Home » උපන් නැකතට අනුව 2024 වසරේ ඔබේ කලදසාව

උපන් නැකතට අනුව 2024 වසරේ ඔබේ කලදසාව

by thanushika
December 30, 2023 12:35 am 0 comment

උදාවන 2024 වසරේදී තමාගේ කලදසාව කෙසේ වේවිද යන්න බොහෝ දෙනකුට ඇති ගැටලුවකි. ඔබ ජන්මලාභය ලත් මොහොතේ පවතින ග්‍රහ තත්ත්වයට අනුව එදිනට යෙදෙන නැකතක් ඇත. එම නැකත ඔබ උපන් නැකතයි. ඒ අනුව ලැබුවා වූ 2024 වසර ඔබට, ඔබගේ නැකතට කෙසේදැයි විමසා බලමු. ඒ අනුව 2024 වසරේදී ඔබට උපන් නැකතට අනුව ලැබෙන සුබ අසුබ මෙලෙසිනි.

1. අස්විද – අතමිට සරු වසරක්

යුතුකම් ඉටු කරමින් සාධාරණව තම ජීවිතය පවත්වාගෙන යන අතර, අන්‍යයන්ට ද උදවු උපකාර කරන්නට අවකාශ සැලසෙන කාලයකි. අන්‍යයන්ගේ සිත් දිනාගෙන ඉතා ගෞරවාන්විතව තම කටයුතු කරගැනීමට වාසනාව ලැබෙන වසරකි. පසුගිය වසරේදී අතපසු වී තිබු අභිමතාර්ථ මුදුන් පමුණුවා ගැනීමට අවස්ථාව සැලසේ. එම නිසා වසර ආරම්භයේදීම නිසි සැලසුමක් ඇතිව සියලු කටයුතු ආරම්භ කරන්න. රැකියාවලින් උසස් වීම් හිමි වීමට භාග්‍යය තිබෙන අතර, නව රැකියා අවස්ථා ද හිමි වේ. 2024 වසර ඔබේ අපේක්ෂා මුදුන්පත් කර ගැනීමට භාග්‍යය සලසන වසරකි. එබැවින් උනන්දුවෙන් කටයුතු කරන්න. අධ්‍යාපනය ලබන දූ දරුවන්ට දැනුමෙන් පරිපූර්ණ විය හැකි අවස්ථා සහ පහසුකම් ලැබෙන වසරකි.

2. බෙරණ – මංගල යෝග

සිකුරුට අයත් බෙරණ නැකතින් උපන් ඔබට සමාජයේ කැපී පෙනෙන තත්ත්වයක් ඇතිව කටයුතු කිරීමට ලැබෙනු ඇත. තම වැඩ කටයුතු සිතන අයුරින් ඉටුකර ගැනීමට ලැබෙන අතර අවිවාහක අයට මංගල යෝග උදාවන යහපත් වසරක් වනු ඇත. ඉඩකඩම් දේපළ වැනි දෑ ලැබීමට යහපත් වන අතර වසර අවසානය වන විට අසනීප නිසා දින කීපයක් හෝ එක්තැන්ව සිටීමටද සිදුවිය හැකිය. අධ්‍යාපන කටයුතුවල නිරත වන්නේ නම් උත්සාහයෙන් යුතුවම කටයුතු කරගෙන යාමට සිදුවන අතර රැකියා කටයුතුවල නිරත වන අයට ස්ථාන මාරු වැනි දෑ ඇති වනු ඇත. හිතේ ස්ථිර ගතියක් ඇති වනු ඇත. සමේ රෝග, උෂ්ණ රෝග වැනි අමාරු ඇති වීමටද ඉඩ තිබේ.

3. කැති – අභියෝග අතරින් ජය

රවිට අයත් කැති නැකතින් උපන් ඔබ නීතියට යුක්තියට සමාදානයට කැමති වසරකි. කරන කියන දෙය වුවද එළිපිටම කරන ගතියක් ඇතිවේ. වැඩ කටයුතුවලට දක්ෂ වන අතර කරන කියන දේ ඉතා හොඳින් කරයි. රැකියා කටයුතුවලටද යහපත් වේ. ඇස්වල උදරය ආශ්‍රිත පීඩා ඇතිවිය හැකි අතර ගෘහ ජීවිතයේ යම් යම් කරදරද ඇතිවනු ඇත. ඕනෑම භාරදූර කටයුත්තකට අත ගසන්නටද මේ වර්ෂයේදී ඔබට හැකියාව සැලසේ. විනෝදකාමී බවට වැඩි ප්‍රවණතාවක් ඇතත් දියුණු තත්ත්වයකට පැමිණේ. එයින් ඔබගේ ජීවිතයට ආශිර්වාද රැසක් ලැබේ.

