පාතාලය හා මත්කුඩු ජාවාරම අද වන විට රටට පිළිලයක් වී හමාරය. පාතාල අපරාධකරුවන් ශක්තිමත් වී සිටින්නේ මත්කුඩු ජාවාරම හරහාය. කොළඹ හා තදාසන්න නතර ආශ්‍රිතව පමණක් වර්ධනය වී තිබුණු මත්කුඩු ජාවාරම අද ගම් නියම්ගම් පුරා පැතිර ඇත්තේ මත්කුඩු අලෙවියට ඇති ගමක් සොයා ගැනීම නොමල ගෙයකින් අබ මිටක් සොයා ගැනීම හා සමාන තැනකට පත්වෙමිනි.
අද වන විට බොහොමයක් ප්‍රධාන මත්කුඩු ජාවාරම්කරුවෝ රැඳී සිටින්නේ රටින් පිටය. වැඩි දෙනෙක් සිටින්නේ ඩුබායිවලය. ඉන්දියාවේ ද සැලකිය යුතු පිරිසක් සිටිති. ඒ අයගෙන් බොහොමයක් දැන් සිටින්නේ ඉන්දියාවේ සිරගෙදරවලය. ඒ ඉන්දියාවට ද දැන් අපේ රටේ මත්කුඩු ජාවාරම්කරුවන් හිසරදයක් වී ඇති බැවින් ඉන්දියාවේ රැඳී සිටින මත්කුඩු ජාවාරම්කරුවන් කොටුකර ගැනීමට එරට තුළ මෙහෙයුම් දියත් වෙමින් ඇති බැවිනි.
ඉන්දියාවත්, එක්සත් එමීර් රාජ්‍යත් හැරුණුකොට එංගලන්තය, ප්‍රංශය, ඉතාලිය යන රටවල මෙරට පාතාලයේ ප්‍රධාන මත්කුඩු ජාවාරම්කරුවන් කිහිප දෙනෙක්ම රැඳී සිටිති. රත්මලාන ගොනා කෝවිලේ කුඩු අංජු රැඳී සිටින්නේ ප්‍රංශයේය. බිරිය සමඟ ඇති කරගත් ආරවුලක් මුල් කරගෙන ප්‍රංශ පොලිස් අත්අඩංගුවට පත්වූ අංජුව මෙරටට ගෙන්වා ගැනීමට ලොකු උත්සාහයක් ගත්ත ද ඔහු දැන් සිටින්නේ නිදැල්ලේය. ඒ ඔහුව ප්‍රංශ පොලිසිය මඟින් නිදහස් කර ඇති බැවිනි. හංවැල්ල ආශ්‍රිතව මත්කුඩු ජාවාරමේ නිරතව සිටිමින් සිය ගෝලයන් යොදා මිනී මරන ලලිත් කන්නන්ගර නැමැති පාතාලයේ මත්කුඩු ජාවාරම්කරු සිටින්නේ ඩුබායිවලය. මෑතකදී ඩුබායි පොලිසිය ඔහුව අත්අඩංගුවට ගත්තේය. මෙරටට ඔහුව ගෙන්වා ගැනීමට හැකිවනු ඇතැයි සිතුවත් අවසානයේදී සිදු වූයේ ඔහු ද එරට පොලිසිය මඟින් නිදහස් කර යැවීමය. ඒ හැරුණු කොට ගොනාකෝවිලේ අංජුගේ දකුණු අත බඳු ඇල්ටෝ ධර්මේ ද වරක් ඩුබායි පොලිසියට හසු විය. ඔහුවත් අවසානයේදී නිදහස් කර යැවෙන්නේ අපේ රටින් ඔහුව ඉල්ලා සිටියදීය. මෙවැනි ආකාරයට පාතාලයේ මත්කුඩු ජාවාරම්කරුවන් බොහෝ දෙනෙක් ඩුබායි, ප්‍රංශය, ඉතාලිය, ඉන්දියාව වැනි රටවලින් අත්අඩංගුවට ගත්ත ද අපිට ඒ අයව බාර දෙන්නට තරම් උනන්දුවක් එම රටවලට නොවීය. ඊට හේතුව එම මත්කුඩු ජාවාරම්කරුවන් මිලියන ගණන් මුදල් වැය කරමින් නීතීඥ සහය ගෙන ගහන්න හැකි හැම ගේමක්ම ගසා නිදහස ලබන බැවිනි.
