කලකට පසුව අසන්නට ලැබුණු අපූරු නඩු තීන්දුවක් පසුගිය බ්‍රහස්පතින්දා (14) පස්වරුවේදී කුරුණෑගල මහාධිකරණයෙන් අසන්නට ලැබුණි. දේශපාලනඥයන්ට සේම රාජ්‍ය නිලධාරීන්ට ද එකසේ වැදගත් පාඩමක් මේ නඩුවෙන් කියා දුන්නේය.
නඩුවක් විභාගයට ගත් දිනයේදීම එහි තීන්දුව ප්‍රකාශයට පත් කරමින් වැරැදිකරුවන් සිරගෙට යැවීමට තරම් ලබා දුන් මෙම තීන්දුව මෙරට අධිකරණ ඉතිහාසය තුළ කෙටිම කාලයකදී විභාගයට ගෙන තීන්දුව ප්‍රකාශයට පත් කළ නඩුවක් ලෙස සැලකෙනු ඇත. එමෙන්ම මෙරට පුරාවිද්‍යා ආඥා පනතට අනුව පුරාවස්තුවලට හානි කිරීමක් සම්බන්ධයෙන් ලබා දුන් ඉහළම දඬුවමක් ද විය හැකිය.
කුරුණෑගල පළාත්බද මහාධිකරණයේ විනිසුරු ලාල් රණසිංහ බණ්ඩාර මේ නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කළ විනිසුරුවරයා විය.
කුරුණෑගල ඓතිහාසික රාජධානියේ රජ කළ පළමුවැනි බුවනෙකබාහු රජ සමයට අයත් බව කියන රාජ සභා මණ්ඩපය බැකෝ යන්ත්‍රයක් යොදා ඩෝසර් කරවීමේ සිද්ධිය පසුගිය කාලයේදී මුළු රටම කැලඹවූ සිද්ධියක් විය. කුරුණෑගල රාජධානි සමයට අයත් මේ වනවිට ඉතිරිව තිබෙන අල්ප වූ පුරාවස්තු කිහිපයෙන් එකක් ලෙස සැලකෙන මේ රාජ සභා මණ්ඩපය කිසිදු වග විභාගයකින් තොරව කඩා බිඳ දමා විනාශයට පත් කිරීම සමස්ත රටේම ප්‍රබලව අප්‍රසාදයට හා විරෝධයට ලක්වූ කරුණක් විය. මහජන ගෞරවයට ලක් විය යුතුව අනාගතයට සුරැකිය යුතුව තිබූ මේ ඉපැරැණි ස්ථානය විනාශයට ලක් කිරීම පිළිබඳව මුළු රටේම අවධානය යොමු වූයේ මෙතැන් සිටය.
ඓතිහාසික කුරුණෑගල රාජධානියේ පළමු පුරවැසියාම මෙවැනි කාර්යයක් සඳහා පෙලඹීම අනුමත නොකළ යුතු කාර්යයක් මෙන්ම ඔහු විසින් නොකළ යුතුම කාර්යයක් වී තිබුණි. නමුත් අවාසනාවකට නගරයේ පළමුවැනි පුරවැසියාගේ මෙහෙයවීමෙන් ඒ විනාශය කර තිබුණි.
එක අතකට මෙය මෙරට සමස්ත රාජ්‍ය සේවයට මෙන්ම තමන්ට නොකළ හැකි දෙයක් නැතැයි උද්ධච්ඡව සිතන දේශපාලඥයන්ට ද අපූරු පාඩමක් ඉගැන්වූ ඉතිහාසගත වන නඩු තීන්දුවක් බව කිව යුතුය.
ඔවුන් මේ ආකාරයට දඬුවම් ලැබුවේ අපගේ ඓතිහාසික උරුමයකට අත තැබීමට ගොස්ය. ලෝක උරුමයක් වන සීගිරියේ කැටපත් පවුරේ කුරුටු ගී ලියන්නට යාමේ වරදට දමිළ යුවතියකට සිර දඬුවම් නියම වූ ආකාරය කාහටත් අමතක නොවන්නේ අපේ රටේ ඓතිහාසික උරුමයකට හානි කළහොත් ලැබෙන දඬුවම එතරම් බරපතළ බව පෙන්වා දුන් නිසාය.
මෙයද ඒ සමාන නමුත් ඊටත් එහා ගිය දඬුවමකි.
