Home » ජන සුව වෙනුවෙන් ජ්‍යොතිෂායුර්වේද සායනය

ජන සුව වෙනුවෙන් ජ්‍යොතිෂායුර්වේද සායනය

by Mahesh Lakehouse
December 16, 2023 12:30 am 0 comment

සුබ යනු කරන කියන කටයුතු යහපත් ලෙස ඉටුවීමය. සෙත යනු නීරෝගීතාවෙන් යුතු යහ පැවැත්මය. සියලු සත්ත්වයන් වෙත සියලු යහපත සැලසීමට අවශ්‍ය දැනුම හා අවබෝධය ලබාදීමේ අරමුණ පෙරදැරි කර ගනිමින් 1969 වසරේ මැයි 28 වැනි දින පත්තර මහගෙදරින් දායාද කළ සත වෙත සිරිසෙත සලසන සති පත වන්නේ සුබසෙත යි.

මෙරට මතු නොව ලොව කිසිදු රටක පවතී යැයි සිතිය නොහැකි තරම් කාලයක් වන වසර 54ක් පුරා අඛණ්ඩව පළ කළ ජ්‍යොතිෂායුර්වේද පුවත්පතක් වේ නම් ඒ ද සුබසෙතමය.

එයින් පාඨක ජනතාවට සැලසූ සේවය කොපමණ ද යත් කොරෝනා වසංගත සමයත් ඉන් පසු ඇති වූ අාර්ථික අර්බුදයත් හමුවේ කඩදාසි මිල ඉහළ යෑම නිසා ඊ පුවත්පතක් ලෙස වසර දෙකක පමණ කාලයක් පළ කිරීමෙන් අනතුරුව පසුගිය ඔක්තෝබර් මාසයේදී යළි මුද්‍රණයෙන් නිකුත් කළ විට ද නොබිඳුණු විශ්වාසයකින් යුතුව සුබසෙත වටා පාඨකයෝ රොක් වූහ. එයින් ලද ජවයත් සමඟ වසර හයක් පමණ අතහැරී තිබූ සුබසෙත ජ්‍යොතිෂායුර්වේද සායනය නව පණක් ලැබීය.

එහි පළමු වැඩසටහන පසුගිය සති අන්තයේ කැලණිය පොල්හේන විස වෙද රෝහල සහිත වෛද්‍ය විද්‍යාලයේදී පැවැත්වීමට කටයුතු යෙදිණි. එයට නිමිත්ත වූයේ එම රෝහල සර්ප විෂ සඳහා කිසිදු මුදලක් නියම නොකොට දවසේ තුන්තිස් පැයේම ප්‍රතිකාර කරන පාරම්පරික හෙළ වෙද ආයතනයක් ලෙසත්, සර්ප විෂට ප්‍රතිකාර කරන දේශීය වෛද්‍යවරුන් බිහි කරන විද්‍යාලයක් ලෙසත් ගොඩනඟා වසර 44ක් සපිරීම සහ එහි නිර්මාතෘ වෛද්‍යාචාර්ය විශාරද පණ්ඩිත අමරවංශ පතිරාජගේ 28 වැනි ගුණානුස්මරණය යෙදී තිබීමත්ය. ඔහුගේ ඇවෑමෙන් එම වෙදැදුරුගේ කනිටු දියණිය වන වෛද්‍ය විද්‍යාලයේ අධිකාරිනී, විදුහල්පතිනි වෛද්‍ය විශාරද පණ්ඩිත විනීතා කල්‍යාණි පතිරාජ සුබසෙත කෙරෙහි එදා මෙදාතුර දැක් වූ විශ්වාසය තවදුරටත් තහවුරු කරමින් මේ සායනය සඳහා ආරාධනාවක් කළාය.

ඒ අනුව පසුගිය 9 සහ 10 දෙදින පුරා පෙරවරු 8.30 සිට සුබසෙත ජ්‍යොතිෂායුර්වේද සායනය ජනතාව වෙනුවෙන් විවෘත විය. පූජ්‍ය පුරිජ්ජවිල අනෝමදස්සි හිමියන් සභාව පංචශීලයේ පිහිටුවීමෙන් අනතුරුව ලේක්හවුස් නිර්මාතෘ ඩී. ආර්. විජයවර්ධන ශ්‍රීමතාණන් සේම විස වෙද රෝහලේ නිර්මාතෘ අමරවංශ පතිරාජගේ වෛද්‍යාචාර්යතුමන් සිහි කරමින් සභාවේ කටයුතු ආරම්භ කරන්නට කටයුතු යොදා තිබුණේ කෘතවේදී පරපුරක ස්වභාවය මොනවට පැහැදිලි කරමිනි.