මාකදුරේ මධුෂ් ඇතුළු ගෝලබාලයන් ටින ඩුබාය හි පැවති සාදයකදී එරට පොලිසිය 2019 වසරේ අල්ලා ගන්නේ මත්කුඩු ජාවාරම්කරුවන් අතර වූ ආරවුලක ප්‍රතිඵලයක් ලෙස සැලසුම් සහගත මෙහෙයුමක ප්‍රතිඵලයක් ලෙසිනි.
මාකඳුරේ මධුෂ්ගෙන් පසු කොන්ත්‍රාත් ඝාතනවල නිරත වෙමින් අනක් ගුණක් නොමැතිව මිනී මරවමින් සිටි මාකිලන්ගමුවේ සංජීව හසුවන්නේ අහඹු ලෙසනි. ඒ ව්‍යාජ විදෙස් ගමන් බලපත්‍ර ගැටලුවක් මුල් කරගෙන නේපාලයෙන් ඔහුව පිටුවහල් කිරීම හේතුවෙනි. දැන් ඔහු සිටින්නේ මෙරට අත්අඩංගුවේ රඳවා ගැනීමේ නියෝගයක් මතය.
හරක් කටා සහ කුඩු සළිඳු මැඩගස්කර ආරක්ෂක අංශ අත්අඩංගුවට පත් වීමෙන් අනතුරුව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් එරට බලධාරින් සමඟ අදහස් හුවමාරු කර නොගන්නට ඔවුන් දෙදෙනා ද අද සිටින්නේ නිදැල්ලේය. හරක් කටා සහ කුඩු සළිඳු මෙරටට රැගෙන ඒමට හැකියාව ලැබෙන්නේ ටිරාන් අලස් අමාත්‍යවරයාගේ උනන්දුව හා හයි හත්තිය නිසා බවට විවාදයක් නැත. දැන් ඔවුන් දෙදෙනා සිටින්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු භාරයේය. පොලිසියේ ලොකු සම්බන්ධකම් ඇතිව සිටි හරක් කටාත් කුඩු සළිඳුත් ඒ අය ගැන පමණක් නොව, ඒ අයට දුන් තුටු පඬුරු ගැන පවා මේ වන විට වමාරමින් සිටියත් ඒ දේවල් හරියට තාමත් එළියට ඇවිත් නැත. ඔවුන් දෙදෙනා අධිකරණයට ඉදිරිපත් කළ දිනක ඔවුන්ගෙන් යැපුණු බොහෝ අයගේ රෙදි ගැලවෙනු ඇත.
හරක් කටා සහ කුඩු සළිඳු පමණක් නොව, මෙවැනි කුප්‍රකට නම් ඇති අපරාධකරුවන් බොහෝය. මෙම අපරාධකරුවන් කොටුකර ගැනීම ලෙහෙසි පහසු කටයුත්තක් නම් නොවනු ඇත. ඒ ඔවුන්ට ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය මාෆියාව හරහා ලොකු සම්බන්ධකම් ඇති බැවිනි. ටිරාන් අලස් ඇමැතිවරයා වැඩ බලන පොලිස්පති දේශබන්දුව මෙහෙයවමින් මේ වන විට දියත් කර ඇත්තේ එම පාතාලයේ මත්කුඩු ජාවාරමේ කොඳු නාරටිය බිඳ දැමීමේ ලොකු මෙහෙයුමකි. පාතාලයේ මත්කුඩු ජාවාරම්කරුවන්ගේ සාක්කුවට වැටී සිටින පොලිසියේ ලොකු ලොක්කන් ද මෙම මෙහෙයුමට සම්බන්ධව සිටින්නේ තමන් තරම් පිරිසුදු චරිත නොමැති බව කියා පාමිනි. හැබැයි මේ අය ගැන මාකඳුරේ මධුෂ්, හරක් කටා, කුඩු සළිඳු බොහෝ දේවල් වමරා ඇති බව පොලිසිය ඇතුළේ නම් ප්‍රසිද්ධ රහසකි. ටිරාන් අලස් ඇමැතිවරයාගේ හයිය නොවන්නට අද යුක්තිය නමින් මෙහෙයුමක් පොලිස් දෙපාර්තමේන්තුව තුළ ක්‍රියාත්මක වේවි දැයි ඇත්තේ ගැටලුවකි.
