ශ්‍රී ලාංකේය පුවත්පත් කලා ඉතිහාසය තුළ අඛණ්ඩව වසර 35කට ආසන්න කාලයක් ජාතික පුවත්පතක ප්‍රධාන කර්තෘත්වය දැරූ එකම පුවත්පත් කලාවේදියා වන සිරි රණසිංහයන්ගේ වෘත්තීය ජීවිතය පිළිබඳ විවරණය කෙරෙන ඇගැයුම් උලෙළ ‘සිරිඅසිරි’ නමින් දෙසැම්බර් 20 වැනිදා ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී පැවැත්වේ.
විජය පුවත්පත් සමාගමේ සභාපති රංජිත් විජයවර්ධනගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මේ උලෙළේදී අමරපුර ශ්‍රී ධර්මරක්ෂිත මහා නිකායේ මහ නාහිමි පූජ්‍ය තිරිකුණාමලයේ ආනන්ද මහ නාහිමි, විශ්‍රාමලත් විදුහල්පති දෙයියන්දර අමර ගුණසේකර, ප්‍රවීණ මාධ්‍යවේදී තිලකරත්න කුරුවිට බණ්ඩාර, රජරට විශ්වවිද්‍යාලයේ ජනසන්නිවේදන අංශයේ මහාචාර්ය සේන නානායක්කාර ආදීන් දෙසුම් පවත්වන අතර, උලෙළේ සහෘද ආමන්ත්‍රණය ප්‍රවීණ මාධ්‍යවේදී සමන් අතාවුදහෙට්ටි විසිනි. රංගික ජීවන්ත ප්‍රමුඛ ‘රිවේගා’ රංගායතනය විසින් විචිත්‍රවත් කරන මෙම උලෙළ සංවිධානය කරන්නේ සිරි රණසිංහ මිත්‍ර සමාජය විසිනි.
වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම සිරි රණසිංහයන්ගේ වෘත්තීය පුවත්පත් කලා ජීවිතයද මහා අසිරියකි. එය අභියෝග, බාධක, කඳු පල්ලම් මැදින් ආ අපූර්වතම ගමනකි. පත්තර කලාව සොඳුරු, සුමට වූවක් නොවන බව පත්තර සහෘදයෝ අත්දැකීමෙන්ම දනිති. එසේ වුවද සිරි රණසිංහයන් ඒ අභියෝග හමුවේ දශක පහකට ආසන්න කාලයක් සිය වෘත්තීය ජීවිතය ගතකර ඇත. මේ වන විට සිය දිවි ගමනේ අසූ තුන්වැනි විය සපුරා සිටින ඔහු සිය ජීවිතයෙන් අඩකටත් වඩා වැයකර ඇත්තේ පුවත්පත් කලාව වෙනුවෙනි. එය වසර 48කි. එයිනුත් වසර 33කට අධික කාලයක් හෙතෙම මෙරට ප්‍රධාන පෙළේ ජාතික පුවත්පතක් වන ‘ලංකාදීප‘යේ ප්‍රධාන කතුවර භූමිකාවේ නියැළෙන්නේය.
එය ඔහු විසින් තබා ඇති නොබිඳෙන වාර්තාවක් වුවද සිරි රණසිංහයන් ඒ වාර්තාවලින් හිස උදුම්වා නොගත් ජ්‍යෙෂ්ඨයෙකි. එදා මෙදාතුර සමකාලීන පුවත්පත් සගයන් අතර මෙන්ම වත්මන් පරම්පරාවේ මාධ්‍යවේදීන් අතරද ඔහු පිළිබඳ ඇත්තේ බොහෝ පහන් හැඟීමකි. දැනුමෙන්, බුද්ධියෙන් සහ අත්දැකීම්වලින් පරතෙරට පැමිණියද ඔහු බොහෝ සරල මිනිසෙකි. කිසිවකුගේ සිත තළා පීඩාවට පත්කිරීම ඔහුගේ පිළිවෙත නොවේ. එනිසාම සිරි රණසිංහයන් ඇසුරු කරන සැමට අසිරිමත් මිනිසෙකි.
