Home » සදහටම නික්ම ගිය මළ මිනිසුන්ට පණ දුන් මිනිසා

සදහටම නික්ම ගිය මළ මිනිසුන්ට පණ දුන් මිනිසා

by Mahesh Lakehouse
December 16, 2023 12:30 am 0 comment

ලංකාවේ එම්බාමින් කලාවේ ජ්‍යෙෂ්ඨයා ද නික්ම ගියේ ය. ඕබ්‍රි වෙනීෂියස් රේමන්ඩ් යනු, අපේ රටේ එම්බාමින් කලාවේ පමණක් නොව අවමංගල්‍ය කටයුතු සංවිධාන ක්ෂේත්‍රයේ ද මෙතෙක් ජීවත් වූ ජ්‍යෙෂ්ඨයා ය. අත්දැකීම් බහුල දැවැන්තයා ය. අවුරුදු 138ක් පැරැණි AF රේමන්ඩ් සමාගමේ සභාපතිවරයා ය.

පසුගිය 12 වැනි අඟහරුවාදා සවස් වරුවේ ඔහු සිය මවුපියන් මිහිදන් කර ඇති බොරැල්ල කනත්තේ ම සදාකාලික නින්දට වැටුණේ අවුරුදු 85ක අර්ථ පූර්ණ ජීවිතය නිමා කරමිනි.

ජීවිතය පුදුමය. 11 වැනි සඳුදා සවස 6.16ටත් ඔහු ආදරණීය බිරිය, පොඩි පුතු ෂැනන් සමඟ සිනාසෙමින් ඡායාරූපයකට පෙනී සිටියේ ය. ඊළඟ පැය ගෙවී යන්නට මත්තෙන් ඒ ආදරණීයයන් ඉදිරියේදී ම දෑස් පියා ගත්තේ ය.

ජීවත් වූ කාලය තුළ මෙන්ම, මිය ගිය පසු නිවෙසේ සිටි පැය කිහිපයේත් ඔහු මතක රැසක් ඉතිරි කළේ ය.

ඔහුට උවමනා වූයේ, මිය ගිය දිනෙක තමන් සතු VIP ශාලාවක මල් යායක් මැද සැතපෙන්නට නොව, ජීවත් වූ නිවෙසේ අන්තිම පැය කිහිපය ගෙවා දමන්නට ය. එයද, මල් වැල් නැති, සැරසිලි නැති චාම් සුදු සැටින් රෙද්දක් පමණක් ඇතිරූ මිනී පෙට්ටියක ය.

බිරිය සහ දරුවන් ඒ කැමැත්ත එලෙසම ඉටු කර තිබිණි.

වෙනදා මෙන්ම ඒ විසල් නිවෙස පුරා ඔහු ප්‍රිය කළ ආදරබර බටහිර ගීත වාදනය වෙමින් තිබූ අතර, නිවෙස ලස්සන කළ බඩු මුට්ටු කිසිවක් එහා මෙහා වී නොතිබිණි. වෙනසකට තිබුණේ, සාලය මැද තිබූ කිසිදු සැරසිල්ලක් නැති, පෙට්ටියක ඕබ්‍රි රේමන්ඩ් සදාකාලික නින්දට වැටී සිටීම පමණකි.

සියලු හයිකාර මළගෙවල්, ඉස්තරම් මලින්, දිලිසෙන පිත්තල භාණ්ඩවලින් සරසා ඇති ඔහු, තමන් අරභයා ඒ කිසිවක් බලාපොරොත්තු වූයේ නැත. එහෙත් ඔහුගේ මුහුණේ අන්තිම වරටත් මා දුටු ඒ මන්දස්මිතය එලෙසම තිබුණේය.

ඇත්තටම ඔහුට තිබුණේ හිනාවෙන් පිරුණු මුහුණකි. ජීවිතයත් මරණයත් අතර වෙනස හැම දවසකම අත්විඳි ඔහුට ඒ අතර මැද කාලයේ මිනිසුන් කරන කියන දෑ පිළිබඳ හැමදාමත් තිබුණේ උපේක්ෂා සහගත හැඟීමකි.

