“සඳසිතු“ නමින් සිතුවම් හා කාටූන් දැක්මක් දෙසැම්බර් 20 සහ 21 යන දිනවලදී පෙරවරු 9.00 සිට සවස 5.00 දක්වාම සඳලංකා මධ්‍ය මහා විද්‍යාල පරිශ්‍රයේදී……
මීට දශක කිහිපයකට පෙර කොයි කා අතරත් ජනප්‍රිය වූ චිත්‍ර කතාවලට අද නම් එතරම් සමාජයේ ඉඩක් නැති තරම්ය. එහෙත් හැත්තෑව දශකයේ බොහෝ ඉහළින් වැජඹුණ චිත්‍ර කතා පත්තර කිහිපයක්ම විය. ශ්‍රී ලංකාවේ ප්‍රථම චිත්‍ර කතා පත්තරය 1972 අගෝස්තු 29 වැනිදා ලේක්හවුස් ආයතනය ආරම්භ කළ සතුට පත්තරයයි. එහි කතුවරයා වූයේ බන්දුල සමරසිංහය. සතුට පත්තරය ආරම්භ කර වසර තුනකට පසු එනම් 1975 දී මල්ටිපැක්ස් ආයතනය මඟින් ආරම්භ කළ ” සිත්තර” ලංකාවේ දෙවෙනි චිත්‍ර කතා පත්‍රයයි. එදා මෙදා තුර ගෙවුණ කාලය ඇතුළත චිත්‍ර කතා පත්තර කිහිපයක්ම පාඨක ලොව බැබළෙමින් තිබිණි.
එකල උණු කැවුම් මෙන් අලෙවියක් තිබූ චිත්‍ර කතා පත්තර නිසා බිහි වූ චිත්‍ර ශීල්පින් ද බොහෝ විය. අද වන විට දිනපතා හා සති අන්තයේ නිකුත් වෙන පුවත්පත්වල පළ වන චිත්‍ර කතා හැරෙන්නට දැන් ඉස්සර මෙන් චිත්‍ර කතා පත්තර දැකිය නොහැකිය. සතිපතා පළ වූ චිත්‍ර කතා පත්තර නිසා ඒවාට ඇබ්බැහි වී සිටි රසික පිරිසක් ද අප සමාජයේ විණි. දැන් සියල්ල වෙනස්ය. ඒ වෙනස තුළ සිට වුව ද චිත්‍ර කතාවලට කුඩා ඉඩක් හෝ වෙන් කළ පුවත්පත් ද අපට දැකිය හැකිය. මේ හරහා ඉදිරියට ආ ශිල්පීන් දෙදෙනෙකි සුමතිපාල හා ජෝතිපාල.
සිය චිත්‍ර කතා ජීවිතයට අඩසිය වසරක් පිරීම නිමිත්තෙන් “සඳසිතු“ නමින් සිතුවම් හා කාටුන් දැක්මක් දෙසැම්බර් 20 සහ 21 යන දිනවලදී පෙරවරු 9.00 සිට සවස 5.00 දක්වාම සඳලංකා මධ්‍ය මහා විද්‍යාල පරිශ්‍රයේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත. මෙය සංවිධානය කරනු ලබන්නේ සරසවි කලා සංගමය විසිනි.
කුඩා කුඩා චිත්‍ර කතා ඇඳීමෙන් සිය ගමන ආරම්භ කළ සුමතිපාල, ජෝතිපාල අයියා මලෝ අද ද චිත්‍ර ඇඳීමේ නිරත වන දෙදෙනෙකි.
සිය අතීතය සිහි කරමින් චිත්‍ර කලාවට යොමුවීම පිළිබඳ සිය අදහස් දක්වමින් සුමතිපාල පවසන්නේ මෙවැන්නකි
“සුමතිපාල ජෝතිපාල කියන්නේ අයියයි මල්ලියි. දැන් අපේ වයස අවුරුදු හැට නවයයි. අපි දෙන්නා නිවුන්නු. අපි උපන්නේ සඳලංකාව හෙණ්ඩියාගල කියන ගමේ. අපේ තාත්තා ගොවියෙක්. ඔහු බුලත් වැව්වා, ගොවිතැන් කළා. අම්මා රැකියාවක් කළේ නැහැ. මේ වෙනකොට නම් ඒ දෙදෙනාම ජීවතුන් අතර නැහැ. අපි දෙන්නා ඉගෙන ගත්තේ හෙණ්ඩියාගල රතනසාර මහා විද්‍යාලයේ. පස්වෙනි පන්තියෙන් පස්සේ සඳලංකා මධ්‍ය මහා විද්‍යාලයට ඇතුළත්ව එහි ඉගෙනුම ලැබුවා.
