– කලින් දවසෙ බණ්ඩාරවෙල නගරයට ගිහින් පළමු වැනි පඩියෙන් අම්මට, තාත්තට මල්ලිලා දෙන්නට ඇඳුම් අරන් දීලා
– ඇඟට අමාරුයි කිවුවා; එකපාරම ඇද වැටුණා. ඉස්පිරිතාලෙට අරන් යද්දිත් පණ ගිහින්
– තවම අවුරුදු 24යි. රැකියාවට ගිහින් තවම මාස දෙකයි
ජීවිතය මොන කඩමාල්ලක්දැයි සිතමි. මේ තරම් රකින්නට හදන්නේ නොදන්නා මොහොතක එක්වර අත්හැර දමා යන මේ වැරහැල්ල නම් සෙවිය යුත්තේ ජීවත් වීමේ අර්ථයම නොවේ ද?
ඇය ගෙවා තිබුණේ ජීවිතයේ 24 වසරකි. ජීවිතය පටන් ගත්තා පමණි. හෙදියක් ලෙස සිය ජීවන වෘත්තිය පටන් අරන් මාස දෙකක් නැත. පැහැසර අනාගතයක ලකුණු පෙන්වූ රූමත් උගත් ඒ තරුණිය අප හැර ගොස්ය. ඉකුත් 28 වැනිදා, බ්‍රහස්පතින්දා සවස ඇයගේ දේහය සොහොන් කර පැමිණි ප්‍රියයන් මේ සිදු වූයේ කුමක්දැයි නොදැන තවමත් කම්පනයෙනි. මේ මොහොත වන විට ඇත්තේ සඳුනිකා සුලෝචනා පිළිබඳ වූ මතක පමණි.
සඳුනිකා සුලෝචනා සමරවීර ඉපදුණේ බණ්ඩාරවෙල, වනසිරිගම, මකුල්ඇල්ල ගමේය. ඇය පවුලේ වැඩිමහල් දියණිය ය. ඇයට තවත් නිවුන් සහෝදරයෝ දෙදෙනෙක් වෙති. ආදරයට කවුරුත් කිවුවේ සඳුනි කියාය. සඳුනිගේ මව මනතුංග දේවගේ චන්ද්‍රවතී (53)ය. පියා මනතුංග දේවගේ සමරවීර මනතුංග (59)ය. සඳුනිලා ආදරයෙන් පිරුණු කැදැල්ලක හැදී වැඩුණු බව සැබෑය. නමුත් ඒ ජීවිත පහසු වූයේ නැත. සඳුනිගේ තාත්තා වෘත්තියෙන් පෙදරේරුවෙකි. වැලි සිමෙන්ති බදාම සමඟ ගැටෙමින් ගිනි අව්වේ දහදිය වගුරුවමින් ඒ තාත්තා බිඳෙන් බිඳ සඳුනිලාගේ අනාගත ජීවිතය ගොඩනැඟුවේය.
සඳුනි අධ්‍යාපනය ලැබුවේ බණ්ඩාරවෙල ධර්මාශෝක විද්‍යාලයෙනි. ඇය ඉගෙනීම කෙරෙහි වැඩි නැඹුරුවක් සහිත දැරියක වූවාය. අම්මාගේ සහ තාත්තාගේ ජීවිත ප්‍රාර්ථනාව හඳුනා ගත් ඇත්ත දියණියක වූවාය. ජීව විද්‍යා විෂය ධාරාවෙන් අධ්‍යාපනය හැදෑරූ සඳුනිට වෛද්‍ය විද්‍යාල ප්‍රවේශය මඟ හැරුණි. එහෙත් ඇය සිය ප්‍රතිඵලය මත හෙදි වෘත්තිය සඳහා බලාපොරොත්තු සහිතව ඉල්ලුම් කළාය. සඳුනි සිය මවුපියන්ගේ අභිප්‍රායන් සඵල කරවමින් වර්ෂ 2018 දී හෙද විද්‍යාලයට තේරිණි. හෙද විද්‍යාල අධ්‍යාපනය ද කැපකිරීම් සහිත දුෂ්කර වෘතයක් වැන්න. ගිලන් ජීවිත සමඟ කෙරෙන මානුෂික ගනුදෙනුවක් සඳහා වෘත්තීය පරිචයක් ලැබීම සම්බන්ධ විද්‍යාත්මක ශික්ෂණය කෙරෙහි අවබෝධය ඇත්තේ හෙදියක ලෙස වෘත්තීය ජීවිතයට ඇතුළු වන පිරිසට පමණි.
