රොනී ද මැල් මෙරට වසර 10ක් අඛණ්ඩව අය වැය ඉදිරිපත් කළ මුදල් ඇමැතිවරයා විය. අය වැයක් ඉදිරිපත් කළදාට පසුදින ඇත්ත පත්තරේ මෙවැනි ශීර්ෂ පාඨයක් පළ විය.
“අය වැයෙන් හිල් මැකුවාද?”
මෙහි තේරුම හුදී ජනයාට නම් අමුතුවෙන් තේරුම් කර දිය යුතු නැත. මේ අය වැය ගැනම කැමිලස්ගේ ගජමෑන් චිත්‍රයට නැඟුවේ මෙසේය.
රූං පෙත්ත කැරකෙනවා
පාං පෙත්ත උඩ යනවා
රොනී අපට සුරංගනා කතා කියනවා
මාක්ස්වාදීන් රොනීගේ අය වැය නිර්දය ලෙස අවඥාවට ලක්කරත්දී පොදු ජනතාවට වඩාත් සමීප පාන් මිල ඉහළ යාම හුදී ජනයකු ලෙස ගජමෑන් නොහොත් කැමිලස් දැක්කේ ඕං ඔහොමලු.
එකම නමකින් පුද්ගලයන් හතරදෙෙනකු කලා ක්ෂේත්රයේ සිටියා නම් එය පුදුමයකි. ඒ නම ඉතිහාසගත වෙන්නේ කැමිලස් පෙරේරා ලෙසය.
කැමිලස් පෙරේරා යැයි නම කියූ විට එක් අයකුට
ඔහු ගීත රචකයෙකි,
තවත් කෙනකුට ඔහු නළුවෙකි.
එහෙමත් නැතිනම් ඒ නමින්ම වේෂ නිරූපණ ශිල්පියෙකි.
මේ කොයි අතරින් වුවත් අපිට නම් වැදගත් ‘ගජ මෑන්’ ඇන්ද කැමිලස් පෙරේරාය.
බොරැල්ලත් – පුංචි බොරැල්ලත් අතර ඥානාර්ථ ප්‍රදීපය කාර්යාලයේ කලක් අපේ මේ ගජමෑන් නොහොත් කැමිලස් වැඩ වාසය කළේ ‘සත්සිරි’ නමින් චිත්‍රකතා පත්තරයක් එහි සිට මෙහෙයවූ නිසාය. එහි එන තම රසිකයන්ට කාටූන් චිත්‍රයක් ඇඳ දීම කැමිලස්ගේ පුරුද්දක් විය. මා එහි ගිය විටක පාසල් සිසුවෙක් තම සමරු පොත කැමිලස්ට දුන්නේය. කැමිලස් කළේ ගමෑන්ව ඇද ඔළුව උඩ ඇපල් ගෙඩියක් තැබීමය. ඉන්පසු දුන්නක් ඊතලයක් ගත් සිරිබිරිස් ඊතලය ඇපල් ගෙඩියට ඉලක්ක කරනු චිත්රණය විය.
මෙරට චිත්‍රකතා නිසා මුලින්ම ආදායම් බදු ගෙවූ පුද්ගලයා ‘සරත් මධුය’ තමාගේම ව්‍යාපාරයක් පවත්වා ගෙන යාමේ “උණක්’ තිබූ සරත් මධු අන්තිමට මිය ගියේ ප්‍රකෝටිපතියකු වශයෙන් නම් නොවේ. එහෙත් ඔහු චිත්‍ර කතා පත්තරයක් ගහන්නට බැංකුවකට උගස් තබා තිබූ තම ගේ දොර නම් මිය යනවිට බැංකු ණයෙන් නිදහස් කරගෙන තිබුණි. කැමිලස් ඊටත් එහා ගිය චරිතයකි. චිත්‍ර කතා කර්මාන්තයෙන්ම කෝටිපතියකු වූ ඔහු කලක් ‘ප්රමුඛ බැංකුවේ’ අධ්යක්ෂවරයකු ලෙස කටයුතු කළේය. කැමිලස් ව්‍යාපාරික ලෙස හිනිපෙත්තේ සිටියදී ජීවත් වූයේ BMICH අසල සුපිරි නිවෙසකය. අවසන් වරට ඔහු හමු වූයේ ඔහුගේ බිරියගේ අවමඟුලේදීය. එවිට ඔහු ව්‍යාපාරික වශයෙන් සියල්ල අතහැර දමා ගොස් මීගමුවට පල්ලම් බැස තිබුණි. කැමිලස්ගේ ජීවිතයේ සාර්ථකත්වය වූ කලී ඔහු පසින් සිටි ප්‍රිය බිරින්දෑය. එහෙත් ඇය කැමිලස්ටත් පෙර මෙලොව හැර ගියාය. තමන් කතෝලිකයකු බව කැමිලස් කිව්වේ මහත් ආඩම්බරයෙනි.