මිනිසුන්ගේ විකාර රූපී චර්යා රටා, නපුරු සහගත ජීවිත පැවතුම් තව තවත් පසක් කරන්නේ මරණය පිළිබඳ හැඟීම බව ඔහු මා සමඟ කීවේ, 2015 වසරේ සිය ජීවිතය සහ ව්‍යාපාරය පිළිබඳ සිළුමිණ වෙනුවෙන් කළ සම්මුඛ සාකච්ඡාවේදී ය.

ඕබ්‍රි වෙනීෂියස් රේමන්ඩ් සිය ක්ෂේත්‍රයේ පුරාවෘත්තයකි. ඉතිහාසයේ සැඟව ගිය බොහෝ තොරතුරු සහ මළ මිනී සමඟ බැඳුණු ජීවිත අත්දැකීම් එදා ඔහු මා සමඟ කීවේ ය.

“ජේකබ් රේමන්ඩ් ස්විස්ටර්ලන්තයෙන් ලංකාවට ආවේ බ්‍රිතාන්‍යයට විරුද්ධව සටන් කරන ඕලන්ද කුලී හමුදාවේ භටයෙක් විදියට. විවාහ වෙලා, දරු පරපුරකුත් හදලා 1837 ඔහු මිය යන්නේ ලංකාවේම යි. ඔහුගේ පුතාගේ පුතා, ඒ කියන්නේ මගේ සීයා AF තමයි වඩුවා. ඔහු මේස පුටු හදන ගමන් කොළඹ පිස්සන් කොටුවේ මිය යන රෝගීන් වෙනුවෙන් පෙට්ටිත් හැදුවා. එතැන තමයි මේ ව්‍යාපාරයේ ආරම්භය. එදා පටන් මේක නොකැඩී ආ පවුලේ ව්‍යාපාරයක්.

සුද්දගෙ කාලේ බොරැල්ල කනත්ත මහ පාළු හුදෙකලා මණ්ඩියක්. ඔය BMICH බිමේ තමයි එදා වසංගත රෝගීන්ගේ රෝහල තිබුණේ. ඊට ටිකක් එහායින් අද ආකේඩ් එක තියෙන තැන තමයි කොළඹ පිස්සන් කොටුව විදියට සුද්දෝ හඳුන්වපු මානසික රෝහල තිබුණේ. ඔය සේරටම මැද්දෙන් කනත්තට යාබදව මෙතැන තමයි AF තමන්ගේ වඩු මඩුව පවත්වා ගෙන ගියේ.

හැමදාමත් අත් කරත්තේ දාගෙන මිනියක් දෙකක් රෝහලෙන් මෙතැනට ගෙනාවා. රෙදි ඔතලා හරි අන්දවාලා හරි මෙතැනින් තමයි අරගෙන ගියේ. ඒකත් අත් කරත්තේ. ඒ කාලේ හර්ස් තිබුණේ නැහැ. මේවා කැලෑ.

අපේ මහ ගේ තියෙන්නේ කනත්තට ටිකක් එහායින්. තාත්තා එක්ක මං සීයගෙ වඩු මඩුවට ආවේ අවුරුදු තුනේ හතරේ විතර ඉඳන්. සෙල්ලම් කළේ එතැන. ඒ පුංචි කාලෙත් වඩු මඩුවට ගිහින් පෙට්ටි හදන්න උදව් කළා. බාස්ලා එක්ක සොහොන් ගල්වල නම් කෙටුවා. මිනී ඇඳුම් හැදුවා. එම්බාම් කරන හැටි බලා හිටියා. මම හැදුණේ වැඩුණේ මේ දේවල් එක්ක.

අවමංගල්‍ය අධ්‍යක්ෂවරු කියන රස්සාවට අදාළ හැම දේම මම ඉගෙන ගත්තා. ඇත්තටම මම ‘ඕල් රවුන්ඩ්ර්’ කෙනෙක්. එම්බාමින්, මිනී පෙට්ටි ඩිසයිනින්, සැරසිලි සහ තව හුඟක් දේ මේ ක්ෂේත්‍රයට අදාළයි. එම්බාමින් මේ රස්සාවේ එක අංගයක් විතරයි.

