– මහව සිට අනුරපුර සහ යාපනයට යන මගීන් වෙනුවෙන් බස් රථ 20ක්
– ආශිීර්වාද සහ සර්වරාත්‍රික පිරිත දෙසැම්බර් 31දා ශ්‍රී මහා බෝධිය අසලදී
රුපියල් කෝටි 3,000 ක් පමණ වැය කරමින් නවීකරණය කරන උතුරු දුම්රිය මාර්ගයේ මහව සිට අනුරාධපුරය දක්වා කොටසේ ප්‍රතිසංස්කරණ කටයුතු 2024 ජනවාරි 07 වනදා ආරම්භ කරන බව ප්‍රවාහන, මහාමාර්ග සහ ජනමාධ්‍ය ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී ඉකුත් 29 වැනි සිකුරාදා පැවැති මාධ්‍ය සාක්ච්ඡාවේදී ප්‍රකාශ කළේය.
ඒ වෙනුවෙන් කොළඹ සිට අනුරාධපුර දක්වා දුම්රිය ධාවනය නවතා දැමීමට සිදු වන බව කී ඒ ඇමැතිවරයා කොළඹ සිට මහව දක්වා ගමන් කරන දුම්රිය ඉන් ඔබ්බට අනුරාධපුරය හෝ යාපනය දක්වා ගමන් කරන මගීන්ගේ පහසුව තකා මාස පහක් යනතෙක් ලංගම බස් 20ක් යෙදවීමට ලංකා ගමනාගමන මණ්ඩලය එකඟ වී ඇති බවත් මේ තාවකාලික අපහසුතාව මාස පහක් පමණ විදීමට දුම්රිය මඟීන්ට සිදුවන බවත් කීවේය.
ඒ අනුව කොළඹ සිට අනුරාධපුරය හරහා යාපනය දක්වාත් මහව සිට අනුරාධපුරය හා යාපනය දක්වාත් විශේෂ බස් රථ සේවාවක් පවත්වාගෙන යාමට කටයුතු කරන බවද හෙතෙම කියා සිටියේය. එහිදි අදහස් දැක්වූ ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මෙසේද කියා සිටියේය.
“අපේ රටේ ඉතිහාසයේ දීර්ඝකාලීන සේවාවක් ලබා දුන් උතුරු දුම්රිය මාර්ගය මහව සිට ඕමන්තය දක්වා කොටස වසර සිය ගණනක් ප්‍රතිසංස්කරණය වී නැහැ. ඒ නිසා 2014 වසරේ දී ලංකාවේ දුම්රිය මාර්ග පද්ධතිය නවීකරණය කරන්න ඉන්දීය ණය යෝජනා ක්‍රමය යටතේ ණය මුදලක් අනුමත වුවද උතුරු දුම්රිය මාර්ගය නවීකරණයට අනුමත වූ මුළු ණය මුදල රුපියල් කෝටි 3,000 ක් පමණ වෙනවා.
වසර 2014 මේ ණය යෝජනා ක්‍රමයට අදාළ ගිවිසුම ආරම්භ කළත් 2019 දී මහව සිට ඕමන්තය දක්වා කිලෝමීටර් 128 ක් සඳහා ටෙන්ඩර් කැඳවා තිබෙනවා. එහිදී ඉදිරිපත් වූ තරගකාරී ලන්සු අනුව ඉන්දියාවේ සියයට 100 ක් රජය සතු සමාගමක් වන එල්කෝන් සමාගමට කොන්ත්‍රාත්තුව දී තිබෙනවා. 2019 සිට 2022 දක්වා මෙය ක්‍රියාත්මක වුණේ නැහැ.
මම විෂයභාර ඇමැතිවරයා වශයෙන් පත්වීමෙන් පසුව මේ ව්‍යාපෘතිය කෙසේ හෝ කඩිනමින් කරන්න ඉන්දියාව සමඟ සාකච්ඡා කළා. මේ සඳහා බලපෑ හේතු අනුව මහජන නියෝජිතයන් ඒ කාලයේ කැමැති වෙලා නැහැ මෙය ආරම්භ කරන්න.
ඒ අවස්ථාවේ අපි දැඩි තීරණයකට එළඹුණා. අනුමත වී තිබුණත් වසර ගණනක් ප්‍රයෝජනයට නොගෙන මාර්ගය අලුත්වැඩියා නොවන තත්ත්වයක් තුළ මාර්ගය අනුරාධපුර සිට ඕමන්තය දක්වා මාස හයක කාලයක් පාරා වසා දැම්මා.