මේ අසිරිමත් මිනිසා උපත ලබන්නේ මාතර දෙයියන්දරදී 1940 ජුලි 16 වැනිදාය. ගම්මුලාදෑනියකු වූ රොබට් රත්නායක රණසිංහ සහ හින්නි හාමිනේ රණසිංහ යුවතිපතීන්ගේ දරුවන් තිදෙනාගෙන් බාලයා වූයේ සිරි ය. වැඩිමහල් සහෝදරයන් දෙදෙනකුට මලණුවන් වූ කුඩා සිරි, මූලික අධ්‍යාපනය ලබන්නේ මාතර දෙයියන්දර ග්‍රාමීය පාසලෙනි. ඉන් අනතුරුව සඳලංකාවේ මධ්‍ය මහා විද්‍යාලය, අම්පාර ජාතික පාසල, නුවරඑළිය ගාමිණි විද්‍යාලයේ ද කලින් කල උගත් සිරි රණසිංහ, අධ්‍යාපනය අවසන් කරන්නේ මීරිගම ඩී. ඇස්. සේනානායක මධ්‍ය මහා විද්‍යාලයෙනි. එසේ පාසල් කිහිපයක ඉගෙනුමට ලැබුණු අවස්ථාව ගැන සිරි රණසිංහයෝ සිය මතකය අවදි කළේ මෙලෙසිනි.
“කුඩා කාලේ දෙයියන්දර පාසලට ආව කරුණාරත්න ගුරුතුමා මට පවුලේම කෙනෙක්, ඥාතියෙක් තරමට සමීප වුණා. දෙයියන්දර පාසලෙන් මාරුවෙලා යද්දි ගුරුතුමා මගෙන් ඇහුවා, මම යනවා, උඹ එනවද? කියලා. මම ගුරුතුමා එක්ක එතුමා යන යන පාසලට ගියා. අපේ පවුලෙම කෙනෙක් වුණ ඔහු නිසයි මට පාසල් කිහිපයක ඉගෙන ගන්න අවස්ථාව ලැබුණේ.” ජ්‍යෙෂ්ඨ විභාගය සමත් වීමෙන් පසු සිරි තරුණයා 1962දී විද්‍යෝදය විශ්වවිද්‍යාලයට ඇතුළත් වන අතර, 1965 වසරේ සරසවියේ අවසන් විභාගයට පෙනී සිට නිවෙසේ පසු වූ පළමු මාසයේදීම ඔහුට සිය දෛවෝපගත රැකියාව හමුවිය.
“සිළුමිණ පත්තරේ පුවත්පත් කලාවේදීන් බඳවා ගන්නවා කියලා දැන්වීමක් දාලා තිබුණා. තාත්තාගේ කීමට මමත් ඒකට ඇප්ලිකේෂන් එකක් දැම්මා. ඊට පස්සේ ලේක්හවුස් එකට ඇවිත් ලිඛිත පරීක්ෂණයකට පෙනී හිටියා. ඊට පස්සෙ දිනමිණ කර්තෘ විදිහට හිටිය ඩී. ඩී. වෙත්තසිංහ ලියුමක් එවලා තිබුණා සම්මුඛ පරීක්ෂණයට එන්න කියලා. ඒකට ඇවිත් ගියාට පස්සේ ලේක්හවුස්හි එවකට සභාපති විදිහට හිටිය රංජිත් විජයර්ධනගෙන් කැඳවීමක් ලැබුණා නැවත සම්මුඛ පරීක්ෂණයකට එන්න කියලා.”
එහි ප්‍රතිඵලයක් ලෙස 1965 දෙසැම්බර් 15 වැනිදා සිරි රණසිංහ නම් විසිපස් හැවිරිදි තරුණයා ලේක්හවුස්හි පියගැටපෙළ නැඟ ආවේ ආධුනික වාර්තාකරුවකු ලෙස ජනතා පුවත්පතේ සේවයට එක්වීමටය.
