ලබන වසරේ මෙරට ආගමික ප්රබෝධයක්
පෞද්ගලික වර්ෂ අංකය සොයාගන්නේ මෙහෙමයි
නව වසරක් ආරම්භ වනවාත් සමඟම නවමු බලාපොරොත්තු රැසක් සිතේ පොදි බැඳගෙන නව වසර පිළිගන්නට බොහෝ දෙනෙක් සූදානම්ව සිටී. වසරක් අවසානයේ නැවත ආපසු හැරී බලන විට බොහෝ දෙනෙක් තම බලාපොරොත්තු සාර්ථක කරගෙන සිටින අතර, තවත් පිරිසක් තමා සිතූ-පැතූ ආකාරයට කටයුතු නොවීම පිළිබඳ කනගාටුවක් ඇති කරගනී. ජීවිතයක සාර්ථකත්වයට වාසනාව පමණක් ප්‍රමාණවත් නැත. උත්සාහය සහ මනා සැලසුම්කරණය ඒ සඳහා අත්‍යවශ්‍ය බව නව වසර ආරම්භ වන මොහොතේ සැවොම මතක තබා ගැනීම ඉතා වැදගත් බව සිහිපත් කළ යුතුය.
2024 නව වර්ෂය, අංක විද්‍යා ජ්‍යොතිෂයට අනුව ශ්‍රී ලංකාවට කුමන ආකාරයෙන් බලපායිද යන්න කෙටියෙන් හෝ අවධානයක් යොමු කළ යුතු බව හැඟේ. 2024 වර්ෂය අයත් වන්නේ සෙනසුරු ග්‍රහයාට හිමි අංක 8ටයි. මේ අනුව 2024 වර්ෂය ගත් විට ශ්‍රී ලංකාවේ ආගමික සහ ආධ්‍යාත්මික නව ප්රබෝධයක් ඇති කරන වර්ෂයකි. ඓතිහාසික සහ ආගමික කරුණු පදනම්ව නව මතවාද වාද විවාද ගොඩනැඟේ. දුස්සීල සහ වැරදි වැඩ කරන කාට වුවද ස්වභාවධර්මය විසින් ඇස් පනාපිට දඬුවම් ලැබෙන වර්ෂයක් ලෙස සඳහන් කළ හැකිය. අනපේක්ෂිත සිදුවීම් ගණනාවකටම වර්ෂය පුරා ලංකාවට මුහුණ දීමට සිදු වනු ඇත. ස්වාභාවික ආපදා මෙන්ම වර්ෂයේ මැද භාගයෙන් පසුව විවිධ පිපිරීම් සහ ගිනි මඟින් සිදු වන අනතුරු, නාය යාම්, ජල ගැලීම් වැනි ස්වාභාවික ආපදා සිදුවීමේ වැඩි අවදානමක් සහිත වර්ෂයකි.
සෙනසුරු ග්‍රහයාට අයත් අංක 8හි කම්පන බලවේගය ක්‍රියාත්මක වන වර්ෂයක් වන 2024 සාමාන්‍ය ජනතාව නියෝජනය කරන සෙනසුරු බලවත් වෙයි. ඊර්ෂ්‍යාව වෛරය වෙනුවට මෛත්‍රී සිතිවිලි පතුරවමින් ආගමට දහමට ළැදිව අධ්‍යාත්මික පිරිසිදුභාවය ඇති කරගෙන සිල්වත්ව ජීවත් වන සෑම කෙනෙක්ම ධර්මතාවයෙන්ම ආරක්ෂා වන බවද කිව යුතුය. කෘෂිකාර්මික සහ තාක්ෂණ අංශයන්හි දියුණුවක් සැලකිය යුතු අයුරින් බලාපොරොත්තු විය හැකි වසරක් වෙයි. කලා ක්ෂේත්රය තුළ ද ධනාත්මක වෙනසක් සිදුවිය හැකිය. වසරේ මුල් මාස හය ජනතාවට යම් අසීරුතා ඇති කළද අවසන් මාස හය ආර්ථිකමය වශයෙන් ජනතාවට යම් සහනදායක තීන්දු තීරණ ගැනීමට පාලකයන් පෙලඹෙනු ඇත. රටේ පවතින මේ සියලු කාරණා ඔස්සේ අංක විද්‍යා ජ්‍යොතිෂය තුළින් ඔබගේ පෞද්ගලික වර්ෂ අංකයට අනුව (personal year number) 2024 වර්ෂය පෞද්ගලිකව ඔබගේ ජීවිතයට කුමන ආකාරයකින් බලපායි ද යන්න මෙවර සටහන් කෙරේ. ඊට පෙර 2024ට අදාළ ඔබගේ පෞද්ගලික වර්ෂ අංකය සොයාගන්නා ආකාරය කෙටියෙන් සඳහන් කරමු.
