පොලිතීන් භාවිතය ගෝලීය වශයෙන් කතාබහට ලක්වන්නේ වසර ගණනාවක සිටය. පාරිසරික හා සෞඛ්‍යමය ගැටලු මෙන්ම සමුද්‍ර දුෂණය හා වායු දුෂණය වැනි ගැටලු ද සැලකිල්ලට ගනිමින් පොලිතීන් තුරන් කිරීමේ ගෝලීය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක වන්නේ ද වසර කිහිපයක සිටය. මේ වනවිට ලොව පුරා බොහෝ රටවල් පරිසරයට අතිශය හානිදායක පොලිතීන් භාවිතය තහනම් කිරීමට පියවර ගනු ලැබුවද එම තහනම නිසි පරිදි ක්‍රියාත්මක වීම ගැටලු සහගතය. වාර්ෂිකව මෙට්‍රික් ටොන් ගණන් පරිසරයට මුදා හැරෙන පොලිතීන් අපද්‍රව්‍ය සම්බන්ධව ශ්‍රී ලංකාවේ පවතින්නේ ද එවැනිම තත්ත්වයකි. පරිසර හිතකාමී දිරාපත් වන පොලිතීන් වර්ග පිළිබඳ ජාත්‍යන්තර වශයෙන් නව නිපැයුම් පර්යේෂණ සිදු කෙරෙන මෙවැනි පසුබිමක ශ්‍රී ලංකාවේ 17 හැවිරිදි දැරියක් ‘ජපන් ජබර‘ ජලජ ශාකය භාවිත කරමින් දිරිපත් වන පොලිතීන් විශේෂයක් නිර්මාණය කිරීමට සමත් වී සිටී.
ඇය මෙදිනි ත්‍රිශාලා තුඩාහේවගේ ය. බම්බලපිටිය සාන්ත පාවුළු බාලිකාවේ පසුගියදා අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි ඇගේ මේ නව නිපැයුම තවදුරටත් සංවර්ධනය කරන්නේ නම් එය දේශීය වශයෙන් පමණක් නොව ජාත්‍යන්තර වශයෙන් ද ගෝලීය පාරිසරික අර්බුදයට කදිම විසඳුමක් වනු නිසැකය.
මෙදිනිගේ නව නිපැයුම පසුගිය වසරේදී ජාතික විද්‍යා පදනම මගින් මෙහෙයවනු ලැබූ සමස්ත ලංකා නව නිපැයුම් තරගාවලියේ අවසන් 10 අතරට තේරුණු අතර, චීනයේ පසුගියදා පැවැති ‘7th Belt and Road Teenager Maker Camp and Teacher Workshop‘ වැඩමුළුව සඳහා සහභාගි වීමේ අවස්ථාවද ඇයට උදා විය. ‘සිළුමිණ‘ මේ අපූරු නිර්මාණයේ හිමිකාරිනිය සමඟ කතාබහට එක්වූයේ නව නිපැයුම් සඳහා මෙරට පාසල් දරු දැරියන්ගේ මිල කළ නොහැකි දායකත්වය ඇගයීමට ලක් කිරීමේ අරමුණින් යුතුවය.
‘ජාතික විද්‍යා පදනම පසුගිය වසරේදී සංවිධාන කළ සමස්ත ලංකා නව නිපැයුම් තරගාවලියට මම මගේ පාසල මඟින් මේ නිපැයුම ඉදිරිපත් කළා. ඒ තරගාවලියේ පළමු සියදෙනා අතරට ඒක තේරුණාට පස්සේ අපි සියදෙනාටම එක් එක් විශ්වවිද්‍යාලවල ක්ෂේත්රයට අදාළ ආචාර්යවරුන් එක්ක එකතුවෙලා ඒ නිපැයුම සම්බන්ධව තවදුරටත් පර්යේෂණ පවත්වන්න අවස්ථාව ලබා දුන්නා. මට ලැබුණේ ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයයි. මම අවුරුදු දෙකක්ම ආචාර්ය සම්පත් ගුණතිලක සමඟ එකතුවෙලා මේ සම්බන්ධව වැඩිදුරටත් රිසර්ච් කළා. මේක ඇත්තටම පරිසර හිතකාමී පොලිතීන් වර්ගයක්. ඉක්මනින්ම දිරාපත් වෙනවා. ඒ වගේම සතුන්ට හානියකුත් නෑ. මේ පොලිතීන් විශේෂයෙන් නිෂ්පාදිත ඇසුරුම්වල ආහාර බහාලීමත් අහිතකර නැති බවත් අපි පර්යේෂණ මඟින් හොයා ගත්තා.‘මෙදිනි ත්‍රිශාලා ‘සිළුමිණ‘ සමඟ කතාබහට එක්වූයේ එලෙසිනි.
