Home » ලොවම ෂෝෂණය කිරීමට සැරසෙන සබරගමුව සරසවි දිරිය දියණියෝ

ලොවම ෂෝෂණය කිරීමට සැරසෙන සබරගමුව සරසවි දිරිය දියණියෝ

by Mahesh Lakehouse
December 23, 2023 12:30 am 0 comment

ලෝකයේ මුල් වරට ඉවත ලන කෙසෙල් ගසේ කොටස්වලින් පාන් නිපදවයි. තන්තු බහුල චොකලට්ටුවක් නිපැයූ  ලෝකයේ එකම රට 

– පොකුරු වදමලින් ස්වාභාවික ඖෂධීය පාන රැසක්
– කෘත්‍රිම රසකාරක වර්ණකාරක කිසිවක් නැහැ
– නිර්මාංශ අයට යෝගට් එකක්-කෙසෙල් පිටි වර්ගයක්
– කතුරුමුරුංගා පසු අස්වනු හානියට විකල්ප
– නිෂ්පාදනයක් ලෙස කතුරුමුරුංගා සුප් කැටයක්

දිනෙන් දින වෙනස් වන තාක්ෂණික ලෝකයේ විවිධාකාර නව නිෂ්පාදන බිහිවෙයි. මේ නිෂ්පාදනවල ඇති ගුණාත්මකභාවය සහ නවීන බව රටක අනාගතය මෙන්ම අනාගත පරපුරේද තීරණාත්මක සාධකයන් වෙයි. ගුණාත්මක නව නිපැයුම් තුළින් රටේ සාමාජීය ප්‍රගමනය සහ අභිවෘද්ධිය ගොඩනැ­‍ෙඟන බව අවිවාදිතය. එම අරමුණ පෙරදැරිව සබරගමුව විශ්වවිද්‍යාලයේ ආහාර විද්‍යාව හා තාක්ෂණික අධ්‍යයන අංශය මඟින් අලුත් ආහාර වර්ග රැසක් දැයට හඳුන්වා දීමට කටයුතු කර ඇත. සම්ප්‍රදායික ක්‍රමවේදයෙන් ඔබ්බට ගොස් කෘෂිකාර්මික නිපැයුමවලට නව තාක්ෂණය මුසු කර නව නිපැයුම් රැසක් ඉදිරිපත් කිරීමට සබරගමුව විශ්වවිද්‍යාලයේ දියණියෝ පිරිසක් සමත් වූහ.

එම විශ්වවිද්‍යාලයේ ව්‍යවහාරික විද්‍යාපීඨයේ ආහාර විද්‍යාව හා තාක්ෂණ අධ්‍යයන අංශයේ කුෂ්ලානි ද අල්විස්, දිල්ෂානි වික්‍රමගේ, උපේකා ඒකනායක, සිතාරා හේරත්,මධුෂි පෝද්දෙණිය, සසංකා විමලසූරිය, අව්‍යා චලනි ධනසේකර, අභිෂේකා ජයතිස්ස, ඉමල්කා චන්ද්‍රසේන යන සිව්වැනි වසරේ ඉගෙනුම ලබන සිසුවියන් පිරිසක් විසින් ආහාර ආශ්‍රිත පර්යේෂණ ඇසුරින් නව සොයා ගැනීම් රැසක් සහ නව නිෂ්පාදන රැසක් ඉදිරිපත් කර ඇත.

