උදෑසන වෙඩි තබා ඝාතනය කිරීමට නියමිත පුද්ගලයකු අලුයම අවදි වූ විට ඔහුගේ සිත තුළ ඇති ආවේගය කෙබඳු විය හැකිද? අප මේ කතා කරන්ට යන පුද්ගලයාගේ වයස විසිහතකි. මේ පුද්ගලයා වෙඩි තබා ඝාතනය කරන්ට නියමිතව තිබුණේ 1915 ජූලි 8 වැනිදාවකය. ඒත් ඉංග්‍රීසි ආණ්ඩුවට ගතු කියා ඔහුව නිදහස් කරගනු ඇතැයි සිතූ සිලෝන් එක භාරව කටයුතු කළ සුද්දෝ මේ වීරයාව ඝාතනය කිරීම ඊට පෙර දිනට ගන්නා ලදී.
ඒ කියන්නේ ජූලි 7 වැනිදාය. නැත්නම් පොදුජන වහරේ මෙය වර නැඟෙන්නේ ජූලි හතයි කියාය. මෙහි සුවිශේෂත්වය වන්නේ වීරපුරන් අප්පු වීරයාට 67ත් වසරකට පෙර වෙඩි තබා ඝාතනය කොට තිබුණේ ද මෙම දිනයේම වීමය.
මේ ඝාතනයට ලක්වූ තරුණයා එඩ්වඩ් හෙන්රි පේද්‍රිස්ය. ඔහු තමන් ඝාතනය කෙරෙන දින අලුයම තමන් රඳවා සිටි වැලිකඩ බන්ධනාගාරයේ කුටියේ ඇවිද තමන් විසින්ම තම රැවුල බාගෙන මරණයට සූදානම් වූයේ මරණයට අභියෝග කරන්නාක් මෙනි.
පසුගිය සතියේ එඩ්වඩ් හෙන්රි පේද්‍රිස් නාමය නැවත රැව්පිළිරැව් දෙන්නට පටන් ගත්තේ වසර 108කට පෙර සිදු කළ ශ්‍රීමත් එඩ්වඩ් හෙන්රි පේද්‍රිස්ගේ ඝාතනය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වීම සඳහා ත්‍රිපුද්ගල කමිටුවක් පත්කිරීමට කැබිනට් අනුමැතිය හිමි වී තිබීමත් සමඟය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහයන් විසින් මේ යෝජනාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර තිබිණි. එම කමිටුවේ සභාපතිවරයා ලෙස විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු අනිල් ගුණරත්න පත්කර ඇති බව කැබිනට් ප්‍රකාශක, ඇමැති, ආචාර්ය බන්දුල ගුණවර්ධන රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී පසුගිය අඟහරුවාදා දැනුම් දෙන ලදී.
මේ වෙළෙඳ ව්‍යාපාරයන් අතර රෙදි-පිළි වෙළෙඳාමේ මුල් තැනක් ගෙන උන් සිංහලයා ඩී.ඩී. පේද්‍රිස් මුදලාලිය. ඔහු නීතිඥයකු ද විය. මේ කියන්නේ ගාල්ලේ දංගෙදර සිට කොලොම්පුරයට ආ ඩී.ඩී. පේද්‍රිස්ටත් කරන්දෙණියේ මල්ලිනෝ ප්‍රනාන්දු මෑණියන්ටත් දාව 1888 අගෝස්තු 6 දා උපන් එඩ්වඩ් හෙන්රි පේද්‍රිස්ය. හෙන්රිගේ පියා කලින් කී ව්‍යාපාරවලට අමතරව මිනිරන් පතල් හිමියෙක් ද, කොළඹ ගෙවල් හැටෙක අයිතිකරුවෙක් ද, අගනුවර වෙළෙඳ සමාගමක පාලකයෙක්ද විය. සහෝදරියන් සිවු දෙනකුගෙන් පසුව උපන් හෙන්රි පවුලේ එකම පුතු විය.