මෙහිදී ඔබගේ උපන් අවුරුද්ද වෙනුවට 2024 වර්ෂයට අයත් අංක 8 යොදා උපන් මාසය, දිනය පමණක් ලියාගන්න. පසුව එම ඉලක්කම් තනි අංකයක් වන ලෙස එකට එකතු කරන්න. අවසානයට ඉතිරි වන අංකය ඔබගේ පෞද්ගලික වර්ෂ අංකයයි. ඊට උදාහරණයක් සඳහන් කළහොත් 1989/05/18 හෙවත් මැයි 18 වැනිදා උපන් අයගේ පෞද්ගලික වර්ෂ අංකය සොයමු. මෙහිදී 1989 වෙනුවට අංක 8 යොදා මාසයට සහ දිනයට අදාළ ඉලක්කම් එලෙසින්ම ලියාගන්න (8+5+1+8 = 22). එහි එකතුව 22 ක් ලෙස ලැබේ. එය තනි අංකයක් වන ලෙස එකතු කළ පසු
2+2 = 4
මේ අනුව ඔහුගේ හෝ ඇයගේ පෞද්ගලික වර්ෂ අංකය 4 ලෙස ලැබී ඇත. මේ ආකාරයට ඔබගේ උපන් දිනය සහ මාසය අනුව 2024ට අදාළ ඔබගේ පෞද්ගලික වර්ෂ අංකය සොයාගෙන ඊට අදාළ පලාපල විස්තර දැනගත හැකිය. ඒ අනුව අංක 1 සිට 9 දක්වා පෞද්ගලික වර්ෂ අංකයන්හි නව වසරේ පලාපල මෙලෙසිනි.
පෞද්ගලික වර්ෂ අංක 1
නව බලාපොරොත්තු ඉටු වේ
2024 වර්ෂයට හිමි අංක 8 සමඟ අංක 1 මිත්රාංකයක් වන අතර, ඔබට ඵලදායි වසරක් ලෙස 2024 වර්ෂය සඳහන් කළ හැකිය. ඔබේ ජීවිතයේ බොහෝ දේවල් අලුතින් ආරම්භ වන වසරකි. නව බලාපොරොත්තු සාර්ථක කරගන්නට අවස්ථාව උදාවෙයි. රැකියාව, විවාහය, නව නිවසක් ඉදි කිරීම, වාහනයක් මිලට ගැනීම ආදී දේ ඔබ සිතා සිටීනම් එවැනි දේ සඳහා මුලපුරන, සාර්ථක වන වසරකි. තවත් විදියකින් කිවහොත් නව වසර තුළ නව වෙනසක් බලාපොරොත්තු විය හැකිය. එහෙත් ආරම්භය ඕනෑම දේක දුෂ්කර බව තහවුරු කරමින් ඔබට මේ වසර තුළ බොහෝ කටයුතු සිදු කිරීම සඳහා වැඩි ශාරීරික සහ මානසික ශක්තියකින් ක්‍රියා කළ යුතු වේ. අභියෝගවලට මුහුණ දීමට සූදානම්ව සිටිය යුතුය. වෘත්තීය ජීවිතයේ තිබූ බොහෝ බාධා ඉවත්ව යන කාලයකි. නව රැකියා අවස්ථා බලාපොරොත්තු වන්නට පුළුවනි. ඔබට, ඔබ පිළිබඳ විශාල ආත්ම ශක්තියක් ගොඩනැඟෙන වසරකි. නව ප්රබෝධයකින් වසර ආරම්භ කිරීමට හැකියාව ලැබේවි. ඔබේ ජීවිතයේ ඉදිරි අනාගත අභිවෘද්ධිය වෙනුවෙන් අත්තිවාරම් දමන වසරකි. ආර්ථිකය ශක්තිමත් කරගැනීමට අවශ්‍ය නව මංපෙත් විවර වන කාලයකි. ගෙදරදොර කටයුතු සාමකාමීව පවත්වාගෙන යෑමේ හැකියාව පවතී. අධ්‍යාපන කටයුතුවලට විශේෂ බාධාවක් පෙන්නුම් කරන්නේ නැත. නව අධ්‍යාපන අවස්ථා මෙන්ම විදේශීය අධ්‍යාපන අවස්ථාද උදාකර ගැනීමේ හැකියාව පවතී. විදේශ ගමන් වර්ෂයේ මැද භාගයෙන් පසුව සාර්ථක වේවි. නව වැඩ කටයුතු ආරම්භ කිරීමට සුදුසු වර්ෂයක් බැවින් ඔබ ආරම්භ කරනා බොහෝ කටයුතු වර්ෂය අවසන් වන විට සාර්ථක මට්ටමකට ගෙන යෑමේ හැකියාව ඇත. සෞඛ්‍ය සම්බන්ධයෙන් සලකා බලන විට උදරාබාධ හෝ අජීර්ණ තත්ත්වයන් විටින් විට ඇති කළ හැකිය. එමෙන්ම ඇස් සම්බන්ධ, රෝග සහ ආබාධවලින් ප්‍රවේසම් වීමද වැදගත් වේ.
