Home » හන්තානේ යන්න අතරමං නොවන්න

හන්තානේ යන්න අතරමං නොවන්න

by Mahesh Lakehouse
December 9, 2023 12:31 am 0 comment

න්තාන පරිසර පද්ධතිය හරි අපූරු එකකි. මොහොතින් මොහොත එහි ස්වභාවය වෙනස් වන්නේ කටුස්සෙකු පාට වෙනස් කරන්නාක් මෙනි. අඳුරක සේයාවක ද මතු නොවන ආකාරයෙන් නිල් අහසේ නැඟී තිබෙන හිරු මොහොතකින් අඳුරේ ගිලී යන්නට ගත වන්නේ නිමේෂයකි. අධික සීතලක් රැගෙන කඳු මුදුනට පාත්වන වලාකුළු අඩි දෙක තුනක් ඈතින් සිටින සගයා සඟවා ගන්නට තරම් කුරිරු ය. හන්තානත් හරියට මිනිස් හිතක් වගේ යැයි කියන්නට විශ්වවිද්‍යාල සිසුන් පුරුදුව සිටින්නේ මොහොතින් මොහොත පරිසරයේ සිදුවන මේ සිතාගත නොහැකි වෙනස් වීම් නිසාමය. එක්තරා අන්දමකින් මෙය මෙරට කිසිදු කඳු පන්තියකදී අත්විඳින්නට නොලැබෙන ආකාරයේ සුන්දර අත්දැකීමකි. දැන ගියොත් කතරගම නොදැන ගියොත් අතරමඟ යන කියමන හන්තාන සම්බන්ධයෙන් ද ගළපා ගැනීමට පුළුවන. හාන්තාන තරණය කළ යුත්තේ ද දැනගෙන ය. නොදැන ගොස් අතරමං වූවෝ එමට ය. එයට ආසන්නතම උදාහරණය පසුගියදා හන්තාන තරණය කරන්නට ගොස් අතරමංවූ රාගම වෛද්‍ය පීඨයේ සිසුන් ය.

මධ්‍යම කඳුකරයේ පවත්නා සුවිශේෂි පාරිසරික පද්ධතියකින් සමන්විත හන්තාන කඳුවැටිය ජෛව විවිධත්වය අතින් ඉහළ වැදගත්කමක් පෙන්නුම් කරන්නකි. මෙරටට ආවේණික සත්ත්ව හා ශාක විශේෂ ගණනාවකින් සමන්විත හන්තාන පුරා පැතිර පවතින්නේ දුටුවන්ගේ සිත් පැහැර ගන්නා හරිත පැහ­ැයකි. මෙය මහවැලි ගංගාවේ වැදගත්ම ජල පෝෂක ප්‍රදේශයකි. හන්තාන කඳු වැටිය මුහුදු මට්ටමේ සිට මීටර් 1240ක උසක් දක්වා විහිදී පවතී. කටුස්සෙකුගේ හැඩයට සමාන ලෙස පිහිටි කඳු වැටි හයකින් මෙය සමන්විතය. හෙක්ටයාර 1200 ක පමණ භූමි ප්‍රමාණයක් පුරා පැතීරී තිබෙන හන්තාන භූමියෙන් ඉංග්‍රීසි පාලන සමයේ දී කඳු වැටියේ පහළ කොටසේ අක්කර 432 ක ප්‍රමාණයක් විශ්වවිද්‍යාලයට පවරාදී තිබේ.

