රටේ ප්‍රධානම ආර්ථික භෝගයක් වන පොල් වගාවට බරපතළ හානියක් සිදු කරමින් සිටින කෘමියෙක් ලෙස “සුදු මැස්සා” හැඳින්විය හැකිය. සුදු මැස්සාගෙන් සිදු වන හානිය වගා ක්ෂේත්‍රයට පැමිණ තිබෙන්නේ ඉතා මෑතක සිටය. විද්‍යාත්මකව ගත් කල හිමික්ටේරා කුලයට අයත් සුදු පැහැති කෘමියකු වූ සුදු මැස්සා හෙවත් Aleurodicus cocois කෘමියා මේ වන විටත් ශ්‍රී ලංකාව ඇතුළු ආසියානු කලාපයේ රටවල් බොහෝ ගණනක පොල් වගාවට දැඩි ලෙස හානි පමුණුවමින් ඉතා ශීඝ්‍රයෙන් පැතිර යන වසංගතයක් බවට පත්ව තිබේ. මේ කෘමියාගෙන් මේ වන විටත් මෙරට කප්රුකට සිදු වෙමින් පවතින හානිය අති භයංකාරය. මේ තත්ත්වය කොතෙක් දුරට ඒ රටවල් කෙරෙහි බලපා ඇත්දැයි සොයා බැලූ විට මෙය එකී රටවල ආහාර සංස්කෘතියට මෙන්ම ආර්ථිකයට ද එල්ල කොට ඇති බලපෑම සුළුපටු එකක් නොවන බව සනාථ වේ. එවැනි සුවිසල් බලපෑමක් එල්ල කිරීමට තරම් සමත්ව ඇති මෙම කුඩා කෘමියා මෙරට තුළින් මර්දනය කිරීම සඳහා සැලකිය යුතු පියවරක් ගැනීමට ක්ෂේත්‍රයේ දැන උගත් පර්යේෂකයන්ට පවා තවමත් හැකි වී නැත.
මේ උවදුරට සාර්ථක විසඳුමක් සොයා දීමට කුරුණෑගල දියණියක සමත්ව සිටියි. මෙරට නව නිපැයුම්කරුවන් සේ ජාතික මට්ටමෙන් සම්මානයට ඇය පාත්‍ර වීම ද විශේෂත්වයකි. කුරුණෑගල වැව රවුම බමුණුගෙදර පදිංචි දියණියක වන බී. එම්. තුෂාරා සෙව්වන්දි බස්නායක අපූරු නිපැයුමක් කර තිබෙයි. තවමත් දහසය හැවිරිදි වියේ පසුවෙන මේ දියණිය තුෂාරා කුරුණෑගල වැවගෙදර ආරක්ෂක සේවා විදුහලේ එකොළොස් වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන්නීය. පවුලේ වැඩිමලා වන සෙව්වන්දිට බාල සොහොයුරියක වෙයි. පියා ද නව නිර්මාණ රැසකට හිමිකම් කියන්නෙකි. සෙව්වන්දි විසින් නිර්මාණය කොට 2023 සමස්ත ලංකා රොබෝ තාක්ෂණය හා නව නිපැයුම් තරගාවලියේදී ජයග්‍රහණය කළ “සුදු මැස්සා” මර්දනය සඳහා යොදා ගන්නා උගුල” නමින් හඳුන්වන මෙම නව නිර්මාණයේ උපත පිළිබඳව ඇය අප සමඟ මෙසේ පැවසුවාය. මේ සුදු මැස්සා නම් කෘමියා මර්දනය කිරීමට ප්‍රශස්ත සහායක් දක්වන නව උපකරණයක් නිර්මාණය කිරීම වෙනුවෙන් 2023 වසරේ “සමස්ත ලංකා රොබෝ තාක්ෂණය හා නව නිපැයුම් තරඟාවලියේ” ප්‍රථම ස්ථානය ජයග්‍රහණය කිරීමට තුෂාරා සෙව්වන්දි බස්නායක සිසුවිය සමත්ව සිටින්නීය.