කැමිලස් විටෙක කාටුන් ශිල්පියෙකි. තවත් විටෙක ව්‍යාපාරිකයෙකි. ඒ සියල්ලටම වඩා ඔහු භක්තිමත් කතෝලිකයකු විය. මේ සියල්ල අබිබවා ඔහු ආර්ථික වශයෙන් නැඟී සිටියේ නිර්මාණශීලිත්වය නිසාය.
නිර්මාණශීලියකුට කෝටිපතියකු වීමට අවශ්‍ය මොනවාද?
බැංකු ණයක්, රාජ්‍ය අනුග්‍රහය, ඒත් නැත්නම් විදේශාධාර. එහෙත් කැමිලස් පෙරේරා කෝටිපතියකු වූයේ, ඒ එකකවත් නිසා නොවේ. කැමිලස්ට පිය උරුමයෙන් හෝ මවු උරුමයෙන් උරුම වූ දේපළක් ද නොවීය. ඔහු කෝටිපතියකු වූයේ තම නිර්මාණශීලී භාවය නිසාය. මේ නිර්මාණශීලී භාවය රේඛා බවට පත්කරන මෙවලම් වූයේ තෙළිතුඩ හෝ ඉන්දියන් ඉන්ක් නම් කළු පැහැති තීන්ත ඩප්පියේ ඔබා කටු පෑනේ ගැටුණු තීන්ත තුඩෙන් ඇඳි රේඛාය. මේ කටු පෑන විවෘත ආර්ථිකයත් සමඟ ඇතුළතින් තීන්ත යෙදිය හැකි රෙඩිමේඩ් ටෙක්නිකල් පෙන් ලෙස වාණිජ ලෝකයේ බැබළුණේ රොට්රින්, ස්ටේඩ්ලර් හෝ ෆාබ කාසල් පෙන් ලෙසය.
අද ඉතින් ‘මවුස්’ එකෙන් චිත්‍ර අඳින වත්මන් පරපුරට මේ ඉතිහාසය සිතා ගනුවත් නොහැකි වනු ඇත. ඊට හේතුව මේ මෙවලම් දැන් වෙළෙඳ පොළේ දැකගත හැකි වන්නේ කලාතුරකින් වීමය.
කැමිලස්ව මා මුලින්ම දැක්කේ මා ඉතා බාල වියේදීය. එකල අපේ ලෝකයේ වීරයකු වූයේ කැමිලස්ය. ඔය කියන වකවානුවේ මගේ පියා ‘සත්දින’ නම් පුවත්පතක කර්තෘවරයා විය. එහි කාර්යාලය පිහිටියේ දැන් උපාලි පුවත්පත් සමාගමට යාබඳවය. මේ කොම්පැනියේ නම වූයේ IGM ය. (International Graphic Magazin) ඒත් මේ කොම්පැනියට කිව්වේ මල්ටිපැක්ස් කියාය. එහි සම කොටස්කරුවන් වූයේ හැරිස් ලුහුගල්ල හා අර්ජුන හුලුගල්ලය. හැරිස් හුලුගල්ල කියන්නේ යාපනේ සංගරපිල්ලේ නම් පුද්ගලයකු මිලදී ගෙන පවත්වා ගෙන ගිය ‘පරණ ටයිම්ස් ලංකාදීප කොම්පැනිය’ අනුර බණ්ඩාරනායක සමඟ කොටස් මිලදී ගත් පුද්ගලයාය. සංගරපිල්ලේ ලංකාදීප කොම්පැනිය මිලදී ගත්තේ බ්‍රිතාන්‍ය සුද්දන්ගෙනි.