කුරුණෑගල රාජධානිය කරගත් පළමු බුවනෙකබාහු රජුගේ ඉපැරැණි රාජ සභා මණ්ඩපය බවට අනුමාන කෙරුණු ඉපැරැණි ගොඩනැඟිල්ලක් බැකෝ යන්ත්‍රයක් දමා ඩෝසර් කිරීමේ වරදට මෙරට පුරාවිද්‍යා ආඥා පනතට සහ පොදු දේපළ පනතට අනුව ඔවුන්ට එම දඬුවම් අධිකරණයෙන් නියම විය.
කුරුණෑගල නගරාධිපතිවරයාව සිටි තුෂාර සංජීව විතාරණ සමඟ කුරුණෑගල හිටපු නාගරික කොමසාරිස් ප්‍රදීප් තිලකරත්න, හිටපු නාගරික ඉංජිනේරු චමින්ද කුමාර අධිකාරි, මහ නගර සභාවේ වැඩ පරීක්ෂක අයි. සුල්ෆිකාර් සහ බැකෝ යන්ත්‍ර ක්‍රියාකරු වන ලලිත් ප්‍රියන්ත යන පස් දෙනාට බරපතළ වැඩ සහිතව වසර තුන බැගින් වූ සිර දඬුවම් කුරුණෑගල මහාධිකරණ විනිසුරු ලාල් රණසිංහ බණ්ඩාර නියම කළේය. සිර දඬුවමට අමතරව රුපියල් පනස්දහස බැගින් වූ දඩ මුදලක් ගෙවන ලෙස ද විනිසුරුවරයා නියම කළේය.
එසේම ඩෝසර් කිරීමෙන් කුරුණෑගල ඉපැරැණි රාජධානියේ රාජ සභා මණ්ඩපයට සිදුව තිබූ හානිය වෙනුවෙන් පුරාවිද්‍යා දෙපාර්තමේන්තු තක්සේරුවට අනුව වන්දියක් ලෙස රුපියල් එක්කෝටි තිස් හය ලක්ෂයක විශාල මුදලක් ගෙවීමට ද මෙම වගඋත්තරකරුවන් පිරිසට සිදු විය.
රාජ සභා මණ්ඩපයට 2022 වසරේදී සිදු කරන ලද හානිය මුළු රටම කැලඹ වූ සුවිශේෂී පුවතක් විය. මේ සිද්ධිය අරබයා එවකට කුරුණෑගල නගරාධිපතිවරයාව සිටි තුෂාර සංජීව විතාරණට දසතින්ම චෝදනා එල්ල වන්නට විය. මේ විරෝධය මහජන උද්ඝෝෂණ දක්වාම පැතිර ගියේය. නමුත් ඒ කිසිවකින් නොසැලුණු නගරාධිපතිවරයා මෙම සිද්ධියේදී තමන් නිවැරැදි බව ප්‍රසිද්ධියේ කියා සිටියේය. පුරා විද්‍යා දෙපාර්තමේන්තුව විසින් පුරාවිද්‍යා වටිනාකමකින් යුත් මේ ස්ථානය නගරයේ සංවර්ධන කටයුතු සඳහා කඩා ඉවත් කිරීමට අනුමැතිය ලැබී තිබුණු බව ද ඔහු ප්‍රකාශ කළේය.
කුරුණෑගල ඓතිහාසික රාජධානියට මෙරට ඉතිහාසය තුළ හිමි වන්නේ සුවිශේෂී ස්ථානයක් වුව ද අදට ද කිසිදු සංරක්ෂණයකට ලක් නොවූ මෙරට එකම ඉපැරැණි රාජධානිය ලෙස කුරුණෑගල රාජධානිය හැඳින්විය හැකිය. වර්තමානයේ කුරුණෑගල නගරය පිහිටි සමස්ත භූමියම කුරුණෑගල රාජධානියට අයත් වේ. සංරක්ෂණයකට නතු කර පුරා විද්‍යාවට අයත් බවට නම් නොකිරීම හේතුවෙන් මේ වනවිට කුරුණෑගල රාජධානියේ බොහෝ ඉපැරැණි දෑ පෞද්ගලික ඉඩකඩම් බවට පත්ව අවසානය.