දේශීය අමුද්‍රව්‍ය ආශ්‍රිතව මේ අපූරු නිෂ්පාදන පෙළ හඳුන්වා දී තිබේ. කෘත්‍රිම රසකාරක වර්ණකාරක කිසිවක් නොමැති ආයුර්වේදීය වටිනාකමකින් යුක්තව නිර්මාණාත්මක ආහාර නිෂ්පාදන පෙළ ඔවුන්ගේ පර්යේෂණ තුළින් සොයා ගැනීමට සමත් වී ඇත. එම නිෂ්පාදන අතර කෙසෙල් බඩ, අල, පිටි බවට පත් කර එම පිටිවලින් පාන්, නූඩ්ල්ස්, මුරුක්කු සහ අලුවා නිෂ්පාදනය කිරීමට සිසුවියන් කටයුතු කර ඇත. ඵ් අනුව එම අංශයේ සිතාරා හේරත් සිසුවිය විසින් කතුරුමුරුංගා කොළ පිටි බවට පත් කර සුප් කැටයක් නිෂ්පාදනය කර ඇති අතර එය මාස හයක් පමණ කල් තබා ගැනීමට හැකියාව තිබේ. කුෂ්ලානි ද අල්විස් සිසුවිය විසින් බිං කෙසෙල් ගෙඩි මඟින් චොකලට් නිෂ්පාදනය කර ඇති අතර, ලෝකයේ කිසිම රටක චොකලට්වල නොමැති තන්තු මෙහි අඩංගු බවට තහවුරු වී ඇත.

උපේකා ඵ්කනායක සිසුවිය විසින් ලූණු කොළවලින් පිටි නිෂ්පාදනය කර ඇති අතර, එය වෑංජනවලට එක්කළ පසු ඉතා රසවත් ස්වාභාවික රසකාරකයකි. එය මාස හයක් පමණ කල්තබා ගත හැකිය. යකි නාරං කොළ උපයෝගිකර ගනිමින් තේ වෙනුවට පානය කිරීමට අපූරු නිෂ්පාදනයක් එම අංශයේ ඉගෙනුම ලබන සිසුවියක් වන මදුෂි පොද්දෙනිය සිසුවිය නිපදවා තිබේ.

අභිෂේකා ජයතිස්ස සිසුවිය විසින් අළු කෙසෙල් අලවලින් ලබා ගත් පිටිවලින් කේක්, මුරුක්කු සහ අලුවා නිෂ්පාදනය කිරීමට කටයුතු කර තිබේ.මේ අතර, ඇඹුල් කෙසෙල් අල පිටි බවට පත්කර එම පිටි උපයෝගි කරගෙන පාන් නිෂ්පාදනය කිරීමට එම අංශයේ ඉගෙනුම දිල්ෂානි වික්‍රමගේ සිසුවිය සමත්ව ඇත. ඊට අමතරව ඇම්බුන් කෙසෙල් අල පිටි බවට පත්කර එම පිටිවලින් නූඩ්ල්ස් වර්ගයක් නිෂ්පාදනය කිරීමට අමිෂා ධනසේකර සිසුවිය කටයුතු කර ඇති අතර, එය ඇල් වතුර මිශ්‍ර කර ආහාරයට ගත හැකි වෙයි. සසංකා විමලසූරිය සිසුවිය විසින් පොකුරු වද මල් පිටි බවට පත් කර ඉතා රසවත් පානයක් නිෂ්පාදනය කර ඇත. ඉමල්කා චන්ද්‍රසේන සිසුවිය විසින් අළු කෙසෙල් අල පිටි බවට පත් කර යෝගට් නිෂ්පාදනය කිරීමට සමත් වී ඇත.

මේ දුෂ්කර ව්‍යායාමය යථාර්ථයක් බවට පත් කර ගැනීමට සිසුවියන්ට අධ්‍යයන කටයුතු සිදු කරමින් මේ නව ආහාර නිෂ්පාදන සඳහා මඟ පෙන්වමින් දිරිගැන් වූ පිරිස අතරින් වඩා ප්‍රමුඛ වන්නේ එම විශ්වවිද්‍යාලයේ ආහාර විද්‍යාව සහ තාක්ෂණ අධ්‍යානාංශ අභ්‍යන්තර සුපරීක්ෂක ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය එන්. සී.නිරෝෂන් ජයසූරියය. මෙම ආහාර වර්ග පිළිබඳව විවිධ පර්යේෂණ කටයුතු සිදු කරමින් එම කර්තව්‍යය සඳහා උර දෙමින් කටයුතු කරන ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය නිරෝෂන් ජයසූරිය පවසන්නේ මෙවැන්නකි.