ලංකා පත්‍ර කලා ඉතිහාසයේ ‘ස’ අකුරෙන් වැඩිම පත්තර ගාණක් ගහපු කොම්පැනිය මල්ටිපැක්ස්ය. කලින් කී සත්දින මෙන්ම සිත්තර, සුහද, ස්වර්ණ, සිහින ආදී පත්තර 19ක් ඔවුන් ප්‍රකාශයට පත්කරන ලදී. ලංකාවේ යොවුන් පුවත්පත් (Teanage Papers) නිර්මාණකරුවන් මල්ටිපැක්ස්ය. බන්දුල පද්මකුමාර ‘කුමරි’ කර්තෘ ලෙස බෞතිස්ම කොට මල් පත්තරකාරයකු ලෙස දොරට වැඩම වූයේ මේ මල්ටිපැක්ස් කොම්පැනියයි. සිත්තර චිත්‍ර කතා පත්තරයේ ආරම්භක කර්තෘවරයා චින්තන ජයසේන වුණත් ගුණදාස ලියනගේ ‘සත්දින’ කර්තෘ වූ යුගයේ සිත්තර කර්තෘ වූයේ කැමිලස් පෙරේරාය. මේ වකවානුවේම මල්ටිපැක්ස් කොම්පැනිය ‘සිත්සර’ නමින් බයිස්කෝප් පත්තරයක් පළ කළේ ආතර් යූ, අමරසේනගේ කර්තෘත්වයෙනි. ජේ.ආර්. ජයවර්ධන ධර්මිෂ්ඨ ආණ්ඩුවෙන් ‘සත්දින’ දේශපාලන මැදිහත් වීමෙන් වසා දැමුණු පසු මල්ටිපැක්ස් කොම්පැනිය ‘ඉරිදා’ නමින් පුවත්පතක් ආරම්භ කරන ලදී. සුන්දර නිහතමානි ද මැල්, කිත්සිරි නිමල් ශාන්ත, ජයන්ත චන්ද්‍රසිරි, ජැක්සන් ඇන්තනි සහ පුලස්ති එදිරිවීර ආදීන් පුවත්පත් කලාවට අත්පොත් තැබුවේ මේ ‘ඉරිදා’ පත්තරයෙනි.
සිත්තර පත්‍රයේ ප්‍රවර්ධන නිලධාරියා වයේ චන්ද්‍ර භානු සමරවීරය. කැමිලස්ගේ මරණයෙන් පසු මම ඔහු ඇමැතුවෙමි.
“සිත්තර සිංහල අවුරුද්දට ලක්ෂ තුනහමාරක් ගැහුවා. ඊට වැඩිය මාජින් කැපෑසිටියක් තිබුණේ නෑ.”
කැමිලස් පෙරේරා යනු රටම හිනැස්සූ පුද්ගලයෙකි. එහෙත් මේ අපූරු පුද්ගලයා නම් සිනාසෙන්නේ මඳ වශයෙනි. ළමා ළපටියාගේ පටන් මහල්ලා දක්වාම කට පුරා හිනා ගැස්සවීමට මේ අපූරු පුද්ගලයාට අපූරු හැකියාවක් තිබේ. ඒ ඔහු අතින් නිර්මාණය වූ බොහෝ කාටූන් අපේම ලේ නෑයන් බවට පත්වී ඇති නිසා විය යුතුය.
“මම ඉපදුණේ මීගමුවෙයි. මට බාල සහෝදර සහෝදරියන් හතරදෙෙනකු ඉන්නවා. මමයි අප පවුලේ වැඩිමලා. තෝමස් පෙරේරා කියන්නේ අපේ තාත්තා තමයි. එයා රජයේ විශ්‍රාමිකයෙක්. ඒත් ප්‍රධාන වශයෙන්ම අපේ පවුලේ ජීවනෝපාය සැකසුණේ අපේ අම්මා මේබල් ප්‍රනාන්දු පවත්වා ගෙන ගිය මැහුම් වැඩපොළ නිසයි. ”
කැමිලස් ඉගෙනුම ලැබූ පාසල් වන්නේ මීගමුවේ ශාන්ත මරියා විදුහල සහ මාරිස්ටෙලා විද්‍යාලයයි. තමන් කාටූන් අඳින්න හුරුව අයුරු ගැන කැමිලස් කියන්නේ මෙසේය.
