– රුපියල් 1000 ඉඳන් ගව ලෙන් මිලදී ගන්න පුළුවන්
– චීනෙන් ගෙනාපු අඩි හතර නත්තල් ගහ රුපියල් 5,750යි. අඟල් 18 හුළං පුම්බන නත්තල් සීයා රුපියල් 350යි
– ගියපාර නත්තල් ගස් අඩි 5 වික්කේ 7,500ට. මේ සැරේ දහ දාහටත් වැඩියි
රෑ තරු බබළනවා
මල් පිපිලා වාගේ
එළියෙන් නැහැවෙනවා
මල් වැහැලා වාගේ
රැව් පිළි රැව් දෙනවා
ගීත නාද වාගේ//
බිලිඳකු හිනැහෙනවා
මුහුදක රැලි වාගේ….
නත්තල් කියූ සැණින් අපේ මතකයට එන්නේ මර්සලින් ජයකොඩි පියතුමාය. මෙරට නත්තල් ඉතිහාසය තුළ එය සිංහලයෙන් සංකේතාත්මකව ගීතවත් කළේ ජයකොඩි පියතුමාය.
ජයකොඩි පියතුමා කිවුවේ මගේ නත්තල දුගියා බත් කන දාය කියාය. මේ කියමන ප්‍රායෝගිකව ඔප්පු කරමින් කාදිනල්තුමා පසුගියදා අපූරු ප්‍රකාශයක් කරන ලදී.
මෙදා නත්තල් ආහාර වේල තමා දිළින්දන් සමඟ ගන්නා බව කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල්තුමා පසුගිය අඟහරුවාදා සවස කොළඹ අගරදගුරු මැඳුරේ පැවති මාධ්‍ය හමුවකදී පවසන ලදී. අද රටේ පවතින ආර්ථික අහේනිය පිළිබඳව අදහස් දැක්වූ කාදිනල්තුමා මෙදා නත්තලෙන් අප ලබා දිය යුතු පණිවුඩය අහිංසක දිළිදු පවුල්වලට උදව් උපකාර කිරීම යැයි ද පැවසීය. නත්තල වෙනුවෙන් බොරු වියදම් නොකර අසරණ පවුල්වලට උදව් උපකාර කිරීමට නත්තලෙන් දිය යුතු ආදර්ශය බව ද කාදිනල්තුමා කීවේය. පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳව පරීක්ෂණ වාර්තා ගැන ඇමැතිවරයා එක මතයක් ද ජනාධිපතිවරයා තව මතයක් ද දරන බවත් පාස්කු ප්‍රහාරයේ වගකිව යුත්තන් පිළිබඳව නිසි විමර්ශනයක් තවමත් ක්‍රියාත්මක කර නැති බවත් කාදිනල්තුමා කීවේය.
කාදිනල්තුමා නත්තලට බොරු වියදම් කරන්නට එපා කිවුවත් පසුගියදා අගරදගුරු නිල නිවසේදී පැවති කිතුණු කලාකරුවන්ගේ නත්තල් උත්සවයේදී ගීතයක් ගායනා කරන්නට ද අමතක කළේ නැත.
බොහෝ දෙනා සිතා සිටියේ අගරදගුරුතුමා මර්සලින් ජයකොඩි පියතුමාගේ ‘නත්තල් ගීයක්’ ගයනු ඇති බවය. ඒත් කාදිනල්තුමා ගායනා කළේ ඇනස්ලි මාලේවනගේ ගීතයකි.
මන්ගෝ කළු නැන්දේ
මොකදෑ මේ පැත්තේ
හැන්දෑ යාමෙ බලා
ගෙදරින්… පැනගත්තේ
මන්ගො නැන්දගේ දුව අංගො කුමාරි
ගිය සුමානේ පැනල ගිහිල්ලා
ඇය හඬ වැලපිලා පොළවේ හැපී නැඟිටලා
වැඩක් නෑනේ දැන් පසුතැවිලා
මේ කාදිනල්තුමා ගායනා කළ ගීයේ කොටසක් පමණි. අන්තර්ජාලයේ කාදිනල්තුමාගේ මේ ගීතය නැරඹූ පිරිස ලක්ෂ ගණනකි.