4. රෙහෙණ – වාසනාවන්ත දරුවන්

සඳුට අයත් රෙහෙන නැකතින් උපන් ඔබට මෙම වසර සතුට උපදවන වසරක් වනු ඇත. ආගම දහම කෙරෙහි ළැදි බවකින් යුතුව කටයුතු කරන අතර නිතර ගමන් බිමන්ද යෙදෙනු ඇත. අන් අයගේ දුකට පිහිට වීමෙන් සතුටක්ද ලබනු ඇත. දරුවන් බලාපොරාත්තු වන අයට වාසනාවන්ත දරුවන්ද ලැබෙනු ඇත. වරින්වර සෙම් අමාරු නිසා පීඩා ඇතිවන අතර ජලයෙන් ප්‍රවේශම් විය යුතු කාලයකි. මෙතෙක් තමාගේ කටයුතුවලට පැවති බාධා අවම වීම සිදුවන අතර සිතට සතුටක් ඇතිව කටයුතු කිරීමටද ලැබෙනු ඇත. පදිංචි ස්ථානයේ හෝ රැකියා ස්ථානයේ හෝ නිදා ගන්නා තැනද වෙනස් වන කාලයකි.

5. මුවසිරස – වියදම් අධික කාලයක්

අඟහරුට අයත් මුවසිරස නැකත ආරම්භ වන මෙම වසර ඔබට ද ශුභාශුභ මිශ්‍රපල ඇති කරන වසරකි. දැඩි උත්සාහයකින් යුතුව තම කටයුතු කරගෙන යාමට සිදු වනු ඇත. ඔබගේ උප්පත්ති ග්‍රහචාරය අනුව කරගෙන යන කටයුතුවලට විවිධ බාධා ගෙන දෙන අතර ගැටලුකාරී තත්ත්වයන්ට මුහුණ දීමටද සිදු වනු ඇත. ඥාති වියෝ වීමක් පිළිබඳ පුවතක් අසන්නට ලැබෙන අතර දරුවන්ගේ කටයුතුවලටද බාධා ගෙන දෙනු ඇත. පලක් නැති ගමන්බිමන් යෙදෙන කාලයකි. උෂ්ණ රෝග, බඩේ අමාරු, මුත්‍රා අමාරු වැනි දෙයින් ද වරින් වර පීඩා ඇතිවනු ඇත. නිතර විනෝදයෙන් සැහැල්ලුවෙන් සිටීමට බලන අතර ගෙදර දොර කටයුතුවලටද විවිධ බාධා ගෙන දෙනු ඇත. වියදම් අධික කාලයකි. ස්නායු හෝ නහර සම්බන්ධ පීඩාකාරි තත්ත්වයන් ගෙන දෙයි.

6. අද – අමතර ආදායම්

රාහුට අයත් අද නැකතේ උපන් ඔබට යහපත් කාලයකි. මෙම වසර යහපත් වන අතර පවුලේ දියුණුවට කටයුතු සිදුවනු ඇත. මිල මුදල් ලැබීමට යහපත් වුවද වියදම් වැඩි කාලයකි. උසස් අයගේ සහයෝගය ලැබ තම කටයුතු සර්ථක කරගෙන යාමේ හැකියාවක්ද ඇතිවනු ඇත. ඉඩකඩම් දේපළ ලැබීමට යහපත් වන අතර යොදාගත් කටයුතු කීපයක්ම සාර්ථක වේ. ආදායම් මාර්ග කීපයක්ම කරගෙන යාමට මාර්ගය සෑදෙන අතර උත්සාහයේ තරමට ප්‍රතිඵල ලැබේ. උෂ්ණ රෝග ලේ විෂවීම් නිසා වරින්වර පීඩා ගෙන දෙන කාලයකි. තරමක හිතේ චංචල බවකින් කටයුතු කරගෙන යාමට සිදු වේ. මංගල යෝග උදාවන හෙයින් විවාහ වීමට බලාපොරොත්තු වන අයගේ අපේක්ෂාවන් මල්පල ගැන්වේ. ආහාර නොදිරවීමේ රෝග, සෙම් අමාරු ආදියෙන් පීඩා ඇති වේ.

