මුද්‍රිත මාධ්‍යයේ එක් සුවිශේෂ කාර්යභාරයක් වන්නේ රටේ සංස්කෘතික හා කලා නිර්මාණාදිය සම්බන්ධයෙන් පෙනී සිටින නියෝජිතයකු වීමයි. සාහිත්‍ය කලා නිර්මාණකරුවනට සුහුරු වේදිකාවක් තනා දීමයි. එහිලා ‘දිනමිණ‘ පුවත්පත සියවසකටත් වැඩි කාලයක් පුරාවට ඉටු කොට ඇති ශාස්ත්‍රීය සේවාව මිනිය නොහැකි තරම්ය. විශේෂයෙන් පුවත්පතක වගකීමක් වූ එය පරිහරණය කරන බස රැක ගැනීමේ කාර්යයෙන් නොනැවතුණු දිනමිණ සිංහල භාෂාවේ සන්නිවේදන ශක්‍යතා පෝෂණයට ද අනූපමේය මෙහෙවරක් ඉටු කළේය.
පුවත්පත් සඳහා යෝග්‍ය බස් වහරක් සකසා ගනිමින් පුවත්පත් බසේ නිරවද්‍යතාව පිළිබඳ සැලකිලිමත් වෙමින් වගකීම් සහගතව හැසිරීම නිසා ම, සිංහල ලේඛන රීතිය හා ශෛලිය පිළිබඳ ආදර්ශ සැපයීමට මේ කාලය පුරාවට ම දිනමිණට හැකි විය. භාෂාව අරභයා කලින් කල මතු වූ වාද – විවාදයන් හි දී කිසිදු ගුරුකුලයකට ගැති නොවී ඒ සියලු භාෂා සංවාද සඳහා කදිම වේදිකාවක් බවට පත්වීමට ද මේ නිසා ඊට හැකියාව ලැබිණි. විශේෂයෙන් සිංහල ලේඛන කලාවේ පුරෝගාමී භාෂා විශාරදයන් හා භාෂා ප්‍රේමී මහා පත්‍රකලාවේදීන් රැසක් ආරම්භයේ සිට ම දිනමිණෙහි සේවය කිරීම ඊට මහෝපකාරී වූවාට සැක නැත. දිනමිණ ආදි කර්තෘ එච්. එස්. පෙරේරා, දොඩන්දූවේ ධර්මසේන පඬිතුමා, ඇම්. සී. එෆ්. පෙරේරා, ඇලෙක්සැන්ඩර් වැලිවිට, පියසේන නිශ්ශංක, මාර්ටින් වික්‍රමසිංහ, වික්ටර් ද ලැනරෝල්, ඩී. ඩබ්ලිව්. සේනාධීර, ඩී. එෆ්. කාරියකරවන, බී. ඒ. සිරිවර්ධන, ටී. බී. පෙරමුණේතිලක, ධර්මපාල වෙත්තසිංහ, සුදාස් මාසකෝරාළ, ඇල්බට් වැලිවිට, අනඳපිය කුඩාතිහි, විමල් අබේසුන්දර ආදීන් ඉන් අතලොස්සකි.
1950 – 60 දශකවල දිනමිණ, පාඨක ප්‍රජාව අතර අතිශය ජනප්‍රියත්වයක් දිනා ගැනීමට එහි සාහිත්‍ය අතිරේක බෙහෙවින් හේතු සාධක වූ බව රහසක් නොවේ. නවක ලේඛක ලේඛිකාවන්ගේ කවි, කෙටිකතා හා විවිධ නිර්මාණවලට ඒවායේ ඉඩ හසර නිර්ලෝභීව වෙන් කැරිණි. එදා මේ අතිරේකවලට ලියූ-කියූවන් අතර වර්තමානයේ අතිශය ප්‍රවීණත්වයට පත්ව සිටින ලේඛක ලේඛිකාවෝ බොහෝමයකි.
