මෙම ලේඛකයාගේ ද බොහෝ කෘති සිනමාවට නැඟීම ද ඔහුගේ ලේඛන කුසලතා අවබෝධ කර ගැනීම සඳහා කදිම නිදසුනකි. මා කියවා ඇති පරිදි මෑතක නිපද වූ ඉතා ම දුර්වල නිර්මාණයක් වූ විජයබා කොල්ලයට අමතරව සිනමාවට නැඟුණු ප්‍රථම සිංහල නවකතාව ලෙස ඉතිහාසයට එක් වූ ඔහුගේ ‘‘කැළැ හඳ’’ ප්‍රබන්ධයට අමතරව ‘‘සිරියලතා’’, ‘‘හිඟන කොල්ලා’’, ‘‘දෙයියන්නෙ රටේ’’, ‘‘දෛව යෝගය’’ සහ ‘‘රදළ පිළිරුව’’ යනාදි ප්‍රබන්ධ ද සිනමාවට නැඟිණ.
මේ කතාව ඇරඹෙන්නේ 1906 වසරේ අවසාන භාගයෙනි. කතාවේ කතානායකයා එදින ද සිය නිෙවසේ ඉස්තෝප්පුවේ දකුණු පස පිහිටි කාමරයට වැදී දොරගුළු ලා ගත්තේ ඔහුගේ කුලුඳුල් ප්‍රබන්ධයේ 21වන පරිච්ඡේදය ලිවීම සඳහා ය.
පියා මරණ මංචකයේ;
පුතු ලියවිල්ලේ
මඳ වේලාවක් ගත වන විට නිවෙස තුළ විශේෂ කලබලගතියක් පවතින බව ද ඔහුට දැනිණ. ඒ කලබල ගතිය: සිය මවගේ උස් ස්වරයෙන් මෙන්ම දුක්මුසු ස්වරයෙන්ද, කඩිසරව එහා මෙහා යනෙන මෙහෙකරුවන්ගේ සහ මෙහෙකාරියන්ගේ හඬින් ද, සිය සහෝදර දෙපළගේ හඬින් ද පිරී පැවතිණ. එහෙත් මේ ලේඛකයා ඒ කිසිවක්ම මායිම් නොකරමින් තම කටයුත්තේ නිරත විය; ඔහුට බාහිර ලෝකයේ සිදු වන කිසිවක් පිළිබඳ නිච්චියක් නොතිබිණ. එහෙයින් ඔහු තව දුරටත් ලියමින්ම පසුවිණ; ඒ පරිච්ඡේදය ලියා අවසන්ව යළි කියවන්නට සූදානම් වත්ම ඉස්තෝප්පුව දෙසින් සිය සොහොයුරා ඔහු අමතන හඬ ඇසිණ. වහා දොර විවර කළ හෙතෙම කඩිනමින්ම නිෙවස අභ්‍යන්තරයට පිවිසිණ. පුරා දෙහෝරාවක පමණ කාලයක සිට නිෙවස තුළ පැවති කලබලකාරී වාතාවරණය පිළිබඳ නිසි අවබෝධයක් ඔහුට දැනුණේ ඒ නිමේෂයේ ය.
‘‘ඇයි අම්ම මට කලින් කතා නොකර…?’’
සියල්ල අවබෝධ වූ සැණින් හෙතෙම සිය මවගෙන් විමසී ය. එහෙත් එම පැනයට පිළිවදන් සැපයූයේ මව නොව ඒ වන විටත් අවසන් හුස්ම හෙළමින් සිටි සිය පියාණෝ ය. ඔහු ඉතා අසීරුවෙන් සිය වැඩිමහල් පුතු දෙස බැල්මක් හෙළී ය; හෙළා මෙසේ මිමිනී ය.
‘‘පුතාගෙ ලියුම් කියුම් වැඩවලට බාධා කරන්න එපා කියල තිබුණෙ මමයි. මේ අවසාන මොහොතෙ මං පුතාව කැඳෙවුවෙ වැදගත් කාරණයක් කියන්න.’’