7. පුනාවස – ලැබීම් සහිතයි

ගුරු ග්‍රහයාට අයත් පුනාවස නැකතින් උපන් ඔබට මෙම වසර පදිංචි ස්ථානයේ සුබ සිද්ධිය පිණිස වැඩි උනන්දුවක් ඇති වේ. අධ්‍යාපනය ලබන දරුවන්ට ජයග්‍රාහී වසරකි. එහෙත් යම් යම් බාධක, අපල, අසනීප මතුවිය හැකි බැවින් බ්‍රහස්පතින්දා දිනවල බෝධි පූජාමය කටයුතුවලට සහභාගී වන්න. ලැබීම් අතින් සතුටු විය හැකි මට්ටමක පවතී. ඔබගේ ග්‍රහචාර අනුව යහපත් ප්‍රතිඵල දෙන වසරකි. වසර මැද පදිංචි ස්ථානයේ දියුණුවකට කරුණු යෙදේ. නිතර වැඩ කටයුතුවල යෙදී සිටීමට කැමැත්තක් දක්වයි. විදේශගත වීම්වලට ද යොමුවනු ඇත. ඉගෙනීමේ කටයුතුවල නිරත අයට ඒ සඳහා බාධා ගෙන දෙනු ඇත. අන් අයගේ වචනයට අැහුම්කන් දී කටයුතු කිරීමෙන් යම් දියුණු තත්ත්වයකට පැමිණීමටද හැකි වනු ඇත. ආගම දහම කෙරෙහි වැඩි නැඹුරුවකින් යුතුව කටයුතු කරන්න.

8. පුෂ – පිනට දහමට වැඩි නැඹුරුවක්

ඔබගේ මෙම වසර තරමක් දුරට ශුභපල අත්කර දෙන වසරකි. අලුතින් කටයුතු ආරම්භ කර කරගෙන යාමට හැකිය. විදේශගත වීම්වලට ද කරුණු යෙදේ. අන් අය අතර හොඳ හිත දිනා ගනිමින් කටයුතු කිරීමට හැකිවන අතර පලක් නොමැති දෙයට පවා කාලය මිඩංගු කරයි. සෞඛ්‍ය තත්ත්වය යහපත් වේ. තදබල රෝගයක් නැත. උත්සාහයෙන් යුතුවම සෑම දෙයක්ම කරගෙන යාමට සිදුවන කාලයකි. පැවති උත්සාහය, උනන්දුව අඩුව යනු ඇත. නොකළ වැරදිවලට පවා චෝදනා එල්ල වන කාලයක් බැවින් කරන කියන කටයුතුවලදී බොහෝ ප්‍රවේශම් විය යුතුය. හදිසි අනතුරු, තුවාල කැඩුම් බිඳුම් වැනි දෙයට පවා ලක්වීමට ඉඩ තිබේ.

9. අස්ලිස – දරුපල සපල වෙයි

දරුපල ප්‍රමාද වීමෙන් කනස්සල්ලෙන් සිටි අයගේ පැතුම් ඉටුවන වසරකි. හැකිතාක් දැහැමිව කටයුතු කරන්න. රැකියා, ව්‍යාපාර කටයුතු සඳහා මහත් කැපකිරීමක් කිරීමට සිදුවේ. අධ්‍යාපනය ලබන දූ දරුවන්ට යහපත් වූ ග්‍රහබල ශක්තීන් මතු කෙරෙන කාලයකි. රැකියා කටයුතුවලට යහපත් වන අතර විශේෂයෙන් බුද්ධිය මෙහෙයවා කරන කටයුතුවලින් ජය ලැබීමට හැකි වනු ඇත. නිදහසට තදින්ම ගරු කරන කාලයකි. ඉක්මන් වී කලබලකාරි ලෙස කටයුතු කරන අවස්ථාවන්ද ඇතිවේ. අදහස් පතළ කිරීමේ ශක්තියද ලැබේ. මෙම වසර ඥානය ගෙන දෙන වසරකි. ඉගෙනීමේ කටයුතුවල යෙදෙන අයට ශුභපල අත්කර ගැනීමටද හැකිවේ. පොතට පතට ලිවීමට කියවීමට ආශාවක් දක්වන අතර ගුප්ත ශාස්ත්‍ර වැනි දෑ ඉගෙනීමටද යහපත් වේ. සමේ රෝග ලේවලින් පිටවිය යුතු විෂ නිසියාකාරව පිට නොවීමෙන් සෑදෙන ලෙඩ රෝගවලටද ඉඩ තිබේ.

