොස් ඇති රොඩ්නි ජයසිංහ සහ එම්. එම්. ප්‍රියන්ත ද සිටින බව තහවුරු විය. මේ පිරිස අතුරින් රනිෂ් හේවගේ දෙස මෙරට බොහෝ දෙනාගේ ඇස යොමුව ඇත. එයට හේතුව ඔහු යුක්රේන හමුදාවට බැඳී ඇත්තේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ (ඩුබායි) තාක්ෂණික ආයතනයක සාමාන්‍යාධිකාරිවරයකු ලෙස සේවය කරමින් සිටියදී එම වැටුපෙන් 1/3ක් පමණ අඩු වැටුපක් ගෙවන යුක්රේන හමුදාවට එක්වීම නිසාය.
එමෙන්ම ඔහු රුසියානු හමුදාවන්ට විශාල හිරිහැරයක්ව තිබුණු බව රුසියානු ආරක්ෂක අංශ විසින් පවසා තිබුණි. රුසියානු හමුදාව ඔහු හඳුන්වා ඇත්තේ ‘කළු හතුරා‘ නමිනි. එතරම් ඔහු ඔවුන්ට හිරිහැරයක් වී ඇති බව පැහැදිලිය.
තම යුක්රේන හමුදා සේවාව ගැන ඔහු වරක් මෙරට යූ ටියුබ් නාළිකාවක මාධ්‍යවේදියකු වන සරොජ් පතිරණ හා සංවාදයක යෙදෙමින් ඒ සම්බන්ධ දීර්ඝ විස්තරයක් පවසා තිබුණි.
සිල්වෙස්ටර් ඇන්ඩ්‍රො රනිෂ් හේවගේ නම් ඔහු යුද හමුදාවේ වසර 12ක සේවා කාලයකින් පසුව නීත්‍යනුකූලව යුද හමුදාවෙන් ඉවත්ව ඉන් පසුව ශ්‍රී ලන්කන් හා මිහින් ලංකා ආයතනයන්හි සේවය කරන ලදී. එමෙන්ම ඔහු ගුවන් නියමුවකු ලෙසද පාඨමාලා හදාරා තිබේ. පසුව ඩුබායිහි තාක්ෂණික ආයතනයක සාමාන්‍යාධිකාරිවරයකු ලෙස සේවය කර ඇත. රුසියාව යුක්රේනය ආක්‍රමණය කිරීමෙන් පසුව ඔහු යුක්රේන හමුදාවට බැඳෙන්නේ යුක්රේන ජනාධිවරයා විසින් විදේශ හමුදාවන්හි සේවයේ යෙදී සිටි අයට යුක්රේන හමුදාවට බැඳෙන ලෙස කළ ඉල්ලීමකට අනුවය.
ඒ අනුව 2022 වසරේ මාර්තු 22 දින රනිෂ් යුක්රේනයට පැමිණියේය. ඒ වන විට රුසියාව විසින් යුද්ධය ආරම්භ කර සති දෙක තුනකට වඩා ගතව නොතිබුණි. එසේ පැමිණ යුද පෙරමුණේ සිටියදී ඔහු අවස්ථා 6 කදී තුවාල ලැබූ බවද ඔහු පවසා තිබුණි.
ඔහු පැවසුවේ, පළමු වරට තුවාල සිදුව ඇත්තේ දකුණු අතේ බාහුවට උඩින් උරහිස පසා කරගෙන යන්නට වෙඩි වැදුණු බවයි. දෙවෙනි වරට ඔහුගේ හිසේ මැහුම් 6ක් දමන්නට තුවාල සිදු වූ බවත් එහිදී හිසේ තිබී කැබලි 6ක් ඉවත් කළ බවත් පැවසුවේය. ඉන් පසුව තුන් වෙනුවට මැහුම් 16ක් දමන්නට වූ බවද ඔහු පවසන ලදී.
‘‘ රුසියානු හමුදාවේ හැසිරීම දැක්කහම මට හිතුණෙ මම මීට කලින් මේ යුද බිමට එන්න තිබුණා කියලයි. රුසියාව යුක්රේනය ආක්‍රමණය කිරීම බරපතළ වරදක් ලෙසයි මම දකින්නේ. රටක ස්වෛරීභාවය අප පිළිගත යුතුයි. කිසිවකුගේ අත පෙවීමක් ස්වාධීන රටකට සුදුසු නැහැ.
ඒ නිසයි මම වැඩියෙන්ම අවධානය යොමු කර ආරක්ෂක අංශයක් වෙනුවෙන් යළි ජීවිතයක් ආරම්භ කළේ. මේ රටේ පුරවැසියෙක් නොවන නිසා මම සොල්දාදුවෙක් ලෙසින් තමයි හමුදාවට බැඳුණේ.