මෙම මෙහෙයුමට සමගාමීව රටින් පළා ගොස් සිටින පාතාලයේ මත්කුඩු ජාවාරම්කරුවන් මෙරටට ගෙන්වා ගැනීමේ වැඩපිළිවෙළක් ද ක්‍රියාත්මක බව ටිරාන් අලස් අමාත්‍යවරයා සඳහන් කර ඇත. ඒ ඩුබායිහි රැඳී සිටින මත්තුඩු ජාවාරමට සම්බන්ධ පාතාල අපරාධකරුවන් 29 දෙනෙක් සහ ප්‍රංශයේ රැඳී සිටින එක් අපරාධකරුවෙක් වශයෙනි. ඊට අදාළ රාජ්‍යතාන්ත්‍රික මෙහෙයුම්වල අමාත්‍යවරයා නිරතව සිටින බව ද කියැවෙයි. හඳුනා ගෙන සිටින මේ අය පමණක් නොව, මෙම රටවල්වල තවත් බොහෝ පාතාලයේ මත්කුඩු ජාවාරම්කරුවෝ රැඳී සිටිති. ඒ හැරුණු කොට එංගලන්තය, ඉතාලිය ඇතුළු රටවල් ගණනාවක සිටින ප්‍රබල මත්කුඩු ජාවාරම්කරුවන් ද මෙරටට ගෙන්වා ගත යුතුව ඇත.
ටිරාන් අලස් ඇමැතිවරයාගේ අදහසකට අනුව මේ වන විට රට පුරා දියත්වන මත්කුඩු ජාවාරම හා ඒ හා බැඳුණු පාතාලය කුඩු පට්ටම් කරන්නට උත්සාහ දරන යුක්තිය මෙහෙයුම සාර්ථක ද අසාර්ථක ද යන්න පිළිබඳ සටහන් තැබීමට තවමත් කල් වැඩිය. ඒ කාලෙන් කාලයට අපේ රටේ මෙවැනි මෙහෙයුම් පාතාලයට හා මත්කුඩු ජාවාරමට එරෙහිව දියත් වී ඇති බැවිනි. චන්ද්‍රිකා ආණ්ඩුව සමයේදීත් මහින්ද ආණ්ඩුව සමයේදීත් මතට තිත තබන්නට එවකට පොලිස්පතිවරයාව සිටි චන්ද්‍රා ප්‍රනාන්දු විසින් ඔපරේෂන් ක්ලීනප් නමින් මෙහෙයුමක් දියත් කළේය. යුක්තිය මෙහෙවුම මෙන්ම එම මෙහෙයුම රටේම අවධානයට යොමු වූ මෙහෙයුමක් බවට පත්ව තිබුණේය. මත්කුඩු ජාවාරම්කරුවන් සහ පාතාල අපරාධකරුවන් පන්න පන්නා ඇල්ලුවත් මතට තිත තබන්නට තරම් එයට හැකියාවක් නොවීය. සිදු වන්නේ කාලයත් සමඟ මත්කුඩු ජාවාරම තවත් ව්‍යාප්ත වෙමින් ජාවාරම්කරුවන් ශත්තිමත් වීමය. අඩුම තරමින් එම මෙහෙයුමේදී ප්‍රබල මත්කුඩු ජාවාරම්කරුවන් හය හත්දෙනෙක්වත් අල්ලා ගැනීමට හැකියාවක් නොවීය. හැබැයි පොලිසිවල සිරමැදිරි පිරී ගියේ මත්කුඩු ලෝලීන්ගෙනි.
