අල්ලේ පිහිටි රේඛා පරීක්ෂා කිරීමෙන් කෙනෙකුගේ ජීවන තොරතුරු පැවසිය හැකිවා සේම ඇඟිලි තුඩු තුළ ඇති සියුම් රේඛා තුළින්ද කෙනෙකුගේ ජීවන තොරතුරු පැවසිය හැකිය. විශේෂයෙන් ඇඟිලි තුඩුවල එවැනි මෝස්තර රටා පිහිටයි. සමහර ඒවා රැලි ආකාරයෙන්ද ආරුක්කු, ත්‍රිකෝණ, හක්ගෙඩි, දෙබිඩි රැලි රටා, සුළි දකුණට වමට කැරකුණ ආකාරයෙන්ද පිහිටිය හැක. ඔබේ අත, ඇඟිලි දිගහැර හොඳින් පරීක්ෂාකාරීව බැලුවහොත් එම රටා පැහැදිලිව දැකිය හැකිය. මෙම ජීවන රටාවල් නිර්මාණය වන්නේ පසුගිය ලිපිවලින් විස්තර කළ රේඛාවලින් නොව කෙස් ගස් වැනි සියුම් කෙඳිවලිනි. මෙහි ඇති රූප සටහන් බලා පළමුව එම ජීවන රටා කෙසේද යන්න හඳුනා ගන්න.
කෙනෙකුගේ පෞද්ගලිකත්වය ජීවන රටාවන් තුළ සටහන් වී ඇත්තේ ඒ තරමටම සූක්ෂ්ම අයුරිනි. අපරාධකරුවන්, සොරුන් සොයා ගැනීමට මෙම ඇඟිලි සලකුණු පරීක්ෂා කරන්නේ එම නිසාය. දොස්තර ප්‍රැන්සිස් ගැල්වන් විසින් සොයා ගන්නා ලද මෙම ඇඟිලි සලකුණු ක්‍රමය මේ වන විට මුළු ලොව පුරාම අධිකරණයන් මඟින් පිළිගත් අපරාධ හෙළි කරගන්න මාධ්‍යයක් වී ඇත්තේ එහි ඇති පෞද්ගලිකත්වය නිසාම බව ඔබටද පැහැදිලි වනු ඇත. ජීවන රටාවල පිහිටීම තුළින් හෙළිකර ගත හැකි ජීවන තොරතුරු කෙසේ දැයි බලමු.
අංක 1 පළමු රූප සටහන බලන්න. දක්ෂිණ වෘත්තාකාර සුළි රටාවල සාමාන්‍ය පිහිටීම එයින් දැක්වෙයි. දක්ෂිණ වෘත්තාකාර සුළි රටා යයි හඳුන්වන්නේ දකුණු පැත්තට කරකැවී ගිය සුළිවලටය. මෙය ඉතා වාසනාවන්ත පිහිටීමක්. මහපටැඟිල්ලේ එම රටාව ඇත්නම් ඔහුට හෝ ඇයට කොහේ කොතැනකට ගියද නායකත්වය, මූලිකත්වය ලැබෙනවා නිසැකය. රජයේ උසස් නිලධාරීන්ගේ අත්වල බොහෝ විට මෙම සුළි රටා පිහිටිය හැකිය.
දබරැඟිල්ලේ ඇති දක්ෂිණ වෘත්තාකාර සුළි රටාවෙන් ආත්මාර්ථකාමී පුද්ගලයෙකු හඳුනාගත හැක. බාධක නොතකා ඉදිරියට යන ඔවුන් කවදා හෝ ජීවිතය සාර්ථක කරගනු නොඅනුමානය.දේශපාලනඥයන්ගේ අත්වල පිහිටන ලක්ෂණයක් වශයෙන්ද එය විග්රහ කෙරේ.
මැදැඟිල්ලේ පිහිටි දක්ෂිණ වෘත්තාකාර සුළිය ලෝකෝත්තර වශයෙන් හොඳ පිහිටීමකි. මෙම ලකුණ ඇති අය අෂ්ට ලෝක ධර්මයෙන් කම්පා නොවන අතර දුක හා අනිත්‍යය පිළිබඳව නිතර මෙනෙහි කරයි.
සුළැඟිල්ලේ ඇති දක්ෂිණ වෘත්තාකාර රටාවෙන් කපටි, වංචාකාරී පුද්ගලයෙකු හඳුන්වා දෙයි. එවැන්නන්ට ව්‍යාපාර කටයුතුවලින් බොහෝ විට දියුණු විය හැකිය. ඇඟිලි දහයේම මෙවැනි ආකාරයේ සුළි රටා පිහිටීම මහා භාග්‍යවත් ලක්ෂණයකි. අප භාග්‍යවත් බුදුන් වහන්සේගේ ශ්‍රී හස්ත ගතවන් එවන් මහා මංගල ලක්ෂණයක් විද්‍යමාන වූ බැව් සඳහන් වේ.
අංක 2 වාම වෘත්තාකාර සුළි රටා ලෙස හඳුන්වන්නේ වමට කැරකැවී ගිය සුළි රටාවලටය. මෙම සුළි රටා පෙර සඳහන් කළ සුළි රටා තරම් බලවත් නොවේ. මහපටැඟිල්ලේ එම රටාවන් ඇත්නම් ව්‍යාපාරික වශයෙන් වැඩි දියුණුවක් නොලබති.