ගොඩනැඟිලි ඉදි කිරීම් සඳහා කරනු ලබන කැණීම්වලදී බොහෝ විට හමු වන ඉපැරැණි පුරාවස්තු වලට සිදුවන දෙයක් නැත. ඉදිකිරීම් මුවාවෙන් නිදන් වස්තු ලබා ගැනීමේ සිද්ධීන්ද බොහෝය. අද මාලිගාපිටිය ක්‍රීඩාංගණය ලෙස හැඳින්වෙන භූමිය එදා රජ මාලිගාවේ කොටසකි. කුරුණෑගල මහ වැව අතීතයේදී කුරුණෑගල ගැට්ටුවාන, වර්තමාන පැරැණි ආණ්ඩුකාර කාර්යාලය දක්වා පැතිර තිබූ බව කියයි. දළදා වහන්සේ වැඩ හිඳ වූ බව කියන ඉපැරැණි දළදා මාලිගාවේ නෂ්ටාවශේෂ අදට ද දැකගත හැකිය.
මේ සියල්ල දෙස බැලූ විට ආන්දෝලනයකට ලක් වූ රාජ සභා මණ්ඩප ගොඩනැඟිල්ල පිහිටි ස්ථානය ද ඉපැරැණි රාජධානි ගොඩනැඟිලි හා ආශ්‍රිතවම පිහිටා ඇති බැවින් එය පුරාවිද්‍යාත්මක වටිනාකමකින් යුක්ත බව අවිවාදයෙන්ම පිළිගත හැකිය.
එහි වටිනාකමක් නොදත් හිටපු අමාත්‍යවරයකු මේ ඉපැරැණි ගොඩනැඟිල්ල සහිත කොටස තම හිතවත් ව්‍යාපාරිකයකුට කුරුණෑගල මහ නගර සභාවෙන් බද්දට අරන්දී තිබුණි. අවසානයේදී බුවනෙකබාහු රජුගේ රාජ සභා මණ්ඩපය බුවනෙක හෝටලය සහ තැබෑරුමක් මෙන්ම ගණිකා මඩමක් බවට පත් වූයේ හෝටලය බදු ගත් පුද්ගලයාගේ නමටද බුවනෙක යන නාමයේ කොටසක් ඈදී තිබූ නිසාය.
කුරුණෑගල නගරයේ වාණිජ අතින් ඉහළම වටිනාකමක් සහිත වූ දඹුල්ල ප්‍රධාන මාර්ගයේ පිහිටා තිබෙන මේ ගොඩනැගිල්ල එම ව්‍යාපාරිකයා කුරුණෑගල මහ නගර සභාවෙන් බදු ගෙන තිබුණේ ඉතා සොච්චම් මුදලකටය. එසේ බදු ගත් මේ ගොඩනැඟිල්ල ඔහු තවත් පුද්ගලයන්ට අතුරු බද්දට ලබාදී තිබූ බව ද පැවසේ.
ඉන්පසුව පත්වූ නගරාධිපති ගාමිණී පෙරමුණගේ මේ ස්ථානය නගර සභාවට නැවත පවරා ගැනීමට උත්සාහ කළ ද එය සාර්ථක නොවීය. නමුත් පසුව බලයට පත්වූ තුෂාර සංජීව විතාරණ බුවනෙක හෝටලය කෙසේ හෝ කුරුණෑගල මහ නගර සභාවට පවරා ගැනීමට සමත් විය.
මේ ගොඩනැඟිල්ල සාදා ඇති කැටයම් සහිත දැවැන්ත ලී කණු වලින්ම මෙහි ඇති ඉපැරැණිභාවය වටහා ගත හැකිය.
මෙම ගොඩනැඟිල්ල කඩා දැමීම සිදු කර තිබුණේ රාත්‍රි කාලයේදී වීම කාහටත් බරපතළ සැකයක් ඇති කළ කරුණක් ද විය. කුරුණෑගල නගරයට ආලෝකයක් ගෙන දුන් රාජ සභා මණ්ඩපයට සිදුව ඇති විනාශය පසුදා උදෑසන දුටු ජනතාව විමතියට පත් විය.
පුරාවස්තුවකට අත තැබීම හිටපු නගරාධිපතිවරයාගේ දේශපාලන දිවියේ හැරවුම් ලක්ෂ්‍ය බව කිව යුතුය. ඔහුගේ දේශපාලන දිවිය කඩා වැටෙන්නට වූයේ මෙතැන් පටන්ය. එය එක අතකට එය ශාපයක් බඳුය.