කොළඹ කොටුවේ ‘කොළඹ ඇකඩමිය’ නමින් පතළ පෞද්ගලික විද්‍යාලයෙකින් මූලික අධ්‍යාපනය ලද කුඩා හෙන්රි, ඉක්බිතිව ගල්කිස්සේ සාන්ත තොමස් විදුහලට ඇතුළුව මඳ කලෙකින් ඉන් අස්ව කොළඹ රාජකීය විද්‍යාලයට බැඳී ඉගෙනීම අවසන් කළේය.
රැකියාවක් නොකොට පියාගේ දේපළ ඔහුට ජීවත්වීමට ප්‍රමාණවත් වුව ද ඔහු රැකියාවක් කිරීමට කැමති විය. ගාල්ලේ දන්ගෙදර “පේද්‍රිස් විලා” මැදුරෙන් සමුගත් ඩී. ඩී. පේද්‍රිස් යුවළ අගනුවරට සැපත් වූයේ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා මෙන්ම තම ව්‍යාපාරික කටයුතු වඩාත් ඔප් නංවා ගනු පිණිසය. ගාල්ලේ “පේද්‍රිස් විලා” හි ගත කළ පරිසරයට වඩා කොළඹ ජීවිතයට කුඩා හෙන්රි හුරු විය. කොළඹ ටර්ටි පාරේ “විමල් විලා” නම් සුවිසල් දෙමහල් නිවසක ජීවිතය ගත කළ හෙන්රි එක්තරා දිනෙක තම ඉරණම වැටී තිබුණ අඩිපාර ඔස්සේ පිය නැඟීමට පියාගෙන් අවසර ඉල්ලා සිටියේය.
“තාත්තේ මං නගරාරක්ෂක යුද හමුදාවට බැඳෙනවා. මං ඊයේ උදේ පාර දිහා බලා හිටියා. හමුදවේ සුද්දෙක් පාරෙ ගිය අහිංසක වයසක මනුෂ්‍යයකුට හොඳටම කසෙන් තැළුවා. ඔහු ලේ පෙරමින් බිම ඇද වැටුණා. මගේ හිතට ලොකු වේදනාවක් දැනුණා තාත්තේ.” තම පවුලේ බඩපිස්සා පිළිබඳ හෙන්රිගේ පියාට දැනුණේ ආඩම්බර හැඟීමකි. එකල සුදු පාලකයන් යටතේ මෙහෙය වුණු කොළඹ නගරාරක්ෂක බළ හමුදාවක් විය. ඒ “Town guard” නමින් හැඳින්විණි. මෙම හමුදාව සුදු ජාතිකයනගෙන් සමන්විත විය. සාමාන්‍ය සෙබළකු සේ ඒ හමුදාවට බැඳුණු හෙන්රි, ඒ තැන හිමි කැරැ ගත් පළමු වැනි සිංහලයා ද වීම විශේෂත්වයකි.
හෙන්රි ඉලක්කයට වෙඩි තැබීමේ හපනෙක් වීමත්, අසුපිට යෑමේ සූරයකු වීමත් නිසා, ඉක්මනින් කපිතාන් නිලයට උසස් වීමක් ලබා ගත්තේය. සුදු පාලකයකුට හිස නො නමා, සිය රාජකාරිය මැනැවින් ඉටු කළ හෙන්රි සුදු සෙබළුන්ගේ ප්‍රසාදයට ලක්වූයේ නම් නැත. හෙන්රිගේ පවුල් බලය නිසා සුද්දෝ හෙන්රිට අත තියන්නට ගියේ ද නැත. එමෙන්ම මෙරට ධනේෂ්වරයෙක් වූ බණ්ඩාරනායක පරම්පරාවේ මීමුත්තන් ද, හෙන්රිගේ ව්‍යාපාරික බල පරාක්‍රමය බිඳ දමාලීමට සිටියේ පුල පුලාය.