මම ඇවිත් මාස 4කට විතර පස්සෙ ඒ කියන්නෙ 2022 ජූලි මාසෙ අපි ඉදිරියට ගිහින් රුසියානු හමුදාවන්ට මුහුණදීලා දවස් 18ක් හිර වෙලා හිටියා එන්න බැරුව. ඒක තමයි මම ජීවිතයේ මුහුණදුන් භයානකම අත්දැකීම. දවස් 16කට පස්සෙ මම හිතුව ආයිත් සාමාන්‍ය ලෝකයට එන්න බැරි වෙයි කියල. අන්තිම දවස් දෙක ආපු හැටි මට මතක නැහැ. අමෙරිකන් සගයෙක් තමයි මාත් එක්ක ආවෙ. ඇත්තෙන්ම එයාගෙ ධෛර්යයෙන් තමයි ඒ අන්තිම දවස් දෙක ආවෙ.
එයින් පස්සෙ ජනාධිපතිවරයා මට පදක්කමක් දීලා කොමිෂන් ලත් නිලධාරියෙක් ලෙස මා පත් කළා. ඊට අමතරව මා කපිතාන් තනතුරට උසස් කළා. ඒත් සමඟම මට විදේශ හමුදා අනු ඛණ්ඩයක් භාර දුන්නා. මා යටතේ 61 දෙනෙක් සේවය කළා. වැඩ බලන අණ දෙන නිලධාරි ලෙසින් තමයි පත්වීම ලබා දුන්නේ. මම වගකිවයුතු වුණේ ඒ පළාතේ බුද්ධි නිලධාරියාට පමණයි. මා යටතේ අමෙරිකන්, බ්‍රිතාන්‍ය, කැනඩා, ජර්මන්, නෙදර්ලන්ත, නෝර්වේ, බ්‍රසීල, පේරු, චිලී, පෝලන්තය, ස්වේලෝකියාව, ප්‍රංශය ඇතුළු රටවල් රැසක අය සේවය කළා.
මට ඕන කරේ ලංකාවෙ ‘වැඩ්ඩො ටිකක්‘ මේ ඔපරේෂන් එකට ගන්නයි. මීට ටික කලකට පෙර රුසියන් හමුදාවෙන් ශ්‍රී ලාංකිකයන් 7 දෙනෙක් අපි බේරා ගත්තා. ඒ අයට විවිධ වද දීලා තිබුණා. සමරුන්ගෙ නියපොතු පවා ගලවලා, තවත් අයට යකඩ පොලුවලින් පහර දීලා, එල්ටීටීඊ ත්‍රස්තවාදීන් අපේ රටේ ගම්මානවලට පහරදීලා සාමාන්‍ය පුද්ගලයන් ඝාතනය කළා වගේ එක්වරම මිසයිල ප්‍රහාර එල්ල කරනවා. හමුදා කඳවුරු ඇතුළෙ යුක්රේන තරුණියන් දූෂණය කරන ආකාරය අපට වාර්තා වුණා. රුසියානු සාහිත්‍යයේ පෙන්වන අය නෙමෙයි රුසියාවේ ඉන්නෙ‘‘
එක් සටනකදී ඔහු සමඟ සිටි කැනඩා භටයින් විසි එක් දෙනකු මියගොස් ඇත. කපිතාන් රනිෂ් හේවගේ එම සටනින් තුවාල ලබා දිවි බේරා ගෙන ඇත. පසුගිය දිනක ඔහු විසින් සටන් බිමේදී නිකුත් කරන ලද වීඩියෝ පටයකින් දැක්වුණේ යුක්රේනයේ සිදුව ඇති විනාශයයි. විනාශ වූ ගොඩනැඟිල්ලක් ඉදිරියේ සිට ඔහු පැවසුවේ ‘‘ඇතැම් විට මේ සටන අවසන් වන තෙක් තමා ජීවත් නොවන්නට ඉඩ ඇති බවයි‘‘
යුක්රේන හමුදාවේ සේවය කරන ශ්‍රී ලාංකික හතුරුසිංහ යුක්රේනයේ, බක්මුත් ප්‍රදේශයේ පැවැති සටනක් ගැන මෙසේ විස්තර කර තිබුණි.