“මුලින්ම මගේ ගෙවත්තේ තියෙන පොල් ගස් කිහිපයක කොළ අවපැහැ ගැන්වීමෙන් කිසියම් හානියක් සිදුවී තිබෙන බව මට නිරීක්ෂණය වුණා. මං ඒ ගැන ටිකක් වැඩිපුර හොයලා බලන කොට දැන ගන්න ලැබුණ; කුඩා කෘමියෙක් නිසා මේ හානිය සිදුවන බව. “සුදු මැස්සා” යන මෙම ආක්‍රමණික සතාගේ හානිය කොතරම් බරපතළ ලෙස මේ වන විට පැතිර ගිහින් ද කිවහොත් මේ වන විට පොල් ත්‍රිකෝණයේ විතරක් නෙවෙයි; මුළු රටේම පොල් වගාවට අතිවිශාල හානියක් සිදු වී තිබෙනවා. විශේෂයෙන්ම තැඹිලි වගාවට මේ සතාගෙන් එල්ල වන හානිය ඉතාම බරපතළයි. පොල් ගසට විතරක් නෙවෙයි; පලතුරු ඇතුළු තවත් වගා රැසකටම සුදු මැස්සා මේ වෙද්දි හානිකර අවසන්. මේ කෘමියාගෙන් සිදුවන හානි හේතුවෙන් මේ වන විටත් රටේ පොල් ඵලදාව ශීඝ්‍රයෙන් අඩු වෙලා. වෙළඳපොළේ පොල් ගෙඩියක මිල රුපියල් 130 සීමාවක් දක්වා ඉහළ ගිහින් තිබෙනවා. මේ වෙනුවෙන් යමක් කළ යුතු යැයි කියලා මගේ හිතට ආපු සිතිවිල්ලකුත් එක්ක මං මේ නව නිර්මාණය හදන්න පටන් ගත්තේ”
“තුෂාරා සෙව්වන්දිට සුදු මැස්සාගේ හානිය පිළිබඳව අදහසක් සිත තුළ ජනිතව තිබුණේ ඔවුන් පදිංචි කුරුණෑගල බමුණුගෙදර නිවසේ ගෙවත්තේ ඇති පොල් ගස් කීපයට සහ ප්‍රදේශයේ ඇති පොල් ගස්වලට සිදු වෙමින් පවතින හානිය දිනපතාම දුටු විටය. ඇය දිනක් තම පවුලේ සාමාජිකයන් සමඟ කුරුණෑගල වැව රවුමේ උස් ස්ථානයක පිහිටි වැව්ගල විහාරස්ථානයට ගිය අවස්ථාවේදී පහළින් දර්ශනය වන විශාල ප්‍රදේශයක පැතිර පවතින පොල් ගස් විශාල සංඛ්‍යාවක් කහ පැහැයට හැරී ඇති ආකාරය දුටුවාය. කුරුණෑගල දිස්ත්‍රික්කයෙහි මේ කෘමි හානිය උග්‍රව තිබෙන බවට වටහා ගන්නා ඇය මේ සඳහා නිර්මාණයක් කරන අරමුණින් යුතුව සුදු මැස්සා ගැන තොරතුරු සෙවීම ආරම්භ කොට තිබේ. ඒ අනුව ඇය විසින් පොත පත කියවීමෙන් හා තම පාසලේ විද්‍යා ගුරුවරුන්ගෙන් අසා දැනගත් දැනුමෙන් මෙන්ම අන්තර්ජාලය පරිහරණය කරමින් ලබා ගත් දැනුමද එක්කොට අධ්‍යයනය කර සුදු මැස්සාගේ ක්‍රියාකාරීත්වය පිළිබඳව පුළුල් අවබෝධයක් ලබාගෙන ඇත.