අපේ අධ්‍යයන අංශයේ දරුවන් අවසාන වසරේ කේවල ව්‍යාපෘතියක් සිදු කළ යුතුයි. ඔවුන් බොහෝ විට සිදු කරනු ලබන්නේ ආහාර සම්බන්ධ ව්‍යාපෘතියක්. එහිදී ගොවියන් මුහුණපාන ගැටලු විසඳීම මූලික කර විවිධ වූ පර්යේෂණ සිදු කරනු ලබනවා. එවැනි පර්යේෂණයක් ලෙස තමයි නව ආහාර වර්ග කීපයක් පිළිබඳව අත්හදා බැලීමක් කළේ. එසේම විශ්වවිද්‍යාලයේ අධ්‍යයන කටයුතුවලදි ප්‍රදේශයේ ගොවියන්ගේ ගැටලු සඳහා විසඳුම් ලබා දීමට විශේෂ අවධානය යොමු කළා. විශේෂයෙන්ම අපේ රටේ එළවළු හා පලතුරුවල පසු අස්වනු හානිය වැඩියි

“ඇත්තටම කෘෂිකර්මය කියන්නෙ අපේ ජීවිතවලට බද්ධ වූ දෙයක්. පෞද්ගලිකව මම වගාවට හරිම කැමති කෙනෙක්. ඒ වගේම විශ්වවිද්‍යාලයේ අධ්‍යයන කටයුතුවලදි ප්‍රදේශයේ ගොවියන්ගේ ගැටලු සඳහා විසඳම් ලබා දීමට විශේෂ අවධානය යොමු කරනවා. බළන්ගොඩ හා කල්තොට, ප්‍රදේශය කියන්නෙ කෙසෙල්වලට නිජබිමක්. මේ කෙසෙල් ගස්වල කැන කැපුවට පස්සෙ ගොවියො මුහුණ දෙන ලොකුම ගැටලුවක් තමයි ඉතිරි වන කෙසෙල් කඳට මොකද කරන්නේ කියන එක. එතැනදි තමයි හිතන්නෙ මේකට විසඳුමක් දිය යුතුයි කියා.

2022 වසරේ කණ්ඩායමේ සිසුවියන් දෙදෙනෙක් මුලින්ම අළු කෙසෙල් ගසින් ගත් පිටිවලින් අලුවා, කේක් සහ මුරුක්කු වැනි රස කැවිලි හා ජෙලටින්වලට ආදේශකයක් ලෙස කෙසෙල් පිටි භාවිතා කරමින් ඉතා සාර්ථක ලෙස යෝගට් වර්ග හතරක් නිෂ්පාදනය කළා. ඇත්තටම ඒක අතිශයින්ම සාර්ථක වුණා. මොකද අපි කෙසෙල් ගසින් ඉතාම කුඩා ප්‍රමාණයයි ප්‍රයෝජනයට ගන්නෙ. ඒකට පිළියමක් ලෙස තමයි මේ දේවල් කළේ.

මෙම නිෂ්පාදන පිළිබඳව මුලින්ම අවධානය යොමු කරන්නේ එවකට සබරගමුව ආණ්ඩුකාරවරයා ලෙස කටයුතු කළ ටිකිරි කොබ්බෑකඩුවය.

“එහිදී සිසුවියන් සත් දෙනෙකුගේ කණ්ඩායමක‍ සහයෝගයෙන් තමයි මෙම ආහාර වර්ග පිළිබඳ පර්යේෂණ සිදු කර රටට හඳුන්වා දුන්නේ. එහිදී ඇඹුල් සහ ඇන්බුම් කෙසෙල් ගසේ කොටස් භාවිත කර පාන් සහ නූඩ්ල්ස් හඳුන්වා දෙනු ලැබුවා. මේ නූඩ්ල්ස් එක හදාගන්න උණු වතුර අවශ්‍ය නැහැ ඇල්වතුර තමයි පාවිච්චි කරන්නේ. ඇත්තටම අපි, බසයක,කෝච්චියක යද්දි වුණත් මෙි නූඩ්ල්ස් එක හදාගන්න එක හරිම පහසුයි. පාන් ගෙඩිය වුණත් පරළු පාන්වලට වඩා ගුණයෙන් ඉහළයි. මනරම් පැහැයක් හා ප්‍රණීත රසක් තියෙනවා.