• ඔබට 2024 වසරේ ඕනෑම මාසයක සුබ අංක සහ සුබ දින වන්නේ 1, 2, 10, 11, 19, 20, 28, 29 යන දින සහ අංකයි. සතියේ සුබ දවස් වන්නේ සඳුදා සහ ඉරිදාය. ඕනෑම මාසයක 8, 17, 26 දිනයන් සුබ කටයුතු සඳහා නුසුදුසු හෙයින් අසාර්ථක වීම් සහ බාධා සහිතය. එමෙන්ම සිකුරාදා සහ සෙනසුරාදා කිසිම සුබ කටයුත්තකට යොදා නොගන්න. සෙසු දවස් මධ්‍යස්ථ පල ලබා දෙයි. සුබ වර්ණ වනුයේ රන්වන් පාටට හුරු වර්ණ සහ කහ පාටය. සියලු යහපත් ක්‍රියා සඳහා සුබ දිසාව වන්නේ නැඟෙනහිරය.
පෞද්ගලික වර්ෂ අංක 2
කාර්යබහුල කාලයක්
2024 වර්ෂය වැඩි වශයෙන් ඔබට සඳු ග්‍රහයාගේ බලය ක්‍රියාත්මක වන කාලයකි. ආධ්‍යාත්මික සහ මානසික වශයෙන් සිත තුළ ධනාත්මක ආකල්ප වැඩි වශයෙන් වර්ධනය වන වසරකි. වෙන වසරවලට වඩා උත්සාහය සහ උනන්දුව වැඩිපුර ඇති කරයි. නමුත් ඔබට මෙම වසර කාර්යබහුල වසරකි. ඔබගේ ආධ්‍යාත්මික ශක්තිය නිසි ලෙස තේරුම්ගෙන කටයුතු කළහොත් ඉහළ දියුණුවක්, සාර්ථකත්වයක් මෙම වසර තුළ ළඟා කරගත හැකිය. ඉඩකඩම් හා පවුල් ප්‍රශ්න බොහොමයක් නිරාකරණය කරගැනීමට හැකියාව ලැබේ. පවුලේ සමඟිය පවත්වාගෙන යෑමට බාධාවක් ඇති කරන්නේ නැත. ගෘහ ජීවිතය සාමාන්‍ය ආකාරයෙන් ගෙවීමට හැකියාව ලැබේ. නව ව්‍යාපාර ආරම්භයට සුදුසු වසරකි. ආදායම් සැලකිය යුතු ආකාරයෙන් වර්ධනය කරගෙන කටයුතු කරන්නට අවස්ථාවන් උදා වේ. ජලය ආශ්රිත කර්මාන්තවල නිරත වන අයට වඩාත් සුබ පල ලැබිය හැකිය. කුමන බාධා පැමිණියද වෙළෙඳ ව්‍යාපාර රැකීරක්ෂා සමාන්‍ය ආකාරයෙන් පවත්වාගෙන යෑමේ හැකියාව ඇත. පදිංචියේ හෝ රැකියාවේ වෙනසක් සිදුවිය හැකි වසරකි. අනවශ්‍ය වියදම් පාලනය කරගැනීමට කටයුතු කරන්න. ගමන්බිමන් වැඩිපුර යෙදෙන වසරකි. තරමක් සිතේ චංචලභාවය නිතර ඇති වේ. ආවේගශීලි භාවය පාලනය කරගෙන ඉවසීම පුරුදු කිරීම බොහෝ අවස්ථාවල වැදගත් බව මතක තබාගන්න. නිවාස අලුත්වැඩියා කිරීම් සහ නව නිවාස ඉදිකිරීම් වැනි දේවලට මුලපුරන වසරකි. සෞඛ්‍ය සම්බන්ධයෙන් බලන කල දියවැඩියා රෝග තිබේ නම් ප්‍රවේසම් වීම වැදගත්ය. අජීර්ණ රෝග සහ ඇස් ආශ්රිත රෝග තත්ත්වයන්ගෙන්ද ප්‍රවේසම් වීම වැදගත් වේ. බෝ වන රෝග ද පහසුවෙන් ඔබට වැලඳිය හැකි බැවින් ප්‍රවේසම් වන්න.