මම හරියටම වෘත්තීය ජීවිතය වැඩ පටන් ගත්තෙ අවුරුදු 20දී. මුදල් පැත්ත බලනවටයි තාත්තා කැමති වුණේ. ඒ නිසා චාටඩ් සෙක්‍රටරි විභාගෙත් සමත් වුණා. ගිණුම් පැත්තත් බැලුවා.

ඒ දවස්වල බොහෝ අය මාව දැක්කේ ඉංග්‍රීසි පන්නෙට හැදුණු පෝසත් පවුලක උගත් තරුණයෙක් විදියට.

අවුරුදු හැටකට වඩා මම වැඩ කළා. ඒ කාලය තුළ ගණනින් කියන්න බැරි තරමක් මම මිනී එම්බාම් කරලා ඇති.

කෙනකුට මේක බිස්නස් එකක් විදිහටම පේනවා ඇති. නමුත් මේක මටවත් මගෙත් තාත්තටවත් සීයලාටවත් රස්සාවක් වුණේ නැහැ. මේක රස්සාවට එහා ගිය සේවාවක්. මගේ පුතාලා හිතන්නෙත් එහෙමයි.

හැම මළවුන්ගේ දිනයකම අපි කොළඹ නගරයේ ප්‍රධාන සුසාන භූමි හයක දිව්‍ය පූජා පවත්වනවා. තවත් නිහඬ සේවා රැසක් කරනවා. ඒ සියල්ල ආත්ම තෘප්තිය වෙනුවෙන්.

මම හොඳ එම්බාමර් කෙනෙක්. මගේ පළවෙනි එම්බාම් එක වයසක නෝනා කෙනෙක්ගේ. පිස්සු හැදිලා මැරිලා තිබුණේ. බඩේ පණුවෝ මොළේට ගිහින් තමයි මැරිලා තියෙන්නේ කියලා මං දැක්කේ මිනිය කැපුවහම. මගේ අත් දෙක පුරාම පණුවෝ. මට වයස විස්සයි. ඒත් එදාවත් මනුෂ්‍ය ශරීරය ගැන මට අප්පිරියාවක් හිතුණේ නැහැ. මං ඊට වඩා කරදර වින්දේ, ඒ නෝනගේ මිනිය බම්බලපිටිය ෆ්ලැට් එකට ගෙනියපු වෙලාවේ. පඩිපෙළවල් වලින් උඩට මිනිය ගන්න පුළුවන් විදියට නෙවෙයි හදලා තිබුණේ.

මගේ එම්බාමින් ජීවිතයේ හමු වූ අමතකම නොවන කෙනෙක් තමයි ඩොක්ටර් ඇන්. එම්. පෙරේරා. එයාට තිබුණේ වතුර පිරෙන ලෙඩේ. ඉදිකටුවක් ගහන ගහන තැනින් වතුර විදිනවා. මුළු ඇගේම ලේයි වතුරයි අයින් කළාට පස්සෙත් වතුර උනනවා. අන්තිමේ ෆෝමලින් පවුඩර් දැම්මා. ඒක දැම්මම යකඩ වගේ වේළෙනවා. ඒක හරි ගියෙත් නැහැ. ඒ මදිවට අන්දවන්න තිබුණේ සුදු සූට් එකයි, රතු ටයි එකයි. බලා ඉඳිද්දි සුදු සූට් එක වතුරෙන් පෙඟෙනවා. අන්තිමේ දී සුදු සූට් අටක් අන්දවන්න වුණා මට.

කොහොම වුණත් පළමුවෙනි එම්බාම් එක කරලා ගෙදර ගිය දවසේ හිතට ටිකක් අමුතුයි. එදා නම් පොඩි ඩ්‍රින්ක් එකක් ගත්තා. ඒක තාත්තම අඬ ගහලා දුන්නා. ඒත් ඒක පුරුද්දක් කර ගත්තේ නැහැ. මේක ඩ්‍රින්ක්ස් අරන් කරන්න පුළුවන් රාජකාරියක් නෙවෙයි.