1915 මැයි 28දා වෙසක් පෝ දා උඩරට බෞද්ධයෝ මහනුවර වීදි ඔස්සේ පෙරහරක් පැවැත්වූහ. කිසියම් අනුවණ අසිංහල පිරිසක් පල්ලියක් අසලදී සැඟැවී සිට පෙරහරට ගල් ගැසූහ. මින් කෝපයට පත් පෙරහරේ ගිය බෞද්ධයෝ අර නොහික්මුණු තරුණයනට පහර දුන්හ. මොහොතකින් එය කෝලාහලයක් විය. උතුරු නැඟෙනහිර දෙපළාතේ හැර අන් සියලු පළාත්වල මේ කෝලහලය පැතිරුණ පසු එය කැරැල්ලක් බවට පත්වූයේ නිරායාසයෙනි.
ඉංගිරිසි පාලකයෝ යුද නීතිය පැනවූහ. සිංහල ජන නායකයෝ සිරගත කළහ. සිංහල සංහාරය ඇරැඹුණේ ඉන්පසුවය. කැරැල්ල කොළඹට ද ආයේය. ඒ මැඬ පැවැත්වීම පැවරුණේ කපිතාන් හෙන්රි පේද්‍රිස්ටය. ගම්පොළ නගරයේදී සිංහලයන් විශාල පිරිසක් මුස්ලිම්වරුන් විසින් මරා දමා ඇති බවට පැතිරී ගිය කටකතාවෙන් කුපිතව විශාල ජන ගඟක් නුවර දෙසට එමින් තිබිණ. හෙන්රි පේද්‍රිස් වීරයා සූක්ෂ්ම කල්පනාවෙන් යුතුව මහ හඬින් ජනතා රැලිය ඇමැතුවේය.
“සහෝදරවරුනි, එවැනි කිසිම ගැටුමක් එහි සිදුවී නැහැ. සත්‍ය තත්ත්වය මා හොඳින් දැන ගත්තා. කිසිවකුට හානියක් වීමට මා ඉඩ තියන්නේ නැහැ. මා විශ්වාස කර ආපසු යනමෙන් ඉල්ලා සිටිනවා.”
ඔහු මහත් සන්සුන් හඬින් ජනතාව ඇමතුවේය. පිරිස ආපසු හැරී විසිර ගියහ. දෙවතාවක දීම සුද්දන්ගේ බොරු බේගල්වලට කුපිතව ආ ජනතාව ආපසු හරවා යැවීමට හෙන්රි සමත් විය. ඔහු ආපසු කොළඹ ආවේ නිරුපද්‍රිතවය. හෙන්රිගෙන් පළි ගැනීමට පුල පුලා බලා සිටි යුද සෙබළු සහ හෙන්රිට වෛර කළ දේශීය පරගැති ව්‍යාපාරික පැලැන්තිය හෙන්රිව හිර කෙරුවේ හෙන්රි විසින් අසිංහල කැරළිකරුවන් මරා දැමී යැයි අභූත චෝදනා නඟමිනි.
හෙන්රි පේද්‍රිස් බේරා ගැනීමට ඉදිරිපත් වූවන් අතර ශාන්ත තෝමස් විදුහලේ වෝර්ඩ්න් තැන්පත් ගරු ස්ටෝන් පියතුමා ද, රාජකීය විද්‍යාලයේ විදුහල්පති වාර්ල්ස් නටාලි ද වූහ. ඔවුන්ගේ ඉල්ලීම් පිළිනොගත් ලංකාණ්ඩුකාරවරයා ඒවා හමුදාපති වෙත යැවීය.
අවසානයේදී යුද හමුදාපති බ්‍රිගේඩියර් එච්. එම්. එල්. මැල්කම් හමු වූ ව්‍යවස්ථාදායක මන්ත්‍රණ සභාවේ හෙක්ටර් වැස්කියුලන්බර්ග්, ශ්‍රීමත් පොන්නම්බලම් රාමනාදන් හා ඩග්ලස් ද සේරම් යන මන්ත්‍රීවරු පේද්‍රිස් තරුණයාගේ නිදහස වෙනුවෙන් අභියාචනා ඉදිරිපත් කළහ.