“මං හිතන්නේ කාටුන් අදින්න මට තියෙන්නේ උපන් හැකියාවක් වෙන්න ඕනෑ. මට කියලා දෙන්න ගුරුවරයෙක් කියලා කෙනෙක් හිටියේ නැහැ. මම ස්වඋත්සාහයෙන් තමයි චිත්‍ර අඳින්න ඉගෙන ගත්තේ. අපේ ඉස්කෝලේ මුල් ගුරුතුමා ඩෝප් කාරයෙක්. මම ඇන්දා එයා වෙරිමරගාතේ බෝතලයක් අතේ තියාගෙන ඉන්න විකට චිත්‍රයක්. මේක දැකපු මුල් ගුරුතුමා හොඳටම කේන්ති අරන් මට ගැහැව්වා. ඒත් පස්සේ මට හොඳින් කතා කරලා කිව්වා ‘උඹට හරියන්නෙ ඔය ලයින් එක තමයි’ කියලා.”
පාසල් දිවියෙන් සමුගත් කැමිලස් යොමු වූයේ ෆුට්බෝල් ක්‍රීඩාවටය. එවකට මීගමුව ප්‍රදේශයේ ප්‍රසිද්ධ ‘ජුපිටර්’ ක්‍රීඩා සමාජයට ද ක්‍රීඩා කළ ඔහු වරෙක එහි නායකත්වය පවා ඉසිලීය. පසුව කැමිලස් තමන්ට ලැබුණු ආරාධනාවක් මත වෙනත් ක්‍රීඩා කණ්ඩායමක ක්‍රීඩා කළ නිසා ඔහුට කුඩා කර්මාන්ත දෙපාර්තමේන්තුවට අනුයුක්ත පුහුණු මධ්‍යස්ථානයකට සම්බන්ධ වීමේ අවස්ථාව උදා විය.
මේ අතරතුර කැමිලස් කෝඩුකාරයකු ලෙස රාජ්‍ය සේවයට මුල්වරට එක්වන්නේ පුත්තලම කච්චේරියටය. ඒත් මාස තුනක් යෑමටත් පෙර කැමිලස් කොළඹ කච්චේරියේ රැකියාවකට අනුයුක්ත කරන ලදී.
“මේ කාලේ කොලට් ගේ කාටූන් ගැන මිනිස්සු නිතරම කතා කරනවා. මටත් හිතුණා පත්තරයකින් එවන් යමක් කරන්න ඕනෑය කියල. මේ සඳහා අවස්ථාවක් ලබා ගන්න මම හැමදාම පයින් ලේක්හවුස් එකට යන්න පුරුදු වෙලා තිබුණා.”
කැමිලස් දිනපතා ලේක්හවුසියේ පුවත්පත් කීපයකට කාටූන් ඇන්දත් ඒ එකක්වත් පළවූයේ නැත. දිනපතාම කොළඹ වේල්ල වීදියේ කච්චේරියේ සිට කෑම පැයේ ගිනි දහවල් කැමිලස් ලේක්හවුසියට ආවේ දාඩිය පෙරාගෙනය. කැමිලස්ගේ ‘පත්තර උණ’ දුටු ඔහුට හිතවත් ඡායාරූප ශිල්පියකු කැමිලස් ලේක්හවුස් කැන්ටිමට එක්කන් ගොස් කදිම උපදෙසක් දුන්නේය. “කැමිලස් ඔය වැඩේ හරි යන්නේ නැහැ. තමුසේ වෙන පත්තරේකට කාටුන් ඇඳලා නමක් හදාගන්න බලනවා. එතකොට ලේක්හවුස් කොම්පැනිය තමුසෙව හිස් මුදුනින් පිළිගනීවි.”
කැමිලස්ගේ හදවතින් ඉල්ලා හැඬූ කාටුන් ආසාව අත්හලේ කැමිලස් නොවේ. තම නිර්මාණයක් පළමුවරට පුවත්තක පළවූ අයුරු කැමිලස් සිහි කළේ මෙසේය.
