සංකල්පයක් වශයෙන් ගත්කල “විශ්වය” යන්න පැහැදිලි කිරීම මඳක් අසීරුය. ඒ මක් නිසාද යත් විශ්වයේ දිග, පළල පිළිබඳ නිසි තක්සේරුවක් නොවීමය. ජ්‍යොතිෂ ශාස්ත්රයේ පරතෙරට පැමිණි පූර්ව ආචාර්යවරු ද, සම්මා සම්බුදුරජාණන් වහන්සේ ද විශ්වය පිළිබඳ සංකල්පය සාමාන්‍ය ජනතාවට අවබෝධ කරවනු පිණිස විවිධ ඉගැන්වීම් සිදුකොට ඇත. එහෙත් අදටත් විශ්වය පිළිබඳව සාමාන්‍ය ජනතාව තුළ ඇත්තේ කුකුසකි.
තාරකා විද්‍යාඥයන්ගේ පැහැදිලි කිරීම්ලට අනුව සූර්යයා, බුධ, සිකුරු, පෘථිවි, අඟහරු, බ්‍රහස්පති, සෙනසුරු, යුරේනස් සහ නැප්චූන් යන සියල්ල එකට ගත්කල එය සෞරග්‍රහ මණ්ඩලයයි. මෙම සෞරග්‍රහ මණ්ඩලය ජ්‍යොතිෂයේදී හඳුන්වනු ලබනුයේ රවි, චන්ද්‍ර, කුජ, බුධ, ගුරු, ශුක්‍ර, ශනි, රාහු, කේතු ආදී වශයෙන් මඳක් වෙනස්වීමක් සහිතවය. කෙසේ වුව ද මෙකී ග්‍රහ මණ්ඩලය චක්‍රාවාටයක තිබෙන අංශුමාත්ර කොටසක් පමණි.
විද්‍යාඥයන්ට අනුව චක්‍රාවාටයක සූර්යයා බඳු තාරකා මිලියන දහස් ගණනක් ඇති අතර එකී තාරකා වටා ග්‍රහලෝක, දූවිලි අංශු, දුම් වලාවන් දැකිය හැකිය. චක්‍රාවාටයක විශාලත්වය මේ අනුව පැහැදිලි කරගත යුතු අතර කෝටි සංඛ්‍යාත චක්‍රාවාට ප්‍රමාණයක් ඒකරාශී වීමෙන් “විශ්වය” නිර්මාණය වී ඇති බව ද අප හොඳින් තේරුම් ගත යුතුය.
විශ්වයේ මහිම ජ්‍යොතිෂයේ ද මේ ආකාරයටම පැහැදිලි කර දී ඇත. තාරකා විද්‍යාඥයන්, ජ්‍යොතිර්වේදීන් විශ්වය පිළිබඳව දක්වා ඇති සංකල්ප බුද්ධ දේශනාවේ ද ඒ ආකාරයටම දක්වා ඇති බැවින් ජ්‍යොතිර්වේදීන්ගේ හා විද්‍යාඥයන්ගේ ඉගැන්වීම් ඉතා නිවැරදි බව පෙනේ. විශ්වයේ අග මුල සොයන්නට උත්සාහ කරන්නදැයි සම්මා සම්බුදුරජාණන් වහන්සේගෙන් විමසූ රහතන් වහන්සේ නමකට බුදුන් වහන්සේ දේශනා කළේ තමන් වහන්සේවත් විශ්වයේ අග මුල සොයන්නට උත්සාහ නො කරන බවයි.
