සංවර්ධනය යනු කුමක් ද? භූමිය, ශ්‍රමය, ප්රාග්ධනය, ව්‍යවසාය යන මූලික නිෂ්පාදන සාධක 4 මෙහෙයවීමේ අයිතිය නිර්දන පන්තිය අතට යන දවසට රටක සංවර්ධනය පටන් ගන්නා බව කාල් මාක්ස්ගේ අදහස විය. අප මෙහිදී කාල් මාක්ස්ගේ අදහස තෝරා ගන්නේ ඔහු සමාජ විද්‍යාඥයකුට අමතරව ආර්ථික විද්‍යාඥයකුගේ භූමිකාව ද ඉතාම හොඳින් කළ විද්‍යාර්ථියකු නිසාය. නූතන අර්ථ ශාස්ත්‍රඥයන්ට අනුව මාක්ස්ට වැරදුණු තැනක් තිබේ. එනම් රටක ජීවත් වෙන්නේ නිර්ධන පන්තිය පමණක්ම නොවේ.
සාමාන්‍යයෙන් දැනට පවතින සමාජ පන්ති විග්රහයට අනුව නිර්ධන පන්තිය, පහළ මධ්‍යම පන්තිය, මධ්‍යම පන්තිය, ඉහළ මධ්‍යම පන්තිය, ධනපති පන්තිය යනුවෙන් සමාජ පන්ති කිහිපයක් සමාජය තුළ ඇත. ඉහළ මධ්‍යම පන්තිය සහ ධනපති පන්තිය අතර තවත් පන්තියක් තිබේ. ඒ වූ කලී පහළ ධනපති පන්තියයි. කොම්ප්රදෝරු පන්තිය ලෙස හඳුන්වන මේ පන්තියේ වගකීම වන්නේ තමන්ට ඉහළින් සිටින ධනපති පන්තියේ සතුට අරභයා පහළින් සිටින සමාජ පන්ති ආර්ථික වශයෙන් සූරාකෑමය. විශේෂයෙන්ම ඉහළ ධනපති පන්තියේ ඉඩකඩම් සහ වෙනත් වත්කම් කළමනාකරණය කරන්නේ කොම්පදෝරු පන්තියයි.
කොම්ප්රදෝරු පන්තිය තිබෙන තාක් කල් එයින් පහළ තිබෙන පන්තිවලට පැවැත්මක් නැත. ධනපතියන් වෙනුවෙන් කොම්ප්‍රදෝරුවන් සෙසු පන්තීන් සූරාකන විට නිර්දන පන්තිය අත තිබෙන භූමිය, ශ්‍රමය, ව්‍යවසාය, ප්රාග්ධනය යන නිෂ්පාදන සාධක අඤ්ඤකොරොස් වෙයි. එවිට සමාජයේ පැවැත්ම සඳහා නිලධාරී පන්තියක් අවශ්‍යය ය. ආර්ථික සමාජයේ සහ දේශපාලන සමාජයේ ක්‍රියාවලිය දූෂණයෙන් තොරව පවත්වා ගෙන යාම පරීක්ෂා කිරීම මේ කියන නිලධාරී පන්තියේ වගකීම ය. ස්වල්ප කලක් ගතවෙද්දී නිලධාරීහු දූෂණය වෙති. පගා ගැනීම පිළිබඳ සිතක් ඔවුන් තුළ පහළ වේ. මේ සිත ක්‍රියාත්මක වීමට පටන් ගත් තැන සිට නිර්දන පාන්තිකයා පිස්සු කෙළින්නට පටන් ගන්නා අතර, මූලික නිෂ්පාදන සාධක නමැති සංකල්පය ක්‍රමයෙන් ධනපතියාගේ සාක්කුව බලා ගමන් කිරීමට පටන් ගනී.
කාල් මාක්ස්ගේ ආර්ථික දර්ශනයට අයත් පළමු රාජ්‍යය වූ එක්සත් සෝවියට් සමාජවාදී සමූහාණ්ඩුව තුළ මෙය මෙලෙසම සිදුවී එහි තිබූ සමාජවාදී ක්‍රමවේදය සම්පූර්ණයෙන්ම විනාශවී ගියේය. දැන් රුසියාව නැවත වරක් ධනවාදී රටකි. චීනයේ ද මෙය මෙසේම සිදු වූ අතර, එරට ද අද වන විට ධනවාදී රටකි. සමාජවාදය නමැති සංකල්පය යම් ප්‍රමාණයකට උතුරු කොරියාවේ තිබේ. හැබැයි ඒ රටේ තිබෙන සමාජවාදය ඉතාම අසමමිතික ක්රමයකි. හොඳට කන බොන අය, භාගෙට කන බොන අය සහ යන්තම් කන බොන අය යනුවෙන් පන්ති තුනක් ඒ රටේ තිබේ. මේ යන්තම් කන බොන පන්තිය ජීවත් වන්නේ උග්‍ර සාගතයක් ඇති පළාත්වලය. මන්ද පෝෂණය නිසා උතුරු කොරියන් දරුවෝ ඉමහත් පිරිසක් බඩගින්නේ මිය යති. ඒ අතර උතුරු කොරියන් ජනපති කිම් ජොන් උන් රටේ ජනගහනය වැඩි කරන ලෙස එරට මවුපියන්ගෙන් කඳුළු සලමින් ඉල්ලන හැටි පසුගියදා අපි රූපවාහිනියෙන් දුටුවෙමු. උතුරු කොරියාවේ සමාජවාදයේ තරම මෙයින්ම හිතාගත හැකිය.