පළමු දින සංවත්සර උත්සවය සහ ගුණානුස්මරණය වෙනුවෙන් ප්‍රධානත්වය දැරුවේ දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය නීතිඥ සිසිර ජයකොඩි ය. ඔහු එහිදී දේශීය වෛද්‍යවරුන් පිළිබඳ මෙන්ම ජ්‍යොතිෂවේදීන් ලියාපදිංචිය පිළිබඳ අවශ්‍යතාව දැක්වූ අතර විශේෂ සාම්ප්‍රදායික දැනුම ඇති අයගෙන් ජනතාවට සිදු වන සේවය අගය කළේය.

විනීතා කල්‍යාණි පතිරාජ වෛද්‍යාචාර්යතුමිය මේ රෝහල පවත්වා ගෙන යන ආකාරය ද ඔවුන්ගෙන් පැය විසිහතර පුරා සිදු වන සේවය මෙන්ම මේ වන විට ආර්ථික අපහසුතා මැද හෝ පියාණන්ගේ සේවය දිගුකාලීනව පවත්වාගෙන යෑමට ගන්නා උත්සාහය පිළිබඳ විස්තර කළාය.

ලේක්හවුස් කර්තෘ මණ්ඩල අධ්‍යක්ෂ සිසිර පරණතන්ත්‍රි උත්සව සභාව අමතමින් සුබසෙත මඟින් මෙතෙක් ජනතාවට සිදු වූ සේවය මෙන්ම 2024 සිට සතිපතා යළි මුද්‍රණයෙන් එන මේ පුවත්පත මඟින් පාඨක ජනතාවට ලබා දිය හැකි දැනුම හා සේවය පිළිබඳ පැහැදිලි කළේය. සුබසෙත කර්තෘ අරුණි මුතුමලී ස්තූති කතාව පවත්වමින් ලේක්හවුස් සභාපතිතුමා ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලයේ මෙන්ම සුබසෙත කාර්ය මණ්ඩලයේත්, ලේක්හවුස් ආයතනයේ කාර්ය මණ්ඩලයේ කණ්ඩායම් හැඟීමත් නිසා මෙවැනි සාර්ථක වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට හැකි වූ බව පැවසුවාය. පිරිස පිළිගනු ලැබුවේ විස වෙද රෝහලේ නේවාසික වෛද්‍යාචාර්ය උදිත අබේසිංහයි.

සංවත්සර උලෙළට සමගාමීව සුපුරුදු පරිදි සිදු කෙරෙන ප්‍රදේශයේ තෝරාගත් දුෂ්කරතා සහිත පවුල්වල ගැබිනි මවුවරුන් 25 දෙනකු උදෙසා පෝෂණ මලු බෙදා දීම මෙවර ද සිදු කෙරිණි. එහි දායකත්වය දැරුවේ ශ්‍රී ලංකා ආයුර්වේද විෂ වෛද්‍ය මහා සංගමයේ උපදේශකවරයකු වන භාතිය ආතාවුද ය. ඒ අතරම නොකඩවා වැඩසටහන හා එක්වූ ප්‍රදේශවාසීන්ට ඇස් කණ්ණාඩි බෙදා දීම සඳහා සුබසෙත ආරාධනයෙන් අනුග්‍රහය දැක්වූයේ සියනෑපුර සිංහ සමාජයේ සභාපති සිංහ නිමල් කරුණාතිලක (පී.එම්.ජේ.එෆ්, පී.එම්. ඒ. එෆ්) , භාණ්ඩාගාරික කාන්තා සිංහ නලිනි කාංචනා මුණසිංහ (එම්. ඒ. එෆ්, එම්.ජේ.එෆ්) සහ සිංහ නිශාන්ත රංජන උඩුවිල ඇතුළු සාමාජිකයන්ය. මහන්සි නොබලා ඒ අක්ෂි පරීක්ෂාව සිදු කරන ලද්දේ දෘෂ්ටි විශේෂඥ හර්ෂ එදිරිසිංහ යුවළ විසිනි. පෙරවරු කාලයේ රුධිරගත සීනි මට්ටම පරීක්ෂාව සඳහා වෙනම පෝලිමකි. එයට ද සුබසෙත වෙනුවෙන් දායක වූයේ සිංහ දිස්ත්‍රික් 306 ඒ -2 හි මාම්පේ සහ බටුවන්දර සිංහ සමාජ දෙකෙහි එකතුවයි. එහිදී පුවත්පත හා සම්බන්ධීකරණ කටයුතුවලින් දායක වූ සිංහ නලීන් මාපිටිය සහ සිංහ ලක්මාල් ගුණවර්ධන ඇතුළු පිරිස දෙදින පුරා සේවයේ නිරත වූයේ මහත් කැපවීමෙනි.