බළන්ගොඩ කල්තොට, ඉඹුල්පේ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසවල බිංකෙසෙල් සුලභව වගා කරනු ලබනවා. මෙම කෙසෙල් වගා කරන ගොවියා මුහුණපාන ප්‍රධානම ගැටලුව වන්නේ මෙම කෙසෙල් වර්ගය ඉදුණු පසු දවස් තුන ගතවන විට ⁣සියලු ගෙඩි කඩා වැටීමයි. මෙම හේතුව නිසා ගොවියාට තම නිෂ්පාදනය සඳහා නිසි මිලක් නොලැබීම නිසා බොහෝ පාඩු සිදු වෙනවා. එයට පිළියමක් ලෙස මෙම කෙසෙල් භාවිත කර විශේෂ චොක්ලට් වර්ගයක් නිෂ්පාදනය කරනු ලැබුවා. එහි සුවිශේෂී කරුණ වනුයේ එහි දවටනය පවා ආහාරයට ගත හැකි පරිදි සකස් කොට තිබීමයී.‍ එමෙන්ම කෘත්‍රිම පැණි බීමවලට ආදේශකයක් ලෙස කාබනීකෘත වද මල් සිසිල් බීම හඳුන්වා දී තිබෙනවා.

“ඇතැම් පැණි බීම පානය කර එහි හිස් බෝතලය මොන තරම් සේදුවත් ඒ සුවඳ හා රස නැති වෙන්නෙ නැහැ. නමුත් කාබනීකෘත වදමල් සිසිල් බීම එවැනි කිසිදු රසකාරකයක් නැති ඉතා ගුණදායක පානයක් .”

මෙම අධ්‍යයන අංශයේ සිසුවියන් විසින් හඳුන්වා දී ඇති අනෙක් ආහාර නිෂ්පාදනය වනුයේ කතුරුමුරුංගා කොළ සුප් කැටය, යකි නාරං කොළ හා ඉඟුරු මුසු පාරම්පරික තේ සඳහා වූ ආදේශකය, හා ලූනු කොළ කුඩු ය.

“ලූනු කොළ කුඩු හඳුන්වාදීමට මූලික හේතුව වුණේ සබරගමු කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් කළ ඉල්ලීමකී. ඇත්ත වශයෙන්ම ලූනු අස්වනු නෙළන කාලයට, ලූනු කොළ වල පසුඅස්වනු හානිය ඉතා ඉහළ අගයක් ගනු ලබනවා. කොළ ඉදී අපතේ යන ප්‍රමාණය වැඩියි. මෙහිදී අප සිදු කරනු ලැබුවේ කොළවල කොළ පැහැය නොවෙනස්ව පවත්වා ගනිමින් වේළා කුඩු බවට පත් කිරීමයි. එම නිසා එය ඕනෑම කෑමකට එක් කරන්න පුළුවන්. විශේෂයෙන් මෙම නිෂ්පාදනය හෝටල් ක්ෂේත්‍රය ට වඩා ප්‍රයෝජනවත් වෙවි.”

මෙම නිෂ්පාදනය කළ සියලු ආහාර වර්ග ඉතා ඉහළ පෝෂ්‍ය ගුණයෙක් ඇති අතර, කෙසෙල්වලින් නිපදවන ලද ආහාර හමුදා සාමාජිකයන් සඳහා වඩා සුදුසු යැයි අනුමාන කෙරේ. එනම් ඔවුන් විශේෂ රාජකාරි සඳහා යනවිට රැගෙන යන ආහාර ඇසුරුමට මෙම කෑම වර්ග එක් කිරීම බොහෝ වාසිදායක වනු ඇත. මෙම කෑම ආහාරයට ගැනීමෙන් ඉක්මනින් බඩගිනි නොවීම,වැඩි තන්තු ප්‍රමාණයක් අඩංගු නිසා බැහැරවන මළ ප්‍රමාණය අවම වෙයි. තවද දියවැඩියා රෝගීන්ට මෙන්ම බෝ නොවන රෝගීන්ටද මෙම ආහාර ඉතා සුදුසුය.

