2023 වසර අවසන් වී 2024 එළැඹෙන්නේ දේශපාලන වේදිකා රත් කිරීමට අවශ්‍ය වටපිටාව ද සකසමිනි. ඊට හේතුව ලබන වසර මැතිවරණ වර්ෂයක් බවට ප්‍රකාශ වීම නිසාය. සීතල නත්තල් සමය අවසන් වී නව වසරට උදා වෙන්නේ දේශපාලන ක්ෂේත්රය ක්‍රම ක්‍රමයෙන් උණුසුම් කරමිනි.
රනිල්-මෛත්‍රී සමඟ නුවරඑළියේ
වසර අවසානයේ යෙදී තිබූ දීර්ඝ නිවාඩුවත් සමඟ කොළඹින් පිටත ගමනාන්ත ජනාකීර්ණ වන්නට පටන් ගත්තේය. රට බංකොලොත් බවින් තවම ඉවත්ව නැතත් ජනපති රනිල්ගේ ආර්ථික වැඩපිළිවෙළ හේතුවෙන් ජනතාව නිවාඩුව ගත කිරීමට කොළඹින් බැහැර ප්‍රදේශ තෝරාගෙන තිබුණි.
ඉකුත් වසරේ ඉන්ධන කෝටා ක්‍රමය ක්‍රියාත්මක වීම නිසා බහුතරයක් ජනතාවට කොළඹින් බැහැරව නිවාඩුව ගත කිරීමට නොහැකි වූහ. නමුත් මෙවර එවැනි කිසිදු බාධාවක් නොමැතිවීම නිසා ජනතාව සිය නිදහස භුක්ති විඳීමට කොළඹින් බැහැරට යන්නට වූහ. මේ නිසා නුවරඑළිය, නුවර, අනුරාධපුර, පොළොන්නරුව, කතරගම ආදී ප්‍රදේශ ජනයාගෙන් පිරී ඉතිරි යන්නට වූහ.
ජනපති රනිල් වික්‍රමසිංහ ඉකුත් සතියේ රැඳී සිටියේ කොළඹින් එපිට නුවරඑළියේ ය. සම්ප්රදායක් ලෙස සෑම වසරකම අවසාන දින කිහිපය ඔහු ගෙවා දමන්නේ නුවරඑළියේ හෝ දියතලාවේය.
වර්ෂ අවසාන නිවාඩුවත් සමඟ ජනපති රනිල්ගේ වැඩපිළිවෙළ විවේචනයට ලක් කරන පිරිස් පවා කොළඹින් බැහැරව නිවාඩුව ගත කළේ කිසිදු ගැටලුවක් නොමැතිවය. කොළඹින් බැහැරව සිටිය ද ජනපති රනිල් මැති ඇමැතිවරු හා නිලධාරීන් සමඟ දුරකතනයෙන් සම්බන්ධ වෙමින් තොරතුරු සාකච්ඡා කරන්නට ද අමතක නොකළේය.
ඔහු ජනපති ලේකම් සමන් ඒකනායක සමඟ මෙන්ම කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක සමඟ ද නිතර දුරකතනයෙන් සම්බන්ධ වූයේ රාජකාරී කටයුතු වෙනුවෙනි. ජනපති උපදෙස් මත කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරීන් හා පොලිස් නිලධාරීන් ඉකුත්දා ජනාධිපති ලේකම් කාර්යාලයට කැඳවූවේ විශේෂ කාර්ය බලකායේ නිලධාරීන්ගේ ගැටලුවක් ගැන කතා කිරීමටය.
