Home » කරදරකාරයන්ගෙන් බේරෙන්න කියූ බලගතු මන්ත්‍රය

කරදරකාරයන්ගෙන් බේරෙන්න කියූ බලගතු මන්ත්‍රය

by thanushika
December 23, 2023 12:30 am 0 comment

ක්‍රම ක්‍රමයෙන් දින සති ගෙවෙමින් පවතී. මාටින් ගුරුන්නාන්සේගේ ඉගැන්වීම් නිසා මම ප්‍රබෝධයෙන් සිටිමි. විවාහය සඳහා නිවාඩුව ගන්නා දවස වනතුරු සෑම සතියේම ගුරුන්නාන්සේ සොයා යාම නොනවත්වමයි මා දැඩි සේ අදිටන් කර ඇත්තෙමි. ජ්‍යොතිෂයේ මූලික සංකල්ප ඉන්ද්‍ර ගුරුළුවට අනුවම ඉගෙන ගැනීමට හැකි වීම සතුටකි. ගියවර ගෙදර යන විට අහම්බෙන් හමු වූ කෙනෙකු ජ්‍යොතිෂය ඉගෙන ගන්න බව කී නිසා ඔහු සමඟ වැඩිපුර විස්තර කතා කළ විට මට තේරුණේ ඔහුට වඩා දෙයක් මාටින් ගුරුන්නාන්සේ මට ලබා දී ඇති බවයි. ඔහු වර්ෂ දෙකක් තිස්සේ ජ්‍යොතිෂ පන්තියකට යන බැව් පැවසීම නිසා මාගේ උනන්දුව වැඩි විය. මාටින් ගුරුන්නාන්සේගේ ඇසුරට මාස කීපයක් ගතව තිබේ. ඒ මාස කිහිපයට පෙර හමුවූ මිතුරා වර්ෂ දෙකකට වඩා පන්ති ගොස් ගත් දැනුමට වඩා වැඩි බව ඔහු සමඟ කළ සාකච්ඡාවේදී මට වැටහිණි.

“මහත්තයා හදිසි වෙලාවකට පාවිච්චි කරන්න හොඳ මන්ත්‍රයක් දෙන්නම් ලියාගන්නකෝ” මාටින් ගුරුන්නාන්සේගේ හඬ මට ඇසෙනවා සේය. ගිය සතියේ ගෙදර ගිය මොහොතේදී මඟදී හමුවුණු කරදරකාරයෙකුගෙන් බේරුණේ ඔහු එදා දුන් මන්ත්‍රය සිහි කිරීම නිසාවෙනි. ඕනෑම අවස්ථාවක කරදරකාරි කෙනෙකුගෙන් බේරීමට අවශ්‍ය විටෙක ඒ මන්ත්‍රය තුන්වරක් සිතින් කියපුවාම ඇතියැයි ගුරුන්නාන්සේ කී කතාව අකුරටම වැඩ කළේය.

“ඕං නමෝ අහසට ගිනිදැල් බැන්දෙන් පොලවට විදුරු දැල් බැන්දෙන් දහසක් බුදුවරුන්ගේ සිවුරු පටී ධාතුවෙන් බැන්දෙන් අඩා ඉඩා ඉඩ හරු” මට එදාම ඒ මන්ත්‍රය පාඩම් සිටියේ ඇයිදැයි නොදනිමි.

කෙසේ වෙතත් මන්‍ත්‍රය නම් සුපිරිය. මම මටම කියා ගතිමි. සඳමාලිගේ කේන්දරය ගුරුන්නාන්සේ ලවා බැලෙව්වේ මේ දවස්වල ඇයට පොඩි පොඩි අනතුරු වන බව ඇය කී නිසාවෙනි. මාටින් ගුරුන්නාන්සේ කීවේ ‘ඒකට බය වෙන්න එපා‘ කියාය. “මහත්තය මේක කරන්නකෝ… සඳමාලි නෝනගෙ විතරක් නෙවේ. කාගෙ කාගෙත් අපල උපද්‍රවවලට මේක කරන එක හොඳයි. බෝධිය ළඟට ගොස් බෝ අත්තක් යටට වී පිරිසිදුව පෙරාගත් පැන් කළයක් අතට ගෙන

“ජයෝ මුනින්දස්ස සුබොධි මූලේ

අහොසි මාරස්ස පරාජයොහි

උගෙඝාසයුං දෙවගණා පසන්නා

එතේන සචෙඡන ජයසසු තුයිහං”

යන ගාථාවෙන් 21 වරක් පිරිත් කරගෙන බෝධිය නාවලා දෙවියන්ට පින් දී කරන මොනම යහපත් ප්‍රාර්ථානාවක් වුණත් හරියනවා.“ ඒ මාටින් ගුරුන්නාන්සේගේ කීමය.