•මෙම වර්ෂය තුළ සුබ දින සහ අංක වන්නේ 1, 2, 6, 7, 10, 11, 15, 16, 19, 20, 24, 25, 28, 29ය. සෑම මාසයකම මෙම දින සහ අංක සුබ කටයුතුවලට යහපත් වේ. ඕනෑම කටයුත්තක් සඳහා සතියේ සුබ දවස් වන්නේ ඉරිදා, සඳුදා සහ සිකුරාදාය. සුබදායක ජයග්‍රාහී වර්ණ කොළ පාට සහ සුදු පාටයි. කළු පාට සහ රතු පාට වර්ණ අසුබ ප්‍රතිඵල උදා කරන වර්ණය. වාසනාව උදා කරන සුබ දිශාව වන්නේ උතුරු දිසාවයි.
පෞද්ගලික වර්ෂ අංක 3
රැකියාවේ තනතුරු සහ උසස්වීම්
ඔබේ පෞද්ගලික වර්ෂ අංකය තුන නම් මෙම වසර මධ්‍යස්ථ පල ඇති කරන වසරකි. පවුලේ සමගිය ඇති කරන අතර ගෘහ ජීවිතය සාමාන්‍ය ආකාරයෙන් ගෙවීමේ හැකියාව ඇත. මිතුරන් සමඟ හෝ සමාජ සේවා කටයුතුවල නිරත වන්නට වැඩි අවස්ථාවන් උදා වේ. ගෙදරදොර දියුණුව ඇති කරන වසරකි. තමා තුළ තිබෙන සහජ නිර්මාණාත්මක කුසලතා සහ හැකියාවන්ගෙන් පල ප්‍රයෝජන ලබා ගැනීමට අවස්ථාව ලැබේ. ඉතා උද්යෝගයෙන් සහ ප්රබෝධයකින් යුතුව මේ වසර ගෙවා දැමීමට හැකියාව ඇත. එහෙත් ඔබ මතක තබා ගත යුතු වන්නේ ඔබගේ කම්මැළිකම සහ නොසැලකිලිමත් බව නිසා බොහෝ වැඩ කටයුතු අතපසු වීමට තිබෙන ඉඩකඩ මේ වසර තුළ වැඩි බවය. වසර මැද භාගය වන විට මූල්‍යමය අපහසුතා ඇති කළ හැකි බැවින් ඒ ගැන වැඩි අවධානයක් යොමු කළ යුතුය. ස්වයං රැකියා සහ ව්‍යාපාර ආරම්භයට ඉතා සුදුසු වසරකි. ඒ ගැන උනන්දු වීමෙන් වඩා වැඩි ප්රතිලාභ ලැබිය හැකිය. වසර මැද භාගය වන විට විදේශ ගමන් සාර්ථක වේ. දරුවන් සම්බන්ධ බොහෝ බලාපොරොත්තු සාර්ථක කරගන්නා වසරකි. රැකියාවේ තනතුරු, උසස්වීම් සහ ඇගයීම් වැඩි වශයෙන් ලැබිය හැකි කාලයකි. අධ්‍යාපනයට විශේෂ බාධාවක් ඇති නොවේ. තරග සම්මුඛ පරීක්ෂණවලින් ජයග්‍රහණ අත්විඳිය හැකිය. ප්‍රමාද වූ විවාහය බොහෝ විට මේ වසර තුළ ඉටු වේ. සෞඛ්‍ය ගැන සඳහන් කළහොත් උගුර සහ පපුව ආශ්රිත රෝග තත්ත්ව පහසුවෙන් ඇති කළ හැකි සෙම ආශ්රිත රෝගවලින් ප්‍රවේසම් විය යුතුය. ස්නායුගත රෝග මෙන්ම සමේ රෝගවලින්ද ප්‍රවේසම් වන්න.
• මෙම වර්ෂය තුළ සුබදායක දිනයන් සහ අංක වන්නේ 3, 6, 9, 12, 15, 18, 21, 24, 27,30ය. සතියේ සුබ දවස් අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදාය. සුබ වර්ණ දම් පාට, නිල් පාට, තද රතු සහ රෝස පාටය. වාසනාව ගෙන එන සුබ දිසාව වන්නේ ඊසාන දිශාවයි.