ඇය හෙදියක ලෙස හෙද විද්‍යාලයෙන් ලද අධ්‍යාපනය නිමා කළ වකවානුව වනවිට රට පැවැතියේ බිහිසුණු ව්‍යසනයකය. කොවිඩ් වසංගතය පැතිරෙමින් ගෝලීයව සමස්ත මානව ක්‍රියාකාරකම් බිඳ වැටී තිබිණි. අනතුරුව රට තුළ හටගත් ව්‍යාකූල තත්ත්වය සහ බිඳ වැටුණු ආර්ථික පරිසරය තුළ සමාජය අරාජික වූයේය. ඒ හේතුවෙන්ම ඇයට වැඩිමනත් කාලයක් සිය වෘත්තිය ආරම්භ කිරීම සඳහා අපේක්ෂා සහිතව බලා සිටීමට සිදු විය. පැවතුණු තත්ත්වය කෙමෙන් සමහන්වී යද්දී මීට මාසයකට පමණ පෙර සඳුනි සුලෝචනා නවක හෙදියක ලෙස පත්වීම ලැබුවාය. ඒ කොළඹ ජාතික රෝහලටය. එවන් රැකියා අවස්ථාවක් උගත් තරුණියකට ජීවිතයේ මහා ආරම්භයකි. ඇය කොළඹ ජාතික රෝහලේ හෘද දැඩි සත්කාර ඒකකයේ සිය මුල්ම රාජකාරි අත්දැකීම ලබමින් සිටියාය.
අනතුරුව ඇය සිය පළමු නිවාඩුව ලබන්නීය. තම පළමු වැටුප ද රැගෙන පසුගිය 23 වැනිදා සඳුනි සිය නිවෙසට එන්නීය. නිවෙසට ගොඩවන විට රාත්‍රි 8.30ට පමණ ඇත. තවමත් නුහුරු රාජකාරි පරිසරයෙන් මිදී අම්මා තාත්තා සමඟ ගත කරන්නට එන දිනයත් ජීවිතයේ සිහිවටනයකි. නත්තල උදාවීමට තිබේ. අනතුරුව එළැඹෙන්නේ නව වසරකි. අලුත් අවුරුද්දක් යනුම බලාපොරොත්තු ගොන්නකි.
ඒ මොහොත සල්ලාපයෙන් පිරුණු ප්‍රීතිමත් මොහොතකි. පසු දින ඇය සිය මවුපියන් සමඟ නැන්දාගේ නිවෙසේ පැවති දානමය කටයුත්තකට සහභාගි වූවාය. මාසයක් පමණ හිස්ව තිබුණු නිවෙස ඇයගේ පැමිණීමත් සමඟ පිරී ගොස් තිබිණි. සඳුනි අම්මා තාත්තා සහ සොයුරන් සමඟ නත්තල් දිනයත් නිවෙසේම ගත කළාය.
“26 වැනිදා දුව බණ්ඩාරවෙල ටවුන් එකට ගියා. එයාගෙ පළමුවෙනි පඩිය. අනේ දුව මටයි, තාත්තටයි, සහෝදරයන්ටයි අලුත් ඇඳුම් අරන් ආවේ. මට පෝන් එකකුත් ගෙනාවා. “ ඒ අම්මා මේ මෙහොතේත් සිය එකම දියණියගේ අවසන් මතක අතර අතරමංව උහුලා ගත නොහැකිව කඳුළු සලන්නීය. ඇයට හඬා වැටෙන්නටවත් දැන් පණක් නැත.
“දුව දවල්ට කෑම කාලා ගියා නැන්දලගේ ගෙවල් පැත්තේ. අපේ ගෙදරට පහළින් තමයි නැන්දලාගේ ගෙදර තියෙන්නේ. ඒ වෙනකොට දුවගේ තාත්තා හිටියේ වත්තෙ වැඩ කරමින්. පොඩි පුතත් තාත්තාට උදවු කරගෙන හිටියා. දුව ගෙදර ආවට පස්සේ එයාලත් දවල්ට කෑම කන්න ගේ ඇතුළට ආවා. මම හිටියේ දෙන්නට බත් කන්න තක්කාලි සම්බලයක් හදන ගමන්. ඒ වෙලාවේ සඳුනිගේ බාප්පයි පුංචි අම්මයි දෙන්නත් කුස්සියට ආවා. අපි හිනා වෙවී කතා කරමින් උන්නේ. ඒ අතරෙ පහළ නංගිලගේ ගෙදරට ගිහින් ආපූ දුව උන්නේ තරමක් තෙහෙට්ටුවෙන්. මට කිවුවා අම්මෙ… ඇඟට හරිම අමාරුයි. උණ එන්න වගේ කියලා. මම ඒක එච්චර හිතුවේ නෑ දෙයියනේ… මම කෙල්ලට හිනාවෙලා කිවුවා අනේ ඕක මොනව ද? මට ඔන්න ඔය ගම්මිරිස් බෝතලේ අරන් දෙන්න කියලා.