වසර 12ක් තිස්සේ STF එකට තිබුණු ගැටලුව
අධිවේගී මාර්ගවල ගිනි නිවීම් කටයුතු මෙන්ම පාලන ස්ථානවල සියලු කටයුතු මෙපමණ කලක් කර තිබෙන්නේ විශේෂ කාර්ය බලකා නිලධාරීන් විසිනි. මාර්ග සංවර්ධන අධිකාරිය කර ඇත්තේ මුදල් අය කිරීම හා මාර්ග නඩත්තු කටයුතු පමණකි. එම නිසා විශේෂ කාර්ය බලකා නිලධාරින් මැසිවිලි නඟා තිබුණේ ඔවුන්ගේ නිලධාරී හිඟය හේතුවෙන් වසර 12 ක් තිස්සේ සිය නිත්‍ය රාජකාරි කිරීමේ අපහසුතාවක් පැන නැඟී ඇති බවය.
විශේෂ කාර්ය බලකායේ නිලධාරීන්ගේ හා මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරීන්ගේ අදහස් ලබාගත් සාගල රත්නායක එම සාකච්ඡාවට පැමිණ සිටි ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරල් ශවේන්ද්‍ර සිල්වාට උපදෙස් දුන්නේ වහාම ක්‍රමවේදයක් සකසා ගැටලුව විසඳන ලෙසටය.
ජනපතිගෙන් සාගලට හා හරීන්ට ලැබුණු උපදෙස
යුරෝපා සංචාරකයන් පැමිණෙන කාලවකවානුවක් වූ ජනවාරි මාසය තුළ දකුණු පළාත කේන්ද්‍ර කර ගනිමින් විනෝදාත්මක සැණකෙළියක් පවත්වන ලෙස ජනපති උපදෙස් දී තිබුණේ ඇමති හරීන්ට හා සාගලටය.
ජනපති රනිල් මෙම සැණකෙළිය සෑම වසරකම ජනවාරි මාසයේදී පැවැත්වීමට උත්සාහ කළේ 2015 වර්ෂයේ අගමැති වූ කාලයේ සිටය. එහෙත් එය නිසි ලෙස කිරීමට නොහැකි වූ බැවින් මෙවර එය අනිවාර්යයෙන් කළ යුතු බවට ඇමති හරීන්ට හා සාගලට උපදෙස් දුන්නේ ජනපතිතුමා විසිනි.
ඒ අනුව ගාලු සාහිත්‍ය කතිකාව හා පොත් ප්‍රදර්ශනය, මාතර කලා උත්සවය, අහංගම විලාසිතා දැක්ම, කොග්ගල බෙර සංදර්ශනය ආදී ලෙස කලා අංග රාශියකින් සමන්විතව මෙම සැණකෙළිය පැවැත්වෙනු ඇත. යුරෝපා සංචාරකයන් ගෙන්වා ගැනීම අරමුණු කර ගනිමින් පැවැත්වෙන මෙම සැණකෙළිය ලංකාවට ආවේණික කලාංග ඇතුළත්ව තිබීම විශේෂත්වයකි.
ජනපති කොළඹින් බැහැරව යාමට ප්‍රථම මෙරටට අලුතින් පත්ව ආ ඉන්දීය මහකොමසාරිස් හමුවී සාකච්ඡා කළේය. ජනපති සමඟ පැවැති සාකච්ඡාවෙන් පසු ඔහු කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක ද මුණගැසුණු අතර, එහිදි ඉන්දියාව මැදිහත්වී මෙරට කරන ආයෝජනවල ප්‍රගතිය ගැන සාකච්ඡා කළේය.
ජනවාරියේදී කොළඹ නිවාස හිමියන්ට ඔප්පු
අය වැය ලේඛනය ඉදිරිපත් කරමින් ජනපති කොළඹ මහල් නිවාසලාභීන්ට සින්නක්කර ඔප්පු පිරිනැමීමට යෝජනා කළ අතර, එහි පළමු අදියර ලෙස ජනවාරි මාසයේදී නිවාස හිමියන් 8351ට ඔප්පු පිරිනැමීමට නියමිතය. එය සිදු කරන ආකාරය ගැන සාකච්ඡාවක් පැවැතියේ කාර්ය මණ්ඩල ප්‍රධානී සාගලගේ ප්‍රධානත්වයෙනි. ඊට නිවාස අධිකාරියේ සහ නාගරික සංවර්ධන අධිකාරියේ නිලධාරීන් සහභාගී වී සිටි අතර, ජනවාරියේ ඔප්පු ප්‍රදානයට ඇති මූලික බාධා සියල්ල නිරාකරණය කර ගන්නා ආකාරය ගැන මෙහිදී සාකච්ඡා කළෝය.