සුදු මැස්සා යනු හිමිප්ටේරා (Hemiptera) ගෝත්‍රයට අයත් සුදු පැහැති කෘමියකු බවත් ගැහැනු සතුන් විසින් පොල් ගසේ අත්තේ කොළවල යටි පැත්තෙහි දමන බිජුවලින් එළියට එන කීටයන් මෙන්ම සුහුඹුලන්ද පොල් කොළය විද එහි ඇති ප්ලෝමියම් සාරය උරා බොති. ඉන්පසුව කොළය කහ පාටට හැරී ඵල නොදරමින් ගස ක්‍රම ක්‍රමයෙන් මැරී යාමට පටන් ගනී. බොහෝ විට සුදු මැස්සා කහ පැහැති පෘෂ්ඨවලට වඩා වැඩි ආකර්ෂණයක් දක්වන බවත් ඒ හේතුවෙන් තැඹිලි ගසට සිදුවන හානිය වඩා තීව්‍ර වී ඇති බව ද කියති. එසේම පොල් ගසින් වහනය වන ආවේණික සුවඳට ද මේ සතා ආකර්ෂණයක් දක්වයි. මෙම සුදු මැස්සාගේ ක්‍රියාකාරීත්වය අලුයම් කාලයේ දී වඩාත් වැඩියෙන් සක්‍රිය වන බැවින් එම කාලයේදී ගසට සිදුවන හානිය ඉහළ මට්ටමක පවතී. සුදු මැස්සා යනු හෙමිප්ටෙරා (Hemiptera) ගෝත්‍රයට අයත් සුදු පැහැති කුඩා කෘමියෙකි.
පොල් සංවර්ධන අධිකාරිය විසින් මීට පිළියමක් ලෙස හඳුන්වා දී ඇති කඳ වටා ග්‍රීස් තැවරූ කහ පැහැති පොලිතින් කොළයක් එතීමේ ප්‍රතිකර්මය වඩා සාර්ථක මර්දන ක්‍රමයක් නොවන බවට මේ වන විට අනාවරණ වී තිබෙන බව පොල් සංවර්ධන අධිකාරියේ නිලධාරීහු කියති. එය අසාර්ථක වෑයමක් වනවා මෙන්ම ඵළදාව නෙළීම සඳහා පොල් ගස් නැඟිම සඳහා ගැටලුකාරී තත්ත්වයක් නිර්මාණය කර තිබේ. මේ කරුණු සියල්ල සැලකිල්ලට ගන්නා සෙව්වන්දි සිය නිර්මාණය තැනීම ආරම්භ කරන්නේ ඉතාමත් සරල උපකරණ කීපයක් භාවිත කරමිනි.
ඒ සඳහා මූලික මොඩලය සකස් කිරීමට සුදු මැස්සා වඩාත් ආකර්ෂණය දක්වන කහ පැහැති කුඩයක් සොයා ගන්නා ඇය ඊට සූර්ය ශක්තියෙන් දැල්වෙන විදුලි පහන් දෙකක් සවිකර ඊට ආකර්ෂණය වන සතුන් අල්ලා ගැනීම සඳහා වහා ඇලෙන සුළු ගම් වර්ගයක් සහිත පටි කිහිපයකින් ද යුක්තව සිය නිර්මාණය බිහි කරන්නීය. ඒ උගුලට සතුන් ආකර්ෂණය කර ගැනීම සඳහා තම පාසලේ විද්‍යාගාරයේ දී අත්හදා බැලීම සාර්ථක වූ සුවඳකාරකයක් ද යොදා ගැනීමට කටයුතු කර තිබේ. එසේ සකස් කර ගත් මෙම උගුල පොල් ගස් කිහිපයක්ම ආශ්‍රිතව සවිකර තිබීමෙන් සුදු මැස්සා පහසුවෙන් මර්දනය කළ හැකි බව ඇය පෙන්වා දෙන්නී ය. සුදු මැස්සාගෙන් පොල් වගාවට සිදුවන හානිය වැළැක්වීම සඳහා මේ වනවිට පොල් සංවර්ධන අධිකාරිය විසින් හඳුන්වා දී ඇති එකම ක්‍රමවේදයක් හෝ ප්‍රායෝගික නොවන බවට කුරුණෑගල දිස්ත්‍රික්කයේ පොල් වගාකරුවන්ගෙන් දැඩි ලෙස චෝදනා එල්ල වෙමින් ඇති අවස්ථාවක මෙවන් ළාබාල පාසල් සිසුවියක විසින් සොයා ගත් සාර්ථක ක්‍රමවේදයක් අවසානයේදී ජාතික මට්ටමෙන් සම්මානයට පාත්‍ර වීම ද විශේෂත්වයකි.