“ඔය අතරේම රතු කුරුසියේ වැඩ කරපු මගේ යාළුවෙක් සුමනා සපරමාදු මහත්මියට මාව මුණගැස්සුවා. ලේක්හවුසියේ සරසවිය පත්තරේට අඳින්නට මට අවස්ථාවක් ලැබුණේ එයින් පසුව. අන්දරේගේ කවි දෙකක් චිත්‍රයට නඟමිනුයි හා පුරා කියා මගේ නිර්මාණයක් පත්තරේක පළ වුණේ.”
1966 ජනවාරියේ සිට දවස ආයතනයේ පුවත්පත් කීපයකට කාටුන් චිත්‍ර ඇඳීමට කැමිලස්ට ඉඩ සලසා දුන්නේ පත්රකලාවේදී ඩේවිඩ් කරුණාරත්න විසිනි. කැමිලස්ගේ මිතුරු ඡායාරූප ශිල්පියා කියූ පරිදිම ලේක්හවුසියට කැමිලස්ගේ දක්ෂතා ගැන ඉව වැටෙන්නට වූයේ කැමිලස්ගේ ‘තෙපානිස්’ නමින් මුල්ම කාටූනය දවස පුවත්පතතේ පළවීමත් සමඟය.
“ඩී.එෆ්. කාරියකරවන නිසා ‘ජනතා පත්තරේට ‘දොං සේතං’ ගේ චරිතය නිර්මාණය කරන්නට මට පුළුවන් වුණා. සිළුමිණේ ඒ කාලේ කර්තෘ සුබසිංහ සිළුමිණ පත්‍රයට කාටූන් චිත්‍රයක් අඳින්නට කීවේ 1966දී. ඒ අනුව තමයි මම ‘සිරිබිරිස්’ නිර්මාණය කළේ.
සමෝනා, ලපයා, මෙරායා, ගොඩ්ඩිං අයියා වැනි සහාය චරිත ‘දොංසේතං’ කාටූනය රසවත් කරන්නට ඊට පසු එක්වූ චරිත ය. 1967 වසරේදී ඔබ්සවර් පත්‍රයට ‘ලව්නේරිස්’ චරිතයෙන් කාටූන් චිත්‍රයක් ඇඳීමත්, සරසවිය පත්‍රය තුළින් ‘දැක්කොත් පද්මාවතී’ කාටූන් චිත්‍රයත් “ජනතා” පත්‍රය තුළින් සෙල්ලං සේන කාටූන් චිත්‍රයත්, ‘මිහිර’ පත්‍රය තුළින් ‘මිත්තා’ කාටූන් චිත්‍රයත් කැමිලස්ගේ පත්තර ජීවිතයේ ඉමහත් පෙරළියක් සිදු කරන ලදී.
චරිතවලට නම දැම්මේ මනඃකල්පිතව හිතලා. ගජමෑන්ගෙ නම මුලින්ම හිතට ආවේ රජමෑන් කියලා. ඒක ගැළපෙන්නේ නැහැයි කියලා හිතලා ගජමෑන් කියා වෙනස් කළා. ගොඩ්ඩිං අයියගෙ චරිතය මම අහුල ගත්තෙ කෝච්චියෙන්. ඒ නමින් කෙනෙක් හිටියේ නැහැ. නමුත් හැඩරුව ඒ වගේ.
ලංකාවේ ප්‍රථම චිත්‍රකතා පත්තරය ලෙස සැලකෙන්නේ ලේක්හවුස් ආයතනය මඟින් ප්‍රකාශයට පත් කළ ‘සතුට’ චිත්‍ර කතා පත්තරයයි.
1972 අගෝස්තු 29 මුල්වරට සතුට පත්‍රයෙන් තමයි ගජමෑන් දොරට වැඩියේ. සතුට පත්තරේ පටන් ගන්න කොට බන්දුල සමරසිංහ මහත්මයා අලුත් චරිතයක් ඕනෑයි කීවා. මගේ ඔළුවේ තිබුණේ ‘රජ මෑන්‘ කියන නිර්මාණාත්මක චරිතයයි. ඒත් ඒ කාලේ හැටියට ඒ නම ගැළපෙන්නේ නැහැ කියලා මට හිතුණා. පස්සේ මම ‘ගජ මෑන්’ කියන නම දැම්මා.”