කාදිනල්තුමා බොරු සැරසිලි යැයි කියුවත් නත්තල් සැරසිලිවලට කොළඹ සූදානම ගැන අප මුලින්ම සොයන්නට ගියේ කොච්චිකඩේ පල්ලිය ඉදිරිපිටටය.
පාර අයිනේ ගව ලෙන් අලෙවියට තබාගෙන සිටින තරුණයකු අපට දැකගත හැකි විය. ඔහු නමින් ජනන් කුමාරත්නය.
“මම ගව ලෙන් ගේන්නේ වෙන්නප්පුවෙන්. මගේ ගම මෙහේ. වෙන්නප්පුවෙන් පොඩි ලොරියක දාගෙන මෙහෙට ගේනවා.”
“ගවලෙනක් කීයද?”
“රු. 1000/=යි” ජනන් කීය.
“ගව ලෙන යටට දාන්න පිදුරු පැකට් 1ක් දෙනවා.”
පදික වේදිකාවේ අඩි 2ක් පමණ දිග අඟල් හයක් පමණ පළල පොලිතින් බටයක ඇසිරූ පිදුරු අපට දැකගත හැකි මනස්කාන්ත දසුනක් විය.
“පිදුරු පැකට් 1ක් කීයද?”
“රු. 200/=යි.”
ජනන් කියන්නේ නත්තල් බිස්නස් පිකප් වන්නේ දෙසැම්බර් 22න් විතර පසු බවය.
“මං මේ බිස්නස් එක අවුරුදු 5ක් තිස්සේ කරනවා. කලින් තාත්තා තමයි මේ බිස්නස් එක පටන් ගන්නේ.”
“දැන් මේ බිස්නස් එකෙන් ලොකු ලාභයක් ඇති නේද?” මම අසා සිටියෙමි.
“අම්මෝ! එහෙම ලොකු ගාණක් නම් හිතා ගන්නවත් බැහැ. එහෙම හම්බ වෙනවා නම් ඉතින් හැමදාම අපිට නත්තල් තමයි.”
නත්තල කියූ සැණින් අප මතකයට එන භෞතික වස්තූන් කීපයක් නම් නත්තල් සැරසිලි, නත්තල් කේක්, නත්තල් වයින් ය. එහෙත් වරක් සුරාබදු කොමසාරිස්වරයා පවසා සිටියේ නත්තල් වයින් සෑදීම සුරාබදු ආඥා පනත කැඩීමක් බවය.
කොලොම්පුර කතෝලිකයන් වැඩිපුර ගැවසෙන ප්‍රදේශයක් වන්නේ කොටහේනය. නත්තලට සූදානම් වෙමින් තිබූ බොහෝ අලෙවිහල්වල නත්තල් වයින් දක්නට ලැබුණි. ඒත් තමන් විසින්ම හදන නත්තල් වයින් දැකගත හැකි වූයේ කිහිප පළක පමණි. අනික්වා ඔක්කොම රාගම පැත්තේ කොම්පැණියක් වෙළෙඳ පළට නිකුත් කොට තිබූ නත්තල් වයින්ය. ඒ කියන්නේ දැන් අච්චාරු, කඩල කරත්ත ව්‍යාපාර ආයතනගත වූවාක් මෙන්ම දැන් නත්තල් වයින් ද බිස්නස් එකක් වී හමාරය.
