කේඩෑරිව පරඬැල් වූ ඈත ගොවි ජනපදවල බිඳී ගිය ජීවිත අතරත් අපේක්ෂාවේ මල් පූදින්නේය. ඒ මල්වල සුවඳ ලෝකය පුරා විහිදෙන්නට හැර ජාතියක් පෝෂණය කළ හැකි බවට වූ සුබ නිමිති පහළ වී ඇත. තමන් කවුදැයි නොදැන හැල්මේ යන ගැහැනුන් අතර තමන්ව සොයා, තමන්ට වටිනාකමක් දෙමින් ඒ උපන් විශ්වාසය මත පමණක් පදනම්ව වර්ණවත් ලෙස ජීවිතය සිත්තම් කරගන්නා ඇය අපට හමුවන්නේ ඈත රාජාංගන ගොවි ජනපදයේ යාය 13 ගම්මානයේ දී ය. ඇය සමන්ති ප්‍රියදර්ශනී ය.
සමන්ති ආර්ට් ඇන්ඩ් ක්‍රාෆ්ට් නිර්මාණය කරන්නී ඇය ය. අපනයන කේන්ද්‍රීය නිෂ්පාදන ආර්ථිකයක් කරා රට ගෙන යෑමේ වැඩපිළිවෙළෙහි එක් සුවිශේෂී අදියරක් ලෙස ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය, කර්මාන්ත අමාත්‍යාංශය හා එක්ව ක්‍රියාත්මක කළ 2023 ජාතික කර්මාන්ත විශිෂ්ටතා සම්මාන උලෙළේ කුඩා ව්‍යාපාර අංශයේ ඇසුරුම් සහ කඩදාසි ආශ්රිත කර්මාන්තයට හිමි රන් සම්මානය දිනා ගන්නී සමන්තිය.
කඩදාසි අත්කම් කලාව අර්ථ පූර්ණ කරමින් දේශීය වෙළෙඳපොළ මතු නොව අපනයන වෙළෙඳපොළ ද දිනා ගත හැකි කදිම නිමාවකින් සහ නිර්මාණාත්මක ගුණයෙන් යුතු අත්කම් කලාවක් හඳුන්වා දෙමින් සම්මානිත වූ මේ පිටිසර යුවතිය සොයා ගියෙමු.
අතිශයින් ආකර්ෂණීය නිර්මාණ සමුහයක් අතර හිඳිමින් ඇය සිය අතීත කතාව අපට කීවාය.
“ මං උපන්නේ උතුරු මැද පළාතේ රාජාංගනය ගොවි ජනපදයේ. අපි ඉන්නේ යාය දහතුනේ. මගෙ සීයට රාජාංගනේ ජනපදයෙන් ඉඩම් ලැබුණට පස්සේ තමයි අපි මෙහෙ පදිංචි වෙලා තියෙන්නේ. මගේ තාත්තා සී.ටී.බි බස් රියැදුරෙක්. මාලබඩගේ විමලාදාස කිව්වම ඒ කාලේ මේ පළාතෙ කවුරුත් දන්නවා. අම්මා ගෙදර ඉඳන් අපිව බලා ගත්තා. මල්ලියි නංගියි මමයි තමයි පවුලේ හිටියේ. අපි ඉස්කෝලේ ගියෙ රාජාංගනේ යාය 13 -14 මහසෙන් මහා විද්‍යාලයට. තාත්තා සී.ටී.බී එකෙන් අයින් වුණාට පස්සේ ත්‍රී වීල් එකක් අරන් කොළඹ හයර් දුවලයි අපිව ජීවත් කළේ. දැන් තාත්තා ජීවතුන් අතර නෑ. අම්මයි මමයි තමයි ගෙදර ඉන්නේ. මල්ලි දුරකතන අලුත්වැඩියා කරමින් කාර්මික ශිල්පියෙක් විදිහට වැඩ කරනවා. නංගි විවාහ වෙලා ඇයගේ පවුලත් එක්ක ජීවත් වෙනවා.
ඇත්තටම කඩදාසි අත්කම් ශිල්පය මට කවුරුත් කියලා දුන් දෙයක් නෙමෙයි. එය මට සහජයෙන් පිහිටා තිබුණා. අවුරුදු 12න් විතර අතට අහුවෙන හැම දෙයකින්ම නිර්මාණයක් කළා. ඒක කවුරුහරි අගය කරනවා නම් හරිම සතුටුයි. මගේ විනෝදාංශය වුණේ විවිධ නිර්මාණ කිරීම. ඒ නිර්මාණවලට විශාල ආත්ම විශ්වාසයක් දුන්නේ 9 වසරෙදී මට ජීවන කුසලතා විෂය ඉගැන්වූ ඉන්ද්‍රානි ගුරු මව.