අනතුරුව හෙතෙම සිය බාල පුතුන් දෙදෙනා ගැන විශ්වාසවන්ත සහ බලාපොරොත්තු සහිත කරුණු කිහිපයක්ම පවසා ‘‘පවුලෙ නම පවතින විශාල වැඩ කෙරෙන්න ඕනෙ ලොකු පුතාගෙන්. ඒ පවුල් රැකීමවත්, ධනය රැස් කිරීමවත් නෙවෙයි. මගේ ලොකු පුතා උප්පත්තියෙන් ලබපු කුසල් බලේ; ඒ, ලියුම් – කියුම් අතේ ශාස්ත්‍රීය වැඩ. ඔවු…! සිංහල භාෂාවෙන් පොත්පත් ලිවීම, රටේ තොටේ පූජිත පණ්ඩිතයෙක් වීම. ඒක ලොකු පුතාගෙන් කෙරෙන්න ම ඕන.’’
එසේ පැවසූ අප කතානායකයාගේ පියා ඒ නිමේෂයේ ම සිය අවසන් සුසුම් පොද වා තලයට මුසු කළේ ය.
පියාගේ අවසන් කැමැත්ත සහ පුතුගේ අභිප්‍රාය
පියාගේ අවසාන කැමැත්ත ඉටු කරනු වස් හෝ ස්වකීය අනන්‍යතාව රැකගනු වස් අප කතානායකයා පියා පැවසු පරිදි ම මෙරට සුවිශේෂ ගණයේ ප්‍රබන්ධකරුවකු බවට පත් විය. හෙතෙම ඒ අනන්‍යතාව 1957 වසරේ මැයි 31වන දින මෙලොව හැර යන තෙක්ම ඒ ආකාරයෙන්ම පවත්වාගෙන යන්නට සමත් විය. ඔහු අන් කිසිවකු නොව 1890 වසරේ ජනවාරි මස 16 වන දින මෙලොව එළිය දුටු වැල්ලෙවත්ත ආරච්චිගේ ඒබ්‍රහම් සිල්වා හෙවත් ඩබ්ලියු. ඒ. සිල්වා ය.
සිය පියා අවසන් සුසුම් පොද වා තලයට මුසු කරන මොහොතේ අප කතානායකයා රචනා කරමින් සිටියේ ඔහුගේ කුලුඳුල් ප්‍රබන්ධය වූ ‘‘සිරියලතා’’ කෘතිය යි. 1907 වසරේ ප්‍රකාශයට පත් කළ මෙම කෘතියේ සිට 1962 වසරේ ප්‍රකාශයට පත් කෙරුණු ‘‘රිදී හවඩිය’’ නමැති ප්‍රබන්ධ කෘතිය දක්වා ප්‍රබන්ධ කෘති 17ක් ද, පරිවර්තන ලෙස ‘‘එක් දහස් එක් රැය’’ කෘතියේ කාණ්ඩ 4ක් සහ වාල්මිකීගේ ‘‘රාමායණය’’ කෘතිය ද ඇතුළු කෘති 27ක් ඔහු සිංහල පාඨක ප්‍රජාව වෙත මුදා හැර ඇත.
භාග්‍යවත් දිනයක මතක පොද
ඉහත සටහන තබන්ට නිමිති වූයේ 2023/12/02 වන දින මා හිත මිත්‍ර චන්දන ගුණසේකර ලේඛකයා සම්මුඛ වීම සඳහා ‘ග්‍රන්ථ ප්‍රකාශන’ ආයතනය විසින් සංවිධාන කරනු ලැබ තිබූ සුහද හමුව ය. එය පැවතියේ යට කී මහා ලේඛකයා: ඉපදුණ, හැදුණ වැඩුණ, මේ සා විසල් සාහිත මෙහෙවරක නියැළුණ සහ ඔහු මියයන තෙක් ම විසූ පුරාණයේ මාපිටිය – පාමංකඩ පාර යනුවෙන් ද, පසු කාලයක දී කෝට්ටේ පාර යනුවෙන් ද, මෑතක් වෙන තුරු ම වැල්ලවත්තේ හයිස්ට්‍රීට් යන මැයෙන් ද නූතනයේ ඩබ්ලියු. ඒ. සිල්වා මාවත යනුවෙන් ද හැඳින්වෙන ‘‘සිල්වර්මියර්’’ නිෙවසට ගොඩ වැදීමේ භාග්‍ය ලැබීම ය.