නත්තල් වයින් කෙසේ වෙතත් නත්තල් කේක් ගැන අප සමඟ කතාවට එක් වූයේ නත්තල් කේක් හදන්නට බඩු ගන්නට පරණ මාළු මාකැට්ටුව ළඟ ගෘහණියන් පොරකද්දීය. ඊට යාබදව ඇති කේක් බඩු කඩවල පවා ජනතාව පිරී ඉතිරී පේමන්ට් එකේ පවා රැඳෙනු දැකගත හැකි විය.
ප්‍රධාන කේක් අයිටම් කඩයක අලෙවියේ නියුතු ‘වසීම්’ අපට මෙසේ අදහස් දැක්වීය.
“අපේ රටේ කේක් හැමදාම හදන කෑමක්. ඒත් ක්‍රිස්මස් කේක් විශේෂයි. මේ සැරේ බඩු මිල වැඩිවුණා කියල ක්‍රිස්මස් කේක් හැදිල්ල මිනිස්සු නැවැත්තුවේ නැහැ. කේක් බඩු පොඩ්ඩ පොඩ්ඩ අරන් ගිහිල්ල තමන්ට පුළුවන් විදිහට ක්‍රිස්මස් කේක් හදනවා. ගෙදර ක්‍රිස්මස් කේක් හදන්න හැමෝම කැමැතියි.”
පිටකොටුවේ හරස් වීදිවලින් ගමන ආරම්භ කළ අපි සොයා ගියේ නත්තල් සැරසිලි අලෙවියේ නියුතු වෙළෙන්දන්ය. දෙවැනි හරස් වීදියේ පළමු නත්තල් සැරසිලි කඩයේ අලෙවිකරු අප පින්තූර ගන්නවාට විරුද්ධ විය. ඒත් අදහස් දැක්වූවේය.
“තාම මාකට් එක හිට් වුණේ නැහැ බොස්. තාම කට්ටිය ක්‍රිස්මස් අයිටම්වල ගණන් අහනවා විතරයි.” කඩයේ ප්‍රධාන වශයෙන් තිබුණේ දිලිසෙන පාට පාට බෝල හා තරුය. නත්තල් ගස් පෙළගස්වා තිබුණි.
මේ බොහෝ නත්තල් සැරසිලි අලෙවි කරන වෙළෙන්දන් ක්‍රිස්තු භක්තිකයන් යැයි ඔබ සිතුවොත් වැරැදිය. ඒ බොහෝ දෙනා අතරින් වැඩිම පිරිසක් අපට දැක ගත හැකි වූයේ මුස්ලිම් ජාතිකයන් ය.
මැනුවෙල් ජෙගනාදන් අලෙවි කරමින් සිටියේ මුළුමනින්ම ගව ලෙන් සහ ඒවායේ තබන බිලිඳුන්ගේ රූප, එඬේරුන්ගේ පිළිරූ ආදී නිෂ්පාදනය.
“කොච්චර නැති බැරි වුණත් හැම ක්‍රිස්තියානු ගෙදරකම ගව ලෙනක් හදනවා. දැන් මේ කොටහේන පැත්තේ තාමත් ගෙයින් ගෙට ගිහිල්ලා ක්‍රිස්මස් කැරොල් ගායනා කරනවා. ඒක අවුරුදු 100කටත් එහා ඉඳන් තියෙන පුරුද්දක්. සමහරු කොච්චි කඩේ පල්ලියේ භාරවලටත් මේ ගව ලෙන් පූජා කරනවා. අඩි 4 -5 ඉටිපන්දම් පත්තු කරනවා. මේ ගව ලෙනක් රුපියල් 1900/=යි. අඩි 5 උස ඉටිපන්දමක් රුපියල් 700ක් වෙනවා. හැබැයි ඔය ඉටිපන්දමක් පත්තු කරල ටික වෙලාවක් යනකොට නිවල අයින් කරනවා.”
