මෛත්‍රිය පුරුදු කිරීම නිසා අප ඇබ්බැහිව සිටි ඍණාත්මක (අසුභවාදී) සිතුවිලි රටාව වෙනස් කොට ධනාත්මක (සුභවාදී) රටාවකට හැරවිය හැකිය. මෛත්‍රී භාවනාව පුරුදු කරන විට අපේ සිත් සාමයෙන් හා සතුටින් පිරී යයි.
අපි සන්සුන් බවට පත්වෙමු. අපට සමාධිය ඇති කර ගත හැකිය. අපේ සිත සන්සුන්ව සාමකාමී වනවිට අපගේ ඊර්ෂ්‍යාව, තරහ සහ අමනාපය දුරුවේ. මෛත්‍රී සිතින් සිතීමට පමණක් සීමා නොවේ. එය අප වචනයෙන් හා ක්‍රියාවෙන් ප්‍රදර්ශනය කළ යුතුය. ලෝකයෙන් වෙන්වී හුදකලාව අපට මෛත්‍රිය දියුණු කළ නොහැක. ඔබ සමඟ දිනපතා සම්බන්ධකම් පවත්වන අය ගැන කාරුණික සිතිවිලිවලින් ඔබට ආරම්භ කළ හැකිය. ඔබට සතිමත් බව තිබේ නම් ඔබ සමඟ ගනුදෙනු කරන සැමදෙනා සමඟම දවසේ ඔබ අවදියෙන් සිටින සෑම මොහොතකම මෙය ප්‍රගුණ කළ හැකිය. ඔබ කිසිවකු දකින විට, ඔබට මෙන්ම ඔහුටත් සතුට වුවමනා බවත්, දුක මඟ හැරීමට අවශ්‍ය බවත් සිතන්න. අප හැම දෙනාටම එසේය. සියලු සත්ත්වයන්ට ද එසේමය. ඉතාම කුඩා ජීවියා පවා අනතුරට බියවෙයි. මේ පොදු සාධකය තේරුම් ගන්නා විට, අප සියල්ලන් එකිනෙකාට කෙතරම් සමීපදැයි දැකගත හැකිය. මුදල් කවුන්ටරයෙහි සේවය කරන කාන්තාව, අධිවේගී මාර්ගයෙහි ඔබ පසුකර යන මිනිසා, වීථිය හරහා ගමන් කරන තරුණ යුවළ, උද්‍යානයේ කුරුල්ලන්ට කෑම විසිකරන මහලු මිනිසා, (ආදී සියලු දෙන මේ පොදු ගණයට අයත්ය.) ජීවියකු, කුමන හෝ තවත් ජීවියකු දකින හැම මොහොතකම මෙය මතකයට ගන්න. ඔවුන්ට සතුට, සාමය හා යහපත පතන්න. එය ඔබගේ මෙන්ම ඔබ අවට සිටින්නන්ගේ ජීවිත ද වෙනස් කළ හැකි පුරුද්දකි.
මුලදී, මේ පුහුණුවට විරෝධතා නැගෙනු ඔබට අත්දැකිය හැකිවේවි. ඇතැම් විට මෙය ආරූඪ කරගත් හැසිරීමක් මෙන් පෙනිය හැක. මෙබඳු සිතුවිලි ඇතිකර ගැනීමට සිත පොළඹවා ගැනීම අපහසු විය හැක. ඔබේ ජීවිතයේම අත්දැකීම් නිසා සමහර කෙනෙකුට මෛත්‍රී කිරීම පහසුවීමටත් තව අය කෙරෙහි එබඳු සිතක් ඇතිකර ගැනීම අපහසු වීමටත් පුළුවන. උදාහරණයක් වශයෙන්, දරුවන් වෙත මෛත්‍රිය දැක්වීම ඉතා පහසු නිරායාස කරුණකි. එහෙත් වෙනත් අය කෙරෙහි එය එසේ නොවිය හැක. මේ පුරුදු සිතෙහි පරීක්ෂාවට ලක්කරන්න. ඔබේ ඍණාත්මක සිතුවිලි හඳුනාගෙන ඒවා ටිකින් ටික කඩා බිඳ දමන්න. සතිමත් බව සමඟ ඔබට ඔබේ ප්‍රතිචාර වෙනස් කළ හැකි වන්නේය.
මෛත්‍රී සිතුවිලි තවත් කෙනෙකුන් වෙත යොමු කිරීමෙන් ඇත්ත වශයෙන්ම ඔහු වෙනස් පුද්ගලයකු කළ හැකිද? මෛත්‍රිය පුරුදු කිරීමෙන් ලෝකය වෙනස් කළ හැකිද? බොහෝ ඈතක සිටින අය වෙත හෝ ඔබ නොදන්නා අය වෙත මෛත්‍රී වැඩීමේදී එහි ප්‍රතිඵල දැනගැනීමට මාර්ගයක් නැත. එහෙත් මෛත්‍රී සිතුවිලි ඔබගේම සිතේ සාමය කෙරෙහි ඇති කරන බලපෑම් ඔබට දැකගත හැකිය. වැදගත් වන්නේ අනුන්ගේ සතුට ගැන ඔබ කරන ප්‍රාර්ථනාව කොතරම් අවංක ද යන්නයි. ඇත්ත වශයෙන්ම මෙහි ප්‍රතිඵලය ක්ෂණිකය. මෙය ලබාගත හැකි එකම ක්‍රමය ඔබ එය ක්‍රියාත්මක කිරීමය.