පූජිත් ජයසුන්දර පොලිස්පති ධුරයට පත්වීමෙන් පසුව ද මත්කුඩු මෙහෙයුමත් දියත් කරනු ලබන්නේ මත්කුඩු ජාවාරම්කරුවන්ට එරෙහිව මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට යන සූදානමක් ගැන ලොකු කතාබහක් සමාජගත වෙමින් තිබියදීය. පූජිත් ජයසුන්දර පොලිස්පතිවරයා ලොකු උනන්දුවකින් වෙලාවක් කලාවක් නොමැතිව පොලිසිය මෙහෙයවන්නට වූයේ මත්කුඩු ජාවාරම්කරුවන් සහ පාතාල අපරාධකරුවන් කොටුකර ගැනීමට පොලිසියට ලොකු පීඩනයක් ද එල්ල කරමිනි. ඔහු වැඩි අවධානයක් යොමු කරනු ලැබුවේ දෛනිකව අත්අඩංගුවට ගන්නා පුද්ගල ප්‍රමාණය කෙරෙහිය.
මත්කුඩු හා පාතාලය මර්දනය කිරීමට කාලෙන් කාලෙට මෙවැනි මෙහෙයුම් මතු වූවත් ටිරාන් අලස් අමාත්‍යවරයාගේ කියුම් කෙරුම් දෙස බැලීමේදී නම් පෙනී යන්නේ යුක්තිය මෙහෙයුුම නම් යුක්තිය ඉටු නොවී අවසානයක් නොදකින බවකි. පසුගිය 17 වෙනිදා අලුයම් කාලයේදී නැකතට ඇරඹි මෙම මෙහෙයුමට කොටු වූ පිරිස 15,000කට වැඩිය. පාතාලයේ මත්කුඩු ජාවාරම්කරුවන්ගේ දේපොළ ද මේ වන විට තහනම් කරමින් මුදල් විශුද්ධිකරණයෙන් රාජසන්තක කිරීමට පවා මේ වන විට ලොකු උනන්දුවකින් කටයුතු කිරීමට අමාත්‍යවරයා පොලිසිය මෙහෙයවන ආකාරයක් ද මේ වන විට දකින්නට ලැබෙන්නේ ලොකු ජනතා ප්‍රසාදයක් බවා ඔහුට ලැබෙමිනි.
එතෙක් මෙතෙක් කිසිදු දේශපාලනඥයෙක් නොදැක්වූ ආකාරයට සක්‍රිය දායකත්වයක් දරමින් ටිරාන් අලස් අමාත්‍යවරයා විසින් දියත් කර ඇති යුක්තිය මෙහෙයුමට බියෙන් මේ වන විට මෙරට රැඳී සිටින ප්‍රබල පාතාල අපරාධකරුවන් රැසක්ම සිටින්නේ සිය උන්හිටිතැන්වලින් පවුල් පිටින්ම අතුරුදන්වය. සාමාන්‍ය ජනතාව දෙසැම්බරයේ විනෝද චාරිකා සහ විවේක ගැනීමට යන එන තැන් ලෙස සැලකෙන කතරගම, ඇල්ල, නුවරඑළිය, අනුරාධපුරය වැනි ප්‍රදේශ ආශ්‍රිතව මේ වන විට පාතාලයේ මත්කුඩු ජාවාරම්කරුවන් රැඳී සිටින බව සඳහන්ය. පවුල් පිටින් ඔවුන් ඒ ප්‍රදේශවල රැඳී සිටින්නේ ද සැකයට ලක් නොවන ආකාරයටය.
එසේ පවුල් පිටින් නුවරඑළියට ගොස් සිටි මත්කුඩු ජාවාරමේ නිරත ප්‍රබල පාතාලයේ අපරාධකරුවෙක් කොටුකර ගැනීමට සමත් වන්නේ වරකාපොළ පොලිසියයි. ඒ පසුගිය 26 වෙනිදා රාත්‍රී කාලයේ යුක්තිය මෙහෙයුමට සමගාමීව සිදු කළ මෙහෙයුමක ප්‍රතිඵලයක් ලෙසිනි.