‘‘ දෙසැම්බර් 4 වෙනිදා රුසියන් ප්‍රහාරයෙන් ලංකාවේ කෙනෙක් මිය ගියා. ඒ කලින් නේවි එකේ වැඩ කරපු කෙනෙක්. එයාගේ බොඩිය ගන්න රනිෂ් සර් එක්ක අපි හතර දෙනෙක් ගියා. ඒ වෙලාවෙ ප්‍රහාරයකින් අපේ කෙනකුට තුවාල වුණා. එයා ආරක්ෂා සහිතව තියලා අපි ඉස්සරහට ගියා. රනිෂ් සරුයි, මමයි රොඩ්නි කියන කෙනයි ගියේ.
අපි එහෙම යද්දි මැසේජ් එකක් ආවා යුක්රේන හමුදාවේ තුන්දෙනෙක් තුවාල වෙලා ඉන්නවා එයාලව ආපහු ගෙන්න කියලා. අපි තුන්දෙනා ඒ යුක්රේන කට්ටිය පස්සට ගෙනාවා. ඊට පස්සෙ ආයිත් ඉස්සරහට යද්දි තමයි අපිට කාලතුවක්කු ප්‍රහාර එල්ල වුණේ. පළවෙනි ප්‍රහාරයෙන් රොඩ්නි මිය ගියා. අපි බේරෙන්න පුළුවන් තරම් උත්සාහ ගත්තා. ඊට පස්සෙ මම හිටපු තැනට ප්‍රහාර එල්ල වුණා. මම කම්පනයෙන් වැටුණා. රනිෂ් සර් ආවා මම ඉන්න පැත්තට ආවා මාව බලන්න. ඒ එක්කම ආපු කාලතුවක්කු ප්‍රහාරයෙන් සර් මිය ගියා.‘‘
මම තුවාල හිටියෙ. ඒ වුණත් රනිෂ් සර්ගේ බොඩි එක කිලෝමිටර් 15ක් අපේ ලයින් එකේ පස්සට අරන් ආවා. එහෙම අරන් එද්දිත් කාලතුවක්කු ප්‍රහාර එල්ල වුණා.”
රුසියානු රජයේ හමුදාවන් විසින් ‘කළු හතුරා’ ලෙස හඳුන්වන රුසියානුවන්ගේ ද ඉලක්කයක් ලෙස කපිතාන් රනිෂ් හේවගේ නම් කර තිබී ඇත.
රුසියානු යුක්රේන යුද්ධයේදී රනිෂ් සටන් පෙරමුණේ දැක් වූ වීරත්වය නිසා එරට ජනපති විසින් ජනාධිපති විශේෂ සම්මාන පහක් ඔහුට ප්‍රදානය කර ඇත. යුක්රේන රාජ්‍යයේ ආරක්ෂාව වෙනුවෙන් සටන් කළ රනිෂ් හේවගේ එරට හමුදාවෙන් ‘කපිතාන් ඩෙන්ටිස්ට්’ යන නාමයෙන් හඳුන්වා දී ඇත. යුක්රේන සටන් බිමේදී කපිතාන් රනිෂ් ප්‍රනාන්දු මියයාමෙන් පසු ඔහු සම්බන්ධව සමාජ මාධ්‍ය තුළ බොහෝ සටහන් පළ කර තිබුණි. ඒ අතරින් ඔහුගේ සහෝදරිය වන අයෝනා හේවගේ සිය ෆේස්බුක් සමාජ මාධ්‍ය ගිණුමේ තබා තිබූ සටහන් සංවේදී බවින් යුක්ත විය. රුසියා යුක්රේන සටන් නිසා මේ වන විට අහිමි වූ ජීවිත දහස් ගණනක් අතුරින් රනීෂ් මෙන්ම සෙබළාගේ සිරුර රැගෙන ඒමට යද්දී දිවි පිදූ රොඩ්නි ජයසිංහ සහ මිය ගිය එම්. එම්. ප්‍රියන්ත වන අතර, මේ වන විට ශ්‍රී ලාංකිකයන් 60ක් පමණ යුක්රේන හමුදාවේ සේවය කරන බව වාර්තා වී ඇත.
එහෙත් මේ කිසිදු අයකු වර්තමානයේ ශ්‍රී ලංකා සන්නද්ධ හමුදාවට කිසිදු සම්බන්ධයක් නොවන බවත්, ශ්‍රී ලාංකික රාජ්‍ය මට්ටමින් හෝ රාජ්‍ය අනුමැතියකින් හෝ එරට හමුදාවන්ට සම්බන්ධ වූ අය නොවන බවත් ශ්‍රී ලංකා රජයේ අනුමැතියෙන් විදෙස් හමුදාවන්ට සම්බන්ධ වන්නේ එක්සත් ජාතීන්ගේ සාම රාජකාරි සඳහා පමණක් වන බවත් යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් රවි හේරත් සිළුමිණට කීවේය.
තාරක වික්‍රමසේකර