හන්තාන කඳු මුදුනට ගිය පසු අංශක 360ක කෝණයකින් හාත්පස නැරඹීමට පුළුවන. කබරගල, බතලේගල, අලගල්ල,නකල්ස් හා හුන්නස්ගිරිය පමණක් නොව මහවැලි නදිය, අම්බුළුවාව ඇතුළු සුන්දර දසුන් රැසක් එම කෝණයට ඇතුළත්ය. පරිසර හා ස්වභාවික සම්පත් අමාත්‍යාංශය ගැසට් පත්‍රයකින් 2010 පෙබරවාරී 17 දින හන්තාන පාරිසරික ආරක්ෂක ප්‍රදේශය ප්‍රකාශයට පත් කළේය. හන්තාන පරිසර ආරක්ෂක ප්‍රදේශය අඩි 3000ට ඉහළ, අඩි 2500-3000 අතර හා අඩි 2500ට පහළ ලෙස මේ යටතේ කලාප තුනකට බෙදා තිබේ. හන්තාන තරණය කිරීමේදී මේ කලාප තුනම පසුකර යා යුතුය. ඒ සඳහා ප්‍රධාන ප්‍රවිශ්ට මාර්ග හතරකි. මහකන්ද සරසවිගම පිවිසුම එකකි. විශ්වවිද්‍යාලය තුළින් උඩ පේරාදෙණිය ඔස්සේ තවත් මඟක් තිබෙන අතර, ඒ ඔස්සේ ගමන් කිරීමට නම් විශ්වවිද්‍යාලයෙන් අවසර ලබා ගත යුතුය. බෝවලවත්ත ප්‍රදේශයෙන් ද කඳු මුදුනට ළඟා වීමට පුළුවන. වැඩි දෙනෙකු හන්තාන තරණයට භාවිත කරන මඟ වැටී ඇත්තේ මහනුවර බෝගම්බර හතරේ කණුව ප්‍රදේශයෙනි.

හන්තාන තරණයේදී ඇතැම් පිරිස් අතරමං වන්නේ ඇයි ද යන්න සොයා බැලීමේ දී සිළුමිණට මුලින්ම හමුවූයේ පරිසර විද්‍යාඥයෙකු වන ප්‍රදීප් සමරකෝන්ය. මෙහි ඇති ජෛව විවිධත්වය හා සම්බන්ධ පර්යේෂණ ගණනාවක් සිදු කර තිබෙන ඔහු අධ්‍යයන කටයුතු වෙනුවෙන් හන්තාන තරණය කරන්නන්ට මඟ පෙන්වන්නෙකි.

“මහනුවරට වැඩි වර්ෂා පතනයක් ලැබෙන්නේ හන්තාන නිසයි. මොකද වලාකුළු මේ කඳුවල වැදිලා රැ‍ෙඳනවා. මේ දවස්වල කඳු මුදුනට වලාකුළු තමයි පාත් වෙන්නේ. මේක මීදුම කියලා වැරදියට වටහා ගන්න හොඳ නැහැ. වැඩි තෙතමනයක් තිබෙන වලාකුළුවලට මැදි වුණාම අඩියක් තරම්වත් නොපෙනෙන තරමට අඳුරු වෙනවා. ඒ වගේම ජලවාෂ්ප ඇඳුම්වලට උරා ගැනීමත් එක්ක අධික ශීතලක් දැනෙන්න ගන්නවා. ලොකු කණ්ඩායමක් එක්ක හයික් එකක් යනවා නම් ඒ ගමනට මඟ පෙන්වන්න සූදානම් වන අය දින දෙකකට පමණ කලින් තමන් කඳු මුදුනට යන්න බලාපොරොත්තු වන මාර්ගයේ ගමන් කරලා එහි අවදානම් ස්ථාන හඳුනා ගන්න ඕන. මොකද වැස්සත් එක්ක අපි බලාපොරොත්තු වෙන විදිහටම පාරවල් තියෙන්නේ නැහැ. ඊට පස්සේ ඒවාට අනුව ගමන හැඩගස්වා ගන්න ඕන. කාලගුණික තත්ත්වය සම්බන්ධව ගමනට කලින් කණ්ඩාම දැනුවත් කිරීමත් වැදගත්. ඇස්මා වගේ රෝග තිබෙන අය ඉන්නවා. මේ නිසා අසනීප තත්ත්ව, වයස, හදිසි අවස්ථාවක කතා කළ යුතු අය සම්බන්ධ තොරතුරු ගොනුවක් එක් එක් පුද්ගලයා වෙනුවෙන් සකස් කර ගන්න ඕන. බෙහෙත් වර්ග ගන්න අයට ඒවා අරන් එන්න කියන්න ඕන. හයික් එකක් යද්දී පැයකට වතුර ලීටරයක් විතර බොන්න ඕන. ඒකට සෑහෙන වතුර අරන් යන එක වැදගත්. ගමනට ලීඩර් ෂිප් එක දෙන පුද්ගලයින් සිතියම් කියවා ගන්න වගේම මාලිවාවක් පාවිච්චි කරන්න දැන ගන්න ඕන. සම්පූර්ණයෙන්ම වලාකුළක් කන්දේ වැදුනට පස්සේ ළඟ ඉන්න දෙන්නාවත් පෙන්නේ නැහැ. රාගම වෛද්‍ය පීඨ සිසුන්ටත් එදා වෙලා තිබුණේ මේකම තමයි. වලාකුළ පාත් වුණාට පස්සේ ලෑන්ඩ් මාක් මුකුත් පෙන්නේ නැහැ. එතකොට ඉදිරියට යන්න වෙන්නේ සිතියමක ආධාරයෙන් තමයි. අනිත් වැදගත්ම කාරණය තමයි කණ්ඩායම එකට තියාගන්න එක. වෛද්‍ය සිසුන් එදා කණ්ඩායමක් විදිහට එකට සිටිය නිසා ලොකු අනතුරක් වළක්වා ගන්න පුළුවන් වුණා.