එම නිෙවසට ගොඩ වැදීම භාග්‍යයක් වන්නේ කෙසේ දැයි කිසිවකුට කුකුසක් ඇති විය හැකි ය. මන් ද මෙරට වෙසෙන බොහෝ පිරිස් එම ලේඛකයාගේ කෘති කියවා තිබුණ ද ඔහුගේ නිෙවසට ගොඩ වදින්නට තරම් භාග්‍යයක් නොලද හෙයිනි. පුද්ගලිකව මට නම් එදින මගේ ජීවිතයේ සුවිශේෂි දිනයකි. අවංකව ම පවසන්නේ නම් ඒ හිත මිත්‍ර ලේඛක චන්දන ගුණසේකර සම්මුඛ වීම නොව (ඔහු මීට පෙර කිහිප වතාවක් ම සම්මුඛ වී ඇති අතර ම ඔහු මට නොයෙක් ආකාරයෙන් උපකාර ද කර ඇත; මා අනතුරකට ලක් වූ කාලයේ දී ලංකාවට පැමිණි මොහොතක මගේ සුව දුක් බැලීමට ද පැමිණ ඇත) මේ අග්‍රගණ්‍ය ලේඛකයාගේ නිෙවසට ගොඩ වැද, ඔහුගේ ම අත්අකුරින් පිරි ලිපි ලේඛන, ඔහුගේ ඉපැරණි කෘතිවල පළමු, දෙවන හෝ එකල ම මුද්‍රණද්වාරයෙන් නිකුත් වූ කෘතිවල පිටපත්, ඔහු භාවිත කළ: ඇඳ, පුටු, මේස ඇතුළු අනෙකුත් ගෘහ භාණ්ඩ, ඔහු පරිහරණය කළ පොත් පත්, ඔහු සවන් දුන් ට්‍රාන්සිස්ටර් ගුවන්විදුලි යන්ත්‍ර, ග්‍රැමෆෝනය, ඔහු භාවිත කළ යතුරු ලියනය, ඔහු භාවිත කළ විවිධ මාදිලියේ මුද්‍රණ යන්ත්‍ර, අච්චු අකුරු, පිටකවර සඳහා භාවිත කළ සිතුවම් බ්ලොග් යනාදිය සියැසින් දැක ගැනීමට ලැබීම ය. එහෙයින් එම අනගි අවස්ථාව උදා කර දුන් චන්දන ගුණසේකර සොහොයුරාට සහ ග්‍රන්ථ ප්‍රකාශන ආයතනයේ අධ්‍යක්ෂිකා තනෝජා වඩුගේට ද පළමුවෙන් ම මගේ ගෞරවාදර ස්තුතිය පිරිනැමිය යුතු ය.
සංවේගජනක මතක
මේ වන විට එම ගොඩනැඟිල්ල ඇතුළු ඒ කෞතුක වස්තු සියල්ල විනාශ මුඛයට යමින් පවතින බව දක්නට ලැබුණු විට මසිතට මහත් සංවේගයක් ඇති විණ. සැබැවින් ම නම් ඒ අග්‍රගණ්‍ය ලේඛකයාගේ සියලු දෑ සංරක්ෂණය කරනු ලැබ යුත්තේ ජාතික උරුමයන් සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය යටතේ පවතින සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව විසිනි. නමුදු මෙබඳු ස්ථානයක් තිබේද යන්න පවා අදාළ ආයතන බලධාරින් දැනුම්වත්ද යන්න පවා සැක සහිත ය.
වර්තමානය වන විට මෙකී ලේඛකයාගේ ප්‍රබන්ධ කෘති එතරම් වටිනාකම් නොඋසුලන්නට පිළිවන. නමුදු එකලට සාපේක්ෂව සලකා බලන විට ඒ බොහෝ ප්‍රබන්ධ ‘‘නවකතා’’ ගණයේ ලා සැලකිය හැකිය. ඔහු විසින් ප්‍රබන්ධිත ඉතිහාස කතා කිහිපය හැරුණු විට අනෙක් බොහෝ ප්‍රබන්ධ තුළ යට කී ‘‘නවකතා’’ ගුණය අන්තර්ගත ය. එනම් ඔහු සිය ප්‍රබන්ධය සඳහා පාදක කරගෙන තිබෙන සියලු සංකල්ප එකලට සාපේක්ෂව නැවුම් ය; පරිකල්පනීය පාර්ශ්වයෙන් ද නැවුම් ය. එහෙත් මෙරට විසූ ඇතැම් මහාචාර්යවරු මතු නොව මහා ගත්කරුවෝ ද මේ ලේඛකයාගේ කෘති හෑල්ලුවට ලක් කර ඇති බවත්, එම කෘති බටහිර කෘති අනුගමනය කරමින් රචනා කර ඇති බවත් පවසා ඇත. නමුදු ඔහුගේ කෘති එසේ විවේචනයට බඳුන් කළ මහා ගත්කරුවන් පවා සෝවියට් සාහිත්‍ය අනුගමනය කරමින් ඔවුන්ගේ කෘති රචනා කර ඇති බව ඔවුන් පිළි නොගැනීම බරපතළ ඛේදවාචකයකි.