විද්‍යාඥයන්ටවත් ජ්යොතිර්වේදීන්ටවත් සොයාගත නොහැකි ලෝක පිළිබඳව බුදු දහමේ දැක්වේ. බුදුරජාණන් වහන්සේගේ දේශනාවෙහි සඳහන් වන ස්ථාන පිළිබඳව විමසා බලන විට බුද්ධ ඥානය විශ්වයේ සැලකිය යුතු වපසරියක විහිදී ගොස් ඇති බව අප අවබෝධ කරගත යුතුය. හෙන්ද්‍රික් ද සිල්වා හෙට්ටිගොඩ සූරීන්ගේ “ජීවිතය සහ ග්‍රහයෝ” ග්‍රන්ථයේ ආරම්භක පරිච්ඡේදයේ ම දැක්වෙන්නේ ජ්‍යොතිෂය මෙලොව ඇති සියලු ආගම්වලට වඩා පැරණි ශාස්ත්‍රයක් බවත්, සෑම ආගම් කර්තෘවරයෙක්ම ජ්‍යොතිෂ සිද්ධාන්ත පිළිබඳව සඳහන් කර ඇති බවත් ය.
බුද්ධ දේශනාවේ සඳහන් කොට ඇති විවිධ ලෝක අතුරින් මනුෂ්‍ය ලෝකය පමණක් අපට අදට ද අත්දකින්නට ලැබී ඇත. එහෙත් අපට ප්‍රේත ලෝකය, නිරය, දිව්‍යලෝක තවමත් සංකල්ප පමණක් වී ඇත්තේ ද ඒවා පිහිටා ඇති ස්ථාන දැකිය හැකි නුවණක් කිසිදු විද්‍යාඥයකුටවත්, කිසිම ජ්යොතිර්වේදියකුටවත් නොමැති බැවිනි. බුදුරජාණන් වහන්සේ ඉහත කී ලෝක පිළිබඳව දේශනා කළේ හුදෙක් උන්වහන්සේගේ සිතෙහි ඇති වූ සිතුවිල්ලක් නිසා නොව බුදු නුවණින් එකී ලෝක දුටු බැවිනි.
විශ්වයේ සැඟවුණු බොහෝ ස්ථාන බුදුරජාණන් වහන්සේ නුවණින් දැක ඇත. අතීතය, වර්තමානය, අනාගතය යන තුන් කාලය පමණක් නොව විශ්වයේ සැඟවී ඇති බොහෝ රහස් ද උන්වහන්සේ නුවණින් දුටු බැවින් ඒවා බුද්ධ දේශනාවන්ට ඇතුළත් කොට ඇත. බුද්ධ දේශනාවේ සඳහන්ව ඇති, එහෙත් අපට සංකල්ප පමණක් වී ඇති කිසිම දෙයක් අසත්‍ය යයි පවසන්නට මෙතෙක් කිසිම විද්‍යාඥයකු හෝ ජ්‍යොතිර්වේදියකු හෝ ඉදිරිපත් වී නැත.
මරණින් මතු සත්ත්වයකු විශ්වයේ සැරිසරන ආකාරය බුදුරජාණන් වහන්සේ දේශනා කර ඇති අතර මනෝ විද්‍යාඥයන් ද බුද්ධ දේශනාවේ එකී සඳහන් කිරීම්වල සත්‍යතාව ප්රත්යක්ෂයෙන් තහවුරු කොට ගෙන ඇත. විශ්වය පිළිබඳව විද්‍යාඥයන් සහ ජ්‍යොතිර්වේදීන් කරන ගවේෂණ ද, ලබන අත්දැකීම් ද ඊට බොහෝ පෙර බුදුරජාණන් වහන්සේ ප්රත්යක්ෂ කොට, ආගමික සංකල්ප ලෙස පොදු ජනතාව අතරට රැගෙනවිත් ඇත.
බෞද්ධයන් සාධුකාර දෙමින් ශ්‍රවණය කරන ආගමික සංකල්ප සියල්ල අපගේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ විශ්වය තුළදී අත්දකින ලද දේවල් බව අප නුවණින් වටහාගත යුතුය.
පොහෝය දිනයේදී අප කළ යුතු වන්නේ විශ්වයේ සැබෑ තතු විශ්වසනීය ලෙස බෞද්ධ සංකල්ප ඔස්සේ ලබා දුන් තිලෝගුරු සම්මා සම්බුදු රජාණන් වහන්සේට නමස්කාර කරමින් උන්වහන්සේගේ ඉගැන්වීම් අනුව දිවිමඟ සකස්කර ගැනීමට උත්සාහ කිරීම බව අවධාරණය කරමි.