10. මා – කලා කටයුතුවලට සුබයි

කේතුට අයත් මා නැකතේ උපන් ඔබට මෙම වසර කලා කටයුතුවල නියැළීමට හා පොතපතේ දැනුම වැඩිදියුණු වන වසරකි. අන්‍යයන්ට කරදරයක් නොවී තම දියුණුව සලසා ගැනීමට උනන්දු වේ. සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ සැලකිලිමත් විය යුතුය. අසරණ දරුවකුට පොතපත පරිත්‍යාග කිරීමෙන් වසර පුරා චිත්ත ශක්තිය වර්ධනය කරගත හැකිය. පවුලේ දියුණුවට කටයුතු සිදුවනු ඇත. මිල මුදල් ලැබීමට යහපත් වුවද වියදම් වැඩි කාලයකි. උසස් අයගේ සහයෝගය ලැබ තම කටයුතු සාර්ථක කරගෙන යාමේ හැකියාවක්ද ඇතිවනු ඇත. ඉඩකඩම් දේපළ ලැබීමට යහපත් වේ. යොදාගත් කටයුතු කීපයක්ම සාර්ථක ලෙස කරගෙන යාමටද හැකි වනු ඇත.

11. පුවපල් – මිතුරු ඇසුර වැඩි වෙයි

ඔබට සමාජයේ කැපී පෙනෙන තත්ත්වයක් ඇතිව කටයුතු කිරීමට ලැබෙනු ඇත. තම වැඩ කටයුතු සිතන අයුරින් ඉටුකර ගැනීමට ලැබේ. අවිවාහක අයට මංගල යෝග උදාවන යහපත් වසරකි. ඉඩකඩම් දේපළ වැනි දෑ ලැබීමට යහපත් වන අතර වසර අවසානය වන විට අසනීප නිසා දින කීපයක් හෝ එක්තැන්ව සිටීමටද සිදුවිය හැකිය. ආගම දහම කෙරෙහි ළැදි බවකින් යුතුව කටයුතු කරයි. නිතර ගමන් බිමන්ද යෙදේ. අන් අයගේ දුකට පිහිට වීමෙන් සතුටක්ද ලබනු ඇත. දරුවන් බලාපොරාත්තු වන අයට වාසනාවන්ත දරුවන්ද ලැබේ. වරින්වර සෙම් අමාරු ඇතිවන අතර ජලයෙන් ප්‍රවේශම් විය යුතු කාලයකි. මිතුරු ඇසුර වැඩි වෙයි.

12. උත්‍රපල් – උගත් බුද්ධිමත් අයගේ ඇසුර

රවි ග්‍රහයාට අයත් උත්‍රපල් නැකත හිමි ඔබට මෙම වසර ඇසුරු කරන්නට ලැබෙන බුද්ධිමත් ඥානවන්ත අයගෙන් ලැබෙන ගුරුහරුකම් ජීවිතය සාර්ථක කරගැනීමට උපකාරයකි. ජීවිතය මනා සැලැසුමක් ඇතිව පවත්වාගෙන යෑමට ඉඩ සැලැසේ. අසීරුතා ද මඟහැරී යයි. ජයග්‍රහණ ලබයි. අසනීප, අපල පවතින බැවින් ඒවාට පිළිවෙත් කරගන්න. මේ වසර තුළ ඔබට අන්‍යයන්ගේ ගැටලුවලට උදවු උපකාර කරන්නට වැඩි කාලයක් වැය කිරීමට සිදුවේ. මුදල් හදල් ලැබීම් අතින් ශක්තිමත්ය. වචනය ප්‍රියමනාපව හසුරුවා ගැනීමට සමත් වේ. ඒ නිසා මිතුරු සංගමය ද වැඩිවේ. අධ්‍යාපනික කටයුතු සඳහා තරමක බාධා මතුවන බැවින් වත්පිළිවෙත්වලට යොමු වීම වැදගත්ය.

13. හත – විදෙස් ගමන්

ඔබගේ නැකත් අධිපති සඳු ග්‍රහයා ගමන් කරමින් සිටියදී ආරම්භ වන මෙම වසර පසුගිය වසරේ ඔබේ සිත තුළ පැවැති අපේක්ෂා සහ අරමුණු ඉටුකර ගැනීමට බාධා පැමිණියේ නම් මේ නව වසර තුළ ඒවා ඉෂ්ට සිද්ධ කරගැනීමට හැකියාව ලැබේ. විදෙස් ගමන් බලාපොරොත්තුව සිටි අයට සුබපල අත්වන බවක් දක්නට ලැබේ. දරුවන්ගේ ජයග්‍රහණ දැක සතුටු වෙයි. මංගල යෝග උදාවන කාලයකි. එබැවින් විවාහ වීමට බලාපොරොත්තු වන අයගේ අපේක්ෂාවන් මල්පල ගන්වන කාලයකි. අධ්‍යාපනයට බර වූ වසරකි. නිතර උසස් අධ්‍යාපන කටයුතු සඳහා විදෙස්ගත වීමට අවස්ථාව සැලසේ. නව ඉදිකිරීම්, නිවාස ඇස්තමේන්තු ගත කිරීම් වැනි ක්ෂේත්‍රයන්හි රැකියා ලාභ තමාට හිමි වෙයි.