“ඒ කාලේ මාත් එක්කම වගේ ලේක්හවුසියේ රස්සාවට බැඳුණු අය අතර, සරසවියේදි මා එක්ක එකට ඉගෙන ගත් ගලහිටියාව, විමල් වීරසේකර ,ආනන්ද ලාල් යාපා, මෙරිල් පෙරේරා, සිරිපාල කඳුමුල්ල හිටියා. ඒ කාලේ දිනමිණ කර්තෘ විදිහට හිටියෙ ඩී. එෆ්. කාරියකරවන, ප්‍රවෘත්ති කර්තෘ කීර්ති ගුණරත්න. ජනතා පත්තරේදී ඉස්සෙල්ලාම මට වැඩ පුරුදු කළේ ඉලංගසිංහ. මාස දෙකක් විතර වැඩ කළාට පස්සේ මාව දිනමිණ ප්‍රවෘත්ති අංශයට යොමු කළා. දිනමිණ එවකට ප්‍රවෘත්ති කර්තෘ විදිහට හිටියෙ පසුව දිවයින ආරම්භක කර්තෘ වූ එඩ්මන්ඩ් රණසිංහයන්. මාසයක් විතර දිනමිණේ වැඩ කරගෙන ඉන්නකොට මාව දිනමිණ සබ් ඩෙස්ක් එකට දැම්මා. එහෙම වැඩ කරගෙන ඉන්නකොට දිනමිණ ප්‍රධාන උපකර්තෘ විදිහට වැඩ කළ බන්දුල සී. සරච්චන්ද්‍ර සිළුමිණ කර්තෘ තනතුරට පත්වුණා. ඊට පස්සේ ඔහු මාව සිළුමිණට ගත්තා.”
එසේ පියවරෙන් පියවර පුවත්පත් කලාවේ විවිධ ඉසව්හි සැරිසරමින් දැනුමෙන් සහ අත්දැකීම්වලින් පූර්ණ වී සිටි සිරි රණසිංහයන්ට පත්තර මහගෙදරින් සමුගන්නට සිදු වන්නේ සිය වෘත්තීය ජීවිතයට දශක දෙකක් සම්පූර්ණ වී තිබියදීය. ඒ, 1985දීය. එහෙත් දෛවය ඔහු ඊට වඩා ඉහළ තැනක තබන්නට සැලසුම් කළා විය යුතුය. දිනමිණ සහ සිළුමිණ පුවත්පත්වල ප්‍රධාන කතු ධුර දැරූ ඇස්. සුබසිංහයන් සහ පර්සි ජයමාන්න ඒ වනවිට ලේක්හවුස් ආයතනයෙන් ඉවත්වී විජය පුවත්පත් සමාගමේ සේවය කරමින් සිටියහ. සිරිකත, තරුණයා, ලිට්ල් ස්ටාර්, ලංකා වුමන් වැනි පුවත්පත් එවකට එම සමාගමෙන් ප්‍රකාශයට පත් විය. 1986 අප්‍රේල් පළමුවැනිදා සිරි රණසිංහ විජය පුවත්පත් සමාගමට එක්වූ අතර, 1988දී ඔහු සිරිකත කතුවරයා සහ ඉරිදා ලංකාදීප නියෝජ්‍ය කර්තෘ බවට පත්විය. සුබසිංහයන්ගේ සහ පර්සි ජයමාන්නගේ විශ්‍රාම යෑමෙන්පසු ඉරිදා ලංකාදීපයේ කතුවර පදවිය සිරි රණසිංහයන් සොයා ආවේය.
“ඒක බරපතළ තනතුරක්නෙ. මගෙ හිතේ පොඩි චකිතයක් තිබුණා. ගංගාරාමේ පොඩිහාමුදුරුවො මට පණිවිඩයක් එව්වා, ඇවිත් උන්වහන්සේව හම්බවෙන්න කියලා. උන්වහන්සෙයි මමයි විද්‍යෝදය සරසවියේ එකට ඉගෙන ගත්තා. උන්වහන්සේ මට කිව්වා, ඔයා බය නැතිව ඉරිදා ලංකාදීපේ භාරගන්න කියලා. ඒ 1988දී. 1989දී මම නොනිල කර්තෘ විදිහට පත්වුණා. 1990 දෙසැම්බර් 15 වැනිදා සති මැද ලංකාදීප පත්තරෙත් 1991 සැප්තැම්බර් 10 වැනිදා දිනපතා ලංකාදීප පත්තරෙත් පටන් ගත්තා.”
එදා මෙදාතුර වසර 35කට ආසන්න කාලයක් කතු පදවිය දැරුවද මෙය තමා කිසිදිනෙක නොදුටු සිහිනයක් බව සිරි රණසිංහයන් කීවේය.