‘කතා සක්විති’ නාමයෙන් පුද ලැබ
මේ සියලු කෙනෙහිලිකම් මධ්‍යයේ වුව ද අප කතානායකයා ඉන්ද්‍රඛීලයක් සේ නොසැලී සිය ලේඛන දිවියේ ඉදිරියට ම ගමන් කළේ ය. එහි අවසන් ඵලය වූයේ පාඨක සමාජය විසින්ම ඔහු ‘කතා සක්විති’ යන ගෞරව නාමයෙන් පුදනු ලැබීම ය. මෙම ලේඛකයාගේ ද බොහෝ කෘති සිනමාවට නැඟීම ද ඔහුගේ ලේඛන කුසලතා අවබෝධ කරගැනීම සඳහා කදිම නිදසුනකි. මා කියවා ඇති පරිදි මෑතක නිපද වූ ඉතා ම දුර්වල නිර්මාණයක් වූ විජයබා කොල්ලයට අමතරව සිනමාවට නැඟුණු ප්‍රථම සිංහල නවකතාව ලෙස ඉතිහාසයට එක් වූ ඔහුගේ ‘‘කැළැ හඳ’’ (මෙය ටෙලි නිර්මාණයකට ද නැඟිණ) ප්‍රබන්ධයට අමතරව ‘‘සිරියලතා’’, ‘‘හිඟන කොල්ලා’’, ‘‘දෙයියන්නෙ රටේ’’, ‘‘දෛව යොගය’’ සහ ‘‘රදළ පිළිරුව’’ යනාදි ප්‍රබන්ධ ද සිනමාවට නැඟිණ.
මේ සා විසල් සාහිත මෙහෙවරක යෙදුණු මේ ලේඛකයා පිළිබඳ අවධානය යොමු නොකළේ මහාචාර්යවරු සහ මහා ගත්කරුවෝ විසින් මෙම ලේඛකයාගේ නිර්මාණ හෙළා දැකීම ද යන්න සැක සහිත ය. නමුදු දැන් ඒ ආදිකල්පිත ආකල්ප පුපුරුවා හැරීමට කාලය එළඹ තිබේ.
‘‘ඩබ්ලියු. ඒ සිල්වා පදනම’’ සක්‍රිය කරන්නට නම්…
මේ වන විටත් ‘‘ඩබ්ලියු. ඒ සිල්වා පදනම’’ යන මැයෙන් පදනමක් තිබුණ ද එය සක්‍රිය බවක් දක්නට නොමැත. එලෙස සක්‍රිය පදනමක් තිබුණේ නම් එම ගොඩනැඟිල්ල අවට සහ ගොඩනැඟිල්ල තුළ තිබෙන කෞතුක වස්තු මීට වඩා පිරිසිදුව පිළිවෙළට තිබිය යුතු ය යන්න මගේ හැඟීම ය. එහෙත් අප එතරම් අවාසනාවන්ත නොවන බව එදින චන්දන ගුණසේකර ලේඛකයාගේ හමුව සංවිධාන කළ ‘‘ග්‍රන්ථ ප්‍රකාශන’’ ආයතනයේ අධ්‍යක්ෂවරිය වන තනෝජා වඩුගේගේ අනාගත බලාපොරොත්තු අප ඉදිරියේ තැබීමෙන් ඉක්බිති අවබෝධ විණ.
