Home » සත පහේ නිල පුවත්පත සියරට

සත පහේ නිල පුවත්පත සියරට

by gayan
December 16, 2023 12:30 am 0 comment
සිය­රට සංර­ක්ෂිත පුව­ත්පත මායා කළු­බෝ­විල විසින් ජනා­ධි­ප­ති­ව­ර­යාට පිළි­ගැන්වූ අව­ස්ථාව

1949 වසරේ එක්සත් ජාතික පක්ෂයේ වාර්ෂික සම්මේලනය පවත්වන මොහොතේ රටේ අග්‍රාමාත්‍ය ධුරය දැරුවේ ඩී.එස්.සේනානායකය. කෘෂිකර්ම ඇමැති වූයේ ඩඩ්ලිය. රථවාහන හා ප්‍රසිද්ධ කර්මාන්ත අමාත්‍යවරයා වූයේ සර් ජෝන් කොතලාවලය. එම විශේෂ සම්මේලනය වෙනුවෙන් “සියරට” සතිපතා පුවත්පතෙහි නිදහසින් පසු වසරක් තුළ රට අත්කරගත් ජයග්‍රහණ පිළිබඳව සඳහන් වී තිබුණි. එක්සත් ජාතික පක්ෂයේ නිල පුවත්පත වූයේ “සියරට” යි. එකල එහි මිල සඳහන් වී තිබුණේ සත පහක් ලෙසයි.

පුවත්පතකට අද තිබෙන වටිනාකම හීන වෙමින් තිබුණ ද, දේශපාලන පක්ෂයකට අයත් පුවත්පතක් අලෙවිය වෙනුවෙන් සතිපතා නිකුත් කිරීමත්, ජනතාව එය මිලදී ගැනීමත් එකල ජන සන්නිවේදනය තුළ පුවත්පතට හිමි වූ වැදගත්කම මනාව කියාපාන්නකි.

සියරට පුවත්පතේ පළ වූ බොහෝ ලිපි එක්සත් ජාතික පක්ෂයේ දේශපාලනඥයන් විසින් සිදුකළ සංවර්ධන ව්‍යාපෘති පිළිබඳව කරුණු කියාපාන එකක් වුවද එහි කලාව, ලෝක දේශපාලනය, අධ්‍යාපනික ලිපි සහ දරුවන්ගේ කියවීමේ රුචිය වර්ධනය කිරීමේ අරමුණින් වෙන්කර තිබූ ‘සියරට ළමා උයන’ පිටුවද පාඨකයන්ගේ කියවීමේ අභිරුචිය වර්ධනය කරන්නක් බවට පත්ව තිබුණි. සීමාසහිත ස්වදේශී කර්මාන්ත ශාලාව ඇතුළු විවිධ වෙළෙඳ ආයතනවල වෙළෙඳ ප්‍රචාරක දැන්වීම්වලින් සියරට තම මුද්‍රණ වියදම් පියවාගත් බවට පැරණි පුවත්පත කියවන්නකුට ඕනෑ තරම් සාක්ෂි සොයා ගත හැකිය.

32/3, ෆ්ලවර් පාර, කොළඹ යන ලිපිනය සියරට පුවත්පතේ ලියාපදිංචි ලිපිනය ලෙස සඳහන්ව තිබේ. පුවත්පතෙහි ප්‍රධාන සංස්කාරක වූයේ ඩබ්ලිව්. ඩී. එස්. එල් ගුණරත්නයි. ටයිටස් ඩබ්ලිව් පෙරේරා එහි කළමනාකාර ධුරය දැරූ අතර, සියරට පුවත්පතේ ආරම්භකයා ලෙස සැලකෙන්නේ සර් ජෝන් කොතලාවලයි.

සර් ජෝන්ගේ පෞද්ගලික ලේකම්වරයා වූ ආනන්ද තිස්ස ද අල්විස් පුවත්පත සතිපතා මුද්‍රණය කිරීමේ වගකීම කරටගත් පුද්ගලයා විය.

ආනන්ද තිස්ස ද අල්විස්ගේ සමීපතමයෙකු වූ ෆ්‍රැන්සිස් මයිකල් කළුබෝවිල සියරට පුවත්පත පවත්වාගෙන යාම සඳහා බොහෝ සෙයින් උදව් උපකාර කළ අයෙකු විය. කෝට්ටේ සාන්ත තෝමස් විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබ, බ්‍රිතාන්‍ය හමුදාවේ සොල්දාදුවෙකු ලෙස රටවල් 18ක පමණ ප්‍රමාණයක සංචාරය කර තිබූ ඔහු, පසු කාලීනව රටේ ජනප්‍රියව තිබූ කුන්ඩල්මාල් ව්‍යාපාරයේ ඒජන්තවරයකු ලෙස ව්‍යාපාරික ලෝකය ද ජයග්‍රහණය කළ අයෙකි. ඇල්මන් පීරිස්, එම්. ඩී.එච්. ජයවර්ධන වැන්නවුන් ෆ්‍රැන්සිස් මයිකල් කළුබෝවිලගේ සමකාලීන මිතුරන් විය. ඔහුගේ දියණිය වූ මායා කළුබෝවිල සතුව අදටත් “සියරට” පුවත්පතේ සාක්ෂිය සුරක්ෂිතව පවතී.

 1949 වර්ෂයේ එක්සත් ජාතික පක්ෂයේ වාර්ෂික සම්මේ­ල­නය වෙනු­වෙන් මුද්‍ර­ණය කරන ලද සංර­ක්ෂිත කලා­පයේ මුල් පිටුව

1949 වර්ෂයේ එක්සත් ජාතික පක්ෂයේ වාර්ෂික සම්මේ­ල­නය වෙනු­වෙන් මුද්‍ර­ණය කරන ලද සංර­ක්ෂිත කලා­පයේ මුල් පිටුව

තම පියාගෙන් පසුව එක්සත් ජාතික පක්ෂය සමඟ ඉතා සමීපව කටයුතු කළ ඇය 1994 වසරේදී ජාතික යොවුන් පෙරමුණේ ප්‍රබල සාමාජිකාවක් ලෙස ක්‍රියාකාරී දේශපාලනයට එක්විය. ආචාර්ය කරුණාසේන කොඩිතුවක්කුගේ මඟපෙන්වීම යටතේ රන්ජන් විජේරත්න දේශපාලන ඇකඩමියෙන් දේශපාලන ගුරුහරුකම් ලබා ගත් ඇය 2002 සහ 2007 වසරවලදී කඩුවෙල ප්‍රාදේශීය සභාවටද, තරග කළ එක්සත් ලක් වනිතා පෙරමුණේ ප්‍රබල සාමාජිකාවක් විය. වර්තමාන එක්සත් ලක් වනිතා පෙරමුණේ ලේකම්වරිය වන ඇය, පසුගිය ඔක්තෝම්බර් 20 වෙනිදා සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ පැවති එක්සත් ජාතික පක්ෂයේ විශේෂ සම්මේලනයේදී, වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහයන් වෙත 1949 වර්ෂයේ පැවති එක්සත් ජාතික පක්ෂ විශේෂ සම්මේලනයට නිකුත් කළ සියරට පුවත්පතේ සංරක්ෂණය කරන ලද මුල් පිටපත සංකේතාත්මකව භාරදීම කැපී පෙනෙන සිදුවීමක් බවට පත්විය. 1949 සැප්තැම්බර් 23 වන දින නිකුත් කරන ලද එම සංරක්ෂිත පුවත්පත සියරට පුවත්පතේ තිස්තුන් වැනි කලාපයයි.

lසමන්තිලක බණ්ඩාර

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division