නත්තල් ගස් අප බොහෝවිට දැක ඇත්තේ චීනයෙන් ගෙනා ප්ලාස්ටික් ඒවාය. ඒත් සමහරු කැමැති ස්වාභාවික නත්තල් ගස්වලටය. මේ ගසට අප ඇසූ තැන් තුනකින් කිව්වේ නම් තුනකි. කස ගස, සයිප්‍රස් ගස් හා පයිනෝල් ගස්ය. අඩි 3 – 4ක් උසට කපා ඇති මේ ගස් අතු ළඟට කිට්ටු වු විට ආඝ්‍රාණය වූයේ මල්වඩම්වලට සවි කරන නාසිය කඩාගෙන යන පයිනෝල් නම් විෂබීජ නාශකයේ ශාඛයේ සුවඳකි.
ලංකාවේ කොලොම්පුරේ අඩුම මිලකට ලී කඳන් මිලදී ගත හැක්කේ ‘තොටළඟ’ දීය. මේ නත්තල් ගස් විකුණමින් සිටි කිහිපදෙනකුගෙන්ම දැනගත හැකි වූයේ ඔවුන් පැමිණියේ තොටළඟ සිට බවය. ඒ කියන්නේ කොළඹ ලී කඳන් සපයන ව්‍යාපාරකයන් නත්තල් කාලයේ තමන්ගේ ලොරිවල පටවා ගෙන මේ නත්තල් ගස් වෙළෙඳපළට ගෙන එන බව නොවේද? ඒත් මේ වෙළෙන්දන් කියන්නේ වෙනත් කතාවකි.
“ගිය පාර නත්තල් ගස් අඩි 5 උස වික්කේ රුපියල් 7500/=ට. මේ සැරේ දහ දාහටත් වැඩියි. කොහොමත් මේ ගස් නත්තල් ළංවෙනකොට ගන්නේ තරුපහේ හෝටල්වල ඩෙකරේෂන්වලට. සමහර ගස් රුපියල් 25,000/=ටත් ගන්න අය ඉන්නවා.
ඉන්පසු අපි පිවිසුණේ නත්තල් සැරසිලිවලට නම් දැරූ චයිනා වීදියට ය. මුල සිට අගටම දෙවරක් සෝදිසි කර බැලුවත් එක කඩයකවත් නත්තල් සුබ පැතුම් තිබුණේ නැත. වෙනදාට චීනයෙන් ගෙනා කාඩ් එක විවෘත කළ විට ජින්ගල් බෙල්ස් නමින් වාදනය වෙමින් තිබෙන පත්තු වෙන ලයිට් ඇති කාඩ්පත් එක් තැනක විය. එකක මිල රුපියල් 1600/=කි. වෙනදාට මේ කාඩ් එකක් තොග මිල රුපියල් 125කි. කාඩ්වලට නම් දැරූ මැලිබන් වීදියේවත් නත්තල් සුබ පැතුම්පත් දකින්නට තිබුණේ නැත.
“දැන් කවුද ක්‍රිස්මස් කාඩ් අරින්නේ. ඉන්ටනෙට් එකෙන් ක්‍රිස්මස් ග්රිටින්ස් අයිටම් එකක් ඩවුන්ලෝඩ් කරලා ඕනේ කෙනාට ඊමේල් කළා. එච්චරයි.” සුටුස් ගාලා නත්තලට විෂ් කළා.
කොච්චිකඩේ පල්ලිය ඉදිරිපිට මොහොමඩ්ගේ කුටියේ මුළුමනින්ම තිබුණේ නත්තල් ගස් හා හුළං පුම්බන නත්තල් සීයලාය.
“මේ නත්තල් ගස් ලංකාවේ හදපුවාද? මම අසා සිටියෙමි.
“මොනාද බොසා ලංකාවේ හදන්නේ, පිස්සුද? මේවා චයිනා බඩු. අඩි හතර නත්තල් ගහ රුපියල් 5,750/=යි. ඔය අඟල් 18 හුළං පුම්බන නත්තල් සීයා රුපියල් 35/=යි.”