යුක්තිය මෙහෙයුම ආරම්භ කළ දින සිට මේ දක්වා කොටු වූ ප්රබලතම මත්කුඩු ජාවාරමේ නිරතව සිටින පාතාල අපරාධකරු ලෙස සැලකිය හැක්කේ ඔහුවය. මෙම පාතාල අපරාධකරු වෙන කිසිවෙක් නොව, මට්ටක්කුලිය කේන්ද්‍ර කරගෙන පාතාල අපරාධ හා මත්කුඩු ජාවාරම මෙහෙයවමින් සිටින තුප්පහි ආරච්චිලාගේ ප්‍රසාද් රොෂාන් නොහොත් කුඩු රොෂාන්ය. කුඩු රොෂාන් මෙම මෙහෙයුමේදී අල්ලාගත් ප්රබලතම පාතාල අපරාධකරු යැයි සඳහන් වූවත් ඔහු ක්‍රියාත්මක වූයේ මට්ටක්කුලිය සමිට්පුර කේන්ද්‍ර කරගෙනය.
රොෂාන් ක්‍රියාත්මක වූයේ දෙමටගොඩ පාතාලයේ කුඩු රජවරුන්ගේ ආශීර්වාදය ඇතිවය. රොෂාන් පොලිසිය සමඟ ද ගේම් ගසන්නට දක්ෂයකි. පාතාලයේ ප්‍රබල අපරාධකරුවෙක් ලෙස කුඩු රොෂාන් කරලියට එන්නේ 2016 වසරේ ඔක්තෝබර් 23 වෙනිදා මට්ටක්කුලියේම ක්‍රියාත්මක මත්කුඩු ජාවාරම්කරුවෙක් වූ ඔහුගේ ප්‍රතිවාදියා ලෙස කටයුතු කළ චූටි උක්කුන් ඇතුළු පස් දෙනෙක් වෙඩි තබා එක පොදියට මරා දමමිනි. ටී 56, පිස්තෝල ඇතුළු ආයුධ ගොන්නක් සමඟ පොලිසිය රොෂාන් ඇතුළු ගෝල බාලයන් රැසක් එම පංච පුද්ගල ඝාතනයට අල්ලා හිරගෙදරට දැක්වුව ද රොෂාන් ඇතුළු පිරිස අද වන විට සිටින්නේ එම ඝාතන චෝදනාවෙන් නිදහස ලබාය. ඒ ඔහුට එරෙහිව පැවති සාක්ෂි උඩුයටිකුරු කර යම් ගේමක් ගැසූ බැවිනි. 2019 වසරේ අගෝස්තු 15 වෙනිදා මාදම්පිටිය සුසාන භූමියේදී දෙදෙනෙක් කපා කොටා මරා දැමීමේ අපරාධයකට පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට ගත් අවස්ථාවේදී පංචපුද්ගල ඝාතනයෙන් ගැලවීමට ගැසූ ගේම ගැන මෙන්ම ඒ වෙනුවෙන් කෝටි ගණන් මුදල් වියදම් කළ හැටි කුඩු රොෂාන් ලස්සනට හෙළිකර තිබුණේය. රොෂාන් මත්කුඩු ජාවාරම කරගෙන ගියේ ද එවැනි හයි හත්තිය ඇතිවය. රටින් පැන යන්නේ නොමැතිව ඔහු මෙරට සිට කුඩු ජාවාරම මෙහෙයවමින් සිටියේ ද එවැවින් විය හැකිය.
කුඩු රොෂාන් සිය මත්කුඩු අධිරාජ්‍ය ගොඩනඟා ගෙන සිටින්නේ මට්ටක්කුලිය ආශ්‍රිතවය. ඊට පෙර ඒ තැන සිටියේ රොෂාන්ගේ පියා වූ සුමිත්ය. ඔහුගේ පියාට අභියෝගයක් වෙමින් මට්ටක්කුලියේ පිහිටු වූ මත්කුඩු ජාවාරම්කරුවෙක් වූයේ චූටි උක්කුංය. චූටි උක්කුං ක්‍රියාත්මක වූයේ එක මට්ටක්කුලිට හොල්ලා ගෙන සිටි සංඛගේ ආශීර්වාදය ඇතිවය. මාකිලංගමුවේ සංජීවගේ ආශීර්වාදය ද හිමිව තිබුණේ සංඛටය. ඔවුන්ගේ ප්‍රතිවාදියා වූයේ දෙමටගොඩ රුවන් සහ චමින්දය. කුඩු රොෂාන්ගේ පියා ඇසුරු කළේ ඔවුන්වය. තමන්ගේ තැන රඳවා ගන්න එදා සුමිත් සහ චූටි උක්කුං අතර පැවතියේ සීතල යුද්ධයකි. එහි ප්‍රතිඵලයක් ලෙස 2014 වසරේ ජූලි 14 වෙනිදා සුමිත්ව මරා දමන්නේ රොෂාන්ගේදෑස් ඉදිරිපිටදීය. රොෂාන්ද කඩු පහරකට ලක්ව රෝහල්ගතව සිටියේ ජීවිතයත් මරණයත් අතර සටනක නිරතවය.