මෛත්‍රිය වැඩීම යනු අනුන්ගේ අයහපත් ක්‍රියා නොතකා හැරීම නොවේ. එම ක්‍රියාවලට සුදුසු පරිදි ප්‍රතිචාර දැක්වීමයි. (බුදුරජාණන් වහන්සේ විසූ කාලයෙහි) අභයරාජ නම් කුමාරයෙක් විය. දිනක් ඔහු බුදුන්වහන්සේ වෙත ගොස් උන්වහන්සේ කිසිවිටක අන්‍යයන්ට සැරපරුෂ වන්නේදැයි ඇසීය. මේ අවස්ථාවේ කුමාරයාගේ ළදරු පුත්‍රයා ඔහුගේ උකුළේ හිඳ සිටියේය. බුදුරජාණන් වහන්සේ කුමාරයාගෙන් මෙසේ විමසූහ. “කුමාරයාණෙනි, ඔබගේ ඔය ළදරු පුතා, කෝටු කැබෙල්ලක් කටේ දමා ගතහොත් ඔබ කුමක් කරන්නේද?”
“ස්වාමීනි, මම ඔහු මගේ කකුල් දෙක අතර තදින් රඳවාගෙන දබරැඟිල්ල ඔහුගේ කට ඇතුළට දමා, ඔහු දඟලමින් අඬද්දීම ලේ ගලමින් වුවද කෝටු කැබෙල්ල ඉවතට ගනිමි”යි පිළිතුරු දුන්නේය.
“ඔබ එසේ කරන්නේ ඇයි?”
“මම මගේ දරුවාට ආදරය නිසයි. මට ඔහුගේ ජීවිතය බේරාගන්නට වුවමනායි”
“එසේම, කුමාරය, මට ද මගේ ශ්‍රාවකයන් කෙරෙහි සැරපරුෂ වන්නට සිදුවන්නේ ඔවුන් කෙරෙහි නපුරු සිතකින් නොව කරුණාව නිසාම යැ”යි බුදුරජාණන් වහන්සේ පිළිතුරු දුන්හ. උන්වහන්සේගේ ක්‍රියාවලියට මුල් වූයේ මෛත්‍රියම මිස කෝපය නොවේ.
අන්‍යයන් සමඟ කාරුණික හදවතකින් කටයුතු කිරීමට උපකාරීවන මෙවලම් පහක් බුදුරජාණන් වහන්සේ අපට හඳුන්වා දුන්හ. ඒ පංච සීලයයි. සමහරුන් සීලය නිදහසට බාධාවක් සේ සිතුවද ඇත්ත වශයෙන්ම මේ පන්සිල් නිදහස ළඟා කරයි. අපගේ අකාරුණික ක්‍රියා නිසා අපටම මෙන්ම අන්‍යයන්ට ද ඇති කරන දුක් වේදනාවලින් අපව නිදහස් කරයි. මේ උපදෙස් අන්‍යයන් අනතුරෙන් ආරක්ෂා කිරීමට අපට පුහුණුවක් ලබාදෙයි. අනුන් ආරක්ෂා කිරීමෙන් අප ද ආරක්ෂා වේ. අනුන්ගේ ජීවිත නැති කිරීමෙන්, සොරකම් කිරීමෙන්, කාමයෙහි වරදවා හැසිරීමෙන්, අසත්‍ය හා නපුරු වචන කතා කිරීමෙන් ප්‍රමාදයට හේතුවන මත්ද්‍රව්‍ය භාවිතයෙන් වළකින ලෙස මේ සිල්පද අපට අනතුරු ඇඟවීමක් ඇති කරයි. භාවනා පුරුදු කිරීම මඟින් සතිමත් බව දියුණු කර ගැනීම ද අන්‍යයන් සමඟ මිත්රශීලීව කටයුතු කිරීමට උපකාරී වේ. භාවනා මෙට්ටය මතදී අප සිත තුළ ආශාව හා කැමැත්ත ඇතිවන සැටි බලා හිඳිමු. එබඳු සිතුවිලි ඇතිවන විට සිත සන්සුන් කර ගැනීමට අපි ඉගෙන ගනිමු. ඇලීම හා ගැටීම ක්ෂණික තත්ත්වයන් බව දන්නා අපි ඒවාට යන්නට ඉඩ හරිමු. භාවනාව, ලෝකය දෙස අලුත් ඇසකින් බැලීමට අපට උපකාරී වන අතර නිදහස වෙත ළඟාවීමට මඟක්ද සොයා දෙයි. භාවනාවේ ගැඹුරට යන තරමටම අපේ කුසලතාවයන් ද දියුණු වෙයි.