එහිදී කැප්ටන් වැන්ඩස්ට්‍රාටන් නමැති හමුදා නිලධාරියෙක් කැප්ටන් පේද්‍රිස් කැළණියේ වික්ටෝරියා පාලම අසලදී පෑලියගොඩින් පැමිණි විශාල කැරලිකරුවන් පිරිසක් විසුරුවා නොහැර නගරය දෙසට ගමන් කිරීමට ඉඩ දුන් බව සියැසින් දැක ඇතැයි කීහ. මෙවිට ශ්‍රීමත් පොන්නම්බලම් රාමනාදන් එය අමූලික මුසාවකැයි මුරගා කියා තිබේ. නමුත් හමුදාපතිවරයාගේ තීරණය වූයේ හමුදා අණසක නොතකා ක්‍රියා කිරීම සියලු ආයාචනා යටපත් කැරෙන බවකි.
එඩ්වඩ් හෙන්රි පේද්‍රිස් වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටි අන්දම ගැන කම්කරු නායක ඒ.ඊ. ගුණසිංහ විසින් 1965දී ඔබ්සර්වර් පුවත්පතේ සටහනක් තබා ඇත්තේ My Life & Labour ලිපි පෙළකය.
යුදාධිකරණය ඉදිරියට පැමිණවීම සඳහා “එල්” කොටසේම සිර කොට සිටි හෙන්රි පේද්‍රිස් වෙනත් සිර මැදිරියකට මාරු කරන ලදී. තිදෙනෙකුගෙන් යුත් යුද්ධාධිකරණය ජූලි 01වනදා රැස්වූ අතර, ඊළඟ දිනයේදී පේද්‍රිස් වෙඩි තබා මරා දැමීමේ තීරණය ගන්නා ලදී. ඔහුට විරුද්ධව ඉදිරිපත් වූ චෝදනා වූයේ රාජද්‍රෝහි වීම, කඩ සාප්පු බිඳීම සහ මරණයට පත් කිරීමේ චේතනාවෙන් තුවාල සිදු කිරීම වේ. බ්‍රිගේඩියර් ෙජනරාල් එච්.එල්. මැලකම් විසින් ඔහුගේ මරණ තීන්දුව ස්ථිර කරන ලදී. මරණයට පත් කිරීමට දින කීපයකට පෙර පේද්‍රිස් පවුලේ සාමාජිකයන් හෙන්රි පේද්‍රිස් බැලීමට වැලිකඩ බන්ධනාගාරයට ගියහ. ඔහු කුඩා සිරමැදිරියක සිර කොට සිටි අතර නිදා ගැනීම සඳහා ඔහුට කොට්ටයක්වත් සපයා නොතිබුණි.
අවසානයේ එඩ්වඩ් හෙන්රි පේද්‍රිස්ට එරෙහිව නැඟුණු චෝදනා, පරීක්ෂා කළහ. හෙන්රි වරදකරු කළ පාලකයෝ ඔහුට මරණීය දඬුවම නියම කරන ලදී. 1915 ජූලි 07දා පෙ.ව. 8.00ට, වැලිකඩ හිර ගෙදරදී වෙඩි තබා මරා දමන බවට අණ කැරිණ. පුතු මරණයෙන් නිදහස් කළහොත්, ඔහුගේ බර සමාන රන් දෙන බවට පියා පොරොන්දු වුව ද ඒ රනට වඩා පේද්‍රිස්ගේ උණු ලේ අගය කළ සුදු පාලකයෝ පියාගේ පොරොන්දුව පයිසකට ගණන් ගත්තේ නැත.
තමා ඝාතනයට පෙර ඉටු කළ යුතු ඉල්ලීම් පහක් හෙන්රි විසින් සුදු ආණ්ඩුවට ඉදිරිපත් කරන ලදී. සිය මවුපියන් දැක ගැනීම, මහා සංඝයා වහන්සේට අටපිරිකර පූජා කිරීම, ඉංග්‍රීසින් විසින් නොව පන්ජාබ් සොල්දාදුවන් ලවා වෙඩි තැබවීම, යුද හමුදාවේ හිතවතුන් සමඟ තේ පැන් සංග්‍රහයකට සහභාගි වීම, මළ සිරුර පවුලේ සුසාන භූමියේ තැන්පත් කිරීම එම ඉල්ලීම් පහය.