හන්තාන කන්ද විශ්වවිද්‍යාල සිසුවෙකු ලෙස 2011 වසරේදී මුලින්ම තරණය කළ නාලක ඇල්ලදෙණිය මේ වන විට 70 වතාවක් හන්තාන ගවේෂණය කර අත්දැකීම් ලැබුවෙකි. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ගවේෂක සංගමයේ ද නියෝජිතයෙකු වූ ඔහු මෙසේ අදහස් දැක්වීය…

“මුල් කාලේ හන්තාන බලන්න විශ්වවිද්‍යාල සිසුන් තමයි ගියේ. පසුකාලීනව විශ්වවිද්‍යාල ගවේෂකයන්ගේ සංගමය මුල් වී පාසල් සිසුන්ටත් කන්ද තරණය කරන්න පහසුකම් ලබා දුන්නා. හන්තාන කඳු පන්තිය පිහිටලා .තියෙන්නේ කටුස්සෙකු ගේ හැඩයට. මහකන්ද පැත්තෙන් ගියොත් කටුස්සා ගේ හිසත් බෙල්ලත් අතර ට තමයි වැටෙන්නේ. විශ්වවිද්‍යාලය ඇතුළෙන් ගියොත් කටුසු කොන්ද ළඟට වැටෙනවා. නුවර බෝගම්බර පැත්තෙන් ආවොත් කන්දට ඇතුළු වෙන්නේ කටුස්සා ගේ වල්ගය ආකාරයට පිහිටලා තියෙන කොටසින්. කන්ද තරණය කරලා පහළට එන්න පැය 06 ත් 09 ත් අතර කාලයක් ගත වෙනවා. විශේෂයෙන් කණ්ඩායමක් එක්ක යනකොට එක් එක් අයගේ දරා ගැනීමේ ශක්තිය වෙනස් වෙන නිසා අපිට අමතර කාලයක් වැය කරන්න වෙනවා. ඒ නිසා පුළුවන් තරම් උදෙන් යන එක තමයි වැදගත්. හන්තානේ දෙතුන් පාරක් ගියා කියලා අපිට හොඳ අත්දැකීමක් ලබන්න බැහැ. මොකද ඉහළ කොටසේ පරිසර තත්ත්වයේ වෙනස් වීම ගැන අවබෝධයක් ගන්න දහ දොළොස් පාරක්වත් යන්න ඕන. කන්ද උඩදී වැස්සට තෙමුනම දරා ගන්න අමාරුයි. මොක ද ගස් කොළන් නැති නිසා වැහි බිංදු කෙළින්ම ඇඟට වැටෙන්නේ.

හන්තාන සුරැකීමේ සංවිධානයේ ලේකම් අමිත් සේනානායක හන්තාන කඳු තරණයේ පවතින අවදානම හා එය අවම කර ගැනීමට ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව මෙසේ පැවසුවේය.