කෙසේ නමුත් එවකට ලංකාවේ පුවත්පත් මුද්‍රණය වූයේ ලෙටර් ප්‍රෙස් ක්රමයටය. මේ අතර කලින් කී මල්ටිපැක්ස් කොම්පැනිය ‘සතුට’ පත්‍රයේ ජනප්‍රියත්වය ගැන වහ වැටී ඕෆ්සෙට් ක්‍රමයට චිත්‍ර කතා පත්තරයක් මුද්‍රණය කරන්නට සැලසුම් කළේය. එහෙත් එය ලංකාවේ මුද්‍රිත පළමු ඕෆ්සෙට් පුවත්පත නොවේ. ලංකාවේ පළමු ඕෆ්සෙට් පුවත්පත ප්‍රකාශයට පත්කළේ යුනෙස්කෝ ව්‍යාපෘතියක් වූ මහරගම සමන් මුද්‍රණාලයයි. පත්තරේ නම ‘මේලා’ ය.
මල්ටිපැක්ස් කොම්පැනිය අලුත් ඕෆ්සෙට් චිත්‍ර කතා පත්තරයේ කර්තෘ ධුරයට පත් කළේ චින්තන ජයසේනය. චින්තනගේ ප්‍රථම තේරුම වූයේ කැමිලස් පෙරේරාය. කැමිලස්ගේ ගජ මෑන්, සරත් මධුගේ ඉතින් ඊට පස්සේ චිත්‍ර කතා නිසා සිත්තර පත්‍රයේ අලෙවිය ලක්ෂ තුන ඉක්මවා ගියවිට චන්ද්‍ර භානු සමරවීර එය පැසසූවේය.
කැමිලස්ගේ ජනප්‍රියතම චිත්‍ර කතාව වූයේ ගජ මෑන්ය. කැමිලස් පෙරේරා සිංහල භාෂාවට සදානුස්මරණීය වචනයක් එක් කළ පුද්ගලයෙකි. අද පත්තරවල විස්තර කියන බොහෝ නාළිකාවල දේශපාලකයන්ට කියන්නේ ‘මගෝඩිතුමා’ කියාය. එහෙත් මේ වචනයේ නිර්මාපකයා කැමිලස් පෙරේරා බව බොහෝ දෙනා නොදනී. මේ ‘මගෝඩිතුමා’ වචනය නිර්මාණය කළ හැටි ගැන කැමිලස්ගේ නිර්වචනයයි.
“නවසිය හැත්තෑ හතේ එක්සත් ජාතික පක්ෂය බලයට පැමිණිලා ජේ.ආර්. ජයවර්ධන රට පාලනය කළ කාලේ රජයට අපහාස කළා කියලා ජනමාධ්‍යවේදීන් දෙන්නෙකුව අත්අඩංගුවට ගත්තා. ඒ වෙලාවේ ජනමාධ්‍යවේදීන් වශයෙන් අපි ඒ ක්‍රියාවට විරුද්ධ විය යුතු වුවත් ඇමැති කෙනකු හරි මන්ත්‍රී කෙනෙක්ව හරි ඉලක්ක කරගෙන අපි ඒ විරුද්ධත්වය ප්‍රකාශ කළා නම් ප්‍රශ්න ඇති වෙන්න තිබුණා. ඒ නිසා මං ඒ සියලු පාර්ශ්ව නියෝජනය වන ආකාරයට මගෝඩිස්තුමාගේ චරිතය නිර්මාණය කළා. ඊට පස්සේ මේ රටේ සිදුවන හැම දේශපාලන සිදුවීමක්ම මගෝඩිස්තුමා හරහා ජනතාව වෙත ගියා.”