ඇගේ අදහසට අනුව අනාගතයේ දී පොත් ජනගත කිරීමේ අවස්ථා සඳහා එම භූමිය ලබා දීමට කටයුතු කිරීමේ සූදානමක් පවතී. එහි දී කිසිදු මුදලක් අය නොකරන බවද ඇය ප්‍රකාශ කළා ය. නමුදු කිසිදු මුදලක් අය නොකරනවා යන්නට නම් මම පුද්ගලිකව අකමැති ය. ඒ ඇයි ද යන්න පැහැදිලි කිරීම ඉතා දීර්ඝ ලියවිල්ලක් වන බැවින් ‘‘ග්‍රන්ථ ප්‍රකාශන’’ ආයතනය සද්භාවයෙන් ආරම්භ කිරීමට බලාපොරොත්තු වන වැඩපිළිවෙළ සාර්ථක කරගැනීම සඳහා අදහස් කිහිපයක් යේජනා කරන්නට මම අදහස් කළෙමි. එය බාර ගැනීම හෝ නොගැනීම එම පාර්ශ්වයේ කටයුත්තකි.
මගේ පුද්ගලික යෝජනා මාලාව
දැනට මෙම ගොඩනැඟිල්ල පිහිටි පරිශ්‍රයේ පොත් ජනගතකිරීමක් සඳහා භාවිත කරනවා නම් ඒ සඳහා සුදුසු ම ස්ථානය වන්නේ ගොඩනැඟිල්ල පිටුපස පිහිටියද ‘‘පිළිකන්නක්’’ ලෙස සැලකිය නොහැකි ‘‘මිදුල’’ බඳු භුමිය යි. එහෙත් එය සපුරාම විවෘත භූමියක් වන බැවින් වැසි සමයේ දී කිසිදු කටයුත්තක් කළ නොහැකි ය. පළමුව ඒ සඳහා වැඩපිළිවෙළක් සැකසිය යුතු ය. දෙවනුව සනීපාරක්ෂක පහසුකම් සහ ජල පහසුකම් සම්පූර්ණ කළ යුතු ය. තෙවනුව කුඩා ප්‍රමාණයේ හෝ ශබ්ද විකාශන කට්ටලයක් තිබිය යුතු ය. සිව් වැනුව පැමිණෙන පුද්ගලයන් සඳහා ආසන පහසුකම් සැපයිය යුතු ය. පස් වැනුව සංග්‍රහ කටයුතු සඳහා අවැසි පසුබිම සැකසිය යුතු ය.
මුද්‍රණ කටයුතු සදහා භාවිත කල යන්ත්‍ර සූත්‍ර
තවත් පාර්ශ්වයකින් ගත් විට මෙහි පැමිණෙන කිසිදු පුද්ගලයෙක් කෙරෙහි පූර්ණ විශ්වාසයක් නොතැබිය යුතු ය. එනම් දැනට එහි රක්ෂිතව පවතින කෞතුක භාණ්ඩ පිළිබඳ පූර්ණ අවධානය යොමු කළ යුතු ය. ඒ සියල්ල සුපැහැදිලි ලෙස ප්‍රදර්ශනය වන පරිදි ආලෝකය තිබිය යුතු ය. එසේ නොමැති වුවහොත් ඇතැම් කුඩා කෞතුක වස්තු අතුරුදන් විය හැකි ය. ඒ සෑම කාමරයක ම ආරක්ෂිත කැමරා සවි කළ යුතු ය.
වැඩපිළිවෙළ සඳහා මුදල් සොයන්නේ කෙසේ ද…?
මේ සියල්ල සම්පූර්ණ කිරීම සදහා මුදල් අවශ්‍ය බව සැබැවි. නමුදු දැනට පවතින භාරය පිළිබඳ මෙරට දානපතියන් දැනුම්වත් කළහොත් ආධාර උපකාර කරන බව පැහැදිලි ය. එහි ආරම්භක පියවරක් වශයෙන් මේ අග්‍රගණ්‍ය ලේඛකයාගේ කෘති ප්‍රදර්ශනයක් සහ අලෙවි සලක් පැවැත්විය හැකි ය. ඒ සඳහා එම ලේඛකයාගේ කෘති සියල්ල ම පාහේ නැවත මුද්‍රණද්වාරයෙන් ප්‍රකාශයට පත් කළ ගොඩගේ ප්‍රකාශන ආයතනයේ පූර්ණ සහයෝගය ලබා ගත හැකි යැයි මම විශ්වාස කරමි.