“මෙම ආහාර වට්ටෝරු සඳහා පේට්න්ට් බලපත්‍ර ලබා ගැනීම සඳහා මේ වනවිට සියලු කටයූතු සිදුකර අවසන් කොට තිබෙනවා. මේ සඳහා නව ව්‍යවසායකයන් යොමු වනවා නම් සාර්ථක නිෂ්පාදන රැසක් අපට වගේම පිටරටටත් හඳුන්වා දිය හැකියි. ඇත්තටම මේ දේවල් කරන්න දරුවන්ට විශාල කැපකිරීමක් කරන්න වුණා. මේ නිෂ්පාදන සඳහා අලුත් ව්‍යවසායකයො ඉදිරිපත් වනවා නම් අපටත් ලොකු ශක්තියක් වනවා නොඅනුමානයි

“මේ හැම නිෂ්පාදනයක්ම දේශීය සම්පත් උපරිම පරිභෝජනය කරා ගෙනියන්න කොහොමද කියන එක පෙන්වනවා. තමන්ගෙ වත්තෙන් තමන්ට අවශ්‍ය දේවල් ටික සම්පාදනය කරගන්න තමයි මේ නිෂ්පාදන ඉදිරිපත් කර තියෙන්නෙ. මෙහි සුවිශේෂත්වය එයයි.”

“සබරගමුව විශ්වවිද්‍යාලයේ ව්‍යවහාරික විද්‍යා පීඨයේ ආහාර විද්‍යා හා තාක්ෂණ විෂය විද්‍යාවේදි ගෞරව උපාධි පාඨමාලාවකි.මේ විෂය සම්බන්ධයෙන් උපාධි පාඨමාලා ආරම්භ කරන ලද්දේ 1993 වර්ෂයේදී ඩිප්ලෝමා පාඨමාලාවක් වශයෙනි. එම කාලවකවානුවේදී එම විශ්වවිද්‍යාලය ශ්‍රි ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට අනුබද්ධ විශ්වවිද්‍යාලයක් ලෙස බුත්තල අනුබද්ධ විශ්වවිද්‍යාලයක් වශයෙන්ද පැවැතිණි. 1995 වසරේදී එම අනුබද්ධ විශ්වවිද්‍යාලය ජාතික විශ්වවිද්‍යාලයක් ලෙසට පත් කිරිමේදී බුත්තල අනුබද්ධ විශ්වවිද්‍යාලය සබරගමුව විශ්වවිද්‍යාලයට අනුබද්ධ කරන ලදි. සබරගමුව විශ්වවිද්‍යාලයේ ප්‍රථම වතාවට 1996දි ආහාර විද්‍යා හා තාක්ෂණ විෂය සම්බන්ධයෙන් ලංකාවේ පළමුවැනි විද්‍යාවේදී උපාධිය පිරිනමන ලදී. ඉන් අනතුරුව ඒ වසරේ සිට මේ පාඨමාලාව සිට වසර තුනක පාඨමාලාවක් වශයෙන් පවත්වාගෙන යන ලදි. 2005 වර්ෂයේදී මෙය සිව් අවුරුදු පාඨමාලාවක් බවට පත්විය. ව්‍යවහාර විද්‍යා පිඨයේ ආහාර විද්‍යාව සහ තාක්ෂණ අධ්‍යයන අංශයක් ලෙස 2007 වර්ෂයේදි ස්ථාපිත කරන ලදී. ඒ අනුව මේ පාඨමාලාවේ විෂය මාලාවට පළමුවැනි වසරේ සිට උපාධි අපෙක්ෂක සිසු සිසුවියන්ගේ කුසලතාවයන් වර්ධනය කිරිමට නොයෙක් ක්‍රමවේදයන් අනුගමනය කරනු ලබයි . ආහාර නිෂ්පාදන ක්ෂේත්‍රය සම්බන්ධයෙන් ඍජුවම රැකියා අවස්ථාවලට එළැඹීමට ඒ සඳහා අවශ්‍ය විෂයානුබද්ධ දැනුම පාඨමාලාව තුළ අන්තර්ගත වී ඇත.

