Home » හිතේ ගැස්මක් නම් තිබුණා

හිතේ ගැස්මක් නම් තිබුණා

by thanushika
December 9, 2023 12:30 am 0 comment

කැලණිය විශ්වවිද්‍යාලයෙන් සිය කලා උපාධියත්, කොළඹ විශ්වවිද්‍යාලයෙන් උපදේශනය පිලිබඳ පශ්චාත් උපාධියත්, ලබා ගන්නා ඇය මාධ්‍යවේදිනියක් , දක්ෂ නිවේදිකාවක් මෙන්ම මේවන විටරංගන ශිල්පිනියක් ලෙසත් ප්‍රේක්ෂක ආදරය දිනාගෙන තිඛෙනවා. පසුගිය දිනවල රූපවාහිනියේ විකාශන වූ ධරණී, දෙකොන් මාරු ටෙලිනාට්‍ය හරහාත්, මේ දිනවල විකාශනය වන බේකරි ගෙදර ටෙලි නාට්‍යයේ වීඩියෝ මැඩම්ගේ චරිතය හරහාත් සති අන්තයේ ඔබේ ආලින්දයට පැමිණෙන ඇය නමින් සුරේඛා සංජීවනී.

කොහොමද මේ දවස්වල ජීවිතේ ?

මේ දවස්වල ටෙලි නාට්‍ය කීපයකම රූගත කිරීම්වලට සම්බන්ධ වෙලා වැඩකටයුතු කරගෙන යනවා. ඒ අතරතුර විශේෂ අවශ්‍යතා සහ මානසික ගැටළු සහිත දරුවන් සම්බන්ධයෙන් ක්‍රියාත්මක වෙන ඩිප්ලෝමා පාඨමාලවක් හදාරමින් ඉන්නවා. ඒ කටයුතුත් එක්ක සතුටින් කාලය ගත වෙනවා.

මේ වෙන කොට සුරේඛා කියන්නේ රංගන ශිල්පිනියක්. අපි ඒ ගැන කතා කරමු ?

මගේ රංගන ප්‍රවේශය ඇත්තටම අහඹුවක්. සමන් දිසානායක විසින් පසුගිය කාලයේ ඒකාබද්ධ කලා සන්ධානය නමින් කලාකරුවන් උදෙසා කලා සන්ධානයක් ආරම්භ කරනවා. එතුමාගේ ආරාධනාවෙන් මා එහි සංස්කාරකවරියක් වශයෙන් සම්බන්ධ වෙනවා. ඒ අතරතුර අනෝමා කුමුදුණී අක්ක තමයි මට ධරණී ටෙලි නාට්‍යයේ චරිතයකට අවස්ථාව නිර්මාණය කරලා දෙන්නේ. ඒ හරහා තමයි මම රංගනයට ප්‍රවේශ වෙන්නේ.

ඔබ පාසල් අවදියේ සිටම රංගන ශිල්පිනියක් වෙන්න බලාපොරොත්තු වුණ කෙනෙක්ද?

ඇත්තටම රංගනයට එන්න මගේ කිසිම අදහසක් තිබුණේ නෑ. මම පුංචි කාලේ ඉදන්ම හීන දැක්කේ මාධ්‍යවේදිනියක් වෙන්න. මට අවුරුදු 10ක් විතර වගේ කාලෙදී මට මතක විදිහට සිරස ටීවී නාලිකාවේ විකාශනය වුණා දාමිණී කියලා ටෙලිනාට්‍යක්. එහි ප්‍රධාන චරිතයට පණ දුන්නේ යශෝධා විමලධර්ම අක්කා. ඇයගේ චරිතය ඉතාම නිර්භීත, රැඩිකල් එකක්. ඉතිං මගේ හිතට කුඩා කාලේම ඒ චරිතය තදිින්ම කාවැදුණා. මාධ්‍යවේදිනියක් වෙන්න මට අදහස ආවෙ ටෙලිනාට්‍යයක් බලල. අවසානේ නොසිතූ ලෙස මට රංගනයටම අවස්ථාව ලැබුන.