මේ කාලෙදි මම අතින් සුබ පැතුම් පත් හැදුවා. ඒ සුබ පැතුම්පත් ගමේ කඩවලට කතා කරලා විකුණන්න දැම්මා. ඒකෙන් මට පුංචි ආදායමක් ලැබෙන්න ගත්තා. කවුරු හරි පුංචි දෙයක් හදලා දෙන්න කිව්වොත් ඒක හොඳටම හදන්න මට පුළුවන් වුණා.
මේ අතරෙ මම සාමාන්‍ය පෙළ විභාගය ලියලා පාස් වුණත් ඒලේවල් කරගන්න තරම් ගෙදර වත්කමක් තිබුණේ නෑ. ඒ නිසා අවුරුදු 17 සම්පූර්ණ වුණු ගමන්ම ගාමන්ට් එකක රස්සාවට ගියා. අපේ පැතිවල ගොඩක් ළමයින්ගේ ජීවිත සැලසුම් වුණේ ඒ විදිහට. ඒත් මට මැහුම් වැඩත් පුළුවන් නිසා මම හිතන් හිටියේ කවද හරි මගේ කියලා පොඩි ගාමන්ට් ෆැක්ටරි එක්ක කරන්න. අවුරුදු 02කින් පස්සේ තාත්තාව දැනන් හිටපු මහත්තයෙක් හරහා මට කොළඹ ප්‍රසිද්ධ නිමි ඇඳුම් හලක සාම්පල් අංශයේ රැකියාව කරන්න ඉඩ ලැබුණා. ඒ වනවිට තාත්තා කොළඹ ත්‍රීවීල් හයර් කළ නිසා මමත් කොළඹ ආවා. අවුරුදු 10ක් මම එතැන රැකියාව කළා.
මගේ තාත්තා නැති වෙන්නේ ඒ අතරේ. ඔහු නැති වුණාට පස්සෙ තමයි මම ‘සමන්ති ක්‍රාෆ්ට් ඇන්ඩ් ආර්ට්‘ ව්‍යාපාරය පටන් ගත්තේ. තාත්තා ජීවත් වෙලා ඉන්න කාලෙදී මගේ හැකියාව ගැන ලොකු විශ්වාසයක් හදලා දුන්නා. මම මුලින්ම කළේ මගෙ රැකියාවෙන් උපයා ගත් සල්ලි ටිකක් යොදවලා අවශ්‍ය මූලික දේවල් ටික අරන් රාජාංගනේ ගෙදර ඇවිත් “සමන්ති ආර්ට් ඇන්ඩ් ක්‍රාෆ්ට්” ෆේස් බුක් පේජ් එකක් පටන් ගත්තා. බිස්නස් වට්ස්ඇප් එකවුන්ට් එකක් හදාගෙන ඔන් ලයින් විසිතුරු භාණ්ඩ අලෙවි කිරීමේ ව්‍යාපාරයක් ආරම්භ කළා. මාල, කරාබු, කී ටැග්, ටේබල් මැට්, සෙල්ලම් බඩු, මල් කඩදාසිවලින් හැදුවා. වතුරට විනාශ නොවන විදිහට තමයි ඒ නිර්මාණ නිමා කළේ.
මේ ෆේස් බුක් පේජ් එකෙන් විශාල වශයෙන් ඇණවුම් ආවා. පිටරටවලට මගේ නිෂ්පාදන ගෙන්නා ගත්තා. තවත් සමහරු ඕඩර් අරන් ඒ අයගේ ඔන්ලයින් බිස්නස් පටන් ගත්තා. තවත් අය අපනයන වෙළෙඳපොළ ඉලක්ක කරගෙන අපේ නිෂ්පාදන මිලදී ගත්තා. හැමෝම මේ නිෂ්පාදනවල නිමාවට සහ නිර්මාණශීලී ලක්ෂණවලට කැමති වුණා. කොළඹ තිබෙන ප්‍රධාන අලෙවිසල් මගේ නිෂ්පාදන මිලදී ගත්තා. බෙවල් ස්ට්‍රීට්, ලක්ශිල්ප, ලක්සල, ඒ අතර ප්‍රධානයි. ඔටාරා මහත්මිය වෙනම මගේ නිෂ්පාදන මිල දී ගත්තා. මේ අතරේ තමයි මට මේ රන් සම්මානෙ ලැබෙන්නේ.“සමන්තිගේ දීර්ඝ විස්තරයට බාධා නොකළෙමි. ඇය කවුදැයි නොදන්නා නමුත් ඇයගේ නිර්මාණ මේ රටේ බොහෝ දෙනෙක් දැන සිටියේය. අප බොහෝ විට පලඳිනා මාලයක්, මුදුවක්, කරාබුවක් ඇය අතින් නිර්මාණය වූ එකක් බව බොහෝ දෙනෙක් දැන සිටියේ නැත.