14. සිත – සතුරු කරදර ඉවතට

කුජට අයත් සිත නැකතේ උපන් ඔබ අලංකාර විසිතුරු ඇඳුම් පැලඳුම්වලට වැඩිපුර මුදල් වියදම් කරයි. සතුරු කරදර ඉවත් වෙයි. ගෘහ ජීවිතයේ ගැටලු මතුවිය හැකි බැවින් කල්පනාකාරී වන්න. වසර ඔබ ආරම්භ කළ යුත්තේ දහමට නැඹුරුවය. උදේ හෝ සවස බුදුන් වැඳ දෙවියන්ට පින් දීමෙන් කරන කියන කටයුතුවලට ආශිර්වාද ලබා ගැනීමටත් අපල අවම කරගැනීමටත් අවස්ථාව ලැබේ. කෙසේ වුවද මේ වසර ඔබට ජයග්‍රාහී එකක්ම වනු නිසැකය. උත්සාහය, කැපවීම මත ඔබ වඩාත් ආදර්ශවත් පුද්ගලයකු බවට ද පත්වනු ඇත. ඇසුරු කරන අය අතර ඉවසිලිවන්තව සිටින්න. අනවශ්‍ය බැඳීම්වල අනියම් සබඳතාවලට හසු නොවී සිටීමට වග බලා ගන්න.

15. සා – ප්‍රීතිමත් ගෘහ ජීවිතයක්

රාහු ග්‍රහයාට අයත් නැකතක් වන සා නැකතින් උපන් ඔබගේ මෙම වසර ශුභපල අත්කර දෙන වසරකි. උදාවන නව වසර ඔබට ඉතා යහපත් වේ. ගෙදර දොර දියුණුව දරුවන්ගේ ඉගෙනුම් කටයුතු සපලතාවට පැමිණේ. එහෙත් කලබලකාරී බවින් මිදෙන්න. ආවේගශීලී අවස්ථාවලදී නිහඬ වන්න. ප්‍රාථමික අංශවල ඉගෙන ගන්නා දරුවනට ඉගෙනුම් වැඩවලට බාධා මතුවිය හැකි බැවින් ඒවාට ප්‍රතිකර්ම යොදන්න.

16. විසා – රජයේ දීමනා වරප්‍රසාද

අධ්‍යාපන කටයුතු කීපයක් සාර්ථක වන වසරකි. තරග විභාග ජය, විදෙස් ශිෂ්‍යත්ව ලාභ ලැබෙන කාලයකි. තම උත්සාහයේ තරමට ප්‍රතිඵල ළඟා කර ගත හැකි වේ. මැණික් ලාභ මතු කරන වසරකි. රජයේ දීමනා වරප්‍රසාද හිමි වෙයි. පෙම් සබඳතා සාර්ථක වේ. දරුවන්ගේ කටයුතු පිළිබඳව ප්‍රගතියක් ඇති කරයි. නිවසට අවශ්‍ය දෑ නිතර තමාට ලැබෙන කාලයකි. වාසනාව, ප්‍රීතිය නිරතුරුවම සතුට ඇති කරන හේතු කාරණා යෙදේ. අලුත් වස්ත්‍ර, දේපළ ලාභ තමාට හිමිකර දෙයි. ඖෂධ නිෂ්පාදන කටයුතු සම්බන්ධව තමාට විශේෂ පුහුණුවක් ලැබෙයි. වසර අවසානය නිවාස ලාභ හිමිකම් තමාට ඇතිවේ. වැඩිහිටියන්ගේ වගකීම් පිළිබඳව වැඩි කාලයක් යොදවන්න.

17. අනුර – රැකියාවේ උසස් වීම් සහ නව රැකියා

නව දැනුම් සම්භාරයකින් යුතු ඔබ මේ වසරේදී අතිශය කාර්යබහුල අයකු බවට පත් වේ. කිසිවකුටත් අත නොපා තම ජීවිතය පවත්වාගෙන යා හැකි අතර, දුවා දරුවන්ට නිසි අධ්‍යාපනයක් සලසන පුද්ගලයකු ලෙස ද ගොඩ නැඟේ. ඔබේ දියුණුව ස්ථිරව සැලසෙන වසරකි. ලැබීම් අතින් යහපත් වාසනාවන්ත වසරකි. හිතවතුන් සහ තමාගෙන් උදවු ලබාගන්නට එන අය දෙස අනුකම්පා සහගතව බලයි. මෙලොව පරලොව දෙකේම යහපත ගැනම සිතා පුණ්‍ය කටයුතුවල නියැළෙන බවක් දක්නට ඇත. දූ දරුවන්ට අධ්‍යාපනික ජයග්‍රහණ ද හිමි වේ.