කැමිලස් තමන්ගේම පුවත්පතක් ආරම්භ කරන්නට මල්ටිපැක්ස් කොම්පැනියේ සිත්තරට සමු දෙන්නේ 1986 පෙබරවාරියේදීය. අලුත් ප්‍රකාශන ආයතනයේ නම ‘කැමිලස් ප්‍රකාශන’ නම් විය. මල්ටිපැක්ස් කොම්පැනිය මෙන්ම කැමිලස් ද පත්තරයට නම තැබීමේදී තෝරා ගත්තෙ චිත්‍ර කතා පත්තරවලට වාසනාව ගේනවාය කියන ‘ස’ යන්නය. අලුත් පත්තරේ නම ‘සත්සිරි’ ය.
අලුත් පත්තරයට කැමිලස් සමඟ සිත්තරේ සිටි සියලු චිත්‍ර ශිල්පීන් ආවත් කැමිලස්ට පත්තරේ මුද්‍රණය කරන්නට තමන්ට කියා මුද්‍රණාලයක් තිබුණේ නැත. සිත්තර අයිතිකාර මල්ටිපැක්ස් කොම්පැනිය තම සියලු මුදල් බලය හා දේශපාලන බලය යොදමින් කැමිලස්ගේ චිත්‍ර කතා පත්තරය මුද්‍රණය කරන්නට සූදානම් වූ මුද්‍රණාලවලට බලපෑම් කරන්නට විය. අන්තිමට කැමිලස්ට පිහිටට ආවේ තමන් ඇදහූ ආගමයි. තමන් ක්රිස්තියානුකාරයකු බව කැමිලස් කවදත් කිව්වේ ආඩම්බරයෙනි. අන්තිමේදී කැමිලස්ගේ ගජ මෑන් පත්තරය මුද්‍රණයටත් කාර්යාලයක් පිහිටුවීමටත් ඉඩකුත් දුන්නේ බොරැල්ල මරදාන පාරේ කතෝලික මුද්‍රණාලයයි. ඉතා කෙටි කලකින් කැමිලස් පත්තර ලෝකයේ වාණිජමය වශයෙන් නැඟී සිටියේ පතාක යෝධයකු මෙනි. ඉන්පසු දෙමටගොඩ ඉඩමක් මිලදී ගත් කැමිලස් එහි තමන්ගේම මුද්‍රණාලයක් ආරම්භ කොට සත්සිරි, රසික චිත්‍ර කතා පත්තර සමඟ අධ්‍යාපන ප්‍රකාශන 12ක හිමිකරුවකු බවට පත්විය. එයින් නොනැවතී තම පුවත්පත් මුද්‍රණයට අවශ්‍ය කඩදාසි ආනයනයට ආණ්ඩුවෙන් කඩදාසි කෝටාවක් ද ලබා ගත්තේය. දයාසේන ගුණසිංහ දිවයිනෙන් ඉවත්වූ පසු සිව්දෙස නමින් සඟරාවක් කරන්නට අවස්ථාව දුන්නේ කැමිලස් පෙරේරා බව බොහෝ දෙනාට මතක නැත. කැමිලස් නම මෙරට නව පරම්පරාව හඳුනා ගත්තේ ‘ගජමෑන්’ චිත්‍රපටයත් සමඟය.
පත්‍ර කලාවේදියකුට එක රේඛා සටහනකින් කෝටිපතියකු විය හැකි බව මෙරට පත්‍ර කලා ඉතිහාසයට ප්‍රායෝගිකව පෙන්වා දුන් සුන්දර මිනිසා කැමිලස් පෙරේරාය.
කැමිලස්ගේ ජීවිතය තුළ දැකිය හැකි විශ්මය ජනක කරුණක් නම් කැමිලස්ට බණින මිනිහකු සොයාගත නොහැකි වීමය. ඔහුට සතුරන් සිටියේ නැත. පසුගිය ඉරිදා තම හිතමිතුරන්වත් නොදැන තම උපන් ගම වූ මීගමුවේ අවසන් ගමන් ගියත් ඔහු ඉතිහාසගත වන චරිතයකි. ඊටත් වඩා 1939 උපන් ඔහුගේ ජීවන චරිතය ලංකාවේ චිත්‍ර කතා ඉතිහාසය ආරම්භය, වර්ධනය, කූට ප්‍රාප්තිය මෙන්ම පොළවට සමතලා වී නැත්තට නැතිවී යාම ගැන කදිම ඉතිහාසගත සත්‍යයක් වනු නියතය.
වජිර ලියනගේ