ඉතාම දුෂ්කර කාලයකින් පසු මේ රටේ ජනයා තවත් නත්තලක් සමරති. පසුගිය අවුරුදු තුන හතරේම විවිධ ආර්ථික සමාජ සහ වසංගත අර්බුද හමුවේ ලංකාව අන් රටවල පිහිට පතමින් කට ඇරගෙන උඩ බලාගෙන සිටියේය. කොරෝනාව පැවති අවුරුදු දෙක පුරා මේ රටේ ජනයාට කිසිදු ජාතික හෝ ආගමික උත්සවයක් සැමරීමට බැරි විය. මිනිසුන් අතේ සල්ලි තිබුණේ ද නැත. උත්සව සැමරීමට තරම් මානසිකත්වයක් ජනයා තුළ තිබුණේ ද නැත. මිනිසුන් තුළ තිබුණේ දේශපාලඥයන් සහ දේශපාලනය සම්බන්ධයෙන් ද්වේශයක් පමණි. මේ කාලයේදී නත්තල, සිංහල අවුරුද්ද, වෙසක් උත්සවය, දීපාවලි, ඉස්ලාමීය ආගමික උත්සව යන සියල්ලම ජනයාට නැති විය. බඩු මිල අහස උසට ගොස් ඇතත් කිසිදු කලබලයක් නැති සාමකාමී වාතාවරණයක් තුළ සිට නත්තල සැමරීමට මෙවර මේ රටේ ජනයාට හැකිව තිබේ. අප මේ කියන්නේ රට පුරා සිටින ඇතැම් දේශපාලඥයන් ගැන ද නොවේ. මේ අයට කවදත් නත්තල්ය. ඔවුහු හැමදාම සිංහල අවුරුද්ද සැමරූහ. මත්පැන් පානයට ඉඩ ලැබෙන ඕනෑම දවසක ඔවුහු උත්සවශ්‍රීයෙන් ජීවත් වූහ.
අප මේ කියන්නේ මේ රටේ සිටින සාමාන්‍ය ජනයා ගැනය. අද මේ රටේ දේශපාලන සහ සමාජ දිශානතිය කොතරම් වෙනස් ව ඇත්ද යත් කතෝලික නොවන ප්‍රජාව ද නත්තල සමරති. කතෝලික ප්‍රජාව ද වෙසක් එකට බකට් පත්තු කරති. සිංහල ප්‍රජාව සහ හින්දු ප්‍රජාව නැවත වතාවක් එකට සිංහල අවුරුද්ද සමරති. මෙයින් හැඟී යන්නේ කිසියම් සමාජ පරිවර්තනයක් රට තුළ සිදුවෙමින් පවතින බවය. අප මෙවර නත්තල ගැන කතා කරන්නේ මේ සමාජ පරිවර්තනය අබිමුව සිටය.
19 වන සියවසේ මැදහරියේදී එනම් 1858 දී ප්‍රංශයේ කුඩා ගමක එමලි ඩර්කිම් නමැති දැරියක් උපන්නාය. තරුණ වියේදී විශ්වවිද්‍යාලයට ගිය ඇයට කිසි කෙනෙක් අත ගැසීමට අකමැති, කිසි කෙනෙක් ඉගෙනීමට ප්‍රිය නොකළ විෂයක් හමු විය. එහි නම සමාජ විද්‍යාවය. එකල මේ විෂය මානව පරිණාමය, මානුෂීය සම්බන්ධතා මිනිස් හැසිරීම් ඇතුළු මූලධර්ම කිහිපයකට පමණක් සීමාවී තිබූ පාඩම් ගොන්නකි. මේ පාඩම් අත්හදා බැලීම සඳහා සමාජය තුළට වැද මිනිසුන් සමඟ ගැටීමට කවුරුවත් කැමති වුණේ නැත. මධ්‍යකාලීන ප්‍රංශය යනු පන්ති භේදය ඉතා තදින් පැවති දුප්පතා සහ පොහොසතා අතර නොව පොහොසතා සහ පොහොසතා අතර විශාල අරගලයක් පැවති “අන්දො කයිප්පු කෑ” වකවානුවකි. (කයිප්පු යනු පුවක් වර්ගයකි. මෙයින් කෑ විට බාබුල් ටිකක් කෑවා මෙන් පිස්සු කෙළින්නට සිතෙයි. අන්දො නමැති පැරණි සිංහල ගැමියෙක් කයිප්පු පුවක් අනුභව කර පිස්සු කෙළීම නිසා ඉහත සඳහන් සිංහල ප්‍රස්තාව පිරුළ බිහි විය) එමලි ඩර්කිම් මේ සංකීර්ණ සමාජය තුළට වැද සමාජ විද්‍යාව ගැන පරීක්ෂණ පවත්වන්නට වූවාය. මෙහිදී ඇය මුලින්ම කළේ නත්තලේ මානව සම්බන්ධතා ගැන සෙවීමය.