1915 ජූලි 6 වැනිදා හවස සිරිත් පරිදි තෙරුවන් නැමැදි පේද්‍රිස් වීරයා, රෑ අහර ගෙන වේලාසනින් නින්දට ගියේ එය තමන් නිදන අවසන් දිනය බව දැනගෙනය. ජූලි 7 දා උදේ නින්දෙන් පිබිදුණු හෙන්රි සිය අතින්ම රැවුල බා, දත් මැද දිය නා පිරිසුදුව, සිය සිර කුටියට වැද කපිතාන් නිල ඇඳුමින් සැරැසී, උදේ අහර ගෙන සිනහසෙමින් පිටතට පැමිණියේ සියල්ලන් මවිතයට පත්කරමිනි.
ඒ මොහොතේ එතැනට වැඩ සිටි දින්ගෙදර සරණපාල හිමියන්ගේ සෙත් පිරිත් දේශනා අසා උන්වහන්සේට වැඳ සමු ගත්තේය. ඉන්පසු පසෙක සිටි පියා වෙතැ පැමිණ, දණ නමා දෙපා වැඳ, “තාත්තේ මගෙන් ඔබට වරදක් සිදු වුණි නම් සමා වෙන්න. මා සිහි කරමින් ආගමික වතාවත් කරන්න. අප කාටත් උරුම වූ මරණය ගැන තැවෙන්නේ කුමට ද? මගේ කීකරු අශ්වයා අන්සතු නො කරන්න. කිසිසේත් මගේ අශ්වයා සුද්දන්ට නම් දෙන්න එපා”යැයි තම පියාගෙන් දැඩිව ඉල්ලා ඇත.
වැලිකඩ බන්ධනාගාරයේ හෙන්රි ඝාතනය කරන දිනවල බන්ධනාගාරගත කොට සිටි ඒ. ඊ. ගුණසිංහ පේද්‍රිස් මරණයට පත් කළ බිහිසුණු අවස්ථාව සිහිපත් කරමින් ඔබ්සර්වර් පුවත්පතේ සටහන් කොට ඇත්තේ මෙසේය. ජූලි 07 වැනි දින අලුයම පහට බන්ධනාගාරයේ පාලක තැන හා පංජාබ් හේවායන් සිර මැදිරියට පැමිණ වෙඩි තබා මරා දැමීම සඳහා සූදානම් වන ලෙස පේද්‍රිස්ට දැන්වීය. නිර්භය හා නොසැලුනු ස්වභාවයක් මේ අවස්ථාවේදී දැක්වූ තරුණ පේද්‍රිස් ආයිත්තම් සහ සැරසිලිවලින් තොර කපිතාන් පදවියට නියමිත නිල ඇඳුමින් සැරසුණි. දැඩි ආරක්ෂක සංවිධානවලින් යුත් මරණයට පත් කරන ස්ථානය කරා පෙරවරු හයට ඔහු ගමන් අරඹන ලදී. දැනට රජයේ මුද්‍රණාලය පිහිටා ඇති ස්ථානයට පිටුපස හුදෙකලා ස්ථානයකට පේද්‍රිස්ව රැගෙන ගොස් ඇත්තේ ඝාතනයටය.
