ලොව විශාලතම පත්‍ර සහිත ජලජ ශාකය ලෙස සැලකෙන වික්ටෝරියා වෝටර් ලිලී පිළිබඳව අපි අසා ඇත්තෙමු. කිලෝ ග්‍රෑම් 40ක පමණ බරක් දරාගත හැකි මීටර් තුනක පමණ විශ්කම්භයක් දක්වා වැඩෙන විශාල පත්‍ර සහිත මේ ශාකය මෙරට අති බහුතරයක් දෙනා දැක ඇත්තේ අන්තර්ජාලය ඔස්සේ බවට සැක නැත. චීනය, එංගලන්තය, වෙනිසියුලාව, බ්‍රසීලය වැනි රටවල විල් හා පොකුණු වසා ගනිමින් පැතිර පවත්නා වික්ටෝරියා වෝටර් ලිලී ශාකය දැන් මෙරටදී ද සියැසින් දැක ගැනීමට වරම් හිමිව තිබේ. ඒ් කටුගස්තොට කොණ්ඩදෙණිය දේවමිත්ත විහාරස්ථානයේදී ය.
බොලීවියාව, වෙනිසියුලාව, ඝානාව සහ බ්‍රසීලය ආශ්‍රිතව ගලා බසිනා ඇමසන් ගංගාවේ නොගැඹුරු ස්ථානවල මෙම ශාකය බහුලව දක්නට ලැබේ. කෙසේ වුවත් මේ වනවිට ලෝකයේ රටවල් ගණනාවක් විසිතුරු ජලජ ශාකයක් ලෙස වික්ටෝරියා වෝටර් ලිලී වගා කරන්නට පටන්ගෙන තිබේ. ස්වභාවධර්මයේ අපූරු මෙන්ම පුදුම නිපැයුමක් ලෙස පිළිගැනෙන වික්ටෝරියා වෝටර් ලිලී ශාක පත්‍රයක් සාමාන්‍යයෙන් මීටර් තුනක පමණ විශ්කම්භයකින් යුක්ත ය. වෘත්තාකාර බේසමක හැඩය ගන්නා වෝටල් ලිලී ශාක පත්‍රය වටා සෙන්ටි මීටර් තුනක පමණ උසින් යුත් වාටියක් දක්නට ලැබුණත් එහි එකදු හෝ ජල බිංදුවක් නොරැඳීම පුදුම සහගත ය. පත්‍රය මතට වැටෙන සියලු ජලය ඒ වටා ඇති වාටියේ එක් ස්ථානයකින් පහළ ට ඇද වැටීම නිසා මදුරුවන් බෝවීමට මින් කිසිදු පිටු බලයක් හිමි නොවේ. වර්ෂ 1801 දී මුල් වරට සොයාගෙන තිබෙන මේ අපූරු ශාකයේ බොලියානා, ඇමසොනිකා හා කෘෂියානා ලෙස ප්‍රභේද තුනකි.
ලොව බොහෝ රටවල මේ වනවිට දක්නට ලැබෙන්නේ වික්ටෝරියා ඇමසොනිකා වර්ගය වන අතර ඊට වික්ටෝරියා යන නාමය ලැබී තිබෙන්නේ බ්‍රිතාන්‍යයේ වික්ටෝරියා මහ රැජිනට ගෞරව පිණිස 1837 දී ඇගේ නමින් මෙය නම් කිරීමත් සමඟ ය. Robert Schomburgk විසින් යොමු කරන ලද ශාක නිදර්ශක පදනම් කර ගනිමින් John Lindley විසින් මෙම නම් කිරීම සිදු කර තිබේ. ලෝකයේ බොහෝ රටවල් මේ අරුම පුදුම පත්‍ර සහිත ශාකය විසිතුරු පැළෑටියක් ලෙස වගා කරනු ලැබුවත් ශ්‍රී ලංකාවෙන් මේ ආකාරයට විශාලව වැඩුණු වික්ටෝරියා වෝටර් ලිලී ශාකයක් හමුවන්නේ ප්‍රථමවරට ය. දේවමිත්ත විහාරස්ථානයට මේ අපූරු ශාකය පැමිණි ආකාරය අපට විස්තර කළේ එහි විහාරාධිපති නුගවෙල සුමනදේව ස්වාමින්ද්‍රයන් වහන්සේ ය. අපේ විහාරස්ථානය ගොඩනගලා තිබෙන්නේ කුඹුරු යායක් සහිත වටපිටාවක. වගා නොකරන කුඹුරක ලොකු පොකුණක් හදන්න මම හිතුවා. බැකෝ යන්ත්‍රයක් දාලා හාරලා පර්චස් 10ක පමණ භූමි ප්‍රමාණයක පැතිරුණු පොකුණක් මම නිර්මාණය කළා. මේකට සම්ප්‍රදායික මානෙල්, ඕලු, නෙළුම් වගේ මල් වර්ග දානවට වඩා වෙනස් මල් වර්ගයක් දාන්න ඕන කියලා මම හිතුවා. ඒ අනුව තොරතුරු හොයන්න අන්තර්ජාලයේ සැරිසරද්දී තමයි මට වික්ටෝරියා වෝටර් ලිලී ගැන දැන ගන්න ලැබුණේ.