“තරගයෙන් දිනන්න කලින් ඉඳන් අපේ නිෂ්පාදන දැකපු ජාතික රූපවාහිනීය වැඩසටහනකට කතා කළා. මට රාජාංගනේ ඉඳන් යන්න විදිහක් නැති නිසා දිනයක් දෙන්න පුළුවන් කමක් තිබුණෙ නෑ ඔවුන්ට.” ඇය සිනාසෙමින් කියන්නීය. ඒ හඬේ දුකක් හෝ පසුතැවීමක් නැත. ප්‍රථම වරට මම ඇයව විමසන්නේ ඇය හා සංවාදය නිමාවන මොහොතේය.“ සමන්ති… මේ ව්‍යාපාරය පවත්වගෙන යනකොට තිබුණු ප්‍රධානම ගැටලුව මොකක් ද ?“ ඇය කල්පනා කළාය.
“ මට අවශ්‍ය තරම් නිෂ්පාදන ඉහළම ප්‍රමිතියෙන් නිර්මාණය කරලා දෙන්න පුළුවන්. මං තරුණ ළමයි ගොඩ දෙනෙක් ඒ වෙනුවෙන් පුහුණු කරලත් තියනවා. ඇත්තටම කවුරු හරි පිරටකට හෝ මේ රට ඇතුළෙ අණවුම් හොයලා දෙනවා නම් අවශ්‍ය නිෂ්පාදනය අපට කරන්න පුළුවන්. දැනට ඔන්ලයින් බිස්නස් එක ඇරුණාම මට ඇණවුම් එන්නේ බී.එම්.අයි.සී.එච්, වන් ගෝල්ෆේස්, ෂ්‍රැංගිලා වගේ තැන්වල සංවිධානය කරන අත්කම් ප්‍රදර්ශනයකට සහභාගී වෙන අවස්ථාවලදී. මේ තියෙන දුරත් එක්ක නිරන්තරයෙන් ඒ තැන්වලට යන්න අපහසුවක් තියනවා. හැබැයි හැම ප්‍රදර්ශනයක් අවසානයෙදීම මට ඉතාම හොඳ ඇණවුම් ප්‍රමාණයක් ලැබිලා තිබෙනවා.” ඇය කියන්නී කර්මාන්තය ගොඩ දමා ගැනීමට ඇති අලෙවිකරණයේ අඩුවය.
සංවාදය නිමා කිරීමට පෙර ඇය මෙසේ ඉල්ලුවාය. “ අනේ මේකත් ලියන්න.. ජාතික ශිල්ප සභාව, කර්මාන්ත සංවර්ධන මණ්ඩලය, කර්මාන්ත දෙපාර්තමේන්තුව, කර්මාන්ත අධිකාරියෙ කුඩා ව්‍යාපාර අංශය, වාණිජ මණ්ඩලය, රාජාංගනයේ ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ කාර්ය මණ්ඩලය උදව්කරලා මේ සම්මාන උලෙළ තිබ්බෙ නැති නම් කාටවත් මාව මුණගැහෙන්නේ නැති වේවි. ඒ වගේම අපේ වසමේ ග්‍රාමසේවක මානෙල් මිස් මට උදව් කළේ නැතිනම් අද සමන්ති කියලා කෙනෙක් නෑ. කර්මාන්ත අධිකාරියේ ධම්මික සර්, කච්චේරියෙ රෝෂණී අක්කා, ඇතුළු මට උදව් කළ හැමෝටම අනේ ගොඩක් පින්…”සමන්ති කීවාය.
අපට කියන්නට ඇත්තේ ඇය සූදානම් බවය. අවශ්‍ය වෙළෙඳපොළ සමඟ සම්බන්ධීකරණය කළහොත් රාජාංගනයේ සමන්ති රටට ඩොලර් ගෙන එනු ඇත. ඒ පාලම තනා දෙන්නට රටට හැකි බව විශ්වාස කරමු.
ටානියා මෝසස්