සුදු නිලදරුවකුගේ මෙහෙයවීම් යටතේ පන්ජාබ් සෙබළෝ කපිතාන් පේද්‍රිස් මාරක පුටුව වෙත ගෙන ගියහ. පේද්‍රිස් අණ ලැබෙන්නට පෙර එහි හිඳ ගත්තේය. වෙඩි තබන්නට පෙර එහි සිටි සුදු නිලධරයා පේද්‍රිස් වීරයාගේ දෙනෙත් රෙදි කඩෙකින් වසා බඳින්නට සැරසුණේය. ඔහු වැළකූ පේද්‍රිස්, “මගේ දෑස් බඳින්නේ කුමකට ද? ඔබට දැන් වෙඩි තැබිය හැකියි. ඔබ මට වෙඩි තබන සැටි බැලීමට මා කැමතියි… හෙන්රි පවසා ඇත්තේ මරණයට කිසිදු බියක් නැතිවය. පේද්‍රිස් වීරයාණන්ගේ වදනින් මුසපත් වූ සුදු නිලදරුවා, “වෙඩි තබන්නට පෙරැ ඇස් වසා රෙදි කඩෙකින් බැඳ දමන්නැයි මා ලද නියෝගයෙකි. එය ඉටු කරන්නට මට ඉඩ දෙන්නැයි පවසා ඇත.
“එසේ නම් රෙදි කඩ මට දෙන්න. මම ම ඇස් බැඳ ගන්නම් යැයි පවසමින් එසේ කළා යැයි ඇතැමෙක් සටහන් තබා ඇති මුත් දෑස් බැඳීම ප්‍රතික්ෂේප කළ හෙන්රි පෙරදිග සිරිතට දොස්තර මහතාටත් අවට සිටි පිරිසටත් ආචාර කළ අතර තම සාක්කුවෙන් ලේන්සුව ගෙන එය තම ඇස්වසා බැඳ ගත්තේය. ඉන්පසුව ඔහුගේ දෑත්වලට මාංචු දමන ලදී. එච්. එල්. ඩවුබිගින් පේද්‍රිස්ගේ හමුදා හිස්වැස්ම ගලවා දැමුවේය. “මම දැන් ලැහැස්තියි” හෙන්රි පැවසුවේ අභීතවය.
පංජාබ් හමුදා භටයන් හය දෙනකුගෙන් යුත් පිරිසකගේ වෙඩි පහරින් පේද්‍රිස් පුටුවේ පසෙකට වැටුණි. එසේ වුවත් මරණයට පත්වී නොසිටි බැවින් පසෙකින් සිටි බ්‍රිතාන්‍ය නිලධරයෙක් තවත් පිස්තෝල වෙඩි පහරක් එල්ල කොට අභීත සිංහලයා පරලොව යවන ලදී.
මේ හෙන්රිගේ ඝාතනය ගැන එවකට බන්ධනාගාරගතව සිටි පියදාස සිරිසේන සටහනක් තබා ඇත්තේ මෙසේය.
එදා උදේ අවට වෙඩි හඬක් ඇසුණේය. මෙය මේ අවස්ථාවේ වැලිකඩ හිරගෙදර රඳවා සිටි සිංහල බෞද්ධ ජන නායකයන් සිල්ලන්ට ඇසුණේය. එහෙත් එය කවුරුන් උදෙසා තබන ලද වෙඩි පහරක්දැයි අපට දැනගන්නට ලැබුණේ සවස දෙකට අපව පැයකට එළියට ගන්නා ලද අවස්ථාවේදීය. පණ අදිමින් මිය යන තරුණ පේද්‍රිස්ගේ ලේ ගලන සිරුර සහිත පුටුව මඳ වේලාවකට පසු සර් බාරොන් ජයතිලක, සේනානායක සහෝදරයන්, සී. ඒ. හේවාවිතාරණ සහ ඒ. පී. විජේරත්න ආදීන් සිටි ස්ථානයට රැගෙන යන ලදී. මෙම පුටුව රැගෙන යාමට වෙනත් තැන් තිබියදීත් මෙම ස්ථානයටම ගෙන යන ලද්දේ ඇත්ත වශයෙන්ම මෙම අති සම්භාවනීය දේශපාලන සිරකරුවන් බිය ගැන්වීමේ අරමුණ ඇතිවය.
“මේ පේද්‍රිස්ගේ ලේ. උඹලටත් වෙන්නේ මේකම තමා!”යැයි කී ඔහු එය එහි සිටි ඩී. ඇස්. සේනානායකගේ ඇගේ හප්පවමින් යන්නට ගියේය.