“පත්තරකාරයෙක් වෙන හීනයක් මගේ හිතේ කොතැනකවත් තිබුණේ නැහැ. මම බලාපොරොත්තුවෙන් හිටියෙ විශ්වවිද්‍යාලයෙන් පිටවුණු ගමන් ගුරු පත්වීමක් ගන්නයි. මගෙ මවුපියෝවත් මං ගැන එහෙම හීන දැක්කෙ නැහැ. සාමාන්‍ය ගැමි කාන්තාවක් වුණු මගේ අම්මා කිව්වෙත් පුතේ උඹ ඉස්කෝලෙ ගිහින් කසාය වට්ටෝරුවක් කියවන්න ඉගෙනගත්ත නම් ඇති කියලා.”
තමාගේ බාල පුතු රටම දන්නා හඳුනන පත්තරකාරයකු වනු ඇතැයි ඒ මව එදා නොසිතන්නට ඇත. එහෙත් මෙරට එක්තරා යුගයක්ම සිය නමින් වෙන්කර ගන්නට සිරි රණසිංහයන්ට භාග්‍යය ලැබිණ. සම්ප්‍රදාය අතික්‍රමණය කරමින් සිය පෑන හැසුරුවද සංස්කෘතිය, සදාචාරය මුල් තැනක ලා රකිමින් ජනමන අවදි කරමින් ජනතාවාදී පත්තර කලාවක් ඔහු දැයට තිළිණ කළේය. වැඩිම අලෙවිය ඇති ජාතික පුවත්පත් දෙකක කතුවරයා වීමේ භාග්‍යය ඔහු අයිති කරගත්තේ සිය නිදහස් චින්තනය තුළිනි. කතුකමට අමතරව සිරි රණසිංහයන් විජය පුවත්පත් ආයතනයේ කර්තෘ මණ්ඩල අධ්‍යක්ෂවරයා ද වේ. කතෘ මාණ්ඩලිකයන්ගෙන් පමණක් නොව ප්‍රාදේශීය මාධ්‍යවේදීන්ගෙන්ද පුවත්පතකට ඉටුවන සේවය මනාව අවබෝධ කරගනිමින් නිති ඔවුන් අගයන, දිරි ගන්වන කතුවරයකු ලෙස සිරි රණසිංහයන් ප්‍රකටය. වසර 33කට අධික කාලයක් අඛණ්ඩව කතු පුටුවේ රැඳෙන්නට ඔහුට වරම් ලැබුණේ ඒ සියලු සාධකවලින් නිර්මාණය වූ වටාපිටාව තුළය. එහෙත් මේ දිගු ගමන කිසිවකු සිතන තරමටම සුවපහසු නොවන්නට ඇත.
“මටත් අභියෝග නැති වුණේ නැහැ. ඇතැම් වෙලාවට කියන්න බැරිතරම් බරපතළ විදිහෙ ප්‍රශ්න, අභියෝගවලට මුහුණ දෙන්න සිදු වුණා. සමහර අවස්ථාවල පත්තරේ පළවුණු ප්‍රවෘත්ති වෙනුවෙන් නඩු වැටුණා. ඇතැම් දේශපාලඥයන් රැස්වීම්වල මගෙ නම කියලා බැණපු අවස්ථා තිබුණා. ඒ හැමදේමට මුහුණ දෙන්න පන්නරය ලැබුණෙත් වෘත්තිය ජීවිතය තුළින්මයි. ජීවිතයේ අභියෝග අතරින් ලේක්හවුස් ආයතනයෙන් ඉවත් වීම විශේෂ සිදුවීමක්. ඒ සිදුවීම මගේ ජීවිතයේ විශේෂ සන්ධිස්ථානයක් වුණා. දිගටම ලේක්හවුස් ආයතනයේ රැඳුණා නම් මේ වෙද්දි මම විශ්‍රාම ලබලා බොහෝ කලක් ගතවෙන්න තිබුණා. මේ වෙද්දි මගේ පත්තර ජීවිතයේ සමකාලීනයන්ගෙන් ජීවතුන් අතර ඉන්නෙ ඉලංගසිංහ විතරයි. දැන් මට වයස අවුරුදු 83ක්. තවමත් මම පත්තරේ වැඩ කරනවා. හැමදාම උදේ පාන්දර පහට අවදිවෙලා පැය එකහමාරක් පමණ ශාරීරික සුවතාව වෙනුවෙන් ඇවිදිනවා. ඊටපස්සේ මගේ කාලය වැය වෙන්නේ දිනපතා පුවත්පත් සියල්ල කියවීමටයි. උදෑසන දහය වන විට මම කාර්යාලයට පැමිණෙනවා. එතැන් සිට රාත්‍රී නවය දක්වා මම ගත කරන්නේ පත්තර කන්තෝරුවෙ වැඩ කටයුතු එක්ක.”