පෙර අපර දෙදිග ජනප්‍රිය සාහිත්‍යාංග වූ කවිය – කෙටිකතාව සිංහල පාඨකයා අතරට ගෙනයාමට ද එකල දිනමිණ අප්‍රමාණ සේවාවක් ඉෂ්ට සිද්ධ කෙළේය. මුල් වකවානුවේ දී බටහිර සාහිත්‍ය ලක්ෂණ සහිත පිරිපුන් විධිමත් කෙටිකතා පුවත්පත්වල පළ නොවූ අතර ඊට ආරම්භක සංඥාව ලබා දුන්නේ දිනමිණ ය. 1924 අප්‍රේල් මාසයේ දී මාර්ටින් වික්‍රමසිංහගේ ප්‍රථම කෙටිකතාව – ‘අබිරහස‘ දිනමිණේ පළ වූවකි. එකල සෑම සෙනසුරාදාවක ම “ශනි දින කතාන්දරය” නමින් කෙටි කතාවක් පළ කෙරිණි.
පසු කලෙක ශූර කෙටිකතාකරුවකු බවට පත්, දිනමිණ උපකතුවරයකු වූ ජී. බී. සේනානායක සාහිත්‍ය ක්ෂේත්‍රයට තිළිණ වූයේ ද දිනමිණ කතුවරයා වශයෙන් වික්‍රමසිංහයන්ගේ මැදිහත්වීමෙනි. සම්මානලාභී නවකතා හා ටෙලි පිටපත් රචක සෝමවීර සේනානායක, කෘතහස්ත පරිවර්තක කේ. ජී. කරුණාතිලක, ප්‍රවීණ ලේඛිකා සෝමාදේවී පරණ යාපා, සුනිල් මාධව ප්‍රේමතිලක, සම්මානනීය ලේඛක බන්දුපාල ගුරුගේ ඒ මඟ ගිය දිනමිණ ආදිවාසී කිහිපපොළකි.
සම්මානලාභී කිවියර දයාසේන ගුණසිංහ සිය අපූර්ව කවීත්වය ප්‍රථමයෙන් පාඨක ලෝකයාට තිළිණ කළේ දිනමිණ උපකතුවරයකුව සිටියදී ය. කොළඹ යුගයේ පතාක යෝධයන් වූ මීමන ප්‍රේමතිලක, එච්. එම්. කුඩලිගම, සිසිරකුමාර මාණික්කආරච්චි මෙන් ම කවුඩානේ පියදාස පෙරේරා හා දයා සෝමසිරි ද දිනමිණ එළිය කළ සෙසු ජ්‍යෙෂ්ඨ කවිහූ ය. සිය පූර්වගාමීන්ගේ ඒ මඟ ගත් කවි කිවිඳියෝ රැසක් කලින් කල දිනමිණ සෙවණේ උන්නාහ. අදත් හිඳිමින් කව් පෙළහර පාති.
සිංහල ගේය පද රචනයෙහි සුවිශිෂ්ටයෝ රැසක් ද දිනමිණට ලේ නෑකම් කියති. දිනමිණ මුල්පුටු හෙබවූ ඔවුහු බොහෝමයක් සුභාවිත ගීතයෙහි අපූරු සංරචකයෝ ය. දෙල්තොට චන්ද්‍රපාල, ධර්මසිරි ගමගේ, ඩබ්ලිව්. ඒ. අබේසිංහ, තිලකරත්න කුරුවිට බණ්ඩාර, ආචාර්ය අජන්තා රණසිංහ, සමන් චන්ද්‍රනාත් වීරසිංහ ඉන් කිහිපපළක් පමණි. දිනමිණෙන් මතු වූ රන් මිණිවන් විශිෂ්ටයන් රැසක් කලින් කල විවිධ ඉසව් ඔස්සේ පෙරට විත් මෙරට බුද්ධිමය සංවාදයට නව ජීවයක් එක් කළ බව මේ මොහොතේ සිහිපත් නොකළහොත් එය වරදෙකි. සරසවි ඇදුරන් ලෙසින් කීර්තිමත් මහාචාර්ය විමල් දිසානායක, මහාචාර්ය ආනන්ද කුලසූරිය, මහාචාර්ය කේ. එන්. ජයතිලක, මහාචාර්ය අජන්තා හපුආරච්චි, කලාකීර්ති එඩ්වින් ආරියදාස ඉන් කිහිපදෙනෙකි.