පුංචි කාලේ ඉඳලම අපි දෙන්නා චිත්‍ර අඳින්න දක්ෂයි. ඒ වගේම අපේ කැමැත්ත තිබුණෙත් චිත්‍ර අඳින්නම තමයි. අපි ගමේ තොරණට චිත්‍ර නිර්මාණය කළා. එහෙම චිත්‍ර ඇඳලා අපි ගමෙත් ප්‍රසිද්ධ වුණා. ඔය අතර තමයි උසස් පෙළ කරන කාලෙදි සඳලංකා සමුපකාරයේ කාර්යාල කාර්ය සහායක තනතුර ලැබෙන්නේ. ඒ කාලේ භූමිතෙල් ගඳ තියෙන චීත්ත රෙද්දෙ චිත්‍ර අඳින්න අවස්ථාව ලැබෙනවා. සඳලංකා සමුපකාරයේ මෝස්තර නිර්මාණ ශිල්පීන් විදිහටත් කාලයක් වැඩ කළා.”
සමූපකාරයේ චිත්‍ර ශිල්පීන් ලෙස කටයුතු කළ ද මේ අයියාට හා මල්ලිට ඕනෑ වූයේ පුවත්පත්වල චිත්‍ර අඳින්නටය.
“දවසක් අපි ගියා සිත්තර පත්තරේ ගහන කන්තෝරුවට. ඒ ගියාට වැඩක් වුණේ නැහැ. ආයෙමත් අවුරුද්දකින් විතර ගියා. එදා සිත්තර කන්තෝරුවේ හිටියා චින්තන ජයසේන මහත්මයා. ඔහු අපට කිව්වා කැමිලස් පෙරේරා මහතා හමු වෙන්න කියලා. කැමිලස් පෙරේරා මහත්මයා හිටියේ මීගමුවේ. එතුමා අපිට කිව්වා සෙනසුරාදා ඉරිදා දවස්වලට මීගමුවේ ගෙදරට එන්න කියලා. දවසක් අපි ගියා. එදා අපේ චිත්‍ර බලලා අඩුපාඩු ගැන ඔහු කියලා දුන්නා. ඔහු අපට කිව්වා සුහද පත්තරයට අපේ චිත්‍ර ගන්නම් කියලා. අපි සුහද පත්තරයෙත්, දවස පත්තරෙත්, චිත්‍ර ඇන්දා. ඒ එක්කම සිත්තර පත්තරෙත් චිත්‍ර ඇන්දා. මේ අතර කැමිලස් මහත්මයා සත්සිරි පත්තරය ගැහුවා. අපි එයට ලේ කිරි කර දුන් පියෙක් චිත්‍ර කතාව ඇන්දා. “
මේ අයියයි මල්ලිත් හරි අපූරුය. ජෝතිපාල චිත්‍රයට මුල පුරයි. ඒ අතර සුමතිපාල කරන්නේ චිත්‍රයේ අඩුපාඩු සම්පූර්ණ කර හොඳ නිමාවක් දීමයි.
“තවමත් අපි දිවයින පත්තරයට චිත්‍ර කතාවක් අඳිනවා. අරුණ පත්තරයටත් චිත්‍ර අඳිනවා. කලකට පෙර මහමෙව්නා භාවනා අසපුවට සම්බන්ධ වෙලා ළමයින්ගේ පොත්වලට චිත්‍ර ඇන්දා. ඒ වගේම බෝධි ඥාන පත්තරයටත් චිත්‍ර ඇන්දා.
සිත්තර පත්තරේ චිත්‍ර අඳින කාලේ අපි හරිම ජනප්‍රියයි. අදටත් දවසට දෙන්නෙක්වත් අපට කතා කරනවා. අපේ මාමලා කියනවා අපිට තියෙන තත්ත්වය අපි දන්නේ නැහැ කියලා. අපි කවදාවත් ප්‍රසිද්ධිය පස්සේ ගියේ නැහැ. අපිට ඕන වුණේ අපේ කාර්යය නිවැරැදිව කරන්න විතරයි. අපි හැමෝටම ආරාධනය කරනවා, එන්න මේ මාසේ 20, 21 දින දෙකේ සඳලංකා මධ්‍ය මහා විද්‍යාලයට අපේ සිතුවම් නරඹන්න
කියලා…“
සුමතිපාල පවසන්නේ ය.
ඉනෝකා සමරවික්‍රම