නුවරඑළියේ සිටින අතරවාරයේ කොළඹ පැවැත්වෙන දේශපාලන කතාබහ ගැන ද ජනපති නිරන්තර අවධානයෙන් සිටියේය.
ජනපතිට දුරකතන ඇමතුමක් දුන් මහාචාර්ය ආශු මාරසිංහ කීවේ සති අන්ත නිවාඩුව සැවොම සතුටින් සමරමින් සිටින බවය.
“පහුගිය කාලය පුරාම මිනිස්සු හිර වෙලා හිටියේ. මිනිස්සුන්ට ඕනේ නිදහසේ තමන්ගේ දරුමල්ලොත් එක්ක නිදහසේ කාලා බීලා විනෝදෙන් ඉන්න. මොන ප්‍රශ්න තිබුණත් මිනිස්සු ඒ නිදහසට කැමතියි.” ජනපති දුන්නේ එවැනි පිළිතුරකි.
“ඔව් කාලෙකට පස්සේ තමයි මිනිස්සුන්ට නිදහසේ ඇවිදින්න ලැබුණේ. කොච්චර දුෂ්කරතා තිබුණත් මිනිස්සු කොහොම හරි තමන්ගේ දරුවෝ බිරිය එක්ක විනෝදයෙන් ඉන්න කැමැතියි.” මන්ත්‍රී වජිර කීවේය.
“විපක්ෂයේ උදවිය මිනිස්සුන්ට අමාරුයි කියලා කිව්වට නුවරඑළියේ ගියාම ඒක පෙන්නේ නෑ.” මන්ත්‍රී මධුර ද කතාවට එකතු වූයේ එලෙසිනි.
“අමාරු කට්ටියකුත් රටේ ඉන්නවා. නමුත් නත්තල, ජනවාරිය, සිංහල අවුරුද්ද කියන්නේ අමාරුවෙන් හරි මිනිස්සු පුළු පුළුවන් විදියට සමරන කාලයක්.” ජනපති කීවේ බැරෑරුම්වය.
“ඔව් ජනාධිපතිතුමා උත්සාහ කරන්නේ මේ තත්ත්වයෙන් රට මුදා ගන්නනේ. ඉතින් බහුතරයක් මිනිස්සුන්ට විශ්වාසයක් තියෙනවා ජනාධිපතිතුමා රටේ ආර්ථිකය දියුණු කරයි කියලා.” රාජ්‍ය ඇමැති ශෙහාන් ද දුරකතන සංවාදය අතරතුරදී කීවේය.
ජනපතිත් වාහන තදබදයකට මැදි වෙයි
මේ අතර ජනපති කීවේ ජනතාව වැල නොකැඩී නුවරඑළිය ඇතුළු මධ්‍යම පළාතේ ඇවිදින්නට පැමිණ සිටීම නිසා ගුරුතලාවේ උත්සවයට ගිය තමන් ද මාර්ග තදබදයට හසු වූ බවය. නිවාඩුවට ජනපති රනිල් නුවරඑළියේ ගිය ද ඔහු කලින් යොදාගත් වැඩ කිහිපයකට යාමට අමතක නොකළේය. ඉන් එකක් වූවේ බදුල්ල, ගුරුතලාව මුස්ලිම් ජාතික පාසලේ පැවැති සියවස් සමරු උලෙළයි.