පසු කලෙක උන්නතිකාමී සරසවි ආචාර්යවරයකු බවට පත් මහාචාර්ය එම්. එච්. ගුණතිලක දිනමිණ සිනමා පිටුවේ ආරම්භකයා ලෙස ඉතිහාසයට එක්ව සිටී. ඒ හරහා මතුව ආ ජයවිලාල් විලේගොඩගේ අභීත – අදීන චිත්‍රපට විචාර සිංහල සිනමාවේ ප්‍රගමනයට මහත් අත්වැලක් වූවාය යන්න පොදු පිළිගැනීමය. කලෙකට පෙර මාර්ටින් වික්‍රමසිංහයන් ‘මයුරපාද’ නමින් චිත්‍රපට විචාරයේ යෙදුණ ද මෙරට සිනමා නිර්මාණ සාහිත්‍ය හා දිනමිණ අතර අවියෝජනීය සබඳතාව ගොඩනැඟුණේ ජයවිලාල්ගේ විචාර නීතිය ඔස්සේ ය යන්න නොරහසකි. ඒ මඟ ගිය සුනිල් මිහිඳුකුල අකල් හි වියෝ වූයේ දිනමිණ පත්ඉරු අග කඳුළක් රඳවමිනි.
මෙරට ප්‍රථම සිනමා සම්මාන උලෙළ පැවැත්වීමේ ගෞරවය ද දිනමිණටය. ඒ 1956 මාර්තු 2 වැනිදාය. සිංහල සිනමාව ප්‍රේක්ෂයන් අතර ජනප්‍රිය කරවීමේ අරමුණින් සංවිධාන කළ එහි ජයග්‍රාහකයන්ට දහසින් බැඳි පියලි පිරිනැමිණි. ඊට අතිරේකව දිනමිණ, සිංහල සිනමාවට, වේදිකාවට මෙන් ම ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයටත් කළ දායාද රැසකි.
දිනමිණ ඓතිහාසික ගමන් මඟ විමසන මොහොතක, වරක් ආචාර්ය සරත් අමුණුගමයන් කළ විග්‍රහයක් සිහිපත් කරලීම වටී. ඔහුට අනුව නිදහසට පෙර යුගයේ ලංකාව පාලනය කළ ආයතන සතරකි. ඉන් එකක් වූයේ දිනමිණ කන්තෝරුව නමින් ප්‍රකට ලේක්හවුස් ආයතනය යි. එය විසින් ගොඩනැඟූ දේශපාලන නායකකාරකාදීහු රැසකි. බිම හෙළූ ගණන ද ඊට දෙවැනි නොවනු ඇති.
රාජ්‍ය කේන්ද්‍රීය පුවත්පතක් බවට පත්වූ පසුත්, ඊට පෙරත් දිනමිණ විවිධ විවේචනයන්ට ලක් වූ බැව් නොදන්නා අයෙක් නොවෙති. එහෙත් එය සැම විට තම ජාතික වගකීම් හා යුතුකම් වටහා ගෙන ඒ අනුව කටයුතු කළේය යන්න නොරහසකි. එසේ ම එය රටේ සම්ප්‍රදායන් රැක ගත්තා සේ ම ඒවා පෝෂණයට ද උර දුන්නේ ය. යුගයෙන් යුගය මහා පුරුෂයන් බිහි කළේය.
සම්පත් දිප්පිටිගොඩ