සුරේඛා ඔබේ මුල්ම රැකියා ස්ථානය වෙන්නේ ලේක්හවුස් ආයතනය. අපි ඒ ගැනත් කතා කරමු?

ඔව්. මගේ මුල්ම රැකියාව ලැඛෙන්නේ ලේක්හවුස් ආයතනයේ. ඒ 2003 වර්ෂයේ. ඒ පිළිගැනීමේ නිළධාරිනියක් විදියට. නමුත් මම ඒ වෘත්තියේ කටයුතු කළේ දින දෙකක් විතරයි. ඉන් අනතුරුව මට ඒ ආයතනයේම ලිපිකාරිනියක් වශයෙන් මාස 06ක කාලයක් වැඩ කිරීමට අවස්ථාව ලැබෙනවා. ඊට පස්සේ වසර 17ක් පුරාවටම එම ආයතනයේම මාධ්‍යවේදිණයක් වශයෙන් වෘත්තියේ නියැළුණා.

සුරේඛා වඩාත්ම කැමති මොනවගේ චරිත වලට ජීවය දෙන්නද?

මම වඩාත්ම කැමති අහිංසක චරිත නිරූපණය කරන්න. මම හිතනවා එවැනි චරිත හරහා ප්‍රේක්ෂකයන් මාව වඩාත් හොඳින් වැලඳ ගනීවී කියලා.

ඔබට පවුලෙන් ලැඛෙන සහයෝගය මොන වගේද?

මම විවාහකයි. මට පුතාලා දෙන්නෙක් ඉන්නවා. ඒ දෙන්නා එයාලගේ වැඩකටයුතු තනිවම කරගන්නවා. මගේ සැමියා ඔහුගෙනුත් මට ලොකු සහයෝගයක් ලැඛෙනවා. ඔහු මගේ අඩුපාඩු වුණත් පෙන්වලා දෙනවා. ඇත්තට මගේ පවුලෙන් මට ලොකු සහයෝගයක් ලැඛෙනවා.

මුුලින්ම කැමරාව ඉදිරියට එනකොට මොකද හිතුණේ?

මම රංගන කේෂත්‍රයට ආවේ ගොඩක් රංගන ශිල්පිනියන් සහ ශිල්පීන් හොඳින් ඇසුරු කරලා. ඒ වගේම ඔවුන්ව අධ්‍යයනය කරලා. ඒ අවස්ථාවලදී ඒ අය මට කිව්ව දේවල් මගේ හිතේ තිබුණා. මම ධරණී නාට්‍යයේ රංගනයේ යෙදුණේ පුංචි කොටසකට. එතනදී ඇත්තටම මට බයක් දැනුණේ නම් නෑ. නමුත් ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් සමඟ රංගනයේ යෙදෙන අවස්ථාවලදී නම් හිතේ පොඩි ගැස්මක් තිබුණා.

කෙනෙක් ඔබව කොයි විදියට හඳුන්වනවටද කැමති?

මම මනෝ උපදේශනයට ගොඩක්ම කැමතියි. මොකද අද ගොඩක් අය ප්‍රශ්නවල ඉන්නේ. මම හරි ආසයි කෙනෙකුට වචනෙකින් හරි උදව්වක් කරන්න පුළුවන්නම්. රංගනයෙනුත් ඒ දේ කරන්න පුළුවන්. ඒත් මම කැමති කෙනෙක් මාව උපදේශිකාවක් කියලා හඳුන්වනවට.

ඔබේ අනාගත බලාපොරොත්තු ගැනත් කතා කරමු?

අලුත් ටෙලි නාට්‍යයකනුත් මේ වෙන කොට ආරාධනා ලැබිලා තියනවා. ඊට අමතරව ඉස්සරහට මම රංගනයෙන් දායක වුණ නුහුරු වෑයම චිත්‍රපටය ප්‍රදර්ශනය වීමටත් නියමිතයි. ඒ වගේම මනෝ විද්‍යා ක්ෂේත්‍රයෙන් සහ ආරාධනා ලැඛෙන විදියට කලාව පැත්තෙනුත් ඉදිරි වැඩකටයතු කරගෙන යන්න බලාපොරොත්තු වෙනවා.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division