එහිදි ජනපති රනිල් රට දියුණු කිරීම වෙනුවෙන් සියලු පක්ෂවලට එක් වෙන ලෙස යළිත් ආරාධනා කළේය. ඔහු කීවේ සමෘද්ධිමත් එක්සත් ලංකාවක් වෙනුවෙන් කැපවෙන බවය. අධ්‍යාපන රාජ්‍ය ඇමති අරවින්ද් කුමාර්, සජබ මන්ත්‍රී හා ජනාධිපති උපදේශක වඩිවෙල් සූරේෂ් ද ඊට එක්ව සිටියහ.
ධම්මික ගැන පොහොට්ටුවෙන්ම ජනපතිට ඔත්තුවක්
මේ අතර ජනපති රනිල්ට දැන ගන්නට ලැබුණේ පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස ධම්මික පෙරේරා පත් කිරීමට පිරිසක් සූදානම් වන බවය. එම තොරතුරු ඔහුට දී තිබුණේ ද පොහොට්ටු මන්ත්‍රීවරයකු විසින්මය.
“සර් දැන් කණ්ඩායමක් ධම්මිකව ගේන්න හදනවා. ඒ වෙනුවෙන් කොන්දේසි තුනක් එයාට ඉදිරිපත් කරලත් තියෙනවා.” මේ මන්ත්‍රීවරයා කීවේය.
“ඔව් ඔව් මටත් ආරංචි වුණා එයා ඉන්දියාවේ මෝඩි අගමැතිතුමාගේ කැම්පේන් එක කරපු සමාගමට එයාගේ කැම්පේන් එක කරන්න කිව්වායි කියලා.” ජනපති කීවේ සැහැල්ලුවෙනි.
පොහොට්ටුවෙන් සජබට 10ක් එනවාද?
මේ අතර මධුර විතානගේ මන්ත්‍රීවරයා කතා කර කීවේ පොහොට්ටුවෙන් සජබට මන්ත්‍රීවරු 10ක් එනවා කියලා ඒ අය ප්‍රචාරයක් ගෙන යනවා කියාය. එම සාකච්ඡාවට සම්බන්ධ වූ මන්ත්‍රී දොලවත්ත කීවේ “ඔය කියන්නේ ජී.එල් ලා, චන්න ජයසුමනලා යන එක ගැනනේ” යනුවෙනි.
ඇමැති ප්‍රසන්න රණතුංග ද ජනපතිට කතාකොට විමසුවේ ජනාධිපති නීතිඥවරු පිරිසක් පත් කළේ ද යන්නය. එයට පිළිතුරු දෙමින් ජනපති කීවේ එවැනි පිරිසකට තනතුරුදීමට සියල්ල සූදානම් කර ඇති බවය. “ජාතික ජන බලවේගයේ කෙනෙකුටත් දීලා නේද” ඒ අතරවාරයේ ආශු ද ඇසුවේය.
අනුර කුමාර ඩීල් එකකද?
“අනුර දිසානායකගේ ඉල්ලීමට ජනාධිපතිතුමා එතුමාට ජනාධිපති නීතිඥකම දුන්නා කියලත් කියනවා.” ඇමැති ප්‍රසන්න කීවේ සිනාසෙමිනි.
“ඔව් ඔව් ජනාධිපතිතුමයි අනුරයි අතර ඩීල් එකක් ගැන කියවෙනවානේ.” මන්ත්‍රී දොලවත්ත කියද්දී ජනපති රනිල් සිනාසුණා මිස කිසිවක් කීවේ නැත. එහෙත් මේ කාරණය ගැන පසුව නීතිඥ දිනේෂ් විදානපතිරණ විමසද්දි ජනපති කීවේ මේ තනතුරු දෙන්නේ දේශපාලනය මත නොව ඔහුගේ නීතිඥ දිවියේ අත්දැකීම් හා පළපුරුද්ද මත බවය.