පෞද්ගලික වර්ෂ අංක 4
යහපත් ස්ථාවරත්වයක්
2024 වර්ෂය ඔබට තීරණාත්මක වසරකි. පසුගිය වර්ෂය තුළ නිම කරගැනීමට නොහැකි වූ බොහෝ කටයුතු මෙම වර්ෂය තුළ නිම කර ගැනීමට සිදු වේ. ඔබගේ බොහෝ අරමුණු ඉලක්ක සඳහා මෙම වසර තුළ වෙහෙස මහන්සි වී කටයුතු කිරීමට සිදුවන වසරකි. මෙම වසර තුළ ක්‍රමානුකූලව සාර්ථකත්වයක් ළඟා කර ගන්නා අතර, වර්ෂය අවසන් වන විට යහපත් ස්ථාවරත්වයක් ගොඩනඟා ගැනීමට හැකියාව ලැබේ. වෙහෙස මහන්සි වී වැඩ කිරීමේ වැදගත්කම සහ වටිනාකම මේ වසර තුළ ඔබ ඉගෙන ගනු ඇත. වසර මුලදීම අනාගත අභිවෘද්ධිය වෙනුවෙන් පදනමක් සකස් කරගැනීම සඳහා අනිවාර්යයෙන්ම අවධානය යොමු කළ යුතුය. මූල්‍ය කටයුතු සම්බන්ධ වැඩවලදී අවදානම් නොගෙන සිටීමට වග බලාගන්න. ණයට මුදල් ලබා දීම්, ඇප අත්සන් කිරීම් පිළිබඳ කීප වතාවක් සිතා බැලීම හොඳය. තරමක් කාර්යබහුල විවේකය අඩු වසරකි. ගමන්බිමන් වැඩි වශයෙන් යෙදේ. ගමන්බිමන්වලදී ප්‍රවේසම් වීමට වග බලාගත යුතුය. මුදල් පරිහරණයේදී කල්පනාකාරී විය යුත්තේ අනවශ්‍ය වියදම් වැඩි කළ හැකි බැවිනි. එහෙත් ඔබට ලොතරැයි දිනුම් වැනි හදිසි මුදල් ලාභ ලැබීම් පෙන්නුම් කරයි. මානසික විවේකය අවශ්‍ය තරම් ලබා ගත යුතුය. අධ්‍යාපනයට බාධා එල්ල විය හැකි බැවින් ඒ ගැන වැඩි උනන්දුවක් ඇතිකර ගැනීම හොඳය. විදේශ සංචාර සාර්ථක වන වසරකි. පදිංචියේ රැකියාවේ වෙනසක් සිදුවිය හැකි කාලයකි. ඔබ ඔබේ සෞඛ්‍ය පිළිබඳ වසර තුළ වැඩි අවධානයක් යොමු කළ යුතුය. අවශ්‍ය තරම් ව්‍යායාම කිරීමට මතක තබා ගන්න. ආහාර අජීර්ණ, හෘද රෝග, මුත්‍රා අමාරු, වකුගඩු ආශ්රිත රෝග තත්ත්ව ඇති අය වඩාත් අවධානයෙන් කටයුතු කරන්න.
•2024 වර්ෂය තුළ ඔබට සුබදායක අංක සහ දින 1, 4, 10, 13, 19, 22, 28, 31ය. සතියේ සුබ දවස් සෙනසුරාදා, ඉරිදා සහ සඳුදාය. සුබදායක වර්ණ නිල්, අළු සහ කහ පාටයි. සුබදායක දිසාව වන්නේ දකුණු දිසාවයි.