ලංකාවේ ආර්ථික අර්බුදය හිතා ගැනීමටත් බැරි තරම් පරිහානියට පත්ව විදෙස් ණය ගෙවා ගැනීමට නොහැකිව සිටින මොහොතක රනිල් වික්‍රමසිංහ රට භාර ගත්තේය. ඔහු මුලින්ම කළේ විදුලි කප්පාදුව නවත්වා තෙල් පෝලිම් නැති කිරීමය. ඊළඟට කෑම ප්රශ්නය මතු විය. රටවල් කිහිපයක ආධාරයෙන් එය ද විසඳා ගන්නා ලදී. ඊළඟට විදේශ ණය ගෙවා ගැනීමේ ගැටලුව මතු විය. විදේශ ණය ගෙවීමට ආණ්ඩුවට ඩොලර් තිබුණේ නැත. ඒ වනවිට ආණ්ඩුව ඩොලර් නෝට්ටු දකිමින් හිටියේ පින්තූරවලින් පමණි. රනිල් වික්‍රමසිංහ අපේ ණය හිමියන් සමඟ සාකච්ඡා කර විදේශ ණය නැවත පෙළගස්වා ගත්තේය. ඒ වන විටත් ලංකාව මෙයට අවුරුදු 10 ට හෝ 15 ට පෙර ග්‍රීසියට සිදු වූවාක් මෙන් බංකොලොත් රාජ්‍යයක් බවට පත්වී අවසන්ය. බංකොලොත් රටකට කවුරුවත් ණය දෙන්නේ නැත. මේ නිසා රටේ ඉදිරි කටයුතු සඳහා තඹ සල්ලියක්වත් භාණ්ඩාගාරයේ තිබුණේ නැත. එවිට ජනාධිපති රනිල් වික්‍රමසිංහයන් කළේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ කතා කර ඩොලර් බිලියන 3 ක් ණයට ගැනීමය.
ඊට පෙර පැවති ආණ්ඩුව ද එක පැත්තකින් මූල්‍ය අරමුදල ගැනීමට උත්සාහ ගත්තත් ආණ්ඩුවේ තවත් පැත්තක් එයට විරුද්ධ වීම නිසා ණය වැඩේ හරි ගිහින් තිබුණේ නැත. රනිල් ණය ඉල්ලන වෙලාවේදී ලංකාවේ තිබු ආර්ථික තත්ත්වයට අනුව ණයට තබා පිනටවත් කවුරුවත් සල්ලි දෙන්නේ නැත. එහෙත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ගැන තරයේ විශ්වාස කළ වික්‍රමසිංහ ආණ්ඩුව ලංකාව බංකොලොත් භාවයෙන් ගොඩ ඒමේ ක්ෂමතාවක් ඇති රටක් බව ඒත්තු ගන්වා ඩොලර් බිලියනයක පළමු ණය වාරිකය ලබා ගත්තේය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල යනු පුණ්‍ය ආයතනයක් නොවේ. කිසියම් රටකට සල්ලි ණයට දීමට පෙර ඒ රටේ ජනයා උදේට කෑවේ මොනවාද යන්න දැන ගැනීම සඳහා බොක්ක පරීක්ෂා කිරීමේ ක්‍රමවේදයක් ඔවුන්ට ඇත. එසේම ඔවුන් ණය දෙන්නේ දැඩි කොන්දේසි මතය. මූල්‍ය අරමුදලේ දෙවන වාරිකය එළඹෙන විටත් මූල්‍ය අරමුදලේ කොන්දේසි වලින් 25% ක් වත් සම්පූර්ණ කර ගැනීමට ලංකාවට හැකිව තිබුණේ නැත. එහෙත් රටේ අනාගතය පිළිබඳ යහපත් චිත්‍රයක් පෙන්වා ඊළඟ ණය වාරිකය ද ලබාගැනීමට වික්‍රමසිංහ ආණ්ඩුවට හැකි විය. එය ජයග්‍රහණයකි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පළමු ණය වාරිකය ඉල්ලන විට එය කිසිසේත්ම නොලැබෙන බව විපක්ෂය මහත් සතුටින් කීවේය. එහි දෙවන වාරිකය ප්‍රමාද වනවිට විපක්ෂය කාලකන්නි සතුටක් ලැබුවේය. එසේ වුව ද දැන් අපි ඒ දෙවන වාරිකය ද ලබාගෙන සිටිමු.
ලංකාව පසුගිය දිනවල ස්වකීය විදේශ ණයවලින් යම් ප්‍රමාණයක් ඩොලර්වලින් ගෙවා දැමීය. බංගලාදේශයෙන් ණයට ගත් මුදල්වලින් භාගයක්ම ආපසු දුන්නේය. සිය ආණ්ඩුවේ ආරම්භක අවස්ථාවේදී ලංකාව අඩිය නොපෙනෙන පාතාලයක් මතින් ඉදි කළ වැල් පාලමක ගමන් කරන බව ජනාධිපති වික්‍රමසිංහයන් සඳහන් කළේය. ඇත්තම කතාව වන්නේ එතන පාතාලය මිස කිසිදු ආකාරයක පාලමක් නොතිබීමය. දැන් රනිල් වික්‍රමසිංහයන් කරන්නේ ටික ටික පාලම හදාගෙන එතෙර වීමය. තව ටික කාලයකින් පාලමේ දෙකොන යාවනවා ඇත. එදාට මේ රටේ ජනතාව සමෘද්ධිමත් වෙනු ඇත.