‘මගේ ඇඟේ ලේ නටන්න වුණා. මුන්ව කන්න ඕනේ”යි කී ඩී. ඇස්. උද්වේගයෙන් යුතුව පවසා ඇත.
“එහෙම නෙවෙයි මල්ලි. අපි ඉවසලා ඉඳලා මේකෙන් එළියට ගිහිල්ලා මුන්ව රටින්ම පන්නලා දාන්න වැඩ කරමු. මගේ වතුවල අන්තිම පොල්ගස් දෙක දක්වා විකුණලා හරි මම ඒ වැඩේ කරනවා”යි ඇෆ්. ආර්. සේනානායක කියා සිටියේය.
එස්. ආර්. සේනානායක, ඊ. ඩබ්ලිව්. පෙරේරා, ඩී. බී. ජයතිලක සහ ඩී. එස්. සේනානායක වැනි ශ්‍රේෂ්ඨ දේශප්‍රේමීන් නිදහස ලබා ගැනීම සඳහා වන සටන් ව්‍යාපාරයට මුලපිරුවේ මෙයින් පසුවය. මේ අනුව තරුණ එඩ්වඩ් හෙන්රි පේද්‍රිස්ගේ ජීවිතය ජාතිය උදෙසා පිදීමෙන් පසුව නිදහස ලබා ගැනීම සඳහා වන ව්‍යාපාරය ආරම්භ විය.
සිරභාරයට පත්වන්නට පෙර එෆ්. ආර්. සේනානායක විසින් උපක්‍රමශීලීව කිතුබැතියකු වූ ඊ. ඩබ්ලිව්. පෙරේරාව එංගලන්තයට යවා සිදු කරන ලද කටයුත්ත ඵලදරා තිබෙන බව ඉක්මනින්ම දැනගන්නට ලැබිණි. සිරගත වූ සිංහල බෞද්ධ ජනනායකයන්ට නිදහස ලැබුණේ ඉන් පසුවය.
රාජද්‍රෝහී චෝදනාවකින් වෙඩි තබා මරා දැමීමකට ලක් වූ නිසා පේද්‍රිස් තරුණයාගේ මළ කඳ පවුලේ අයට භාර නුදුන් නමුදු ඔහුගේ අවසාන ඉල්ලීමට ගරු කිරීමක් වශයෙන් ඉංග්‍රීසි ආණ්ඩුව මඟින් හොර රහසේ බොරැල්ලේ කනත්තේ පේද්‍රිස් පවුලේ සෙහොන්බිමේ වළලා ඇති බව පියාට රහසින් දැනගන්නට ලැබී තිබිණි. එහෙත් ඔහු එය කිසිවකුට හෙළි නොකළේය. එහෙත් එයට වසර 80කට පසුව ලියවිල්ලක සටහන් වූ කරුණු අනුව වසර 75කට පසුව වගකිවයුත්තන් කිහිපදෙනකු හා නෑදෑයන් කිහිපදෙනකු එක්ව රහසේම එම මිනීවළ හාරා හමුවූ ඇටසැකිල්ල පේද්‍රිස් වීරයාගේ බව හඳුනා ගන්නා ලද්දේය. සමහරු ඉන් ඇට කටු කිහිපයක්ම තමන් වෙත තබාගෙන ඉතිරි ඇට කටු යළිත් වළ දමා වැසූහ. මෙය එකල ප්‍රකට රහසකි.
1978 ජූලි 7 වැනි දින හැව්ලොක් ටවුමේ එඩ්වඩ් හෙන්රි පේද්‍රිස් පිළිරුවක් විවෘත කරන ලද්දේ ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන හා අග්‍රාමාත්‍ය ආර්. ප්‍රේමදාස විසිනි. එහිදී රණසිංහ ප්‍රේමදාස අග්‍රාමාත්‍යවරයා හෙන්රි විරුවා ගැන පවසා ඇත්තේ මෙසේය.