18. දෙට – අභියෝග රැසක්

උදා වූ නව වසර තුළ ඔබට අභියෝග රැසකට මුහුණ දෙන්නට සිදු වේ. එහෙත් ඔබට ඒවා ජයග්‍රහණය කිරීම අපහසු නැත. අත, පය තුවාල වීම් වන වසරක් බැවින් නිතර තම ආරක්ෂාව පිළිබඳව සැලකිලිමත් වන්න. ආගමානුකූල කටයුතු සිදුකිරීම මානසික සුවයට සහන ගෙන දෙයි.

පෙම් සබඳතා ඇති කරගැනීමෙන් අවුල් තත්ත්වයක් පැන නඟී. වසර අවසානයට පෙර නිවෙසේ ආගමික උත්සවයක් පවත්වයි. පොත්පත් කටයුතු කෙරෙහි උනන්දු වීම තමාට වාසිදායක වෙයි. හදිසි තීරණ ගැනීමෙන් වැළකී බුද්ධිමත්ව කටයුතු කරන්න. උදෑසන මෝර පිරිත කියවීම හෝ ශ්‍රවණය කිරීමත් පන්සිල් ගැනීමෙන් අනතුරුව සූර්ය දිව්‍ය රාජයාට ද පින් දීමත් මඟින් අපල සමනය කරගත හැකිය.

19. මුල – තැන්පත් ධනය ඉහළට

කේතු හිමි මුල නැකතින් උපන් ඔබට මෙම වසර ශුභාශුභ මිශ්‍රපල අත්කර දෙන වසරකි. මුදල් ලැබීමට යහපත් වන අතර විභාග සම්මුඛ පරීක්ෂණ ආදියට පෙනී සිටින්නෙ නම් යහපත් ප්‍රතිඵල අත්කර ගැනීමටද හැකිවනු ඇත. කම්මැළි අලස ගතියක් ඇතිවන අතර නිතර නිදිමත ගතියක්ද ඇති වේ. ස්නායු සම්බන්ධව මෙන්ම ඇස් සම්බන්ධ පීඩාකාරි තත්ත්වයක්ද ඇති කරයි. අන්‍යයන්ගේ දුකට පිහිට වන ගතියක් ඔබ තුළ පිහිටයි. කරන කියන රැකී රක්ෂාවලින් ලාභ ප්‍රයෝජන හිමි වන අතර, තැන්පත් ධනයක් ද පවත්වාගත හැකි වේ. පොත පතේ දැනුම වර්ධනය වේ.

20. පුවසල – පදිංචියේ වෙනසක්

මිශ්‍රපල උදාකර දෙමින් ආරම්භ වන වසර තමාට තරමක පීඩා ගෙන දෙයි. යොදාගත් කටයුතු කීපයක් වෙනස් කර දමයි. දූ දරුවන්ගේ කටයුතු හේතුවෙන් සිත් පීඩා ඇති කර ගනී. හවුල් ව්‍යාපාර කටයුතුවලට එක් නොවන්න. කලට වේලාවට තමාගේ කටයුතු කරගැනීමට අවස්ථාවක් නොලැබෙයි. මෙම වසර ඔබගේ කටයුතු තරමක් දුරට ඉෂ්ට කරගැනීමට අවස්ථාව සැලසේ. නිතර ශරීරයේ උෂ්ණාධික බව වැඩිවීමෙන් රෝග තත්ත්වය උත්සන්න වෙයි. වසර මැදදී ගනු ලබන තීරණ හේතුවෙන් පදිංචියේ වෙනසක් වෙයි. පොත්පත් සම්බන්ධ කටයුත්තක් වෙනුවෙන් තමාට ගරු නම්බු හිමි වෙයි. සමාජයේ පොදු කටයුතු වෙනුවෙන් වැඩි කාලයක් යොදවයි. දුර බැහැර ගමන් පිළිබඳව දෙවරක් සිතා එක්වන්න. ගින්දර, ජලය නිසා අනතුරු ඇති වේ.