ප්‍රදේශවාසී ජනතාවට යහපත් සෞඛ්‍ය සම්පන්න දිවි පෙවතක් උරුම කරදීම අරමුණු කරමින් ඇරැඹි සායනයට ආයුර්වේද වෛද්‍යවරුන්, ජ්‍යොතිෂවේදීන්, පාරම්පරික වෛද්‍යවරුන්, හස්ත රේඛා විශේෂඥයන්, වාස්තු විද්‍යා උපදේශකවරුන්, නාඩි ජ්‍යොතිෂඥයන්, ක්‍රිෂ්ණ මූර්ති ජ්‍යොතිෂඥයන්, උමා ජ්‍යොතිෂවේදීන්, නිල වෛද්‍ය චිකිත්සකයන්, රූපලාවණ්‍ය ශිල්පීන් ඇතුළු මෙරට ජ්‍යෙෂ්ඨ, ප්‍රවීණ ශිල්පීන් සියයකට අධික පිරිසක් මෙයට සහභාගීව සිටියේ කිසිදු ලාභාපේක්ෂාවකින් තොරවය. ඔවුන්ගේ සේවාව සහ ඖෂධ නොමිලේ ලබා දීමට සූදානමින් සිටීම විශේෂත්වයකි.

දහස් ගණනින් යුතු පිරිස අව්ව වැස්ස නොබලා තමන්ගේ සුබසෙත සලසා ගැනීම වෙනුවෙන් විස වෙද රෝහල් පරිශ්‍රය වෙත ඇදී එද්දී ඔවුන් වෙනුවෙන් මැලිබන් බිස්කට් ආයතනය සහ ලින්ක් නැචුරල් ප්‍රඩක්ස් ආයතනය පවස නිවන්නට දායක විය. වසත් චන්ද්‍ර හා ලේක්හවුස් ආයතනයේ පී. එල්. බී. රවීන්ද්‍රගේ අප්‍රතිහත ධෛර්යය නොවන්නට මෙවැනි අනුග්‍රහයක් ලබා ගත හැකි නොවන්නට ඉඩ තිබුණු අතර මාධ්‍යවේදී බී. එල්. ප්‍රේමරත්න සහ පූජ්‍ය මෙත්තානන්ද හිමියන් කළ මෙහෙවර අමතක කළ නොහැකිය.

සුබසෙත ජ්‍යොතිෂායුර්වේද සායනය සම්ප්‍රදායට මෙන්ම නූතනත්වයට විවෘත තෝතැන්නක් බව පසක් කරමින් නූතන තාක්ෂණයෙන් පරිගණක මෘදුකාංගයක් ඔස්සේ සිරුරේ රෝග නිරීක්ෂණය කළ හැකි ජෛව අනුනාදක යන්ත්‍රය එළි දැක්වීම සිදු වූයේ පළමුව ඇමැතිවරයාගේ රෝග පරීක්ෂාව සිදු කරමිනි. එය මේ සායනයට අලුත්ම අත්දැකීමක් ලෙස ජනතා ආකර්ෂණය ලද අතර හඳුන්වා දීම සිදු කළේ විද්‍යාත්මක වාස්තු පර්යේෂණ ආයතනයේ ප්‍රධාන පර්යේෂක, විශ්වවිද්‍යාල බාහිර කථිකාචාර්ය, ඉංජිනේරු ප්‍රියන්ත දයාරත්න විසිනි. එමෙන්ම අක්ෂි රෝග පරීක්ෂාව සඳහා පැමිණි සිය ගණනක් ජනතාවගෙන් ගඟුලේ වෙද මැදුරේ ආසන පිරී යනු පෙනිණ. ගඟුලේ ඇස් වෙද පරපුරේ නූතන සාමාජික බී. ඉෂාර ලක්මාල් අක්ෂි වෛද්‍යවරයා ඇතුළු පිරිස ඒ කිසිවකුගේ බලාපොරොත්තු බිඳ නොහැර වෙදකම් කළ අයුරු ප්‍රශංසනීයය.