මේ සිද්ධියත් ඇතුළුව දූෂිත බවට එල්ල වූ තවත් චෝදනා කිහිපයක්ම සම්බන්ධයෙන් ඔහුට එරෙහිව හිටපු වයඹ පළාත් ආණ්ඩුකාර අද්මිරාල් ඔෆ්ද ප්ලීට් වසන්ත කරන්නාගොඩ විසින් ඒක පුද්ගල පරීක්ෂණ කොමිසමක්ද පත් කළේය. එම කොමිසමේ අවසාන තීන්දුව වූයේ නගරාධිපතිවරයා ඔහුට එල්ල කර තිබූ චෝදනා වලට වැරැදිකරු වන බවය. ඒ අනුව තුෂාර සංජීව විතාරණ කුරුණෑගල නගරාධිපති ධුරයෙන් ඉවත් කොට එල්ල කර තිබූ චෝදනා අනුව ඔහුට නැවත සභික ධුරයක් නොදැරිය හැකි ආකාරයට අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට ද හිටපු ආණ්ඩුකාර කරන්නාගොඩ පියවර ගෙන තිබුණි. මේ තීන්දුව ගැනීම හිටපු නාවික හමුදාපතිවරයාට එම තනතුරෙන් ඉවත්ව යෑමට ද ඍජුවම බලපෑවේය.
කරන්නාගොඩ ගත් එම තීන්දු බල රහිත කිරීමේ ක්‍රියාවලියක් ද කරන්නාගොඩගේ ඉවත්ව යාමෙන් පසුව ක්‍රියාත්මක වූ අතර එය බහුතරයක් රාජ්‍ය නිලධාරීන්ගේ මෙන්ම ජනතාවගේ ද දැඩි විවේචනයට ලක්වූ දෙයක් ද විය.
රාජසභා මණ්ඩපය කඩා දැමීම සඳහා නිල අනුමැතිය ලබා දුන් හිටපු නාගරික කොමසාරිස් ප්‍රදීප් තිලකරත්න ද එම චෝදනාවට අමතරව තවත් චෝදනා කීපයකටම ලක්වූ උසස් රාජ්‍ය නිලධාරියකු බව පැවසේ. ටෙන්ඩර් පරිපාටියකින් තොරව ඔහු යටතේම පැවති කුරුණෑගල මහ නගර සභාවට අයත් නාගරික වෙළඳ සංකීර්ණයකින් කඩ කාමර ලබා ගැනීම සම්බන්ධයෙන් ද ඔහුට එරෙහිව විගණන දෙපාර්තමේන්තුව විසින් චෝදනා එල්ල කර තිබුණි.
මෙපමණ චෝදනා එල්ලවී තිබියදීත් ඔහුට උසස්වීමක් ලැබී තිබූ අතර ඒ බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස්වරයකු මෙය හාස්‍යයට තුඩු දුන් කරුණක් වූයේ පුරාවිද්‍යා දේපළකට හානි කිරීමක් සම්බන්ධයෙන් චෝදනාවට ලක්ව සිටින නිලධාරියකුට පුරාවිද්‍යාවට සම්බන්ධ අමාත්‍යාංශයකටම තනතුරක් ලබා දීමය.
රාජ සභා මණ්ඩපය කඩා දැමීම සම්බන්ධයෙන් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නිල අනුමැතිය ලබා දුන් හිටපු නාගරික කොමසාරිස් ප්‍රදීප් තිලකරත්න ද එම චෝදනාවට අමතරව තවත් චෝදනා කීපයකටම ලක්වූ උසස් රාජ්‍ය නිලධාරියකු බව පැවසේ. ටෙන්ඩර් පරිපාටියකින් තොරව ඔහු යටතේම පැවති කුරුණෑගල මහ නගර සභාවට අයත් නාගරික වෙළඳ සංකීර්ණයකින් කඩ කාමර ලබා ගැනීම සම්බන්ධයෙන් ද ඔහුට එරෙහිව විගණන දෙපාර්තමේන්තුව විසින් චෝදනා එල්ල කර තිබුණි.
රාජ සභා මණ්ඩපය කඩා දැමීම සම්බන්ධයෙන් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් කුරුණෑගල මූලස්ථාන පොලිසියට කරන ලද පැමිණිල්ලකට අනුව හිටපු නගරාධිපතිවරයා ඇතුළු ඊට සම්බන්ධ පිරිස අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණය විසින් නියෝග කර තිබුණ ද අභියාචනාධිකරණය දක්වා යමින් එය වළක්වා ගැනීමට හිටපු නගරාධිපතිවරයා ඇතුළු පිරිස උත්සාහ ගත්ත ද එය සාර්ථක නොවීය. අවසානයේදී අභියාචනාධිකරණය පවා ඔවුහු අත්අඩංගුවට ගැනීම වළක්වන්නැයි කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කළහ.