“මේ කන්දේ නැ‍ෙඟනහිර බෑවුම 90 % ක බෑවුමක් තිබෙනවා. මහනුවර නගරයේ ඉඳලා බලද්දී අපිට පේන්නේ බටහිර බෑවුමයි. අනෙක් කඳු එක්ක බලද්දී හන්තාන තරමක් අවදානමෙන් වැඩියි. අවුරුද්දේ වැඩි කාලයක් හන්තාන මීදුමෙන් වැහිලා තියෙන්නේ. කන්දේ ඉහළම කොටස තමයි ඌරා කෙටූ ගල. අනෙක් ස්ථානය තමයි කටුස් කොන්ද. මේ කොටස කටුස්සෙකුගේ කොන්දේ හැඩයට පිහිටලා තියෙන්නේ. එහි එක පැත්තක අංශක 90 ක බෑවුමක්. අනෙක් පැත්ත අංශක 60 විතර බෑවුමක්. මේ ස්ථානය පහු කිරීම ඉතාම අවදානම්. කටුසු කොන්ද නග්න පාෂාණයක්. ඇවිදින්න තියෙන්නේ අඩියක විතර පළල ඇති කොටසක්. වැස්ස, සුළඟ, මීදුම තියෙන වෙලාවට මෙතන හරිම අවදානම්. ගොඩක් අය මේ ස්ථානයට ඇවිත් ගිමන් හරිමින් වට පිටාවේ සුන්දරත්වය විඳිමින් වැඩි වෙලාවක් ගත කරනවා. හවස තුන විතර වුණ ගමන් එක පාරටම මීදුම බාන්න ගන්නවා. ඒ අසිරියත් බලන්න සමහරු නතර වෙනවා. එන්න එන්න අඳුරු වැටෙද්දී ළඟ ඉන්න කෙනාවත් නොපෙනෙන තත්ත්වයක් ඇති වෙනවා. එතකොට තමයි හැමෝම අසරණ වෙන්නේ. ගොඩක් අය අතරමං වෙන්නේ කණ්ඩායමෙන් බිඳිලා විසිරී ගියාම වුණත් හන්තාදී වෙන්නේ කණ්ඩායමක් විදිහට අතරමං වීමයි.ඒ නිසා අඩුම තරමින් හවස 3.00 වෙන කොටවත් පහළට බහින්න සූදානමින් යන්න ඕන.

හන්තාන කන්ද පළමු වසරේදී තරණය කිරීම පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උප සංස්කෘතියකි. එම ගමනට වෙනත් වසර වල සිසුන් සම්බන්ධ නොවීම සම්ප්‍රදායකි. ඒ පිළිබඳ වැඩිදුර විස්තර අප හා පැවසුවේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ වැඩ බලන මහජන සම්බන්ධතා නිලධාරී මහේෂ් අබේවික්‍රම ය. “ විශ්වවිද්‍යාලයේ පළමු වසරේ අධ්‍යයන කටයුතු අවසන් කරන්න කලින් ඒ කණ්ඩායම හන්තාන තරණය කළ යුතුයි. විභාග ඉලක්ක කරගෙන අධ්‍යාපන කටයුතු කරලා විශ්වවිද්‍යාලයට එන සමහර ළමයින්ට සමාජය ගැන පරිසරය ගැන අත්දැකීම් අඩුයි. හන්තාන කන්ද නැඟීම අභියෝගාත්මක එකක්. අභියෝගවලට මුහුණ දෙන්න, කණ්ඩායමක් විදිහට වැඩ කරන්න මේ තුළින් සිසුන්ට පුහුණුවක් ලැබෙනවා. සමහර ළමයින්ව සහෝදර ශිෂ්‍යයෝ කර තියාගෙන අරන් යන්නේ. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ගවේෂකයින්ගේ සංගමයේ සාමාජිකයින් කඳු නැඟීමේ මුල්ම පුහුණුව ලබා ගන්නේ හන්තානෙන්. කඳු නැඟීමේදී අවශ්‍යය වෙන කූඩාරම්, කඹ ආදි ඕනෑම දෙයක් මේ සංගමයේ තියෙනවා. විශ්වවිද්‍යාලවලින් හන්තාන තරණය කරන්න එන අය මේ සංගමයේ සහයෝගය ගන්නවා නම් අතරමං වීමේ ඉඩක් නැහැ.

