සම්භාව්‍ය පද්‍ය සාහිත්‍යයේ ඇතැම් කෘතීන් තුළ ගුප්ත කාව්‍යයන්ට සමාන යෙදුම් ද දක්නට ලැබේ. ප්රශස්ති පද්‍යයේ මෙවැනි රචනා බහුලව පවතී. හටන් පද්‍ය සාහිත්‍යය කෘතීන් ඊට වැඩි සංඛ්‍යාවකින් පැතිර පවතින්නකි. එහිද එබඳු ලක්ෂණ දැක්වෙන පද්‍ය නිර්මාණ බහුලය. රජවරුන්, මැති ඇමැතීන්, සේනාධිපතීන් සහ ප්‍රභූ ගණයාට ස්තූතියත්, සෙත් ශාන්තිය පැතීම වෙනුවෙන් රචිත එබඳු පද්‍යයන්හි සෙත් කවි ක්‍රමයට සමාන වූ යෙදුම් බහුලය. විශේෂයෙන් සුබ සම්මත කෙරෙහි අවධානයක් යොමු වූ බව පෙනේ.
මෑත අතීතයේ අප රට විසූ සෙත් කවියට මෙන්ම වස් කවියට ද දස්කම් දැක්වු ‘මිහිරිපැන්නේ’ගේ රචනා තුළ සුවිශේෂී යෙදුම් පවතී. මිහිරිපැන්න සෙත් කවියට කවදාත් පතළ වූ නමකි. මෙම පද්‍යයන් මිහිරිපැන්නේ සාමිගේ රචනා අතරින් කීපයකි.
“කිරුළු මුදුන සරණා – මුහුළ නව පියයුරු සිරි දරණා
නළල දෙබැම දිළෙනා – දෙයිඳු සැව්, – මුදුන්ඩ සඳ ලෙසිනා
නිමළ යුවළ නයනා – රුසිරු ගහ, – මින් යුවළක දිලෙනා
ගුරුළු දෙදෙනි තෙව්නා සුරිඳු අප – සෙත දෙවනා”
ව්‍යක්ත බස් වහරක් හා එවන් කවීත්වයක් දැක්වෙන මෙහි රුව වර්ණනා කිරීම සඳහා උපමා කීපයක් යොදගත් බව පෙනේ. දේව ගණ දෙකකට පසු වායු ගණය ද යළි දේව ගණ සතරක් හා ගුරක් සමඟ ලගුවකින් අවසන් වන සේ මුල් පාදය නිම වේ. මිත්‍ර ගණ දෙකට පසු නීච ගණ ද ඉන් පසු යෙදෙන දේව ගණ ද අවශ්‍ය ප්‍රතිඵලය නිසැකවම ලබා ගැනීමට ගණ සංකලන ක්රමයෙහිදී ඇතැම් විට යොදා තිබෙනු දක්නට ලැබේ.
පහත දැක්වෙන්නේ දේව ගණ යොදා රචිත මිහිරිපැන්නේ සාමි විසින්ම රචිත තවත් කවියකි.
“කිරි සිඳු කොඳ නිහර හරතුරු පති කපුරු
සිරි සිඳු යස දිගත පළ කළ එක අයුරු
සිරි සඳු උර මැඳුර රැඳු සුගිරිව මිතුරු
හිරි සඳු නුබ දෙරණ හිම් සිරි විඳු සොඳුරු”
ව්‍යක්ත භාෂා ශෛලියකින් යුත් මෙබඳු රචනා තුළින් කාව්‍යකරණයේ මෙන්ම ගුප්ත කාව්‍ය ශාස්ත්රයේදී දැක්වූ බුහුටි බව ප්‍රකට වේ. ‘අප’ යන නාම අභිධානයට සිද්ධි වන සේ ගණ යෝනි ආදී යෙදුම් මෙන්ම උපමා, රූපක, භාෂාව සහ විරිත විසින්ද ප්‍රබල රචනාවන්හි මනා කුසලතාවක් හෙළි කෙරෙන මෙම සෙත් කවි ද ඊට නිදසුනකි.
1.” තුංග ලකල ගහනා – දෙමට තල මල්, – සිරි පළ කරණා
මංගල සුර අඟනා – පදි නොවිල් – යුවළකි යුග සවනා
බිංබ පළස ලෙලෙනා – ලවන යුග – සුරඹුන සිතු ඇලෙනා
රංග රෙණෙහි කරණා – කවඳ සුර – අප රකු උර යහනා ”
2. සිරි ලබනුව උරුදී – මෙ ඔබ ගෙල – සිරි අතෙහිම වොරැඳී
නික සව සක පැරදී – වසන කළ – වෙනුවම් මොලොව හිඳී
ගෙල සිරි වනනු මදී – ම මුව එක තෙවිකුම් – සිත පැහැදී
නෙතු යුවළට සෙතදී – මෙමට සෙත – සැලසුව නැත වැරැදී”
ආරක්ෂාව සහ නෙත්වලට සුවසෙත අයැදීම මෙහි අවශ්‍යතාවයි. එකම පද්‍යයක උපමා රැසක් යොදාගත් විරල අවස්ථාවක් මෙහි දක්නට ලැබේ. මිහිරිපැන්නේ සාමිටම ආවේණික ක්‍රමයකට අනුව රචිත මෙබඳු ව්‍යක්ත ගුප්ත පද්‍ය රචනා තුළින් දක්නට ලැබේ.