සමහරු කියනවා, එම්බාමින් කරන හැමෝම අරක්කු බොනවා කියලා. ඒ කතාව තනිකර බොරුවක්. හොඳම උදාහරණය මගේ පුතා ෂැනන්. එයා කවදාවත් මත්පැන් බිඳුවක් කටේ තියෙන කෙනෙක් නෙවෙයි. ලසන්ත වික්‍රමතුංග වෙඩි වැදිලා ගෙනාවේ මූණේ පැත්තක් නැතිව. ෂැනන්. තමයි ඒ මූණ සම්පූර්ණයෙන් හැදුවේ. හැන්දෑවේ 5ට පටන් අරන් පහු වැනිදා පාන්දර 6 වෙනකල් එයා ලසන්තගේ මූණ මැහුවා. හැඩ කළා. එක මැහුමක් එළියට පෙනුණේ නැහැ. ඒක තමයි, Professional Embalmer කෙනකුගේ වෙනස. ෂැනන්ගේ ළඟම හිතවතකු වෙච්ච රිචඩ් ද සොයිසා එම්බාම් කළෙත් එයාමයි. එයා එක්ක කතා කරපු, හිනා වුණු කෙනෙක් ගේ මුහුණක් යළි ඒ විදිහටම හදනවා කියන එක බොහොම ඉවසීමෙන් පරිස්සමින් කළ යුතු වැඩක්. සිහියෙන් නුවණින් කළ යුතු වැඩ බීලා කරන්න බැහැ.

මොකද, අපිට නම් මෙතැනට එන හැම කෙනාම VIP. මැරුණු කෙනා තව කාගේ හරි අම්මෙක්. තාත්තෙක්. පුතෙක්. දුවෙක්. නැති නම් සහෝදරයෙක්. එයාව තමන් ගේ පවුලට VIP. ඒ හැරෙන්න ගෙවන ගාණ අනුව හෝ පැකේජ් එක අනුව කෙනෙක් VIP වෙන්නේ නැහැ.

මිනිස්සු මළ මිනීවලට බය, හිතන විදිය නිසා. තමන් ආදරය කළ කෙනෙක් සදා නින්දට ගිහින් කියල හිතන්න බැරි නිසා. සමහර විට මිනියේ බාහිර පෙනුමත් ඊට බලපානවා ඇති.

ශරීරයේ මුළු ලේ ටිකම අයින් කරලා කෙමිකල් මිශ්‍ර ෆෝමලින් ඉන්ජෙක්ට් කරන විදියක් තිබෙනවා. හරි ශිල්පයට කළොත් නියපොතු කළු වෙන්නේ නැහැ. හමේ පාට වෙනස් වෙන්නෙත් නැහැ. ඔය මිනීවලට ග්ලවුස් දාන්නේ ඒ ශිල්පය හරියට නොකරන අය. අපි කවදාවත් ග්ලවුස් දාන්නේ නැහැ.

විශේෂයෙන් තමන්ගේ ම අයව එම්බාම් කරනකොට දැනෙන හැඟීම බොහොම අමාරුයි. මගේ අයියා මොරිස් තමයි මගේ තාත්තාව එම්බාම් කළේ. මගේ පුතා ෂැනන් නම් හුඟක් නෑයින් ගේ ඒ කටයුතු කර තිබෙනවා. ෂැනන් තමයි අද ලංකාවේ වගේම දකුණු ආසියාවටත් ඉන්න ළා බාලම Qualified Embalmer. එයා අවුරුදු 18 පිරෙන්න සතියක් තිබෙද්දී යි එම්බාමින් ඩිග්‍රි එක ගත්තේ. මේක නිකම්ම නිකන් වැඩක් නෙවෙයි ආර්ට් එකක්. හැදෑරිය යුතු ශිල්පයක්.