2023 අංක 09 දරන දූෂණ මර්දන පනත සම්මතවීමෙන් පසු එහි බලතල ක්‍රියාත්මක කිරීම උදෙසා පළමු වරට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට සාමාජිකයන් ජනපති පත් කරනු ලැබූවේ ඉකුත් බ්‍රහස්පතින්දාය. කීර්තිමත් විනිසුරුවරයකු වූ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු නීල් ඉද්දවෙලගේ සභාපතීත්වයෙන් යුතුව සාමාජිකයන් දෙදෙනෙකු ජනපති නියමයෙන් පත් කළ අතර, ඔවුන්ගේ පත්වීම් ලිපි ජනාධිපති ලේකම් සමන් ඒකනායක විසින් ඉකුත් බ්‍රහස්පතින්දා පෙරවරුවේ පිරිනැමීය. මෙම තිදෙනා ලබන 01දා සිට රාජකාරි ආරම්භ කිරීමට නියමිතය.
නිවාඩුව ගත කළ ජනපති රනිල් නැවත කොළඹ පැමිණීමට සැලසුම් කර ඇත්තේ 31 ඉරිදාය. ගෙවුණු 2023 වසරේ රට ගොඩ නැඟීමට රැයක් දවාලක් නොමැතිව කැපවූ රනිල් නැවත 2024ට එක්වන්නේ ද එවැනි කාලයකම බව නම් පැහැදිලිය.
පාතාලය ගැන ප්‍රසන්නයි, ටිරානුයි කතා කළේ මොනවාද?
ආණ්ඩු පක්ෂයේ පසු පෙළ මන්ත්‍රීවරුන් විසින් පිහිටුවා ගත් සතුටු පවුල සංවිධානයේ අධ්‍යාපනික හා වෙළෙඳ ප්‍රදර්ශනය නත්තල් දින කිරිඳිවැල දී ආරම්භ වූයේ ප්‍රසන්න රණතුංග හා ටිරාන් අලස් යන ඇමැතිවරුන්ගේ ප්‍රධානත්වයෙනි.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන තිස්සකුටිට්ආරච්චි, සුමිත් උඩුකුඹුර,මිලාන් ජයතිලක ඇතුළු පිරිසක් මේ සඳහා බොහෝ මහන්සි වූහ.
“යුක්තිය මෙහෙයුම නැවතිලා ද?” ඇමැති ප්‍රසන්න, ඇමැති ටිරාන් ගෙන් ඇසීය.
“එහෙම නෑ.නත්තලයි, පෝයයි නිසා මේ දවස් දෙකේ පොඩ්ඩක් බ්රේක් කළා.” ඒ ඇමති ටිරාන්ය.
“නෑ, මේ සමහරු කියනවා වැඩේ නැවතිල කියල. ඒකයි ඇහුවේ”
” මේකයි ඇමැතිතුමා, යුක්තියට ගහන්නේ ජාවාරම්කාරයොයි, ඒ හෙංචයියොයි.” ඇමැති ටිරාන් කීය.
“ඒක ඇත්ත ඇමතිතුමා. යුක්තිය දිගටම කරගෙන ගියොත් අහිංසක මිනිස්සු ගොඩ. මේ කුඩුකාරයොයි,පාතාල කාරයොයි නිසා ඉස්කෝල ළමයි විනාශ වෙනවා. ගම්වල මිනිස්සු මේකට කැමතියි”
ඇමැති ප්‍රසන්න කීවේ සිත තුළ උපන් වේදනාවෙනි.
“මම ඇමතිකමේ ඉන්නකම් මේ වැඩේ දිගටම කරගෙන යනවා. මාස හයෙන් කුඩුයි, පාතාලෙයි නැත්තටම නැති කරනවා”ඇමැති ටිරාන් කීවේ තිර හඬිනි.
නත්තල් සීයා සහ පිනිමුවා කවුරුන්ද?
අනතුරුව ඇමැතිවරුන් දෙදෙනාම තේ පානය සඳහා ගියේ මිලාන් ජයතිලක මන්ත්‍රීවරයාගේ නිවෙසටය.