මේ නව නිර්මාණය බිහි කිරීම සඳහා සෙව්වන්දිට වඩාත් වැඩි දැනුමක් සහ මඟ පෙන්වීමක් තම පියාගෙන් ලැබුණු බව ද ඇය පවසයි. වෘත්තීයෙන් මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරයකු ලෙස කටයුතු කරන බී.එම්. සිරිල් බස්නායක පුද්ගලික විද්‍යා පන්ති ගුරුවරයකු ලෙස ද කටයුතු කරයි. ඔහු ද මීට වසර කිහිපයකට ඉහත දී නිර්මාණය කරන ලද “ඩෙංගු මදුරු මර්දන උගුල” මේ රටේ අතිශයින්ම ජනප්‍රසාදයට පත් විය. ඔහු ද නව නිර්මාණ දොළහකටත් වඩා වැඩි සංඛ්‍යාවක් එළිදක්වා ඇති නව නිර්මාණකරුවෙකි. මේ සඳහා නිරන්තරයෙන් තමන්ට විශාල සහයක් දුන් තම මවුපියන්ට මෙන් ම තමන් ඉගෙනුම ලබන කුරුණෑගල ආරක්ෂක සේවා විදුහලේ විදුහල්පති ආර්. ඒ. රත්නායක මහ විදුහලේ විද්‍යා විෂයභාර ගුරුවරුන් වන චමින්ද රාජපක්ෂ අරුණි පියදිගමගේ සහ නිසංසලා රත්නායක යන ගුරු මහත්ම මහත්මීන් ද ඉතා ගෞරවයෙන් සිහිපත් කරන බව ඇය කියයි;
ඇයගේ මෙම නිර්මාණය සුදු මැස්සා මර්දනය සඳහා සාර්ථක උගුලක් සේම මුළු රටේම ආර්ථිකයට බලපාන බරපතළ ප්‍රශ්නයකට විසඳුමක් ලබාදීමට සමත් සාර්ථක පිළිතුරක් බව පැහැදිලි වීමත් හේතුවෙන්ම ඇයට මේ වසරේ විශිෂ්ටතම නව නිර්මාණය සඳහා වන සම්මානය පිරිනැමීම ඇයට කළ විශාල ඇගැයීමයි.
මේ බව දැන ගත් වයඹ පළාත් ආණ්ඩුකාර ලක්ෂ්මන් යාපා අබේවර්ධන වයඹට කීර්තියක් අත් කර දුන් මේ ළාබාල නිර්මාණකාරිය ආණ්ඩුකාර කාර්යාලය වෙත කැඳවා ඇයට ප්‍රශංසාව පුද කරමින් අගය කිරීමට ද පියවර ගත්තේය. මෙම නිර්මාණය තව දුරටත් දියුණු කිරීමෙන් පසුව ඊට අවශ්‍ය පේටන්ට් බලපත්‍රය ඉක්මනින් ලබා ගැනීමට අවශ්‍ය සහාය ලබා දීමට ද ආණ්ඩුකාරවරයා මෙහිදී පොරොන්දුවී ඇත. මේ නිසාම නිරන්තරයෙන්ම තමන්ට විශාල සහායක් ලබා දුන් තම දෙමාපියන්ට මෙන්ම ආරක්ෂක සේවා විදුහලේ විදුහල්පති ආර්. ඒ. රත්නායක, පාසලේ විද්‍යා ගුරුවරුන් වන චමින්ද රාජපක්ෂ, අරුණි පියගමගේ, නිසංසලා රත්නායක යන ගුරු මහත්ම මහත්මීන්ද ඉතාම ගෞරවයෙන් සිහිපත් කරන බව ද තුෂාරා පැවසුවාය. තම පර්යේෂණ කටයුතු සඳහා පාසලේ විද්‍යාගාරය භාවිත කළ ද එහි පහසුකම් අවම මට්ටමේ පවතින බව ඇය පෙන්වා දුන්නාය. හැකිනම් ඊට අවශ්‍ය පහසුකම් සපයා දෙන ලෙස ඇය අදාළ බලධාරින්ගෙන් ඉල්ලා සිටින්නීය
සේයාරූ හා සටහන - කුරුණෑගල අතිරේක, පුෂ්පකුමාර ජයරත්න සහ කුරුණෑගල, සුනිල් එස්. පැල්ලන්දෙණිය