British Institute Of Embalmers, Australian Institute Of Embalmers වගේ ලෝකේ පිළිගත් පාඨමාලා තිබෙනවා. මේවත් මෙඩිකල් කොලේජ් වගේ අවුරුදු තුනක උපාධි පාඨමාලා. අන්තිමේ Qualified Embalmer/ Qualified Mortician කියන Title එක ලැබෙනවා.

වෛද්‍ය විද්‍යාවේ යම් ප්‍රමාණයක්, රසායන ද්‍රව්‍ය පිළිබඳ අවබෝධයක් මෙන්ම, මැහුම් කලාව, මේක් අප්… ඒ හැමදේම ඊට ඇතුළත්. මගේ ලොකු පුතා යොහාන් නම් වැඩ කරන්නේ පරිපාලන පැත්තේ.

මගේ තාත්තගේ මල්ලි, ලෙස්ලි ලයනල් රේමන්ඩ් තමයි ආසියාවේ පළමු සුදුසුකම්ලත් එම්බාමර්. එයා මැරුණා. ලෙස්ලිගේ පුතා ආතර්. ආතර් ගේ පුතා තමයි කීත් රේමන්ඩ්, මගේ පුතා වගේම එයත් අපි එක්ක වැඩ කරන Qualified Embalmer කෙනෙක්.

ජීවිතය පිළිබඳ පාඩමක් කියා දෙන තැනක් තමයි එම්බාම් කාමරය. ප්‍රාණය නිරුද්ධ වූ සිරුරක් අපිට මතක් කර දෙන්නේ අපේ මරණය. මං ඒක අත් වින්දේ බොහොම ළා බාල වයසේ ඉඳලා.

මං ඉගෙන ගත්තෙ මරදාන සෙන්ට් ජෝසප් කොලේජ් එකේ. කාර් එකේ යැව්වට තාත්තා පොකට් මනී දුන්නේ සත 10යි.

ඒකෙන් පොල් සම්බෝල දමපු පාන් කාලක් කාලා, ලයිම් ජූස් එකකුත් බොනවා. සත 10ට වඩා කවදාවත් ලැබිලා නැහැ. ලොකු වුණාම කාර් ගමන නවත්වලා තාත්තා බයිසිකලයක් අරන් දුන්නා.

අර පිරිමැස්ම, දරා ගැනීම, සරල ජීවිතය, මනුෂ්‍ය ආශ්‍රය…මේ හැමදේම තාත්තා අපේ ජීවිතවලට පුරුදු පුහුණු කළා…”

ඔබේ බිරිය මේ රස්සාව ගැන මොකද හිතන්නේ මිස්ටර් රේමන්ඩ්… ඒ ප්‍රශ්නයට එදා ඔහු දුන්නේ අපූරු පිළිතුරකි.

“එයාව මම ඉස්සෙල්ලම දැක්කේ අවුරුදු 15දී. මං එයාව කසාද බඳිනකොට වයස 16යි. එයා තමයි මං දැකපු ලස්සනම නෝනා. එයා මගේ ක්වීන්. එයා මගේ රස්සාවට රෙස්පෙක්ට් කරනවා.

කසාද බැඳපු අලුතත් සමහර දවස් තිබුණා මං පැය 24ම මෙහෙ ගත කරපු. ඒත් එයා ප්‍රශ්න ඇති කළේ නැහැ. උදව් කළා. නැත්නම් මං කොහොමද මෙච්චර ලොකු කාලයක් එකට ඉන්නේ. එයා මට හොඳ පුතාලා දෙන්නෙක් දුන්නා.

ඔබ දන්නවද, මගේ ජීවිතයේ වැඩි කාලයක් මම ඇවිදලා තිබෙන්නේ මේ බොරැල්ල කනත්ත ඇතුළේ. අක්කර ගාණක මේ කනත්තේ කොයි තරම් මම ඇවිදලා ඇද්ද.

Japanese war cemetery එකේ පිටරට සොල්දාදුවෝ පිරිලා. පුංචි දරුවන්ගේ මිනී වළවල් තැන් තැන්වල. ජාති ජන්ම හැටියට වෙන් වෙලා ඉපදුණු මිනිස්සු නිදියන එකම බිමක් මේක.