මේ නත්තල් සැරසිලි විකුණන පාසල් සිසුවෙක් ද අපට දැකගත හැකි විය. ඔහු වතුර බොන ප්ලාස්ටික් කප්වල පස් පුරවා වී වගාකොට තිබුණි.
“ගව ලෙනට තියන්න තමයි මේ වී වගා කරලා තියෙන්නේ. පොඩි කප් ජෝඩුවක් රුපියල් 200/=යි.”
මේ සිසුවා නමින් රොහාන් සෙබස්තියන්ය. ඔහු ද පැමිණ සිටියේ තොටළඟ සිටය.
ක්‍රිස්මස් සැරසිලිවලට නම් දරාපු තැන පීපල්ස් පාක් එකය. එම කඩයක සිටි ක්‍රිස්ටෝපර් අප සමඟ සුහද වූයේ අප ලේක්හවුසියේ බව දැනගෙනය.
“මාත් වැඩ කළේ ලේක්හවුස් බුක්ෂොප් එකේ. ගොඩක් අය තාම ක්‍රිස්මස් බඩු ගණන් අහලා යනවා.
“පොඩි ළමයි එනවා ක්‍රිස්මස් බඩු ගන්න. ගාණ අහල අම්මලා තාත්තලා පුදුම වෙනවා. ළමයි ආසාවෙන් බලන් ඉන්නකෙට අපිටත් දුකයි. පොඩි දෙයක් නම් නිකන් දෙනවා. මේ ගොඩක් බඩු ගිය සැරේ ඉතුරු වෙච්චා. මේ සැරේ චීනෙන් ඉන්දියාවෙන් බඩු ආවා අඩුයි.”
අප මේ පීපල්ස් පාක් සැරිසරද්දි නත්තල් සැරසිලි ගන්නට ආ සිස්ටර්ලා දෙදෙනකු දැකගත හැකිවිය. ඔවුන් දෙදෙනා පැමිණ සිටියේ උතුරුකරයෙනි. ඔවුන් නත්තල් බඩු තෝරන දසුනක් අප ඡායාරූපයට ගත්තේ කලබලයෙනි.
“යාපනේ බස් එක අද්දනවා. මේ බඩු ටික බැගේජ් දාගන්න ඕන.” ඔවුන් දෙදෙනා අප සමඟ පැවසීය.
මේ අතර දිස්නා අශාන්ති පැමිණ සිටියේ තම කුඩා පුතණුවන් ද සමඟය.
“පුතා යන්නේ කොටහේන සෙන් බෙනඩික්ට්. ඉස්කෝලේ නත්තලට පන්ති සරසන්න බඩු ගන්න ආවා. ගිය සැරේට වැඩිය මේ සැරේ බඩු ගණන්. ටික ටික ගන්නවා. අම්මලා තාත්තල සල්ලි එකතු කරල මට තමයි දෙන්නේ.”
මේ නත්තල් ඩෙකරේෂන්වල මිල වැඩිවීම අපට නම් සිතාගත නොහැකිය. පීපල්ස් පාක් තොග වෙළෙන්දන්ගෙන් අප මේ ගැන විමසුවෙමු.
“චීනේ – ඉන්දියාවේ මේ ක්‍රිස්මස් අයිටම් ගිය අවුරුද්දේ තිබ්බ ගාණමයි. ඉස්සර මේවා ආවේ කන්ටේනර් ලෝඩ්. දැන් එහෙම ගේන්නේ නැහැ.