දුව රාක්කේ උඩ තියන ගම්මිරිස් බෝතලේ ගන්න අත දික් කළා. එතකොටම දුව කිවුවේ අනේ අම්මෙ මට කලන්තෙයි කියලා. මම දැක්කා එයා වැටෙන්න එනවා. මම කරගෙන හිටිය වැඩේ නවත්තලා දුව අල්ල ගන්න පැන්නා. අනේ මට එයාව හරියට වත්තම් කරගන්න බැරි වුණා. දුව කුස්සියෙ ඇදගෙන වැටුණා.“ සඳුනිගේ අම්මා කීවාය. ඇය හූල්ලන්නීය. කතා කරගත නොහැකිව ඉකිලන්නීය.
“ අනේ මම බලාගෙන ඉද්දිම ඇස් දෙක උඩ ගියා. කටින් පොඩි හුස්මක් පිටවෙනවා වගේ දැනුණා. මම කෑ ගැහුවා. ගෙදර කට්ටිය එකතු වෙලා පුළුවන් ඉක්මනින් දුවව බණ්ඩාරවෙල හොස්පිටල් එකට ගෙනිච්චා. ඒ වෙනකොට වෙලාව 4.30ට විතර ඇති. ඉක්මනින් වෛද්‍යවරු ඇයව පරීක්ෂා කළා. විශ්වාස කරන්නෙ කොහොමද දෙයියනේ… ඒ වෙනකොටත් මගෙ දුව නැතිවෙලාලු… හොස්පිටල් එකට අරන් යනකොටත් දුව නැතිවෙලාලු දෙයියනේ… එහෙම කොහොමද වෙන්නේ… හොරු අරන් ගියා වගේ… මගෙ ඇස් ඉස්සරහම දුව එතකොට මාව දාල ගිහින්. අම්මා කෙනෙක් කොහොමද මේ වගේ දෙයක් දරා ගන්නෙ. “සොරොව්ව හැරියාක් සේ ඒ අම්මාගේ දෙනෙතින් යළිත් කඳුළු ගලමින් ඇත. තවත් මොනවා කියන්නදැයි මොනවා අසන්නදැයි වැටහෙන්නේ නැත. ඇසෙන්නේ අඳෝනාව, ඉකි බිඳුම සහ වේදනාත්මක සුසුම් සහිත ගැඹුරු සිත් රිදුම්වල යවුල් සර පමණි.
සඳුනි සිය වගකීම් හොඳින් අවබෝධ කරගනිමින්, සිය රාජකාරී කටයුතු ඉතා ඉක්මනින් ග්‍රහණය කර ගනිමින් සේවයේ නිරත වූ නවක හෙදියක වූ බව ඇය සේවය කළ හෘද දැඩි සත්කාර ඒකකයේ හෙද නිලධාරිනියක පැවසුවාය. රෝගීන්ට මෙන්ම කාර්ය මණ්ඩලය අතර ද ඉතා සුහදව සිටි සුන්දර තරුණියක වූ සඳුනිගේ අකල් මරණය පිළිබඳ එම කාර්ය මණ්ඩලය ද පසුවන්නේ උපන් කම්පනයෙනි.
සඳුනි සුලෝචනාගේ දේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු ඉකුත් 27 වැනිදා බදාදා දියතලාව මූලික රෝහලේ අධිකරණ වෛද්‍ය එච්. කේ. එන්. සුරංග විසින් සිදු කෙරිණි. ඉදිරිපත් වූ සාක්ෂි හා වෛද්‍ය වාර්තා සැලකිල්ලට ගත් බණ්ඩාරවෙල හදිසි මරණ පරීක්ෂක මේනකා රත්නායක විසින් සඳුනිගේ මරණය පිළිබඳ විවෘත තීන්දුවක් ප්‍රකාශ කළාය. සිරුරේ කොටස් වැඩිදුර පරීක්ෂණ සඳහා යොමු කර ඇයගේ දේහය මවුපියන් වෙත බාර දීමට කටයුතු කර තිබිණි.
සඳුනි සුලෝචනා ඉකුත් බ්‍රහස්පතින්දා යන්නටම ගියාය. තවත් ඇය මේ ලෝකයේ නැත. මේ ජීවිත මොන කඩමාලුදැයි යළිත් අපට සිතන්නට බල කරන්නේ මේ සිදුවීම් ය. මේ බිඳෙනසුලු ජීවිත ස්වරූපය මේ ලෝකයේ මිනිස්සුන්ට නිසැකව වැටහෙනවා නම් ලෝකය මේ තරම් දුෂ්ට තැනක් වන්නේ නැති බව සිතේ. සඳුනි යන්නටම ගොස් කීවේ ජීවිත යථාර්ථය නොවේදැයි කල්පනා කරමි.
ටානියා මෝසස්, නිශාන්ත අබේගුණවර්ධන - බදුල්ල