ඒ ජවසම්පන්න බව සහ ශක්තිය ජීවිත අභියෝග ජයගන්නට ඔහුට අවකාශ සැලසූ ස්ප්‍රීතුවක් වූවාට සැක නැත. ඉතින්, අභියෝග දිනන්නට දිරි දුන් රහස් ගැන ඔහුගෙන් නොවිමසා කොහොමද?
“වෘත්තීය ජීවිතයේ ඇතිවුණ හැම අභියෝගයක්ම ජයගන්න මට මගේ හාම්පුතා ආශීර්වාද කළා. එදා සිට අද වෙනතුරු මේ ගමන යන්නෙ එතුමාගේ ආශීර්වාදයෙන්. රජයේ මාධ්‍ය ආයතනවල පුවත්පත් කතුවරුන්ට ඇතැම්විට ඇතිවන බලපෑම් කවදාවත් මට මගේ ප්‍රධානියාගෙන් එල්ල වුණේ නැහැ. රජයේ මාධ්‍යයක වැඩ කරද්දි සමහර වෙලාවට බයක් ඇතිවෙන්න පුළුවන් තමන්ගෙ බෙල්ල අස්සෙන් කවුරුහරි එබිලා බලනවද කියලා. නමුත් මට කවදාවත් එවැනි බියක්, සැකයක්, බලපෑමක් එල්ල වුණේ නැහැ. මම බිංදුවෙන් පටන් අරගෙන සුළු කාලයක් ඇතුළත මේ තත්ත්වයට ආව කෙනෙක්. ලංකාවේ වැඩිම අලෙවිය සහිත පත්තර දෙකම ආරම්භ කළ සතුට, අභිමානය මම බොහොම නිහතමානීව විඳිනවා.”
මෝරන්නට මෝරන්නට පහතට නැවෙන උණ පඳුරක් මෙන් සිරි රණසිංහයන් නම්‍යශීලීය; නිහතමානීය. එනිසාම සැඩ සුළං හමුවේ පවා නොසැලී ඉන්නට ඔහු තුළ දිරිය ශක්තිය නොඅඩුව තිබිණ. ඔහුගේ ජීවිතය දිදුලන අනෙක් සාධකය මුල අමතක නොකිරීම යැයි හැඟේ. පුවත්පත් කලාව තුළ අද තමා කොතරම් දැවැන්තයකු වුවද එදා කෝඩුකාරයකු ලෙස පත්තර රස්සාවට පිවිසෙද්දී තමාට අතහිත දුන් ජ්‍යෙෂ්ඨයෝ ඔහුගේ මතකයේ සදාතනිකය.
“පුවත්පත් කලාවට ආභාසය ලැබූ අය අතරෙන් සිළුමිණ කර්තෘව සිටි ඇස්. සුබසිංහ මගේ ජීවිතයේ විශේෂ සන්ධිස්ථානයක්. සිළුමිණ පත්තරේ ස්වර්ණමය යුගය එතුමා කතු පදවිය දැරූ කාලයයි. ඒ වගේම එඩ්මන්ඩ් රණසිංහයන්ගෙන් මම විශාල ආභාසයක් ලැබුවා. බන්දුල.සී. සරච්චන්ද්‍ර, එම්. කේ. ධර්මවර්ධන, ඩී. එෆ්. කාරියකරවන, සිසිල් කුමාර යන අයගේ ආභාසයත් ජයලාල් විලේගොඩ, හේමා ගුණවර්ධන, එන්. ජී. ධර්මවර්ධන යන අයගේ ඇසුරත් මගේ වෘත්තිය ජීවිතයට ආලෝකයක් වුණා. කලක් සිළුමිණ කතු පදවිය දැරූ ඩී. සී. කරුණාරත්න මගේ මිත්‍රයෙක්. ඔහු දිනමිණේ ප්‍රවෘත්ති කර්තෘ තනතුර දැරුවා. පසු කාලයකදී මම ඔහුව ලංකාදීපයට සම්බන්ධ කරගත්තා. ඒ වගේම තිලකරත්න කුරුවිට බණ්ඩාර, අජන්තා රණසිංහ, බිනෝයි සුරේන්, ප්‍රභාත් මානවසිංහ, තිස්ස එදිරිසිංහ මා සමඟ දිනමිණ සබ් ඩෙක්ස් එකේ එකට වැඩ කළ මිතුරන්.”