සුමිත්ගේ මරණින් පසු මට්ටක්කුලිය සමිට්පුර මත්කුඩු බෙදා හැරීමේ ජාලය මුළුමනින්ම චූටි උක්කුං විසින් සියතට ගන්නට උත්සාහ ගත්ත ද ඊට රොෂාන්ගෙන් ඉඩක් නොවීය. මට්ටක්කුලිය ආශ්‍රිතව කුඩු රොෂාන්ගේ කල්ලිය හා චූටි උක්කුංගේ කල්ලිය ලෙස කුඩා කල්ලි දෙකක් බිහි වෙන්නේ එහි ප්‍රතිඵලයක් ලෙසිනි. එම කල්ලි දෙකේ ගැටුවේ උච්චතම අවස්ථාව ලෙස සැලකෙන්නේ චූටි උක්කුං ඇතුළු පස් දෙනෙක් ඝාතනය වීමය. ඊට පෙර ඔහු සිය පියා මැරූ පළිය රෝහලේ ඇඳක් මත සිට ගන්නේ චූටි උක්කුංගේ මව වෙඩි තබා මරවමිනි. චූටි උක්කුං ඇතුළු ඔහුගේ ගෝලබාලයන් පස් දෙනෙක් එක පොදියට රොෂාන්ගේ වෙඩි ප්‍රහාරයට ලක්ව මරුමුවට පත් වන්නේ සමිට්පුර ක්‍රීඩාංගණයේ පැවති එල්ලේ තරගාවලියක ප්‍රධාන ආරාධිතයා ලෙස පැමිණ නැවත යමින් සිටියදීය.
චූටි උක්කුං මරා දමා සමිට්පුර පමණක් නොව, මට්ටක්කුලියේම මත්කුඩු බෙදා හැරීමේ ජාලය අත්පත් කරගත් කුඩු රොෂාන් දැවැන්ත චරිතයක් ලෙස ගොඩනැගෙමින් සිටියදී කුඩු රොෂාන් බලය බිඳ දැමීමට බිහි වන්නේ චූටී උක්කුංගේ සහෝදරයා වන ප්‍රියංකරය. ප්‍රියංකර මේ වන විට සිටින්නේ සිය ජීවිතාරක්ෂාව පතා රටින් බැහැරවය. රොෂාන්ට එරෙහිව සටන් කරන්නට ප්‍රියංකරට හයියක් වන්නේ මාකිලංගමුවේ සංජීවය. ඒ සංජීවගේ අනියම් බිරිය ලෙස චූටි උක්කුංගේ බිරිය තබාගෙනය. ප්‍රියංකර හරහා සංජීව බොහෝ වැඩ ගත්තේය. කොන්ත්‍රාත් ඝාතන ගොන්නකටම සහාය ගෙන තිබුණේ මට්ටක්කුලියේ ප්‍රියංකරගේ ගෝල බාලයන්ය. ප්‍රියංකර සිය කල්ලිය මෙහෙයවන ලද්දේ කුඩු රොෂාන්ට එරෙහිවය. ඒ බව දැනගෙන සිිටි රොෂාන් සිය ගෝලබාලයන් මෙහෙවා තමාව ඝාතනය කිරීමට සූදානමින් සිටි ආනමාලු රංග සමඟ තවත් අයකුව කපා කොටා මරා දමන්නේ 2019 වසරේ අගෝස්තු 15 වෙනිදා මාදම්පිටිය කනත්තේදීය. ඒ ඔවුන් දෙදෙනා අවමඟුලකට සහභාගිවී සිටියදීය.
