ශ්රී ලංකාවේ ප්රමුඛතම සංචාරක කළමනාකරණ සමාගම වන ‘එයිට්කන් ස්පෙන්ස් ට්රැවල්ස්’ විසින් අති සුඛෝපභෝගී මගී නෞකා තුනක් වන ‘වස්කෝ ද ගාමා’, ‘මෙයින් ෂිෆ්-5’ සහ ‘එම්.එස්. සෙවන් සීස් නැවිගේටර්’ යන නෞකා තුනම පසුගිය 10 වැනිදා කොළඹ වරායේදී මහත් උත්සවශ්රීයෙන් පිළිගන්නා ලදි.
‘වස්කෝ ද ගාමා’ සහ ‘මෙයින් ෂිෆ්-5’ යන නෞකා දෙකම ඉකුත් 10 වැනිදා පෙ.ව. 7.00 වන විට කොළඹ වරායේ නැංගුරම් ලූ අතර ‘එම්.එස්. සෙවන් සීස් නැවිගේටර්’ නෞකාව එදිනම පස්වරු 1.30 ට පමණ කොළඹ වරායට සේන්දු විය. මෙම නෞකා තුනෙන්ම ආසන්න වශයෙන් මගීහු 4,000ක් පමණ පැමිණියහ. “මෙම මාස දෙක තුළ නෞකාවලින් පැමිණෙන මගීන් 10,000 කට අධික පිරිසකට සේවා සැපයීමට අප බලාපොරොත්තු වෙනවා. මෙම සියලුම මගී යාත්රා මෙහෙයුම් සමාගම්, ඔවුන්ගේ යාත්රා ගමන් මාර්ගවල එක් නැංගුරම් පොළක් ලෙස ශ්රී ලංකාව තෝරා ගැනීම ගැන අප මහත් සේ සතුටු වෙනවා” යයි ‘එයිට්කන් ස්පෙන්ස් ට්රැවල්ස්’ සමාගමේ කළමනාකාර අධ්යක්ෂ නලින් ජයසුන්දර ප්රකාශ කළේය.