21. උත්‍රසල – රැකියාව සම්බන්ධ වැදගත් තීරණ

ස්වෝත්සාහයෙන් නැඟී සිටින ආදර්ශවත් චරිතයක් බවට පත් විය හැකි ජයග්‍රාහී වසරකි. ඔබ යටතේ තවත් කිහිප දෙනෙකුට ජීවනෝපාය මාර්ග සකසා දීමට වුව ද හැකිවේ. රැකියාව සම්බන්ධ වැදගත් තීරණ ගන්නා වසරක් වනු ඇත. ප්‍රධානීන් සමඟ ගැටුම්වලට යොමු නොවන්න. රසවත් ආහාරපාන නිතර ලැබෙන කාලසීමාවකි. ගෙදර දොර වැඩිහිටි පිරිස වැඩි වෙයි. ආගන්තුක සත්කාරයෙහි නිරත වීමට වැඩි කැමැත්තක් ඇති කරයි. වසර අවසානය මවට පියාට අපල ගෙන දෙයි. ඔබ ප්‍රබල චරිතයක් මෙන්ම ආදර්ශවත් පුද්ගලයකු ලෙස සමාජයේ පිළිගැනීමට සහ අවධානයට පාත්‍ර වේ. අධ්‍යාපනය ලබන දරුවන්ට ද නිවැරැදි මාවතකට අවතීර්ණ වීමේ වාසනාව සැලසේ.

22. සුවන – අන් අය සමඟ වාද විවාද එපා

පදිංචි ස්ථානයේ දියුණුව සැලසෙන, දූ දරුවන්ගේ ඉගෙනුම් කටයුතු සපල වන වසරකි. නිරවුල් මනසකින් කටයුතු කළ හැකි වාතාවරණයක් සැකැසේ. මේ වසරේදී ස්වඋත්සාහයෙන් නැඟී සිටීමට උනන්දු වන්න. හැකිතාක් මානුෂික ධර්මතා හඳුනාගෙන අන්‍යයන්ට උපකාර කරන්න. වැඩිහිටි දරුවන්ගේ කටයුතුවලින් විවේකයක් ලබයි. මුල් මාස කීපය අධ්‍යාපන කටයුතු කීපයක ජයග්‍රහණයන් උදා කරගනී. ගින්දර සම්බන්ධව කටයුතුවල යෙදෙන වෘත්තිකයන්ට පරෙස්සම් විය යුතු වසරකි. තමාට වැදගත් නොවන අය හා වාද විවාදයට නොයන්න.

23. දෙනට – මැණික් වාසනා

පොළොව සම්බන්ධ කටයුතු කරන හා රැකියාවල නිරත වූවන්ට ලාභ ගෙන දෙයි. හදිසි මැණික් වාසනා මතු කරන වසරකි. විදෙස්ගතව අධ්‍යාපනය හදාරන අයට වැඩි වාසි සැලසෙයි. පෙර වසරේ නිමාවට පත්කර ගත නොහැකි වූ කටයුතු කීපයක් නිමාවට පත් වේ. රථවාහන සම්බන්ධ රැකියා කරන අයට වැඩි ලාභ අත්කර ගත හැකි වෙයි. වසර ආරම්භ වන්නේ ඔබට රජයේ උසස් නිලධාරීන් සමඟ කටයුතු කිරීමටයි. ඉදිකිරීම් ක්ෂේත්‍රයේ කටයුතු කීපයක් සම්බන්ධව ඔබට වගකීම් දැරීමට සිදුවනු ඇත. වසර මැද කාලය උදා වන විට මවුපියන්ගේ කටයුතු කීපයක් වෙනුවෙන් පිට ප්‍රදේශයකට යාමට සිදුවේ. වසංගත රෝග තත්ත්වයන්ට මුහුණපායි. වසර අන්තිම කාලය නේවාසිකව කාලය ගත කිරීමට සිදු වනු ඇත.

24. සියාවස – බොහෝ ලැබීම්

මේ වසර තුළ ඔබ, ඔබේ වියපැහැදම් ගැන සැලකිලිමත් විය යුතුය. අවශ්‍ය දෑ පමණක් තෝරා බේරාගෙන හැකිතාක් බුද්ධිමත්ව මුදල් වියදම් කරන්න. එවිට මේ වසර ඔබට ජයග්‍රාහී වසරක් බවට පත්කර ගැනීමට හැකියාව ඇත. අධ්‍යාපනය ලබන දූ දරුවන්ද නිතර ආගම දහමට යොමු වී කටයුතු කිරීමෙන් සුබපල ළඟාකර ගත හැකි වේ. ඉඩකඩම් හෝ ගෙවල් දොරවල් හිමිකර ගැනීමේ භාග්‍යයක් පවතී. ආත්ම ශක්තිය, කාර්යශූර බව යහපැවැත්ම නිසා ඔබේ අනාගත සැලසුම් ක්‍රියාත්මක කරගැනීමට පහසු වේ. විදෙස් ගමන් ද සපල වේ.