අනුරාධපුර ඵෙතිහාසික අටමස්ථානයෙන් මේ ජනතා මෙහෙවර ආරම්භ කරන්න ආශිර්වාද ලබා ගෙන මහව සිට ඕමන්තය දක්වා කිලෝමීටර් 128ක දුරක් පැයට කිලෝමීටර් 100 ක වේගයෙන් ධාවනය කළහැකි තත්ත්වයට ගෙනවිත් තිබෙනවා. අනුරාධපුරය සිට මහව දක්වා කොටස එළඹෙන 07 දා ආරම්භ කරන්න අපි පියවර ගන්නවා. ඒ වෙනුවෙන් කොළඹ සිට අනුරාධපුර දක්වා ධාවනය නවතිනවා. කොළඹ සිට මහව දක්වා ගමන් කරන දුම්රිය ඉන් ඔබ්බට අනුරාධපුරය හෝ යාපනය දක්වා ගමන් කරන්න නම් ඒ සඳහා තව මාස පහක් යනතෙක් ලංගම බස් 20ක් යොදවන්න ලංකා ගමනාගමන මණ්ඩලය එකඟ වී තිබෙනවා. මේ තාවකාලික අපහසුතාව මාස පහක් පමණ විඳින්න වෙනවා. ඒ අනුව කොළඹ සිට අනුරාධපුරය හරහා යාපනය දක්වාත් මහව සිට අනුරාධපුරය හා යාපනය දක්වාත් විශේෂ බස්රථ සේවාවක් පවත්වාගෙන යනවා.
ඒ කටයුතු ආරම්භ කිරීමත් ජනතාවට සෙත් පැතීමත් අරමුණු කරගෙන දුම්රිය දෙපාර්තමේන්තුව දෙසැම්බර් 31 දා රාත්‍රියේ සිට පළමුවැනිදා තෙක් පරිත්‍රාණ ධර්ම දේශනයක් ශ්‍රී මහා බෝධිය අභියස දී පවත්වනවා. ජනවාරි 01 දා සිට 06 දක්වා විශේෂ දුම්රිය සේවාවක් පවත්වාගෙන යන්න බලාපොරොත්තු වෙනවා. බොහෝ කලක් ක්‍රියාත්මක නොවුණු මේ ව්‍යාපෘතිය පොසොන් පොහොයට පෙර කොළඹ සිට යාපනය දක්වා සම්පූර්ණයෙන්ම අලුත්වැඩියා කර, පැයට කිලෝමීටර් 100ක වේගයෙන් යාහැකි විශිෂ්ට දුම්රිය මාර්ගයක් බවට පත් කරනවා. ඒ තුළින් කොළඹ සිට යාපනය දක්වා යන්න දැනට පැය 7 ක් ගතවන දුම්රිය ගමන පැය 5 කින් නිමා කරන්න පුළුවන් වෙනවා. ඒ අනුව පැය දෙකක් ඉතිරි වෙනවා. මෙය දැවැන්ත දුම්රිය සංවර්ධන ව්‍යාපෘතියක් වෙනවා.
රටේ අනාගත සංවර්ධනය වෙනුවෙන් ජනතාවගේ යහපත වෙනුවෙන් හේතුවෙනවා. අය වැය යෝජනාවක් ලෙස යෝජනා දෙකක් ඉදිරිපත් කළා. දුම්රිය දෙපාර්තමේන්තුව සතු වත්කම්වලින් වඩා කාර්යක්ෂම ඉපයුමක් ලබාගෙන අලාභ අවම කරගෙන දුම්රිය රක්ෂිතයන්හි පිහිටි වෙළෙඳ ව්‍යාපෘති සඳහා දුම්රිය ඉඩම් දීර්ඝකාලීනව බදු පදනම මත ලබා දෙනවා. ඒ ආකාරයට අපිත් ලබන වසරේ දී ව්‍යාපෘති පටන් ගන්නවා. අනුරාධපුරයේ සිට මිහින්තලය දක්වා නව දුම්රිය මාර්ගයක වැඩ මේ වන විට සිදුවෙනවා.