තරගකාරී පුවත්පත් ආයතනයක ප්‍රධාන පුවත්පතක කතුවරයා මෙන්ම කතු මණ්ඩල අදියුරු ධුරය දැරුවද පත්තරකාරයකු වීමේ පළමු පියවර තැබූ පත්තර මහගෙදර ලේක්හවුස් ආයතනයට අද ද ඔහුගේ හදවත බැතිබරය.
“එදා මම ලේක්හවුස් ආයතනයට නොආවා නම් අද මම මෙතැන නැහැ. අපි කවුරුත් තමන් ඉගෙන ගත් තැනට, යමක් උපයා ගත් තැනට ද්‍රෝහි වීම, නිගරු කිරීම සුදුසු නැහැ. අපි එතැනට ආදරය කළ යුතුයි, ආශිර්වාද කළ යුතුයි. පසුගිය දවසක ලේක්හවුස් ආයතනයට යන්න ඒ පඩිපෙළ නඟිද්දි මගෙ ඇස්වලට කඳුළු ආවා. ඒ අතීත මතක අතර මොහොතක් රැඳෙන්න මගෙ හිත ආස වුණා.” සිරි රණසිංහයන් කීවේ සංවේදී ස්වරයෙනි.
ඊයම් බරුවලින් අකුරු එකිනෙක අමුණා පුවත්පතේ පිටු සැකසුම් කළ කාලයේ සිට නූතන තාක්ෂණ විප්ලවය දක්වා පුවත්පත් කලාව තුළ රැඳී සිටින්නට වාසනාව ලැබූ සිරි රණසිංහයන් එදා මෙදාතුර පුවත්පත් කලාවේ වෙනස්කම් පිළිබඳ දකින්නේ ද සුබවාදීවය.
“එදා ඊයම් බරුවලට යටවෙලා හිටිය අපි නූතන තාක්ෂණය සමඟ විවිධ සන්ධිස්ථාන පසුකරමින් දිගු ගමනක් පැමිණ තිබෙනවා. විශේෂයෙන් තාක්ෂණය අතින් වගේම ගුණාත්මක බවිනුත් ඉදිරියට පැමිණියා. නමුත් සමස්තයක් විදිහට මේ වෙද්දි ලෝකයටම බලපාන ආර්ථික ප්‍රශ්න පුවත්පත් කර්මාන්තයටත් බලපා තියෙනවා. ගුණාත්මක පත්තර පාඨකයා අතට පත්කරන්න ඇතැම් කතුවරුන්ට විවිධ බලපෑම්, පසුබෑම් තිබුණත් දක්ෂ කතුවරු ඒ බලපෑම්වල සිදුරුවලින් රිංගලා ගිහින් හොඳ පත්තරයක් ජනතාව අතට පත්කරන බව පෙනෙන්නට තිබීමත් සතුටක්.”
ශ්‍රී ලංකා කර්තෘ සංසදයේ සභාපති ලෙස කටයුතු කරන සිරි රණසිංහයන් වැඩිම කාලයක් එම තනතුරේ කටයුතු කළ සභාපතිවරයා ද වේ.
“අද මාධ්‍ය ක්ෂේත්‍රයේ නිරත වෙලා ඉන්න තරුණ පරපුර ගැන මගෙ හිතේ සතුටක්,පැහැදීමක් තියෙනවා. ඔවුන් තාක්ෂණය අතින් වගේම නිර්මාණශීලී බවිනුත් ඉදිරියෙන් සිටිනවා. දැනුමින්, අවබෝධයෙන් සහ තාක්ෂණයෙන් සන්නද්ධ වෙන තරමට ඔවුන්ට ඉදිරියට යා හැකියි. ඒ වගේම කිසිවකුට ගැති නොවී සාධාරණ සමාජයක් ගොඩනැඟීම වෙනුවෙන් දායක වීමත් පුවත්පත් කලාවේදීන්ගේ වගකීමක්.”