එමෙන් ම විදෙස්ගතව සිටින දේශප්‍රේමීන්ගෙන් සහ සාහිත්‍යප්‍රේමීන්ගෙන් ද විසල් සහයෝගයක් ලබා ගත හැකි ය.
ඔහුගේ පුද්ගලික පුස්තකාලය
තවද එදා මෙදාතුර මෙම ලේඛකයාගේ කෘති ඇසුරෙන් සිනමා සහ ටෙලි නිර්මාණ සමාජගත කළ නිෂ්පාදකවරුන් හෝ නිෂ්පාදකවරියන් ද මේ සම්බන්ධයෙන් දැනුම්වත් කළ යුතු ය. ඔවුන්ට ද හැකි පමණින් මේ සඳහා දායක වන්නැයි ඉල්ලා සිටිය යුතු ය. එමෙන් ම අනාගතයේ දී මෙම ලේඛකයාගේ කෘතියක් ඇසුරෙන් වෙනත් කලා නිර්මාණයක් නිපදවන්නේ නම් ඩබ්ලියු. ඒ. සිල්වා භාරය වෙත කිසියම් මුදලක් ගෙවිය යුතු බව පැහැදිලි කළ යුතු ය. හැකියාවක් පවතී නම් දැනට නිර්මාණය වී තිබෙන සිනමා සහ ටෙලි නිර්මාණ ප්‍රදර්ශනය කිරීම සඳහා වැඩපිළිවෙළක් සැකසිය යුතු ය. ඒ සඳහා ජාතික චිත්‍රපට සංස්ථාවේ පූර්ණ අනුග්‍රහය ලබා ගත හැකි යැයි විශ්වාස කරමි.
මා ඉදිරිපත් කළ වැඩපිළිවෙල ක්‍රියාත්මක කළ පසු එම ස්ථානය නොමිලේ ලබා නොදී ඉතා සුළු මුදලක් අය කර එය ලබා දිය හැකි ය. නොමිලේ ම ලබාදුන හොත් ලබා ගන්නා පාර්ශ්වය කිසිදු වගවීමකට යටත් නොවේය යන්න මගේ අදහස ය. මන්ද එවිට එහි පැමිණෙන සියලු දෙනා තමන්ගේ අවශ්‍යතා සපුරාගන්නට අවශ්‍ය උපකරණ රැගෙන එන්නේ පිටතිනි. ඇතැම් විට එවිට ඔවුනට ගෙවන්නට සිදු වන මුදල ඉතා ඉහළ අගයක පවතින්නට ද පිළිවන. එනිසා අවශ්‍ය පහසුකම් සලසා අවම රුපියල් පන්දහසක් පමණ අය කර මෙම ස්ථානය ලබාදෙන්නේ නම් එය ලබා ගන්නා පාර්ශ්වයට ද එතරම් බරක් නොවන අතර භාරය පවත්වාගෙන යන්නට ද එය ඉමහත් රුකුලක් වනු ඇත. මෙහි දී හැකි නම් මෙම ලේඛකයාගේ කෘති අලෙවි කළ හැකි වැඩපිළිවෙළක් ද සැකසිය හැකි ය. මෙය තව දුරටත් වර්ධනය කරන්නේ නම් ඔහුගේ නිර්මාණ ඇසුරෙන් කළ සිනමා නිර්මාණ නවීනතම තාක්ෂණය සහිත (පිටපත් කළ නොහැකි) ඩීවීඩී මාධ්‍යයෙන් ලබා ගැනීමේ වැඩපිළිවෙළක් ද සැකසිය හැකි ය. ඒ සඳහා පැරණි සිනමා කෘති එකතුවක් සතුව පවතින සුසිල් ධර්මපාලගේ උපකාරය ලබා ගත හැකි ය.
මෙය මගේ පුද්ගලික අදහසකි; එහි අපිළිවෙළක් ද තිබිය හැකි ය. නමුදු මෙය පිළිවෙළකට සකසා ක්‍රියාත්මක කළ හැකි නම් මෙම මධ්‍යස්ථානයත්, මෙහි තිබෙන කෞතුක භාණ්ඩත් සුරැකිය හැකි බව මගේ විශ්වාසය යි.
ජයසිරි අලවත්ත