එම ඝාතනය සම්බන්ධයෙන් කුඩු රොෂාන් ඇතුළු ඔහුගේ ගෝලබාලයන් රොත්තක්ම පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට ගන්නේ යක්කල පිහිටි හෝටලයක රැඳී සිටියදීය. ඒ අතර බස්නාහිර පළාත් සභාවේ එවකට සිටි මන්ත්‍රීවරයෙක් ද සිටියේය.
එම ඝාතනය සම්බන්ධයෙන් කාලයක් බන්ධනාගාරගතව සිටි රොෂාන් ඇප මත නිදහස ලැබීමෙන් පසු පසුගියදා වරකාපොලදී අත්අඩංගුවට පත්වන තුරුම සිටියේ නිදැල්ලේය. රොෂාන් සිය පවුලේ සාමාජිකයන් සමඟ නුවරඑළියේ සංචාරයක් සඳහා යන්නේ පසුගිය 20 වෙනිදාය. පොලිසිය පැත්තෙන් කියැවෙන්නේ යුත්තියට බියෙන් ඔහු නුවරඑළියට පළාගොස් ඇති බවය. ඒ ගොස් ඔහු නුවරඑළියේ නවාතැන් පොලක් රුපියල් 30,000ක මුදලකට ලබාගෙන එහි දින කිහිපයක් ගත කර නැවත කොළඹ බලා පිටත්ව එන්නේ 26 වෙනිදාය. පොලිසිය පැත්තෙන් කියැවෙන්නේ යුක්තිය මෙහෙයුම නතර කර ඇති බව සිතා ඔහු නැවත කොළඹ බලා පැමිණ ඇති බවය.
වරකාපොළ පොලිසිය පැත්තෙන් කියැවෙන ආකාරයට අනුව කුඩු රොෂාන් ඇතුළු පිරිස කොටු කර ගැනීමට ඔවුන්ට තොරතුරක් ලැබෙන්නේ කෑගල්ල කොට්ඨාශ බුද්ධි කාර්යාංශයේ කුමාර නැමැති නිලධාරියාගෙනි. එම තොරතුරට අනුව වහාම ක්‍රියාත්මක වූ වරකපොල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඒ. ඩී. සී. ප්‍රසාද් දූෂණ මර්දන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක රණවංශ ඇතුළු කණ්ඩායමක් යොදා කොළඹ නුවර පාරේ අගුරුවැල්ල හන්දියේදී ක්ෂණික මාර්ග බාධකයක් යොදා වාහන පරීක්ෂාවක නිරත වන්නේ සැක කටයුතු මෝටර් රථය පරීක්ෂා කිරීමේ අරමුණ ඇතිවය.
එම මෝටර් රථය මාර්ග බාධකය යොදා වැඩි වේලාවක් යන්නට මත්තෙන් අගුරුවැල්ල හන්දිය පසු කරන්නට විය. පොලිස් නිලධාරින් රථයට අත දමා නවතන්නට වූයේ සාමාන්‍ය පරීක්ෂා කිරීමක් ලෙස හුවා දක්වමිනි. එම පොලිස් අණට අවනත වෙමින් මෝටර් රථය නතර කරන විට එම රථය පිටුපසින් වෑන් රථයක් ද නතර කරනු ලැබීය. එම වෑන් රථයේ රැඳී සිටින්නේ ද මෝටර් රථයේ සිටින අයගේම ඥතීන් පිරිසක් බව අනාවරණය වන්නේ පසුවය.