මේ ශාක පැළ කුරුණෑගල ප්‍රදේශයේ ආයතනයකින් ගෙන්වන බව දැන ගන්න ලැබුණා. ඒ අයට කියලා රුපියල් 30000 ක විතර මුදලක් වැය කරලා පැළ තුනක් ගෙනල්ලා පොකුණේ හිටෙව්වා. මේක හදාගන්න හරිම අමාරුයි. ගොඩක් අය මේ පැළ අරන් ගිහින් තිබුණත් මම දන්න තරමින් ඒ කොහේවත් මේක හැදිලා තිබුණේ නැහැ. වාසනාවට අපේ පොකුණේ එක පැළයක් හැදුණා.
පොකුණේ විශාල ප්‍රදේශයක් වසා ගනිමින් වික්ටෝරියා වෝටර් ලිලී පත්‍ර පැතිර තිබේ. පොකුණු දියේ කලබලකාරී ජීවිතයෙන් මඳක් මිදෙන්නට මෙන් ඉබ්බන් හා ගෙම්බන් කිහිපදෙනකු එම පත්‍ර මත නැඟ නිසොල්මනේ සිටියහ. මේ පත්‍ර මත මිනිහකුට වුණත් නඟින්න පුළුවන් නේද ස්වාමින්වහන්ස යනුවෙන් මා යොමු කළ පැනයට සුමනදේව හිමියෝ ලබා දුන්නේ මෙවන් පිළිතුරකි.
‘සාමාන්‍යයෙන් වික්ටෝරියා වෝටර් ලිලී පත්රයකට කිලෝ 40ක පමණ බරක් දරා ගන්න පුළුවන්. ශාකයේ මුල තිබෙන ස්ථානයේ සිට මීටර් ගණනක් ඈතට පත්‍ර විහිදී යනවා. මේ ශාක පත්‍රය යට කටු තිබෙන නිසා ගොඩක් වෙලාවට මත්ස්‍යයන් ඒ පැත්තට යන්නේ නැහැ. කුඩා කාලේ දී පත්‍රය යට කටු ගතිය අඩුයි. ඒ නිසා මත්ස්‍යයන් පත්‍ර ආහාරයට ගන්නවා. ක්‍රමයෙන් පත්‍රය මෝරනකොට කිසිම සතකුට ඒක ආහාරයට ගන්න බැහැ.
වික්ටෝරියා වෝටර් ලිලී මල ශ්්වේත වර්ණ ය. එය පිපෙන්නට පටන් ගන්නේ රාත්‍රි 8.00ට පමණ ය. පසුදින දහවල් 12.00 පමණ වනවිට එය පරවී යන්නේ දම් පැහැයට හැරීමෙන් අනතුරුව ය. දවස් තුනකට විතර සැරයක් මේ ගහේ මලක් පිපෙනවා. අඩි දෙකක් පමණ විශාල මලෙන් අන්නාසි ගෙඩියක් කැපුවම එන සුවඳ තමයි නිකුත් වෙන්නේ. මලක් පිපුණුම මේ පැත්තම ඒ සුවඳින් පිරිලා යනවා. මේ මල පරාගණය වෙන්නේ කෘමින්ගෙන්. ඕලු හා මානෙල් පත්‍රවලින් වගේම අලෙනුත් බෝ වෙනවා. ඒත් මේක එහෙම බෝ කරගන්න බැහැ. ඒ නිසා තමයි මේක ගොඩක් දුර්ලභ වෙලා තියෙන්නේ. විහාරාධිපති නුගවෙල සුමනදේව හිමියෝ පැවසූහ. මේ ආකාර විදේශ රටවල වැවෙන ශාක වර්ග මෙරට වගා කිරීම මගින් යම් අවදානමක් මතුවේද යන්න සම්බන්ධව හන්තාන මූලික අධ්‍යයන ආයතනයේ පර්යේෂණ මහාචාර්ය සිරිල් විජේසුන්දර මහතා ගෙන් කළ විමසීමකට පිළිතුරු දෙමින් ඔහු මෙසේ කීවේය. ජපන් ජබර 1905 දී ලංකාවට ගෙනාවේ මල් පැළයක් විදිහටයි. අද වනවිට මෙය වැව් බොහොමයක් වසා පැතිර ගොස් තිබෙනවා.හොංකොංවල තාමත් ජපන් ජබර මල් පැළයක් විදිහට අලෙවි කෙරෙනවා. ගොඩක් වෙලාවට අපි පොකුණු වල හදන විසිතුරු ශාක පැළෑටි ප්‍රමාණයෙන් ලොකු වුණාම විනාශ නොකර දියකඩිතිවලට ගිහින් දානාවා. මේවා ශීඝ්‍රයෙන් පැතිර ගියාම වඳ කිරීමත් ප්‍රශ්නයක් වෙනවා. ලංකාවට ශාකයක් ආනයනය කිරීමේ දී අපි ගොඩක් පරිස්සම් විය යුතුයි. ශාක නිරෝධායන නීතිවලට අනුගතව තමයි මේක කරන්න ඕන. මේ වික්ටෝරියා ලිලී ශාකය ඒ ආකාර ආක්රමණික ශාකයක් කියා මම හිතන්නේ නැහැ. නමුත් මේ ගැන අවධානයෙන් පසු විය යුතුයි.