රාගම විශ්වවිද්‍යාල සිසුන් හන්තානේ අතරමංව සිටින බවට මුලින්ම පණිවිඩය ලැබී තිබුණේ මහනුවර පොලිසියේ හදිසි ඇමැතුම් අංශයට ය. එම ඇමැතුමට අනුව මුලින්ම සිසුන් මුදා ගැනීමේ මෙහෙයුමට සම්බන්ධ වී ඇත්තේ එම ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ඩබ්ලිව්.වී.එස් වීරසිංහ ඇතුළු කණ්ඩායමකි. මහනුවර 111 වන බලසේනාධිපති බ්‍රිගේඩියර් සාලිය ඩයස්ගේ උපදෙස් මත හමුදා භටයින් 40 දෙනෙකු පමණ ද ඊට එක් වූහ. මෙහෙයුම සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂක වීරසිංහ මෙසේ පැවසුවේය.

“පේරාදෙණිය විශ්වවිද්‍යාලය මැදින් තිබෙන පාරෙන් තමයි මේ ළමයි හන්තානට ඇතුළු වෙලා තියෙන්නේ. එයාලා ආපු බස්වල රියැදුරන්ට කලින්ම දැනුම් දීලා තියෙනවා හවස 6.00 ට විතර බෝගම්බර 4 කණුව සඳගිරිසෑය ආසන්නයට බස් අරන් එන්න කියලා. මේ ළමයි කැලේ අතරමං වෙලා කියලා ඇමතුම ලැබුණේ 8.30 ට විතර. දුරකතන ඇමැතුම් ගත්තත් ඉන්න තැනක් කියන්න ඒ අයට හැකියාවක් තිබුණේ නැහැ. එයාලා ඇවිත් තිබුණ බස්වල හෝන් ගහන්න කියලා රියදුරන්ට කිව්වා. එක දිගට බස්වල හෝන් ගහත්දී ඒ සද්දේ ඇහෙනවා කියලා ළමයි කිව්වා. සද්දේ තියෙන පැත්තට එන්න කියලා හමුදාවයි අපියි ඉදිරියට ගියා. සිංහ රෙජිමේන්තුව මැදිහත් වෙලා සවි කරලා තිබෙන මඟ පෙන්වන පුවරු කිසියම් පිරිසක් ගලවා ඉවත් කරලා තියෙනවා. තවත් ඒවා වෙනත් දිශාවලට හරවලා. මේක ඇත්තටම ඛේදනීය තත්ත්වයක්. ඇතැම් විට මේවා විනෝදයට වෙනස් කරන්න පුළුවන්. ඒත් ඒ නිසා සිදුවන හානිය මොන තරම් ද කියන එක තක්සේරු කරන්න බැහැ.

හන්තාන නඟින්නට ගොස් අතරමං වන පිරිස් මුදා ගැනීම අභියෝගාත්මක කරණයකි. ඊට නිලධාරීන් සම්බන්ධ වන්නේ ජීවිත අවදානමක් ද ඇතිවය. සූදානමක් නොමැතිව කන්ද තරණය කරන්නට යෑමෙන් තමන්ගේ වටිනා ජීවිතයෙට හානි වීමට ද ඉඩක් තිබේ. අනෙක් පසින් මෙම පිරිස් මුදා ගැනීමේ මෙහෙයුම් සඳහා රාජ්‍ය මුදල් ලක්ෂ ගණනින් වැය වීම ද අපරාධයකි. මේ නිසා හන්තාන නඟින්නට පෙර තමන්ගේ ආරක්ෂාව තහවුරු කර ගැනීම පිණිස අවදානම් ගැන සැලකිලිමත් වීම වැදගත් ය. ඒ සඳහා සහය ලබා දීමට පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ගවේෂකයන්ගේ සංගමය ඇතුළු සංවිධාන ගණනාවක් සූදානම් ය.

අසේල කුරුළුවංශ

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division