මෙම පිරිස අතර කුඩු රොෂාන් සිටින බවට තොරතුරක් නොවූ බව පොලිසිය පැත්තෙන් දැනගන්නට ඇති කරුණකි. තොරතුර ලැබෙන්නේ සැකකටයුතු පිරිසක් ගැනය. ඒ අය සතුව මත්ද්‍රව්‍ය ඇති බව ද එම තොරතුරෙන් කියැවී තිබුණේය. ඒ අනුව මෝටර් රථයේ සිටි පිරිස පරීක්ෂා කරන විට එහි සිටි අයෙක් සතුව හෙරොයින් මත්ද්‍රව්‍ය යම් ප්‍රමාණයක් හමුවී තිබුණේය. ඒ අනුව වෑන් රථයේ සිටි පිරිස ද පොලිස් පරීක්ෂාවට ලක්වූයේ ඇතිවුණු සැකයක් මතය. ඒ අය අතර සිටියෙක් සතුව ද මත්ද්‍රව්‍ය තිබුණේය. පොලිසිය පවසන ආකාරයට අනුව දෙදෙනාම සතුව තිබී සොයාගත් මත්ද්‍රව්‍ය ප්‍රමාණය ග්‍රෑම් 01යි මිලිග්‍රෑම් 875ක් බවය. ඒ අනුව වෑන් රථයේත් මෝටර් රථයේත් ඒ වන විට ගමන් කරමින් සිටි පිරිමින් 10 දෙනෙක් කාන්තාවන් 05 දෙනෙක් සහ දරුවන් 08 දෙනෙක් සිය භාරයට ගැනීමට පොලිසිය පියවර ගත්තේය. ඒ අයගේ ජාතික හැඳුණුම්පත්වලට අනුව ඔවුන් මට්ටක්කුලිය සමිට්පුර පදිංචිකරුවන් වූ බැවින් පොලිසිය ඔවුන්ගේ නම් ලැයිස්තුවක් සකස් කර මට්ටක්කුලිය පොලිසියට යොමු කරනු ලබන්නේ ඒ අය කවුරුන්දැයි හඳුනා ගැනීමටය. කුඩු රොෂාන් ඇතුළු විවිධ අපරාධවලට සම්බන්ධ පිරිමින් 04 දෙනෙක් සහ කාන්තාවන් 03ක් ඒ අතර සිටින බව තහවුරු වන්නේ එවිටය. සිය භාරයට ගත් අය අතර කුඩු රොෂාන් සිටි බවක් ඒ වන විටත් කිසිදු පොලිස් නිලධාරියෙක් දැන සිටියේ නැත.
පොලිස් බලධාරීන් පවා කුඩු රොෂාන් අත්අඩංගුවට ගෙන ඇති බවක් දැන ගන්නේ එවිටය. වරකාපොල පොලිසියේ ස්ථානාධිපති ඇතුළු නිලධාරීන් මෙහිදී සිය උසස් නිලධාරීන්ගේ උපදෙස් මත මෙම පිරිස රඳවා ගෙන විමර්ශනයක් පවත්වන්නට කටයුතු කරනු ලබන්නේ තුලිහිරිය මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබා ගන්නා අවසරයක් මතය. නුවරළියේ සංචාරය ගැන තොරතුරු හෙළි වන්නේ ද එහිදීය. ඒ හැරුණු කොට වැදගත් යැයි කියන යමක් ඔවුන්ගෙන් හෙළි නොවූවත් මෙතෙක් කාලයක් පොලිසිය දැනගෙන සිටි කුඩු රොෂාන්ගේ දේපොළ ටික ගැන මුදල් විශුද්ධිකරණය යටතේ විමර්ශනයක් ආරම්භ කරන්නට පවා උනන්දුවක් දක්වන්නේ මෙම අත්අඩංගුවට ගැනීමත් සමඟිනි. කුඩු රොෂාන් අත්අඩංගුවට ගෙන පැය 24ක් යන්නට මත්තෙන් පොලිසියේ උසස් නිලධාරීන් ජා-ඇල සහ මට්ටක්කුලියේ ඇති ඔහුට අයත් බව කියැවෙන නිවාස කිහිපයකට ගොස් එම දේපොළ තහනම් කිරීමට කටයුතු කරන බව කියන්නේ එතෙක් කාලයක් එම දේපොළ ගැන තොරතුරු දැනගෙන සිට ඒ ගැන කිසිවක් නොකර සිටීමේ පසුබිමක් තුළදීය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයේ නිලධාරින් මේ වන විටත් එම දේපොළ තහනම් කිරීමට අවශ්‍ය මූලික කටයුතු කර ඇති අතර අධිකරණයට ද ඒ ගැන කරුණු දක්වා ඇත්තේ රුපියල් කෝටි 10ක පමණ වූ දේපොළක් ගැන විමර්ශන ආරම්භ කළ බව දැනුම් දෙමිනි.
ගයාන් කුමාර වීරසිංහ