එසේ ම පළමුවැනි වසරේ සිට සිව්වැනි වසර දක්වා විෂයානුබද්ධ දැනුම සියලු ආහාර නිෂ්පාදන ක්ෂෙත්‍රයට අදාළ වන ලෙස සකස් කර ඇත.

මේ පාඨමාලාවේ අවසන් සමාසකය තුළ උපාධි අපෙක්ෂකයන් අනිවාර්යෙන් ව්‍යපෘතියක් කළ යුතුය. එය පර්යේෂණ ව්‍යාපෘතියක් ලෙස සිදු කිරීමට අපේක්ෂා කරනු ලබයි. ආහාර නිෂ්පාදන ක්ෂේත්‍රය සම්බන්ධව හෝ ආහාර විද්‍යාව හා තාක්ෂණය සම්බන්ධයෙන් අලුත් නිෂ්පාදනයක් දැනුමක් ආහාර නිෂ්පාදනනයට අදාළ ගැටලු විසඳීමක් වැනි විෂය කරුණු මේ පර්යේෂණවලදී අදාළ වෙයි. අවසන් වසර ව්‍යාපෘතියට එළඹීමට පෙර මේ උපාධි අපේක්ෂක ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ ප්‍රායෝගික කුසලතාවයන් වැඩි දියුණු කිරීමට අපේක්ෂා කරයි. මේ විෂය දැනුම සහ දේශිය අමු ද්‍රව්‍යයක් පාවිච්චි කර වෙළෙද පොළට හඳුන්වා දෙන යම්කිසි නිෂ්පාදනයක් ඉදිරිපත් කිරිම මෙහිදි අපේක්ෂා කෙරෙයි. එවැනි පර්යේෂණ යන්ගේ අග්‍රඵලයක් මේ සිසුවියන් විසින් ලබාගෙන ඇත. ඒ සඳහා සමස්ත ප්‍රජවගේම ඇගැයීම මොවුන්ට හිමි විය යුතුයි.

සබරගමුව උපකුලපති මහචාර්ය සුනිල් ශාන්ත, හිටපු උපකුලපති ආර්. එම්. යු. එස්. කේ. රත්නායක, වහාරික විද්‍යා පීඨයේ පීඨාධිපති මහාචාර්ය ඊ. පී. එන්. උදය කුමාර , ආහාර විද්‍යා අධ්‍යයන අංශයේ හිටපු අංශාධිපති ඩබ්.එස්.එම් සෙනෙවිරත්න, නව අංශාධිපති ආචාර්ය ටී. තිලිනි කනංකේ, අධ්‍යයනාංශයේ සියලුම ආචාර්යවරුන්, අනධ්‍යන කාර්ය මණ්ඩලය ඇතුළු බොහෝ දෙනෙක් මේ නව නිෂ්පාදන සඳහා මෙම ශිෂ්‍යාවන්ට නන් අයුරින් සහය ලබා දී ඇත.

ලංකාවේ විශ්ව විද්‍යාලයන්හි සිසුහු අධ්‍යයන අවශ්‍යතාවය සපුරමින් විවිධ පර්යේෂණයන්හි නියැළෙති. මෙතෙක් එම සොයා ගැනීම් තම අවසන් පරීක්ෂණ ලකුණකට සීමා වී තිබිණි.ඒ වෙනුවට දැනට විශ්වවිද්‍යාලයන්හි ආරම්භ කර ඇති UBL ( University Business Linkage) හරහා ව්‍යවසායකයින් වෙත නිෂ්පාදනයන් ලබා දීමේ අවස්ථා ඇති කරමින් තිබීම නව නිපැයුම්කරුවන් පෙලඹවීම බලාපොරොත්තුවේ අරුනැල්ලකි.

 

සුභද්‍රා දේශප්‍රිය, සමන්තා කංකානම්ගේ බෙලිහුල්ඔය සමූහ

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division