පේද්‍රිස් තරුණයා මරා නොදමන ලද්දේ නම් අපගේ මෑත අතීත කතා පුවත සම්පූර්ණයෙන්ම වෙනස් වන්නට තිබිණි. ජාතියක ඉතිහාසය වෙනස් කරන්නට තරම් හපනකුව ඉපිද, එහෙත් ඒ හපන්කම් පාන්නට ප්‍රථම වෙඩි කා මියගිය පේද්‍රිස් වීරයාගේ 63 වැනි අනුස්මරණ දිනයේදී ඔහුට උපහාර පිණිස කොළඹ හැව්ලොක් පිටියේ ඔහුගේ ප්‍රතිමාවක් විවෘත කිරීම ශ්‍රේෂ්ඨ ජාතික සිද්ධියක් ලෙස මම සලකමි. එය ජාතික යුතුකමක් වෙයි යනුවෙනි.
මෙම රැස්වීමේදී හෙන්රි පේද්‍රිස් පරපුරේම අයකු වූ සී. සිරිල් මැතිව් නොහොත් එවකට කර්මාන්ත හා විද්‍යා කටයුතු අමාත්‍යවරයා ද ඔහු ගැන සටහනක් තබා ඇත. එහි සඳහන් පරිදි තරුණ පේද්‍රිස්ගේ මරණය බේද වී සිටි විවිධ සමාජයීය කොටස් මත භේද දුරලා ඒකරාශී කිරීමට සමත් විය. ශ්‍රී ලංකාවේ නිදහස ලබා ගැනීම සඳහා සංවිධානය වීමටත් පසුව සටහනක් දියත් කිරීමටත් සිංහල නායකයන් උනන්දු වූයේ මෙයින් පසුවය.
එඩ්වඩ් හෙන්රි පේද්‍රිස් පිළිමය නිරාවරණය වූ 1978 ජූලි 7 වැනිදා ඒ අසල ඇති හැව්ලොක් පිටිය ඒ සමඟම පේද්‍රිස් ක්‍රීඩාංගණය ලෙස නම් කරන ලදී.
පේද්‍රිස් තරුණයා ඝාතනය කළ වකවානුවේ මේ රට භාරව කටයුතු කළ රොබට් චාර්බස් ඉංග්‍රීසි ආණ්ඩුකාරයා ප්‍රමුඛ සුදු නිලධාරීන් පිරිසත් ඔවුනට ආවැඩූ අවස්ථාවාදී තවත් කිහිපදෙනකුත් සිංහල ජාතියට විරුද්ධව කටයුතු කිරීම නිසා මේ අභාග්‍ය සම්පන්න සිද්ධිය වැඩි දියුණුව ගිය හැටි එහි සුලමුල සෙවීමේදී පැහැදිලිව පෙනී යන කරුණකි.
හෙන්රි ප්‍රේද්‍රිස් ඝාතනය එවකට මෙරට පාලනය කළ නිලධාරීන් පිිරිසක් විසින් සිදු කරන ලද සැලැස්මක ප්‍රතිඵලයක් බව පසුව නිරීක්ෂණය වී තිබේ. ඒ අනුව මේ ඝාතනයේ සැබෑ තොරතුරු අනාවරණය කර එතුමාට හා පවුලේ අයට යුක්තිය ඉටු කිරීමට මේ කමිටුව පත්කොට ඇත. ව්‍යාපාරික පවුලක සිටි ඉතාම දක්ෂ, ක්‍රියාකාරී තරුණයකු වූ හෙන්රි පේද්‍රිස් සැලසුම් සහගතව ඝාතනය කළා ද යන බව පිළිබඳ ත්‍රිපුද්ගල කමිටුව මඟින් වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට අනුමැතිය දැන් ලැබී ඇත. කෙසේ නමුත් සුද්දන්ගේ ඉතිහාසයේ දේශද්‍රෝහියකු ලෙසත් ලංකාවේ පොදුජන හදවත් තුළ දේශ හිතෛෂී වීරයකු ලෙසත් හඳුන්වන හෙන්රි පේද්‍රිස් විරුවාට ඉතිහාසයේ හිමි තැන ලබාදීම මෙම කමිටුවේ ජාතික වගකීමක් වී ඇත.
වජිර ලියනගේ