පෞද්ගලික වර්ෂ අංක 5
අධ්‍යාපන කටයුතුවලින් ජය
පෞද්ගලික වර්ෂ අංකය අංක 5 හිමි ඔබට මෙය අභියෝගාත්මක වර්ෂයකි. තරමක් කාර්යබහුල බවින් වැඩි වසරකි. ජීවිතයේ වෙනස්කම් ගණනාවක් යෙදීමට නියමිත වසරක් බව සඳහන් කළ හැකිය. තම යුතුකම් සහ වගකීම් මනා ලෙස ඉටු කිරීමට සිතට ගත යුතු කාලයකි. ඍණාත්මක ආකල්ප ඔබගේ මනසින් බැහැර කිරීමට වග බලාගන්න. ඉතා සැහැල්ලුවෙන් වගකීම්වලින් තොරව කටයුතු කිරීමට පෙලඹෙන ගතියක් පෙන්නුම් කරයි. මෙම වසර තුළ නව අවස්ථා සහ මාර්ග ගණනාවක් උදාවන බව මතක තබාගන්න. එම අවස්ථාවන්වලින් උපරිම ප්‍රයෝජන ගැනීමට සිතට ගන්න. ආතතියෙන් තොරව පරාජිතයකු ලෙස නොසිතා කටයුතු කිරීමට දැඩිව සිතට ගත යුතුය. ගෘහ ජීවිතය තුළ තරමක් මතභේද ඇති වුවද ඒවා සාමකාමීව කළමනාකරණය කරගැනීමට හැකියාව ඇත. අධ්‍යාපන කටයුතුවලට ඉතා යහපත් වර්ෂයකි. අධ්‍යාපනයෙන් ජයග්‍රහණ සේම විදේශ ශිෂ්‍යත්ව ලැබීම් බලාපොරොත්තු විය හැකිය. නව යහළු යෙහෙළියන් හඳුනා ගැනීම සහ විවාහ නොවී සිටී නම් විවාහය මේ කාලය තුළ තීරණය වීමට ඉඩ තිබේ. දරුවන් අපේක්ෂාවෙන් සිටින අයට තම බලාපොරොත්තුව සාර්ථක කර ගත හැකිය. ඇසුරු කරන අය නිසා නොමඟට යාමටත් තම ආත්ම ගරුත්වය සහ චරිතයට හානි වීමටත් ඉඩකඩ ඇත. එබැවින් ඒ ගැන අවධානයෙන් කටයුතු කළ යුතුය. සෞඛ්‍ය සම්බන්ධයෙන් සඳහන් කරන විට ස්නායුගත රෝග, නින්ද නොයාමේ රෝග තත්ත්ව, ඇදුම, පපුවේ මහන්සිය මෙන්ම සෙම රෝග තත්ත්ව තිබේ නම් ප්‍රවේසම් වන්න.
• 2024 වර්ෂය තුළ සුබ දිනයන් සහ අංක 5, 9, 14, 18, 23, 27 වේ. බදාදා සහ සිකුරාදා සතියේ සුබ දවස්ය. ඔබට සුබදායක වර්ණ සුදු, අළු පාට සහ දිලිසෙන වර්ණය. සුබදායක දිසාව වන්නේ උතුරු දිසාවයි.
පෞද්ගලික වර්ෂ අංක 6
නිවාස – වාහන බලාපොරොත්තු ඉටු වේ
මෙම වසර තුළ ඔබට නිම කළ නොහැකි වූ බොහෝ කටයුතු කාරණාවන් අවසානය දක්වා නිමා කිරීමට අවස්ථාව උදා වෙයි. සිතුම් පැතුම් බොහොමයක් සපල කර ගත හැකි වසරකි. ප්‍රේම සබඳතා වර්ධනය වන අතර, විවාහ කටයුතු සාර්ථක කරගන්නට හැකියාව ලැබේ. පවුල තුළ සමගිය, ආදරය, ප්‍රේමය වර්ධනය වන වසරකි. සමාජ සේවා සහ මිතුරන් ඇසුරු කිරීමට වැඩි නැඹුරුතාවක් ඇත. වාහනයක් ගැනීමට සිතා සිටියේ නම් එම බලාපොරොත්තුව මේ වසර තුළ මල්පල දරයි. නිවාස අලුත්වැඩියා සහ නව නිවාස ඉදිකිරීම් වැනි දේ ඉතා සාර්ථකව නිම කිරීමට හැකියාව ලැබේ. විනෝද සංචාර සහ ප්‍රිය සම්භාෂණ උත්සවවලට වැඩිපුර සම්බන්ධ වන්නට අවස්ථා සැලැසේ. විදේශ ගමන් සාර්ථක වන වසරකි. නමුත් ළඟින් ඇසුරු කළ අය අමනාප වීම් හෝ දුරස් වීම් සිදුවිය හැකිය. වැරදි සිතිවිලි මඟින් සිත දූෂ්‍ය වීමට වැඩි ඉඩක් පවතී. එබැවින් ඒ ගැන අවධානයෙන් කටයුතු කරන්න. සෞඛ්‍ය සම්බන්ධයෙන් බලන විට රුධිර පීඩනය, උගුරේ අසනීප, මූත්‍රා හෝ ලිංගාශ්‍රිත අසනීප, අජීර්ණ තත්ත්ව සහ ශ්වසන රෝග පහසුවෙන් ඇති කළ හැකි බැවින් වැඩි අවධානයක් යොමු කළ යුතුය.