එහිදී ඇමැතිවරුන් දෙදෙනා සමඟ කිහිපදෙනකු සෙල්ෆි ඡායාරූප ගත්හ.
“ආ… පිනිමුවයි නත්තල් සීයයි ෆොටෝ ගන්නවා”
තිස්සකුටිටි කී කතාව ඇමැතිවරුන් දෙදෙනාටම තේරුණේ නැත. ඔවුහු වටපිට බලන්නට වූයේ එබැවිනි.
“නෑ… සර්…ටිරාන් ඇමැතිතුමා අද වෙන උත්සවයකට නත්තල් සීයට ඇන්දා. මේ කියන්නේ ඒක” මන්ත්‍රී මිලාන් කීය.
“එතකොට පිනිමුවා කවුද?” ඒ ඇමැති ටිරාන්ය.
“ඒ කිව්වේ ප්‍රසන්න ඇමැතිතුමාට” මිලාන් කී කතාවට ඇමැති ප්‍රසන්නටත් හිනාය.
කෝකිලා හර්ෂණී, මුදිතා සොයිසා, රාජිකා වික්‍රමසිංහ ඇතුළු මන්ත්‍රීවරියෝ ද මෙම අවස්ථාවට සහභාගී වූහ.
කිරිඳිවැලදී කාන්තාවන් පිරිසක් මහින්ද වටකර ගනිති
සතුටු පවුල උත්සවයේ දෙවැනි දින සමාරම්භයට සම්බන්ධ වූයේ හිටපු ජනාධිපති ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නායක මහින්ද රාජපක්ෂය.
“සර්… ආපහු එන්න. ඔබතුමා තමයි රටට හරි යන්නේ “ප්‍රදර්ශන භූමියේ සිටි කාන්තාවන් පිරිසක් හිටපු ජනාධිපතිවරයා වට කරගෙන කීය.
“ඔයාල කියනව නම් ආපහු එන්නම්” හිටපු ජනාධිපතිවරයා කීවේ සිනාසෙමිනි.
ඊළඟ ආණ්ඩුව ගැන මහින්දගෙන් ඉඟියක්
“සර්… විපක්ෂ නායකකම ගන්න හදනව කියල ආරංචියක් යනවා?” හිටපු පළාත් පාලන මන්ත්‍රීවරයකු විමසීය.
“ආණ්ඩුවෙ ඉඳල විපක්ෂෙට යන්නෙ මොකටෙයි. ඊළඟ පාරත් ආණ්ඩුව පිහිටුවන්නෙ අපි” හිටපු ජනාධිපතිවරයා කීවේ සිනාසෙමිනි.
“දැන් අරගලකාරයො හොයාගන්නත් නෑ. මිනිස්සු ඇත්ත තේරුම් අරගෙන තියෙන්නේ සර්” ඒ සුමිත් උඩුකුඹුර මන්ත්‍රීවරයාය.
අරගලයේ මත්කුඩු ගැන නාමල් කතා කරයි
පසුගිය සතියේ ද මන්ත්‍රීවරුන් හා රාජ්‍ය අමාත්‍යවරුන්ගේ හමුව පැවැත් වූයේ නාමල් රාජපක්ෂගේ මලලසේකර මාවතේ පිහිටි නිවෙසේදීය.
මෙහිදී මන්ත්‍රීවරුන්ගේ මාතෘකාව වූයේ මේ දිනවල කාගෙත් කතාබහට ලක්වෙන යුක්තිය මෙහෙයුම පිළිබඳවය.