හස්ත රේඛාවේ නූතන මාන සොයන වෛද්‍ය බන්දුල සිරිවර්ධනගේ මූලිකත්වයෙන් පැමිණි ෆේට්රෝ හස්ත රේඛා අධ්‍යයන ආයතනයේ හස්ත රේඛා පර්යේෂකයන්ට සායනයේ නිල සමාප්තියෙන් පසුව පවා සිය කටයුතු නතර කිරීමට නොහැකි වූයේ තම අනාගතය පිළිබඳ දැන ගැනීමට පැමිණි දහස් සංඛ්‍යාත පිරිසගේ සිත් බිඳවා කටයුතු නිමා කිරීමට ඔවුන් සූදානම් නොවූ බැවිනි.

අන්තර්ජාතික පාරම්පරික හෙළ වෙද මැදුර වෙත ඇදී ආ රෝගීන් අතරින් සමහරු වසර විසිපහක් පමණ තම දෙපා නිසි ලෙස ක්‍රියා නොකිරීමෙන් දුක් විඳි අය වූ අතර, තවත් සමහරු තුනටියේ ආබාධ, උරහිස් ආබාධ, අක්ෂි රෝග, සමේ රෝග, වන පිළිකා, මුහුණේ ලප කැළැල් වැනි විවිධ රෝග නිසා දුක් විඳි අය වූහ. ඔවුන් සියලු දෙනා අවසන සායනයෙන් පිටව ගියේ සුබසෙතටත් විස වෙද රෝහලටත් ශිල්පීන්ටත් පින්පෙත් පමුණුවමින් සතුටු සිතිනි. ප්‍රවීණ ජ්‍යොතිෂවේදී මාකෙහෙල්වල කරුණාපාල සිය අසනීප තත්ත්වය පවා නොතකා මේ කටයුතු වෙනුවෙන් ජ්‍යොතිෂවේදීන් සම්බන්ධ කර දීමට සහාය වූයේ සුබසෙත සමඟ එදා මෙදාතුර පැවැති නොබිඳුණු බැඳීම නිසාය. සායනයට පැමිණි ජන ගඟ ක්‍රමානුකූලව හසුරුවන්නට කර්තෘ මාණ්ඩලිකයන් වන තුෂාරි, සිසිර, ඉරේෂා, නිලක්ෂි, කොතලාවල මෙන්ම බාහිර ලේඛක ආචාර්ය විජය සමරසිංහත් මහත් වෙහෙසක් ගනු පෙනිණි. සුබසෙත ධජ පතාක මැදින් ජන ගඟ ඇදී ආවේ අලෙවි අංශයේ අමිල, ශාන්ත, දර්ශ, කපිල ඇතුළු ලේක්හවුස් සියලු සහෝදර සහෝදරියන්ගේ සහයෝගයෙනි. මේ සියල්ල සුබසෙත යූ ටියුබ් නාළිකාව ඔස්සේ ඉදිරියේදී ඔබට දැකගනු හැකි වන්නේ ලේක්හවුස් ඩිජිටල් අංශයේ දායකත්වය නිසාය. සියයකට අධික ප්‍රවීණ ජ්‍යොතිෂවේදීන්, ආයුර්වේද හා දේශීය වෛද්‍යවරුන් ඇතුළු පිරිසක් නිස්සරණාධ්‍යාශයෙන් ලබා දුන් සහයෝගය අගයමින් ඔවුන්ට පිදුණේ සුබසෙත පුවත්පතින් නිකුත් කළ සහතිකයක් පමණි. එය ඔවුන් ඔටුන්නක් සේ සැලකුවේ සුබසෙත පුවත්පතට ඔවුන් දක්වන භක්ත්‍යාදරය නිසා විය යුතුය.

ධම්මිකා රාජපක්ෂ, ඡායාරූප- සුලෝචන ගමගේ/ ගයාන් පුෂ්පික/ රංජිත් අසංග/ ගීත් ද මැල්

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division