තමුන්ටම තමුන් වෙනුවෙන්ම කරනවා නම් අර අවසාන පදයේ ‘තුයිහං‘ වෙනුවට ‘මහිහං‘ කියා වෙනස්කර ගත යුතු බවද ඔහු පවසන ලදී. සාමාන්‍යයෙන් ක්‍රීඩා තරග, අධ්‍යාපනික ජය සඳහා එය වඩාත් ප්‍රතිඵල දෙන බවද ඕනෑම ග්‍රහ අපලයක් සඳහා සෙත සැලසෙන බවද ඔහුගේ අදහස විය.

මේ සතියේ ගෙදර ගිය පසු සඳමාලි සමඟ පන්සල් යා යුතුයැයි සිතුවෙමි. ඇය ඒවාට බොහෝ කැමතිය. මටත් වඩා ශිල ගුණයෙන් සහ ශ්‍රද්ධාවෙන් යුතුය. මා කලින් ඇයට නෝක්කාඩු කී නමුත් ඇය හරි බව මට දැන් වැටහේ. ඇය සමඟ එක්ව කරන්නට බොහෝ සැලසුම් ඇත. ඒවා අප දෙදෙනාගේමය. මා වරින්වර සිහින ලෝකයක් තුළද සිරවෙමි.

මාටින් ගුරුන්නාන්සේ දුන් නැකැත් ගුරුකම් කීපයක්ම මා පසුගිය දිනවල අත්හදා බැලුවේ ඒවා මටම තහවුරු කරගත යුතු නිසාමය. මගේ මිතුරෙක් කැකිරාවේ බඩඉරිඟු වගා කරන බව මම දැන සිටියෙමි. ඔහු දවසක් මා සමඟ කීයේ ‘වැඩේ හොඳයි… ලාභයි. ඒත් වන අලින්ගේ කරදරේ තමයි ප්‍රශ්නේ‘ කියාය. මට ඒ කතාව මතක් වී මම ඔහුට කතා කළෙමි.

“අර උඹ දවසක් කීවනේ… වන අලින්ගෙන් වගාවට කරදරයි කියලා” මම කතාව මාතෘකාවටම ගෙන ගියෙමි.”අනේ ඔව් බං. ඒකනම් ඉතින් කරදරයක්ම තමයි” ඒ ලලිත් මගේ යාළුවාගේ පිළිතුරුය. “මම උඹට පොඩි උපදේශයක් දෙන්නම් නැකැත් වෙලාවක් එක්ක. උඹ වැඩේ කරල මට ප්‍රතිඵලය කියපන්” මා එසේ කී ගමන්ම ආවේ ඍණාත්මක පිළිතුරකි. “අනේ පලයන් බං යන්න. දැන් උඹත් ඒව ඉගෙන ගන්නවද අරූ වගේ ” ලලිත් එසේ කීවේ ඔලොක්කුවට වගේය. “නෑ නෑ බං. මම මේ විශේෂ පර්යේෂණයක් කරගෙන යනවා. ඉතින් මට උඹ එක දවසක් කී කතාව මතක් වුණු නිසයි කතා කළේ.” මම වැඩේ මැද්දෙන් තමා කතාකොට ඔහුගේ නම අරගෙන ඉන්ද්‍ර ගුරුළුවට ගැණ බඩඉරිඟු වගා බිමේ කෝටුවක් සිටුවන්නට නැකතක් දී සතියකින් මට කතා කරන ලෙස ලලිත්ට කීවෙමි. සතියක් ගියේ නැත. ලලිත් පසුදාම මට කතා කළේය. “එයි බං උඹ අර මොකක්ද දුන්නේ. හැමදාම රෑට වන අලි වත්තට එනව. ඊයේ රෑ ආවේ නෑ බං” ඔහු කීය. සති කීපයක්ම ගෙවී ගොස් තිබේ. ඔහුද මමද දෙදෙනාම ජයග්‍රාහකයෝ වී ඇත්තෙමු. ඔහුගේ වගාව ගැන තියෙන බිය අඩුවී ඇත. මා නැකැත් ශාස්ත්‍රය ගැන විශ්වාසය තහවුරු කරගෙන ඇති බව මට වැටහිණි.

පාරම්පරික ශාස්ත්‍රඥ හෙක්ටර් පද්මසිරි ප්‍රනාන්දු

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division