වසර දෙකක් පුරා ආචාර්ය සම්පත් ගුණතිලක සමඟ එක්ව වැඩිදුරටත් මේ සම්බන්ධව පර්යේෂණ සිදු කළ මෙදිනි අනතුරුව ජාතික විද්‍යා පදනම මෙහෙයවනු ලැබූ එම තරගාවලියේ අවසන් විසිදෙනා අතරට පමණක් නොව අවසන් දසදෙනා අතරට එක්වීමට ද සමත් වූවාය. චීනයේ පැවැති වැඩමුළුවට සහභාගි වීමට අවස්ථාව ලැබුණේ අවසන් විසිදෙනා අතරින් තෝරාගත් දසදෙනකුගෙන් සමන්විත කණ්ඩායමකටය. මෙදිනි ද ඊට ඇතුළත් වූවාය.
කුඩා වියේ සිටම නව නිපැයුම් සඳහා දැඩි කැමැත්තක් දැක්වූ මෙදිනි ශ්‍රී ලංකාවේ විවිධ නව නිපැයුම් නිර්මාණ තරග සඳහා ඉදිරිපත් වුයේ 6 වසරේ ඉගෙනුම ලබන කාලයේ සිටය. මීට වසර කිහිපයකට පෙර ඇය ජාතික විද්‍යා පදනම මඟින් සංවිධානය කළ නව නිපැයුම් තරගාවලියකට හිරු එළියෙන් ක්‍රියා කරන දූෂිත වාතය පිරිසුදු කිරීමේ උපකරණයක් නිර්මාණය කර තිබූ අතර, ඊට කුසලතා සහතිකයක් ද ලබා ගත්තාය. අනතුරුව 2019 වසරේදී කොළඹ ආනන්ද විදුහලේ පැවැති අවුරෝරා නව නිපැයුම් තරගයට ඉදිරිපත් වී එහිදී කුසලතා සහතිකයක් ලබා ගැනීමට ද ඇය සමත් වූවාය.
‘ඒක ඇත්තටම මහා පරිමාණයේ එකක් නෙවෙයි. ඒක ඉන් එහාට වැඩි දියුණු වුණේ නෑ. නමුත් ඒ නිර්මාණයට මම පේටන්ට් බලපත්‍රය අයැදුම් කරලයි තියෙන්නේ. ඒකට තව පර්යේෂණ කිහිපයක් කරලා වාර්තා පිළියෙල කරන්න තියෙනවා.‘ ඇය කීවාය. දිරාපත් වන පොලිතීන් නිර්මාණය ඇගේ සිතට පිවිසියේ පසුගිය වසරේදීය.
‘කොළඹ ගත්තොත් නියමිත විදිහට ප්ලාස්ටික් පොලිතීන් අපද්‍රව්‍ය බැහැර කෙරෙන්නේ නෑ. 3 ආර් සංකල්පයවත් (අවම කිරීම, නැවත භාවිත කිරීම හා ප්‍රතිචක්‍රීකරණය) ක්‍රියාත්මක වෙන්නේ නෑනේ. ඉතින් මට වුවමනා වුණේ පරිසරයට අහිතකර නොවෙන දිරාපත් වන පොලිතීන් වර්ගයක් හොයා ගන්නයි. අපේ පාසල අවටින් තමයි ඇළ මාර්ගය මුහුදට ගලාගෙන යන්නේ. මේ ඇළ මාර්ගය ජපන් ජබරවලින් වැහිලා තිබුණා. මම පාසල් යද්දී ඒක නිතරම දකිනවා. මේ ජලජ ශාකය මිනිසුන් භාවිතයට ගන්නා ශාකයක් නොවෙයිනේ. අනික ඒවායින් ආලෝකය ආවරණය වන නිසා මත්ස්‍යයන්ටත් ලොකු හානියක් සිදු වෙනවා. ඒ නිසා කාලය, ශ්‍රමය හා මුදල් වැය කරලා ඒවා අයින් කරන්නත් සිදු වෙනවා. මේකෙන් මොනවා හරි හදන්න පුළුවන් නම් අන්න ඒක තමයි හොඳම දේ කියලා මට හිතුණා. ඒ නිසා තමයි මම තීරණය කළේ කිසිම ආකාරයෙන් භාවිතයට ගත නොහැකි මේ ජලජ ශාකය භාවිත කරගෙන දිරාපත් වෙන පොලිතීන් විශේෂයක් නිර්මාණය කරන්න ඕන කියලා. ඒක සතුන්ට අහිතකර වෙන්නෙත් නෑනේ. ඒ නිසා තමයි මම මේ නිර්මාණයට ජපන් ජබර යොදා ගත්තේ. ‘ මෙදිනි පැවැසුවාය.