අපි කෙනෙකු සමඟ තරහ වූ විට, ඔහුගේ චරිතයෙහි එක් කරුණක පමණක් එල්ලී සිටීමට වෑයම් කරමු. බොහෝ විට එක් මොහොතක් දෙකකදී සිදුවිය හැකි යමකි. කර්කශ වචන කීපයක්, අකාරුණික බැල්මක්, කල්පනාවෙන් තොර ක්‍රියාවක් – අපේ මනස තුළින් ඒ පුද්ගලයාගේ පෞරුෂයෙහි ඉතිරි සියල්ල හැලී ගොස්ය. එහි ඇත්තේ අපගේ අමනාපයට හේතු වූ සිද්ධිය පමණකි. මෙසේ කරන විට අපි ඒ පුද්ගලයාගේ මුළු පෞරුෂයෙන් එක් අංශු මාත්‍රයක් පමණක් වෙන් කොට ගෙන එය සත්‍ය හා විශ්වාසදායී ලෙස පිළිගනිමු. ඒ පුද්ගලයා එසේ හැඩගැසීමට හේතු වූ සියලු බලවේගයන් අපි නොතකා හරිමු. අප අමනාපයට පත්කළ ඔහුගේ එකම අගුණය කෙරෙහි පමණක්ම අවධානය යොමු කරමු.
අවුරුදු ගණනාවක් තුළ, ධර්මය ඉගෙනීමට උනන්දුවක් දක්වන සිරකරුවන්ගෙන් ලිපි බොහෝ ගණනක් මට ලැබී තිබේ. සමහරු මිනීමැරුම් වැනි දරුණු අපරාධ කළ අය වෙති. එහෙත් දැන් ඔවුන්ට කරුණු නියම ලෙස වැටහී ජීවිතය වෙනස් කර ගැනීමට වුවමනාය. ගැඹුරු අවබෝධයක් දැනවූ එබඳු එක් ලිපියක් මගේ සිතට තදින් කාවැදී ගියේය. සිරගෙදර අධ්යක්ෂකයා පැමිණෙන සෑම විටකම අනික් සිරකරුවන් ඔහුට උසුළු විසුළු කරමින් කෑකෝ ගැසූ සැටිත්, ඔහුත් තමන් සියලු දෙනා මෙන්ම මනුෂ්‍යයකු බව ඔවුන්ට කොතෙකුත් කීවද, වෛරයෙන් අන්ධ වී සිටි ඔවුන් කිසිවක් නෑසූ සැටිත් එහි විස්තර කර තිබුණි. ඔවුන් දුටු එකම දෙය ආරක්ෂකයාගේ නිල ඇඳුම මිස ඒ තුළ සිටි මිනිසා නොවේ.
අප කෙනෙකු සමඟ කෝප වූ විට, අපගෙන් අසාගත යුතු ප්රශ්නයකි. මා කෝප වන්නේ ඔහුගේ හිසකෙස් සමඟ ද? ඔහුගේ සම, දත්, මොළය, හදවත, හාස්‍ය දනවන විලාසය, මුදු මොළොක් ස්වභාවය, ත්‍යාගශීලී බව සිනහව යන මෙයින් කුමකට ද යන්නයි. මිනිසකු සෑදී තිබෙන භූත කොටස් හා ක්‍රියා පද්ධතිය ගැන විමසීමට කාලය ගන්නා විට අපේ කෝපය ඉබේටම තුනීවී ගොස්ය. සතිමත් බව පුරුදු කිරීම මඟින් අපි, අපත් අනුනුත් වඩා පැහැදිලිව දැකීමට ඉගෙන ගනිමු. අවබෝධය, අනුන් සමඟ මිත්රශීලීව සම්බන්ධතා පැවැත්වීමට උදව්වෙයි. අප හැම දෙනා තුළම යහපත් බවේ හරයක් තිබේ. අංගුලිමාල තුළ මෙන්, සමහරුන් තුළ මේ සැබෑ තත්ත්වය අප දකින්නේ නැත. අනාත්ම ධර්මතාව තේරුම් ගැනීම තුළින් අපගේ හදවත් මුදු මොළොක් වී, අන්‍යයන්ගේ අකාරුණික ක්‍රියාවලට සමාව දීමට අපට හැකිවෙයි. අප වෙතත්, අන්‍යයන් වෙතත්, මිත්‍රශීලී බවෙන් යුතුව සිටීමට අපි මෙයින් ඉගෙන ගනිමු.
(සතුන්ට මෛත්‍රී කිරීම ගැන මීළඟ කලාපයෙන් සලකා බලමු)