සාමාන්‍යයෙන් කුම්භ ලග්න හිමියන් හුදෙකලාව විසීමට සහ අඳුරු පරිසරවලට කැමති බව පෙනේ. එමෙන්ම ඔවුන් කැපී පෙනීම, ගෞරවය, නායකත්වය බලාපොරොත්තු නොවුවද ඔවුන් කරා ඒවා නිතැතින්ම ළඟා වෙයි. අන් අයට දැනුම ලබා දීමට කැමති වන ඔවුන් ඒ සඳහා වියදම් කරන්නට ද පසුබට නොවෙති. දුර්වලයන්ට කරුණාව දක්වන කුම්භ ලග්න හිමියෝ එය එළිපිට හෙළි නොකරති. ඔවුන් සාමාන්‍යයෙන් හාස්‍යයට, උපහාසයට අතිදක්ෂ වෙයි. දුර්වල අයට, හිතවත් අයට සහයෝගය දක්වන්නේ අභිමානය සඳහා හෝ ප්‍රසිද්ධිය සඳහා නොවේ. සාමාන්‍යයෙන් තම සෞඛ්‍යය කෙරෙහි උනන්දු ඔවුන් පදනමක් සහිතව මිස, ආවාට ගියාට වැඩ කටයුතු කරන්නේ නැත.
කුම්භ ලග්න හිමියන් බොහෝ දුරට කියන දෙය කරන අතර කරන දෙය කියන බව පෙනේ. සිතෙහි පවතින දෙයම සත්‍යය ලෙස පිළිගන්නා ඔවුන්ට යමක් ඔප්පු කළ යුත්තේ ප්රත්යක්ෂයෙන් මිස තර්කයෙන් නොවේ. වියදම් කළ යුතු බව දැනුණ විට අත දිග හැර වියදම් කරන ඔවුන් අන් අයට ලබා දෙන උපදෙස්, සිත් රිදවීම් නොසලකා ඍජුවම පැවසුවද ඒවා සම්පූර්ණයෙන්ම නිවැරදිය. එනම් කුම්භ ලග්න හිමියන්ව සැබෑ ලෙසම හඳුනා ගන්නා අයට ඔවුන්ගෙන් ඉතා වටිනා පාඩම් ඉගෙන ගත හැකි වනු ඇත.
කුම්භ ලග්න හිමියන් යමෙකු කෙරෙහි පැහැදුණහොත් එම කෙනාව අත් නොහරින අතර දිගින් දිගටම සහයෝගය දක්වන බව පෙනේ. සාමාන්‍යයෙන් සිත් හඳුනා ගැනීමේ හැකියාවත් මානුෂීය බවත් මත, එවැනි පැහැදුණ අයෙකුට අදහාගත නොහැකි තරම් උදවු කිරීමට පවා ඔවුන් පෙලඹෙන බව පෙනේ. පරිපූර්ණ ලෙස කටයුතු කිරීම ප්‍රිය කරන කුම්භ ලග්න හිමියෝ එසේ නොකරන අය කෙරෙහි කැමැත්තක් නොදක්වති. ඔවුන් කියන දෙය මෙන්ම කියන දෙය ද සිතට එකඟව කරති. කිසි විටෙක කලබලයට පත් නොවන කුම්භ ලග්න හිමියෝ ඉතා ඉවසිලිවන්ත සහ ප්‍රවේශමෙන් කටයුතු කරන චරිත වෙති. සැබෑ මිනිසුන් සහ ව්‍යාජ මිනිසුන් කවුරුන්ද යන්න හඳුනා ගැනීමේ ඉවක් කුම්භ ලග්න හිමියන්ට ඇති අතර ඒ නිසාම ව්‍යාජ මිනිසුන් කුම්භ ලග්න හිමියන් වෙත ළං වන්නේ නැත.
සාමාන්‍යයෙන් කුම්භ ලග්න හිමියන් දේශපාලනයට නැඹුරු වුවහොත් අවංක දේශපාලනඥයන් වනු ඇත. සැබෑ අවංක පුද්ගලයන් සහ වංක පුද්ගලයන් පහසුවෙන් තේරුම් ගන්නා කුම්භ ලග්න හිමියෝ ව්‍යාජ පුද්ගලයන්ට ඒ බව එළිපිටම අඟවති. එමෙන්ම ඔවුන් උගතුන්ට, බුද්ධිමතුන්ට බොහෝ ගරු කරන බව පෙනේ.
ඉදිරි කාල සීමාව සලකද්දී 2025 වසරෙහි මාර්තු 29 වනදා දක්වාම කුම්භ ලග්න හිමියන්ට ඉතා තීරණාත්මක කාල වකවානුවක් ගත වන අතර මෙම කාල වකවානුව ආරම්භ වන ලද්දේ 2023 වසරෙහි ජනවාරි 19 වනදා පමණ සිටය. ඒ අනුව 2025 වසරෙහි මාර්තු 29 වනදා දක්වා ඉදිරියට පවතින කාල සීමාව තුළ කුම්භ ලග්න හිමියන්ගේ රැකියාවේ වෙනස්කම්වලට සහ රැකියාවේ උසස්වීම්වලට ඉඩකඩ ඇත. මීට අමතර ලෙස එම කාල සීමාව තුළ කුම්භ ලග්න හිමියන්ගේ විදේශ ගමන්, පොත්පත් මුද්‍රණය කර පළ කිරීම්, විදේශගත පදිංචිය ස්ථිර වීම්, නිවාස ඉදිකිරීම්, යාන වාහන මිලදී ගැනීම් වැනි කටයුතු බාධක මධ්‍යයේ හෝ ඉටුකර ගැනීමට භාග්‍යය උදා වනු ඇත.
මීට අමතර ලෙස සමස්ත ග්‍රහ ගෝචරවලට අනුව කුම්භ ලග්න හිමියන්ට 2038 වසරෙහි ඔක්තෝබර් 26 වනදාත් 2039 වසරෙහි මාර්තු 31 වනදාත් අතර කාල සීමාව තුළද, 2039 වසරෙහි ජූලි 14 වනදාත්, 2041 වසරෙහි සැප්තැම්බර් 27 වනදාත් අතර කාල සීමාව තුළ ද ආන්දෝලනාත්මක ප්‍රතිඵල ලැබිය හැකි අතර එම කාලසීමාව තුළ විශාල අභියෝග සහ විශාල බාධා මධ්‍යයේ විශාල ජයග්‍රහණවලට ඉඩකඩ ඇත.
එමෙන්ම කුම්භ ලග්න හිමියන්ට 2025 වසරෙහි ජූලි 28 වනදාත්, 2025 වසරෙහි සැප්තැම්බර් 13 වනදාත් අතර කාල සීමාව තුළ වෙනසක් පෙන්නුම් කෙරේ. එම කාල සීමාව තුළ කුම්භ ලග්න හිමියන්ගේ රැකියාවෙහි රාජකාරි ලැයිස්තු වෙනස් වීමට ඉඩ ඇත. එමෙන්ම ඉහත කාල සීමාව තුළ කුම්භ ලග්න හිමියන්ගේ දැනට තිබෙන අතිරේක ආදායම් මාර්ගයක් අහිමි වීමට ඉඩකඩ ඇත. ඒ වෙනුවට අලුත් අතිරේක ආදායම් මාර්ගයක් ආරම්භ වීමට ඉඩකඩ ඇත.
ප්‍රවීණ ජ්‍යොතිෂවේදී පාරින්ද්‍ර සුගතදාස