25. පුවපුටුප – විවිධ ජයග්‍රහණ

ඔබ දිරියෙන් ශක්තියෙන් හා මනා කළමනාකාරිත්වයකින් යුතුව අනාගත සැලසුම් ක්‍රියාත්මක කරයි. විරුද්ධවාදීන් සිටියේ නම් ඒ අය ද ඔබේ මිතුරන් බවට පත්වන කල දසාවකි. විවිධ ජයග්‍රහණ අත්කර ගනී. කිසිම විටෙක අන්‍යයන්ගේ උදවු උපකාර බලාපොරොත්තු නොවී මේ වසර සැලසුම් සහගතව කටයුතු කිරීම ඔබේ දියුණුවට හේතු වේ. ධනය සහ දේපළ හිමි වීමේ භාග්‍යය ද ලැබෙන මේ වසර ඔබේ ජීවිතයට සාර්ථකත්වය උදා කරයි. වැඩිහිටි සහෝදරයන්ගෙන් උපකාර හිමිවන කාලයකි. රථවාහන කටයුතු පිළිබඳව වැඩි කාලයක්, වේලාවක් ගතකිරීමට සිදු වනු ඇත. වසර අවසානය පොත්පත් ලිවීම පිළිබඳව අවධානය යොමු වෙයි.

26. උත්‍රපුටුප – ජයග්‍රහණ රැසක්

ඔබට මේ වසරේදී ජයග්‍රහණ රාශියක් අත්කර ගත හැකිය. ඔබ සිතන පතන ආකාරයටම දියුණුවට මාවත සැලසේ. මිශ්‍රපල උදාකර දෙමින් ආරම්භ වන වසර ඔබට, ඔබගේ සහකරුට සහකාරියට සුබ වෙයි. අනාගත සැලසුම් යොදා ගනී. වසර මැද උදාවන මාස කීපයේ විදෙස් ගමනක් යොදාගනී. විභාග ජය අත්වන කාලයකි. වෛද්‍ය ක්ෂේත්‍රය සම්බන්ධව රැකියා ලාභ ගෙන දෙයි. වසර අවසානය උදා වන්නේ මවුපියන්ගේ කටයුතු කීපයක් සාර්ථක කර දෙමිනි. ගෘහ ජීවිතය සාමදානයෙන් පවත්වාගෙන යෑමට හැකි වාසනාවන්ත කාල පරිච්ඡේදයකි.

27. රේවතී – අධ්‍යාපනයෙන් ඉහළට

මෙතෙක් පැවති ගැටලු නිරාකරණය කරගැනීමටත් අනාගත සැලසුම් ක්‍රියාත්මක කිරීමටත් හැකියාව ඇති යහපත් වූ වසරකි. ධනය හිඟ නොවේ. වන්දනා කිරීමට හෝ රැකියා කටයුතු සඳහා හෝ දීර්ඝ ගමන් යෙදිය හැකිය. දරුවන් ඉගෙනීමේ කටයුතුවලින් ජයග්‍රහණය ලබයි. ගෞරවය රැකෙන පරිදි ජීවිතය පවත්වා ගැනීම වැදගත් වේ. ඒ ඔබට නොගැළපෙන පුද්ගලයන්ගෙන් සිත් රිදීම් සහ කලකිරීම් පැමිණීමට ඉඩ ඇති බැවිනි. එහෙත් දරුවන්ගේ ජයග්‍රහණ නිසා ඔබට සතුටු විය හැකි වසරකි.

සැ. යු. – ඉහත සඳහන් පලාපල තත්ත්වයන් ඔබේ ජන්ම පත්‍රයේ ග්‍රහ පිහිටීම්, ගතවන මහ දශා, අතුරු දශා, ග්‍රහයන් උප්පත්තියේදී පිහිටි නැකැත් හා 22 දෙර්කාණාධිපති, 64 නවාංශකාධිපතිගේ තත්ත්වයන් හා විවිධ ග්‍රහ දෘෂ්ටි මත යම් පමණක අඩු වැඩි වීම් සිදුවිය හැකිය.

ප්‍රවීණ ජ්‍යොතිර්වේදී බණ්ඩාරගම - සම්පත්. එස්. කල්පගේ

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division