ඒ කාලේ අපේ හැම මිනියක් එක්කම කනත්තට ගියේ මං. මෙතන ජීවිතේ ඉගෙන ගන්න පුළුවන් තැනක්. අදත් මං කාගේ හරි උදව් ඇතිව පොළව යට නිදන මගේ නෑයො බලන්න කනත්ත වටේ රවුමක් යනවා…” එසේ කියූ මිස්ටර් රේමන්ඩ් ද අද බොරැල්ල කනත්තේ මහ පොළොව යට ය.

ඒ් අවසන් දවසේ මට මිස්ටර් රේමන්ඩ් දෙස වඩාත් හොඳින් බලන්නට ඕනෑ වූයේ, ඔහු ව එම්බාම් කරලාද නොකරලා ද යන්න සිතා ගන්නට බැරි වූ නිසා ය.

සුදෝ සුදු මුහුණ එලෙසම ය. ග්ලවුස් නොදමා ඇති හෙයින් නියපොතුවල පවා තවමත් ලේ පිරී ඇති හැඩකි.

“තාත්තගේ අවසන් සැරසීම කරන්න ලැබුණු එක මට දැනුණේ මහා ගෞරවයක් විදියට. මහා ආදරයකින් මං තාත්තට ඇඳුම් ඇන්දුවේ. එයාව හැඩ කළේ. ආයෙ මට තාත්තට අන්දවන්න අවස්ථාවක් එන්නේ නැහැ. ලැබෙන අන්තිම අවස්ථාවේ දී, පැය ගාණකට ඉස්සරින් හිටියා වගේම එයාව තියන්නයි මට ඕනෙ වුණේ.

තාත්තා මගේ යාළුවා. මගේ හීරෝ. ඒ යාළුකම කොච්චර ද කියනවා නම් මම තාත්තට කතා කරන්න එයාගේ පළවෙනි නමින්. අපේ පවුල්වල එයාට වඩා බොහෝ ළාබාල අය පවා එහෙමයි. යාළුකමට එහෙම නම කියලා කතා කළාට එයා අපේ පවුල්වල හැමෝගෙම ආදරය ගෞරවය මහා ඉහළින්ම ලබපු කෙනා….”

ඕබ්‍රි වෙනීෂියස් රේමන්ඩ් තම ව්‍යාපාරය තුළ හැදූ වටිනාකම් රැසකි. ඒ අනුව, වයස අවුරුදු 12ට අඩු දරුවන්ගේත්, රාජගිරිය වික්ටෝරියා නිවාසයේත්, ඩාලි පාරේ වැඩිහිටි නිවාසයේත් මිය යන රෝගීන් සහ වැඩිහිටියන් ගේ අවසන් කටයුතු සියල්ල AF රේමන්ඩ් වෙතින් නොමිලේ සිදු කරයි.

මේ මනුස්සකම පිළිබඳ ඔහු වැඩි වැඩියෙන් සිතන්නට ගත්තේ හැමදාමත් දුටු ජීවිතය සහ මරණය නිසාය.

“ලස්සන මුහුණු තැළිලා පොඩි වෙලා, කෑලි කැඩිලා ගෙනැත් බංකුවක් උඩ අතුරලා තියෙන විදිය මිනිස්සු දකින්න ඕනේ. මිනිස්සුන්ට වෛර කරන එක නවත්වන්න, ජීවිතය ගැන යහපත්ව හිතන්න ඒක ඔවුන්ට හොඳ අවස්ථාවක්. එහෙම දැකපු කෙනෙක් කවදාවත් තවත් මනුෂ්‍යයකුට හිංසාවක් පීඩාවක් කරන්න හිතන්නේ නැහැ…”

වසර කිහිපයකට පෙර ඔහු මා සමඟ කීවේ ය.

එහෙත් එය අදට ද වලංගු කතාවකි.

ඉනෝකා පෙරේරා බණ්ඩාර, ඡායාරූප - සුදත් නිශාන්ත

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division