• ඔබට මෙම වර්ෂය තුළ සුබදායක දිනයන් සහ අංක 6, 9, 15, 18, 24,27ය. අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා සතියේ සුබදායක දවස්ය. වාසනාව ගෙනෙන වර්ණ නිල් පාට, කොළ පාට සහ රතු පාටය. ඔබට සුබ පල දෙන දිසාවන් වන්නේ නැඟෙනහිර සහ නිරිතයි.
පෞද්ගලික වර්ෂ අංක 7
නව ව්‍යාපාරවලට හිත
ඔබගේ හැකියා සහ දක්ෂතාවලට නිසි ඇගයීම් සහ වටිනාකමක් ලැබෙන වසරකි. ජීවිතයේ ගත වූ කාලය පිළිබඳ නැවත සිතා බැලීම වටී. නව වසර තුළ ඔබ කළ යුතු දේ සහ නොකළ යුතු දේ ඔබටම වැටහෙන ස්වභාවයක් ඇති වෙයි. ඒ පෙර අත්දැකීම් අනුවය. මීට පෙර නොකළ ආකාරයේ නිර්මාණ හෝ අලුත් ව්‍යාපාර ආදිය කිරීමට පෙලඹෙන වසරකි. නව අත්හදාබැලීම් සිදු කරයි. මූල්‍යමය වශයෙන් සතුටුදායක තත්ත්වයක් ඇති කරයි. රැකියා සහ ව්‍යාපාර සම්බන්ධව තිබූ බොහෝ ගැටලු නිරාකරණය කරගැනීමට අවස්ථාව උදා වෙයි. ඔබගේ විවිධ කටයුතුවලට බලාපොරොත්තු නොවන ආකාරයේ බාධා අවහිරතා ඇතිකළ හැකිය. විශේෂයෙන් සතුරු කරදර සහ කුමන්ත්රණකාරී තත්ත්වයන් ක්‍රියාත්මක විය හැකිය. එබැවින් ඒ ගැන අවධානයෙන් කටයුතු කළ යුතුය. විවාහ ජීවිතය තුළ යම් මතභේද ඇති වුවද ඒවා එතරම් දුරදිග නොයයි. සැකය සහ අවිශ්වාසය නිසා ගැටලු ඇතිවීමට බොහෝ ඉඩකඩ ඇත. ඒ ගැන සිතා කටයුතු කරන්න. ඉගෙනුම ලබන දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක කරගත හැකිය. නොගැළපෙන අය ඇසුරට වැටීම හා තම ආත්ම ගරුත්වයට හානි සිදුවිය හැකි බැවින් ඒ ගැන අවධානයක් යොමු කළ යුතුය. සෞඛ්‍ය සම්බන්ධයෙන් බලන කල චර්ම රෝග, සොයා ගැනීමට අපහසු ආකාරයේ අසනීප තත්ත්ව, තුවාල සිදුවීම් වැනි දේවල්වලින් වඩා ප්‍රවේසම් විය යුතුය.
• සුබදායක අංක සහ දිනයන් 1, 2, 3, 6, 7, 9, 25, 34 ය. ඔබට සතියේ සුබදායක දවස් ඉරිදා සහ සඳුදාය. සුබ වර්ණ කොළ, සුදු සහ කහ පාටය. සුබ පල දෙන දිසාව වන්නේ බස්නාහිර දිසාවයි.
පෞද්ගලික වර්ෂ අංක 8
ආරම්භ කළ කටයුතුවලින් ප්‍රතිඵල
ඔබට වාසනාවන්ත සුබ පලදායක වසරකි. මෙය ඔබ කටයුතු ආරම්භ කරන වසරකට වඩා ආරම්භ කළ කටයුතුවල ප්‍රතිඵල නෙළන වසරකි. පසුගිය කාලය තුළ කරන ලද බොහෝ කටයුතු මල්පල දරන වසරකි. විවාහ ජීවිත ගත කරන අයට තම පවුලේ සමගියට බාධා වන්නේ කාර්යබහුලතාව වැඩි නිසාය. තරමක් මානසික පීඩාකාරී බව හෝ අසහනකාරී තත්ත්ව විටින් විට බාධාකාරි ලෙස බලපායි. තරමක් ගමන්බිමන්, සංචාර අධික වන කාලයකි. විදෙස් ගමන් සපලතාවට පත්කර ගැනීමට පුළුවනි. විවේකය අඩු බැවින් ගෙදරදොර වාසයට කාලය අඩු විය හැකිය. රැකියාවේ ව්‍යාපාරයේ වෙනසක් සිදු විය හැකිය. පදිංචියේද යම් වෙනසක් සිදුවීමට ඉඩකඩ තිබේ. ආර්ථිකය යම් මට්ටමකට යහපත් වුවද වියදම් අධික වේ. නව සබඳතා ගොඩනැඟෙන මිතුරුදම් අලුත් වන වසරකි. විවාහ කටයුතුද සාර්ථකභාවයට මේ වසර තුළ පත් වෙයි. අධ්‍යාපන ක්ෂේත්රයේ සිටින්නන්ට නම් තරමක් බාධා සහ ගැටලු ඇති විය හැකිය. එබැවින් වැඩි උත්සාහයක් ඇතිකරගත යුතුය. ලොතරැයි දිනුම් වැනි ක්ෂණික ධන ලාභ ලැබීමේ වාසනාවද පවතී. සෞඛ්‍ය සම්බන්ධයෙන් ගත් කල උදරය සහ ජීර්ණ පද්ධති ආශ්රිත ගැටලු, වාත රෝග, ස්නායුගත රෝග පහසුවෙන් ඇති කළ හැකිය.