“මේ ඔක්කෝම හෑන්ඩ් ලොඩ් (ගුවන් යානයේ අතින් ගේන්නේ) කිලෝ එකකට ගිය අවුරුද්දේ තුන්දාහක් ඩියුටි ගැහුවා. අඩි අට නත්තල් ගහක් කිලෝ හතරක් බරයි. එතකොට ගහට ඩියුටිය විතරක් රුපියල් 12,000යි. ප්ලේන් එකේ ගේන්න දෙන්නේ කිලෝ 30ක් විතරයි. ඉතින් මේ බඩු ගණන් යන්නැතුව තියේද? ක්‍රිස්මස් ළං වෙන කොට මේ බඩු තවත් ඩිමාන්ඩ් වෙනවා. ක්‍රිස්මස් කට ගාවට ආවම කොම්පැණිකාරයෝ කීය කිවුවත් ක්‍රිස්මස් අයිටම් ගන්නවා, ඔෆිස් සරසන්න. මේ සැරේ ඩියුටිය ගිය සැරේටත් වඩා වැඩියි.”
පොදුවේ ගත් විට මෙවර නත්තල් සැරසිලි ගන්නට කොළඹට එන පිරිස සත්අන්තය ළඟා වන විට දැවැන්ත ලෙස වර්ධනය වෙමින් පවතී. මේ බොහෝදෙනා පැමිණ සිටියේ කුඩා දරුවන් සමඟය. ඒ කියන්නේ ආගම් භේදයකින් තොරව බෞද්ධ ළමයි පවා තම දෙමාපියන් සමඟ පැමිණීම මෙරට ආගමික සහජීවනයේ කදිම සාක්ෂියක් වී හමාරය.
ඇත්තෙන්ම මේ නත්තල් සැරසිලි නිරූපිත නත්තල සමඟ සමගාමීව යාදැයි ඇතැම් නත්තල් විසූක දස්සන දුටුවිට අපට ප්‍රශ්නයක් පැන නැඟුණි.
වත්මන් ලෝකයේ පවතින ප්‍රමුඛතම උපන්දින මහෝත්සවය නත්තලයි. යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උපත සිහිපත් කිරීම ඊට හේතුවයි. උන්වහන්සේට වඩාත් ගෞරවයක් ලැබෙන ආකාරයට සහ තමාට මෙන්ම සමාජයටත් ඵලදායක වන අයුරින් මෙම දිනය සැමරීමට උත්සුක වීම අනුගාමික ශාස්තෘවරයාණන් වහන්සේ කුමනාකාර පුද්ගලයෙක්දැයි ලෝකයට හඳුනා ගත හැකි වන්නේ එයාකාරයෙන් නිසයි.
ක්‍රිස්තුස් වහන්සේගේ උපත සමරන නත්තල ද දැන් නත්තල් සැරසිලිකරුවන් ආක්‍රමණය කොට හමාරය. නත්තල් සැරසිලි කඩයක අලවා තිබූ ජයන්ත නිමල්ගේ නිර්මාණයකින් ලිපිය අවසන් කරමි.
එහි වෙළෙන්දකු විසින් මෙවැනි ආරාධනයක් කරනු ලැබේ.
කඳු වළල්ලක බෑවුම ගාව
හීතලේ වෙවුලමින් ඉනු කෝම
එනවාද? නත්තලට සෙයිලමට
ආඩම්බරෙන් ඉන්න හැමදාම
සාමයේ ඉරබටුව හිස් මුදුනේ තියාගෙන
නත්තලේ තෑගි අත කර පුරා දරාගෙන
විදුලි බුබුලින් බැබළෙමින් මැද සාලයක
සාදයක අමුත්තන් පිළිගන්න
මේ ආරාධනයට නත්තල් ගස පිළිතුරු දෙන්නේ මෙසේය.
අඳෝමැයි හිස පැලඳි වරුණාව
අහල ඇතිවෙලා මට ඔය පුරුදු වීණාව
නත්තලම විකුණාගෙන කන්න ඔය කරුණාව
මුළු දියත එකලු කළ ඒ උතුම් දවස ගෙන
සරුව පිත්තල ඇඳුම් මහ රෑක පැලඳගෙන
දේව මෙහෙයට ගිහින් සාමෙ නළලත උලා
එන උන්ව පිළිගන්නේ කොහොම? හිත් දරාගෙන