මේ නඩු ක්‍රියාවලි අතරේ වසර තුනකට ආසන්න කාලයක් අත්අඩංගුවට පත් නොවී නිදහසේ සිටි නඩුවේ වගඋත්තරකරුවන් පස් දෙනා අත්අඩංගුවට පත් වූයේ පසුගිය බ්‍රහස්පතින්දා දින කුරුණෑගල මහාධිකරණයේ නඩු විභාගය ඇරඹූ අවස්ථාවේදීම වීම ද විශේෂ කරුණකි. මෙම සිද්ධියට තමන් නිවැරැදි බවට මුලින් ප්‍රකාශ කර සිටි හිටපු නගරාධිපතිවරයා නඩුව ආරම්භයේදීම ඊට වරද පිළිගන්නා බව ප්‍රකාශ කිරීම ද තවත් විශේෂ කරුණකි.
නඩු විභාගය පැවැත්වෙන අතරවාරයේදී රාජ සභා මණ්ඩපයට සිදු කළ හානිය වෙනුවෙන් වන්දියක් ලෙස රුපියල් එක්කෝටි තිස්හය ලක්ෂයක මුදලක් අධිකරණ නියමයෙන් ගෙවීමට ද හිටපු නගරාධිපතිවරයා ඇතුළු පිරිසට සිදුවීම ද තවත් විශේෂ කරුණකි.
එයින් තමන් ඇතුළු පිරිසට අධිකරණයෙන් සහනයක් ලැබේවි යැයි හිටපු නගරාධිපතිවරයා ඇතුළු පිරිස සිතන්නට ඇත. නමුත් එම සිතිවිල්ල උඩු යටිකුරු කරමින් එදින අධිකරණයට රැස්ව සිටි නීතීඥවරුන් ඇතුළු සියලුම දෙනා මවිතයට පත් කරමින් කුරුණෑගල මහාධිකරණ විනිසුරු ලාල් රණසිංහ බණ්ඩාර තම තීන්දුව ප්‍රකාශයට පත් කළේය. ඒ අනුව හිටපු නගරාධිපතිවරයා සමඟ හිටපු නාගරික කොමසාරිස්වරයාට, හිටපු නාගරික ඉංජිනේරුවරයාට, වැඩ පරීක්ෂකවරයාට සහ බැකෝ යන්ත්‍ර ක්‍රියාකරුට බරපතළ වැඩ සහිත වසර තුන බැගින්වූ සිර දඬුවම් නියම කෙරිණි. මීට අමතරව රුපියල් පනස්දහස බැගින්වූ දඩ මුදලක් ද ඔවුන්ට නියම විය.
මෙම තීන්දුව ප්‍රකාශයට පත් කරමින් මහාධිකරණ විනිසුරු ලාල් රණසිංහ බණ්ඩාර කරන ලද ප්‍රකාශය ද බෙහෙවින් වැදගත්ය.
නගරයේ ප්‍රධාන පුරවැසියා වශයෙන් ජනතාවට ආදර්ශමත්වළ කටයුතු කළ යුතු නගරාධිපතිවරයා මෙහිදී හැසිරී ඇත්තේ වගකීම් විරහිතව බව විනිසුරුවරයා මෙහිදී වගඋත්තරකරුවන් අමතා ප්‍රකාශ කළේය.
එසේම මෙම සිදුවීම මුළු රටේම ඉමහත් ආන්දෝලනයකට ලක්වූ කරුණක් බව අවධාරණය කළ මහාධිකරණ විනිසුරු ලාල් රණසිංහ බණ්ඩාර සුරැකිය යුතු පුරාවිද්‍යාත්මක වටිනාකමක් සහිත ස්ථානයකට සිදු කරන ලද බරපතළ හානිය සැලකිල්ලට ගෙන මින් ඉදිරියට මෙවැනි හානි සිදු නොකිරීමට පූර්වාදර්ශයක් ලබා දීම සඳහා මෙවැනි දඬුවමක් නියම කරන බවද සඳහන් කළේය.
පුෂ්පකුමාර ජයරත්න කුරුණෑගල අතිරේක