‘මම ඉන්ටර්නෙට් එකේ හොයා බැලුවා. මීට කලින් මෙහෙම නිර්මාණයක් කවුරු හරි කරලා තියෙනවද කියලා. මම පාවිච්චි කළ අමුද්‍රව්‍ය හැටියට එහෙම ජපන් ජබරවලින් බයෝ ප්ලාස්ටික් නිර්මාණයක් තවම ලෝකයේ බිහි වෙලා නෑ. විවිධ බයෝ ප්ලාස්ටික් වර්ග ඇවිත් තියෙනවා. ඒත් ඒවා කාලයක් තියා ගන්න බෑ. මගේ නිපැයුම කාලයක් පාවිච්චි කරන්නත් පුළුවන්, පසට වගේම සතුන්ට හානියකුත් නෑ.‘ ඇය වැඩිදුරටත් කීවාය. අනාගතයේදී තව නිපැයුම් හා පර්යේෂණ රැසක් සිදු කිරීමට බලාපොරොත්තුවෙන් පසුවන මෙදිනි මේ වනවිට පරිගණක මෘදුකාංග ඉංජිනේරු උපාධියක් හදාරමින් සිටී. වෘත්තියෙන් පෞද්ගලික ආයතනයක සමූහ ගණකාධිකාරිවරයකු වන සමීර දර්ශනගේ සහ රමිකා සුකිනිගේ පවුලේ බාලයා වන මෙදිනිගේ වැඩිමල් සොහොයුරිය දිනුරි විශක්යා සාන්ත පාවුළු බාලිකා විදුහලේ මෙවර උසස් පෙළ විභාගයට සූදානමින් සිටී.
චීනයේ පැවැති වැඩමුළුවට රටවල් 38ක් නියෝජනය කරමින් යොවුන් නිර්මාණකරුවන් දෙසීයකට ආසන්න සංඛ්‍යාවකට සහභාගි වූ අතර, එහිදී මෙදිනි හොඳම ඉදිරිපත් කරන්නියක ලෙස ඇගැයීමට ලක් වූවාය. ඇය සමඟ එම වැඩමුළුවට එක්වූ මහනුවර ධර්මරාජ විදුහලේ අනුසාර වීරකෝන්, වෙන්නප්පුව සාන්ත ජෝශස් වාස් විදුහලේ සහන් ශවින්ද ප්‍රනාන්දු සහ මාතලේ සාන්ත තෝමස් බාලිකා විදුහලේ අමායා සංකලනී බණ්ඩාර ද එම ඇගැයීමට ලක්වූහ. මීට අමතරව මියුසියස් විදුහලේ සිලුනි ද සිල්වා, කින්නියා මැදි විදුහලේ මොහොමඩ් බහීජ්, දෙමළගම මහමෙව්නාව බෞද්ධ විදුහලේ සදීෂ දේවේන්ද්‍ර රණවීර, මහනුවර මහමායා බාලිකා විදුහලේ සචිනි කෞෂල්‍යා බුළුමුල්ල සහ එම විදුහලේම මහේෂා පියුමි වීරසිංහ සිසු සිසුවියන් හොඳම නිර්මාණ සඳහා ඇගැයීමට ලක් වූ අතර, හොඳම කණ්ඩායම සඳහා තර්ස්ටන් විදුහලේ නදීජ ප්‍රතිභාණ ඇගැයීමට ලක්විය.