වස් කවි කරණයෙන් ද දස්කම් දැක්වූ ‘මිහිරිපැන්නේ සාමි’ යන නාමය මෑත අතීතයේ බෙහෙවින් ප්රකටව පැවැතිණි. මලවැන්න ද ඒ හා සමානව ප්‍රසිද්ධියක් දරයි. මෙම ගුප්ත කාව්‍ය රචකයන් දෙදෙනාම දකුණු පළාත නිජ භූමිය කර ගත් සුවිශේෂී චරිත වේ. ‘මලවැන්නේ සාමි’ ද සෙත් කවියට මෙන්ම වස් කවියට ද දස්කම් දැක්වූ පුවත් බොහෝ සේ පතළය. කෙසෙල් කැණක් කපා රැගෙන ගිය කෙනෙකුට දඬුවම් පැමිණවීම සඳහා ලියැවුණ මෙම වස් කවියෙන් සොරාට නපුරු විපාක ලදැයි සඳහන්ව පවතී.
“කපා ගිය කුස, අතුණු බහන ද, – නැබට විදි විස හී සැරා
කපා තුළ නොනසිනා අනුහස – දැරුව මෙන් රවුළා මරා
කපා ගති ‘හොරු’ ඇඹුල් රඹ කැණ – ඇල්ලේ පොළ තැන් තුබු යුරා
සපා ළය මත, යකා නංවා – කටුක දුක් දෙන් වස් සුරා”
අශුභ සම්මත ශබ්ද, වචන, වස්තු හා සිද්ධීන් උපමා, යෙදුම්වලින් හා ගණ ආරම්භය ද, හොරාට නපුරු විපාක ලබා දීමට හේතු විය. කවිය ආරම්භ කරන ලද ‘ජ’ ගණය (සූර්ය ගණය) රෝ, දුක් පැමිණ වීමට හේතුවකැයි සඳහන් වේ. මෙහි මුල් ගණය පමණක් එසේ වුවද සෙසු ගණ සුබ ගණ (දේව ගණ) පහක් සමඟ, වායු හා ඊ (අග්නි) ගණයකින් අවසන් වේ. උදාසීන ගණයක් සමඟ මිත්‍ර ගණ යෙදුම දුක් පමුණුවතැයි ශාස්ත්රයේ දැක්වේ. මෙහි කටුක වචන යෙදුම් කවියෙන් අසුබ පල ගෙන දීමට හේතු විය. “කපා තුළ නොනසිනා අනුහස” “රවුලා මරා”, “සපා ළය මත”, “යකා නංවා” “කටුක දුක්” යන යෙදුම්ද අසුබ පල ගැන්වේ.
ඒ වෙනුවෙන්ම රචිත මෙම කවිය ද, අසුබ සම්මතය බහුල වශයෙන් යොදා ගැනීමෙන් නපුරු විපාක ගැන්වීම තීව්ර කිරීමක් විය. එම වස් කවිය මෙසේය.
“ගින්න නංවා, දරුණු තෙද රුප, – නපුරු මැඩලන වද දිදී
ඉන්න මෙදෙවොළ, අරක් ගෙන ඔබ, – සුනිල් බල පෑ, මැන රිදී
පැන්න පිම්මට කෙසෙල් කැණ කැපු – ගත්ත තව එළවළු පොදී
දෙන්න මුං හට වඳුරු හෙණ ගිනි – ‘උවිඳ’ විය රුද, මර නිදී
කෙසෙල් කැණ කපා ගත් අතර එළවළු පොදිත් ගත් බව ද මෙහි සඳහන්ය. වස් කවියෙහි මෙන්ම සෙත් කවියෙහි දී ද ස්වර, අක්ෂර, ගණ හා ගණ සංකලනය අත්‍යවශ්‍ය අංගයන්ය. එහෙත් එම නියමයන් කෙරෙහි අවධානයක් නොදැක් වූ තැන් කීපයක් ම මෙහි පවතී. හැඟීම් දනවන ශබ්ද, වස්තු, උපමා, යෙදුම් හා සිද්ධි වඩාත් ප්රබලව යෙදී ඇති බව පෙනේ.