වර්ෂ 1971 දෙසැම්බර් 20 වැනිදා ලක්ෂ්මි චන්ද්‍රිකා යුවතිය සමඟ යුගදිවියට පිවිසෙන සිරි රණසිංහයන් එක් දරු පියෙකි. එකම දියණිය මනුජා හසන්ති රණසිංහ රසායනික විද්‍යා ගුරුවරියක ලෙස ජාත්‍යන්තර පාසලක සේවය කරන අතර, ඇයගේ දියණිය අමායා ද කැනඩාවේ විශ්වවිද්‍යාලයක රසායන විද්‍යා ආචාර්යවරියකි. වගකීම් බහුල අවිවේකී ජීවිතයක් ගත කළද චිත්‍රපට සහ නාට්‍ය නැරඹීමට ප්‍රිය කරන සිරි රණසිංහයන්ගේ වැඩිම කැමැත්ත රට පුරා සංචාරය කිරීමටය. කලක් ජීවත් වූ මීරිගම සහ නුවරඑළිය සඳලංකාව ඔහු වඩාත් ප්‍රිය කරන ප්‍රදේශයි. පාසල් සමයේදී හඳුනා ගත් සඳලංකාවේ මිතුරු පිරිවර අදටත් ඔහු ඉතා සමීපව ඇසුරු කරන්නේ කල්‍යාණ මිතුදමේ ප්‍රහර්ෂයෙන් සිත සනසාගනිමිනි.
“ජීවිතෙන් බලාපොරොත්තු නොවුණාට වඩා දේවල් මම අත්කරගෙන තියෙනවා. කරදර බාධක මැඬගෙන ආව මේ ගමන ගැන සතුටු වෙමින් ජීවිතේ ඉදිරි දවස් බොහොම සැහැල්ලුවෙන් සතුටින් ගෙවනවා.”
ජීවිතය දෙස ආපස්සට හැරී බලන ඔහුගේ ඒ සිතිවිලි බොහෝ සුන්දරය; සරලය. තවත් සිතකට අසිරිය ගෙනෙන තරමට චමත්කාර ජනකය.
දිවි මඟ සටහන්
සම්පූර්ණ නම – සිරි රණසිංහ
උපන් දිනය – 1940 ජුලි 16 වැනිදා
උපන් ස්ථානය – මාතර දෙයියන්දර
පියා සහ මව – රොබට් රත්නායක රණසිංහ සහ හින්නි හාමිනේ රණසිංහ
සහෝදර සහෝදරියන් – වැඩිමහල් සහෝදරයන් දෙදෙනෙකි. එක් අයකු විදුහල්පතිවරයකු ලෙස සේවය කළ අතර දෙදෙනාම දැන් ජීවතුන් අතර නැත.
ඉගෙන ගත් පාසල – මූලික අධ්‍යාපනය මාතර දෙයියන්දර ග්‍රාමීය පාසලෙනි. සඳලංකාවේ මධ්‍ය මහා විද්‍යාලය, අම්පාර ජාතික පාසල, නුවරඑළිය ගාමිණි විද්‍යාලයේ ද කලින් කල උගත් අතර, අධ්‍යාපනය අවසන් කරන්නේ මීරිගම ඩී. ඇස්. සේනානායක මධ්‍ය මහා විද්‍යාලයෙනි.
විශ්වවිද්‍යාලය – විද්‍යෝදය විශ්වවිද්‍යාලය
පළමු රැකියාව – ජනතා පුවත්පතේ ආධුනික වාර්තාකරුවකු ලෙස 1965 දෙසැම්බර් 15 වැනිදා ලේක්හවුස් ආයතනයට සම්බන්ධවීම
විජය පුවත්පත් සමාගමට එක්වීම – 1986 අප්‍රේල් පළමුවැනිදා
බිරිය – ලක්ෂ්මි චන්ද්‍රිකා රණසිංහ
විවාහය – වර්ෂ 1971 දෙසැම්බර් 20 වැනිදා
දරුවන් – එකම දියණිය මනුජා හසන්ති රණසිංහ රසායනික විද්‍යා ගුරුවරියකි.
මුනුපුරු මිනිබිරියන් – එකම මිනිබිරිය අමායා කැනඩාවේ විශ්වවිද්‍යාලයක රසායන විද්‍යා ආචාර්යවරියකි.