විසල් අනුරාධපුර නගර ව්‍යාපෘතිය යටතේ මිහින්තලයේ හුවමාරු මධ්‍යස්ථානයක් බවට පත්කරන්නත් අයවැයෙන් මුදල් වෙන් කර තිබෙනවා. මිහින්තලය දුම්රිය නැවතුම ආසන්නයේ ඉඩම් බදු පදනම මත ලබා දෙන්න පියවර ගන්නවා. ආනයන භාණ්ඩ උතුරු නැෙඟනහිර පළාත්වලට ගෙනයාම සඳහා මිහින්තලේ ගබඩාවලට ගෙනයන්න පුළුවන් වෙනවා. දුම්රිය ගාස්තු සහ බස් ගාස්තු අතර ගැළපීමක් කරන්න බැහැ. මේ කරන කෙටිකාලීන කැපකිරීම ඉදිරි වසර 50 කට පමණ වාසිදායක තත්ත්වයක් වෙනවා. දුම්රිය දෙපාර්තමේන්තුවේ සේවකයන් විශාල සේවාවක් ලබාදෙනවා. ඇතැම් එන්ජින් වසර 60කට වඩා පැරැණි වෙනවා. අපිට තිබෙන්නේ 60ක් පමණයි. නමුත් අලුතින් ගන්න මුදල් නැහැ. ඒ අනුව දීර්ඝ කාලයක් දුම්රිය අලාභයට පවත්වා ගෙන ගොස් තිබෙනවා. දැනටත් මේ සියලු කටයුතු සිදුවන්නේ ණයට.
ඉන්දීය ණය යෝජනා ක්‍රමය යටතේ පමණයි මේ ණය ලැබී තිබෙන්නේ. ණය ප්‍රතිව්‍යුහගතකරණයෙන් පසුව අපි බලාපොරොත්තු වෙනවා ඉදිරියේ දී තවත් ණය ලබා ගන්න. 2024 වසරේ දී දුම්රිය සේවාවේ ගැටලු විශාල ප්‍රමාණයකට විසඳුම් දීමට රජයට හැකිවන බවද ප්‍රවාහන ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
දුම්රිය සාමාන්‍යාධිකාරී එච්. එම්. කේ. ඩබ් බණ්ඩාර මෙහිදි අදහස් දක්වමින් පැවසුවේ,
“මහව සිට අනුරාධපුරය දක්වා මේ සංවර්ධන කටයුතු සිදු වනවා. ඒ අනුව මේ ව්‍යාපෘතිය ආරම්භ කරන්න එළඹෙන 07 දා සිට දුම්රිය මාර්ගය වසා දමනවා. ඒ අතර අනුරාධපුරය සහ යාපනය අතර දුම්රිය වාර දෙකක් ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා. අනුරාධපුරය සිට කන්කසන්තුර දක්වා බෙලිඅත්තේ සිට ධාවනය වන දුම්රිය මහව දක්වා ධාවනය කොට නැවත බෙලිඅත්ත දක්වා ධාවනය කරන්න පියවර ගන්නවා.
ඒ වගේම අනුරාධපුර හා මහව අතර ලංගම බස් රථ සේවාවක් පවත්වාගෙන යනවා. යාපනය දක්වා ගමන් කරන දුම්රිය ත්‍රිකුණාමලය දක්වා ධාවනය කරනවා. 07 දා තෙක් අනුරාධපුරයට විශේෂ දුම්රියක් ධාවනය කරන්න බලාපොරොත්තු වෙනවා.
මාර්තු මාසය අවසන් වනවිට මිහින්තලේ දුම්රිය මාර්ගය සංවර්ධනය අවසන් කරන්න පුළුවන් වෙනවා. උතුරු දුම්රිය මාර්ගය සංවර්ධනයත් සමඟ වසර 50ක් නැවත සංවර්ධනය කිරීමේ අවශ්‍යතාවයක් නැහැ. එය උතුරේ ජනතාවට මෙන්ම මන්නාරම ජනතාවටත් විශාල සහනයක් වෙනවා.
සංචාරක ව්‍යාපාරයටත් මෙය හිතකර තත්ත්වයක් වෙනවා. දුම්රියේ ගමන් කරන සියයට 20ක් 25ක් ටිකට් නොමැතිව ගමන් කරනවා. ඒ අය වෙනුවෙන් දඩ ගසන්න බලාපොරොත්තු වෙනවා. එම දඩය රුපියල් 10, 000 දක්වා ඉහළ නංවන්න අපේක්ෂා කරනවා.
අහිමි වන ආදායම නැවත ලබාගන්න අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නවා. මෙම මාධ්‍ය සාකච්ඡාවේදි දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (ගමනාගමන) එන්.ජේ ඉඳිපොලගේ සහ උතුරු දුම්රිය මාර්ග නවීකරණ ව්‍යාපෘතියේ ව්‍යාපෘති අධ්‍යක්ෂ අශෝක මුණසිංහ ද මෙහිදි අදහස් දැක්වීය.
සුභාෂිණී සේනානායක සහ මහින්ද අලුත්ගෙදර