• වසරේ සුබ දින සහ අංක 1, 4, 5, 6, 8, 17, 26ය. සතියේ සුබ දවස් සෙනසුරාදා, ඉරිදා සහ සඳුදාය. සුබ පල දෙන වර්ණ ලෙස අලු, නිල්, කහ සහ දම් පාටය. සුබදායක දිශාව වන්නේ දකුණු දිසාවයි.
පෞද්ගලික වර්ෂ අංක 9
වගා කටයුතුවලින් ලාභ
2024 ඔබගේ පෞද්ගලික වර්ෂ අංකය, අංක 9 නම් මේ ඔබට තීරණාත්මක වසරක් වනු ඇත. ඔබගේ ජීවිතයේ බොහෝ කටයුතු මෙම වසර තුළ නිමාවට පත් වෙයි. මෙපමණ කාලයක් බාධා සහිතව පැවැති සියලු කටයුතු අවසන් කරගැනීමට අවස්ථාව ලැබේ. රැකියා බලාපොරොත්තුවක් තිබුණේ නම් එය සාර්ථක වන අතර, රැකියා ස්ථානයේ ගැටලුද බොහොමයක් අවම වෙයි. හදිසියේ හඳුනාගන්නා අයෙක් සමඟ ඉක්මන් විවාහයක් යෙදිය හැකිය. ප්‍රේම සබඳතා වර්ධනය වන වසරකි. එහෙත් හදිසි තීරණ, ආවේගශීලි බව සහ ඉක්මන් කෝපය නිසා ගැටලු ඇතිවිය හැකි බව මතක තබා ගන්න. ගෘහ ජීවිතය සාමාන්‍ය ආකාරයෙන් ගත කළ හැකිය. භූමිය හා සම්බන්ධ ලැබීම් පවතී. ඉඩමක් මිල දී ගැනීම හෝ නව නිවසක් ඉදි කිරීම් ආරම්භ කිරීමට සැලසුම් කරයි. අවේලාවේ ගමන්බිමන් සහ අනතුරු ආදියෙන් ප්‍රවේසම් වීම වැදගත් වෙයි. ආදායම සාමාන්‍ය ආකාරයෙන් පවතින අතර වැයපස ඉහළ යන බවක් පෙන්වයි. කෘෂිකාර්මික සහ වගා කටයුතුවලින් ලාභ ලැබිය හැකිය. ඉගෙන ගන්නා දරුවන්ට උනන්දුව අඩුකම බාධාකාරී ලෙස බලපායි. තරග විභාග ආදියෙන් ජයග්‍රහණ ලැබීමේ හැකියාව පවතී. සෞඛ්‍ය සම්බන්ධයෙන් බලන විට බඩවැල් හා අර්ශස් ආශ්රිත රෝග තත්ත්ව, උෂ්ණ රෝග, ගෑස්ටික් අමාරුව, ඇස් සම්බන්ධ රෝග, රුධිරගත රෝග ආදිය පිළිබඳ වඩාත් අවධානයක් යොමු කළ යුතුය.
• වර්ෂය තුළ ඔබට සුබදායක දින සහ අංක වන්නේ 3, 6, 9, 12, 15, 18, 21, 24, 27 ය. සතියේ සුබ දවස් වන්නේ අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදාය. සුබදායක වර්ණ වන්නේ රතු සහ රෝස පාටය. සුබපල දෙන දිසාව වන්නේ දකුණු දිසාවයි.
ප්‍රවීණ ජ්‍යොතිර්වේදී ඒ. ජේ. දීපාලෝක