නත්තල යනු ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උපත සැමරීමෙන් පමණක් නොනැවතී නත්තල් ගස, නත්තල් කැරොල්, නත්තල් සීයා, එම සීයාගේ කරත්තය අදින හිම මුවන් රැල, රෑ 12ට පැවැත්වෙන පල්ලියේ දේව මෙහෙය නත්තල් දවසේ රසවත් ආහාර පිසීම වැනි ක්‍රියාකාරකම් සමඟ එකට බැඳී ඇති ආකාරය ඇය අධ්‍යයනය කළාය. නත්තල, ජේසු බිළිඳාගේ උපත සමඟ පමණක් බැඳී තිබුණේ නම් මෙපමණ විසිතුරු උත්සවයක් ලෝකයට ලැබෙන්නේ නැත. නත්තල් ගස, නත්තල් පප්පා, නත්තල් භෝජන සංග්‍රහය යනාදිය එම උත්සවයට මිනිසුන් විසින් ඈඳනු ලදුව තිබිණ. එමලි ඩර්කිම්ගේ මතයට අනුව නත්තල දිගටම පරිණාමය වෙමින් පැවති සජීවී උත්සවයකි. ඒ අනුව එය අදටත් පරිණාමය වෙයි. එහි ආගමික පැත්ත වෙනමත් උත්සව පැත්ත වෙනමත් දුප්පතුන්ට උදව් කිරීමේ පැත්ත වෙනමත් වර්ධනය වෙමින් පවතී.
මෙය ක්‍රිස්තු වර්ෂ 2023 වුව ද ක්‍රිස්තුස් වහන්සේ මෙළොව පහළවී අවුරුදු 2023ක් නැත. පළමුවන සියවසේ මුල් භාගයෙහි කවර හෝ අවුරුද්දක උන්වහන්සේ උපදින්නට ඇතැයි විශ්වාස කෙරේ. පසුකාලයේදී කැලැන්ඩර්කාරයන් විසින් දින ගණන් ගැනීමේ පහසුව තකා පළමුවන සියවසේ පළමුවන අවුරුද්ද ක්‍රිස්තු වර්ෂ 1 යනුවෙන් නම් කරන ලදී. එයින් හැඟෙන්නේ එය කිතුනුවන්ට අයත් සහශ්‍රයක ඇරඹුම බවය. ක්‍රිස්තුස් වහන්සේ උපදින්නේ රෝම අධිරාජ්‍යය අධ්‍යාත්මික වශයෙන් නන්නත්තාර වී සිටි වකවානුවකය. මෙකල අධිරාජ්‍යය තුළ සිටි ජනයාගෙන් කොටසක් ගස්, ගල්වලට වන්දනාමාන කළ ඇතැම් සතුන්ට ඔළුව පහත් කළ විශේෂයක් වූහ. ඒ අතර රෝමන් රජ පවුල, එම රජ පවුලේ නෑදෑයින් සහ එම රජ පවුලද සූර්යයාට වන්දනාමාන කළහ. රජ පවුලේ බලය නිසා සූර්ය වන්දනාව යෙදී තිබූ දෙසැම්බර් 25 වැනිදාව ඉතා ඉහළින් සමරන ලදී.
කිතු දහම ක්‍රමයෙන් ව්‍යාප්ත වත්ම කිතුනුවෝ ද දෙසැම්බර් 25දා නත්තල් දිනය හොර රහසේම සමරන්නට වූහ. සූර්ය මංගල්‍යය නිසා එදින සමරන නත්තල ගැන රෝමන් රජ පවුලට පෙනුණේ නැත. නත්තල් දිනය සූර්ය මංගල්‍යයෙන් වැසී ගොස් තිබිණ. කල්යත්ම රෝමන් රජවරුන්ට මේ වැඩේ මාට්ටු විය. මේ රහස දැනගත් රජකු ලෙස නීරෝ නමැති නරපතියා සලකනු ලැබේ. කතෝලිකයන් දෙසැම්බර් 25දා නත්තල සැමරීම වැළැක්වීමට රෝමන් රජවරුන්ට ඉඩක් තිබුණේ නැත. එයට හේතුව දෙසැම්බර් 25දා පැවැත්වූ සූර්යය මංගල්‍යය ඉස්සරහට හෝ පස්සට ඇදීමට ඔවුන් තුළ වූ බිය ය. පසුකාලයේදී එනම් සියවස් කිහිපයකට පසු කතෝලික ආගමිකයන් අතුගා දැමීමට සූර්යාගමිකයන් එකතු වනවිට කතෝලික බලය යුරෝපයේත් වැඩි භූමි ප්‍රමාණයක් වසා පැතිරගොස් අවසන්ය. මේ නිසා ගස් ගල් වඳින ප්‍රජාව තම ඇදහිලි අත්හැර දමන්නට පටන් ගත්හ. අන්තිමේදී රෝමන් රජවරුන්ටත් එම ඉරණමම උදා විය.
හැම නත්තලකම අප ලියන්නේ ක්‍රිස්තුස් වහන්සේගේ කැපවීම, දෙවියන්ගේ කරුණාවත්, බැතිමතුන්ගේ පරිත්‍යාග ගැනත් පමණි. අද අප කියූ කතාව ඊට වඩා වෙනස් නැද්ද?