දඹරැඟිල්ලේ එවැනි සුළි රටාව ඇත්නම් ඔවුන් බොහෝ තණ්හාධිකය. ඕනෑම ප්‍රශ්නයකට මුහුණදිය හැකි ආත්ම ශක්තියක් ඇති අයගේ අත්වල මැදැඟිල්ලේ වාම වෘත්තාකාර සුළි රටාවක් පිහිටිය හැක. කුමන ක්‍රමයකින් හෝ ප්‍රසිද්ධ වුවද දිළිඳු ජීවිතයක් ගතකරන අයගේ අත්වල වෙදැඟිල්ලේ එවැනි සුළි රටා පිහිටන බව ශාස්ත්‍රීය නිගමනයයි. දන්නා දෙයක්ද නැති, නොදන්නා දෙයක්ද නැති පුද්ගලයා සුළැඟිල්ලේ පිහිටි වාම වෘත්තාකාර සුළි රටාවක් හඳුනාගත හැක.
අංක 3 හක්ගෙඩි රටාවක සාමාන්‍ය පිහිටීම එයින් දැක්වෙයි. එම සුළි රටාව ඇඟිලිවල හෝ අල්ලේ හෝ පිහිටියේ නම් හේ බොහෝ ගරුබුහුමන් ලබන්නෙකි. දසඅතේ පැතිරුණ කීර්තියක් ඇති ඔවුන් සදානුස්මරණීය පුද්ගලයන් ලෙස හැඳින්විය හැකිය. කාගේ හෝ අතක ඇඟිලි දහයේම හක්ගෙඩි රටා පිහිටා ඇත්නම් එම උත්තමයා සියලු සම්පත් අතහැර තපසට යන කෙනෙක් වෙයි. කිසියම් ස්ත්‍රියකගේ මහපටැඟිල්ලේ මෙවැනි ලක්ෂණයක් පිහිටියේ නම් ඇය රාජ්‍ය අංශයේ ඉහළ පදවියකට පත්වන්නීය. අංක 4 ආරුක්කු රටාවේ සාමාන්‍ය පිහිටීමයි. ආරුක්කුවක ආකාරයෙන් පිහිටි හෙයින් එම රටා ආරුක්කු රටා ලෙස හඳුන්වයි. මනා ශරීර ශක්තියක් ඇති අයට එම ලක්ෂණ පිහිටිය හැක. එසේ වුවද ඔවුනට දියුණු වූ මනසක් නොමැත. අවබෝධයකින් යුතුව යමක් කළ නොහැකි වීම ඔවුන්ගේ දුර්වලකමකි. එවැනි අයට බොහෝ විට හිමි වනුයේ කම්කරු වැනි සුළු රැකියාවන්ය. බොහෝ විට යහපත් හාම්පුතුන් යටතේ සේවය කර ධනය උපයා ගනී. පරිසරය, ගහකොළ ආදියට බෙහෙවින් ආදරය කරන ඔවුන් සතුන්ටද ඉමහත් කරුණාවක් දක්වති. රවි, බුධ, ශනි ඇඟිලිවල ආරුක්කු රටා ඇත්නම් රාජ්‍ය ගෞරවය පවා ලබයි.
අංක 5 කොටුව දෙස දැන් බලන්න. පුඩු රටාවල සාමාන්‍ය පිහිටීම එයයි. ස්වාධීන ධනෝපායන මාර්ගවලින් දියුණුවට පත්වන අයගේ ඇඟිලිවල හා අත්වල සුළි රටාවක් ලෙස එය විග්රහ කළ හැක. රැකියාවක් කරන අයෙකුගේ ඇඟිලිවල එම රටාවන් ඇත්නම් ඔහුට හෝ ඇයට රැකියාවට අමතරව වෙනත් ක්‍රමවලින් ආදායම් මාර්ග ඇතිකර ගත හැක. මෙම රේඛා උඩු අතට වැටී ඇත්නම් වැරැදි ආකාරයෙන් ධනය උපයයි.
අංක 6 රැළි රටාවෙන් සාමාන්‍ය රැළි රටාවක පිහිටීම ඔබට පෙනෙනවා ඇත. ඒ අයුරින් රටා ඇති අය වඩා අලස බවක් පෙන්වයි. කතාවට දක්ෂය. සැහැල්ලු දිවි පෙවෙතකට හුරුපුරුදු ඔවුන් අනුන්ගේ පහනින් එළිය බලන්නට දක්ෂ අය ලෙස සැලකේ.
අංක 7 ත්‍රිකෝණ රටාවන් හොඳ පිහිටීමකි. පර්යේෂණ මාර්ගයෙන් තම නිර්මාණයන් සොයා ගැනීමට දක්ෂයන් වන එවැනි අයට ඇත්තේ විචක්ෂණ බුද්ධි බලයකි. හස්ත රේඛා විද්‍යාව ජ්‍යොතිර් විද්‍යාව, රසායන විද්‍යාව වැනි ගුප්ත විෂයන් ඉගෙන ගන්නත් එමඟින් ඔවුන් ලෝක පූජිත වීමට තරමේ දක්ෂයන්ය.
අංක 8 දෙබිඩි රැළි රටා මඟින් රැළි රටා දෙකක් එකම තැනක එකට සම්බන්ධ වී පිහිටන ලක්ෂණ ද සමහර අයගේ අත්වල දැකිය හැකිය. එවැනි පිහිටීම් ඇති අය සමාජ සේවා කටයුතුවලට සේම ප්‍රසිද්ධියටද වඩා කැමැතිය. මේ නිසා අන් අයට ඉහළින් තම කාර්යය ඉටු කිරීමට ඔවුන් යුහුසුලු වෙති.
ප්‍රවීණ ජ්‍යොතිර්වේදී හිඹුටානේ පියතිලක ද අල්විස්