යුක්තිය ගැන දැන් ජනතාව අතර කතාබහ වෙනවා මෙහෙම කීවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකි. මම හිතන්නෙ මේක ටිරාන් ඇමැතිතුමා සද්භාවයෙන් කරන එකක් කියලා. මේක ඇත්තටම හරියට කරයි කියලා විශ්වාසයක් මට තියෙනවා කියා කීවේ නාමල් රාජපක්ෂය. යුක්තිය මෙහෙයුමෙන් අල්ලන අයව පුනරුත්ථාපනය කරන්න ඕනෙ. මම එහෙම කිවුවෙ මම ක්‍රීඩා හා තරුණ ඇමැති කාලෙ පුනරුත්ථාපනය පිළිබඳව වැඩකටයුතු ගොඩක් කළ නිසා… නාමල් පැවසීය.
ජනවාරි මාසයේ මුලදී බැංකු ක්ෂේත්රයේ නිලධාරීන් සමඟ සාකච්ඡා වට මාලාවක් පැවැත්වීමට මෙම රැස්වීමේදී තීරණය විය. මේ අනුව නව අවුරුද්දේ නාමල් බැංකු ක්ෂේත්රයේ නිලධාරීන් හමුවීමෙන් නව වසරේ වැඩ ආරම්භ කරනු ඇත.
නව වසරේ ලාන්සා කරන්න හදන වැඩේ
නව සන්ධානයේ ජනාධිපතිවරණ මෙහෙයුම් සටන මෙන්ම ප්‍රචාරණ කටයුතු ලබන ජනවාරි මස පළමු වැනිදා පෙරවරුවේ රාජගිරිය ලේක්ඩ්රයිව්හි පිහිටි පක්ෂ කාර්යාලයේදී සුබ මොහොතින් ආරම්භ කිරීමට සියලු කටයුතු මේ වන විටත් සූදානම් කර තිබේ.
ඒ නව සන්ධානයේ මෙහෙයුම් නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා සහ නිමල් ලන්සා ප්‍රධානත්වයෙනි.
මේ සඳහා නව සන්ධානයට එකතුවී සිටින සියලු වෘත්තීය සමිති නියෝජිතයන්ට දැනටමත් පක්ෂ කාර්යාලය විසින් ආරාධනා පත් යවා තිබේ.
මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලන්සා පසුගිය සතියේ විදේශගතව සිටි නිසා ඔහුගේ ශුභාශිංසන සමඟ රාජගිරිය නව සන්ධාන පක්ෂ කාර්යාලයේ කාර්ය මණ්ඩලය සඳහා විශේෂ නත්තල් සැමරුම් උත්සවයක් සමඟ සාදයක් පසුගිය බදාදා පැවැත්වුණි.
මුජිබර්ට හා සුජීවට දිස්ත්‍රික් නායක ගැටලුවක්
සමගි ජන බලවේගයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය පිටකෝට්ටේ පක්ෂ මුලස්ථානයේදී රැස්වුණේ පක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙනි.
කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී පක්ෂයේ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර විසින් පක්ෂයේ දිස්ත්‍රික් සංවිධායකවරු පත් කිරීමේ නිර්ණායක ඉදිරිපක් කළ අතර, කෘත්‍යාධිකාරි මණ්ඩල සාමාජිකයන් ඔවුන්ගේ මත ඉදිරිපත් කළහ.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් කීවේ දිස්ත්‍රික් නායකත්වයට මන්ත්‍රීවරයකු පත් නොකළ යුතු බවයි.
සුජිව සේනසිංහ හිටපු මන්ත්‍රීවරයා කීවේ දිස්ත්‍රික් නායකවරු සංවිධායකවරු පත් කිරීමට මැදිහත්වීම සිදු නොකළ යුතු බවයි.
මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර කීවේ දිස්ත්‍රික් කටයුතු විධිමත්ව පවත්වා ගෙන යාමට දිස්ත්‍රික් නායකයකු වැදගත් වන බවයි.
එහිදි සමගි ජන බලවේගයේ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස කීවේ ඒ පිළිබඳව සාකච්ඡා කර අවසන් තීරණයකට එළැඹීම සුදුසු බවයි.
ඒ අනුව දිස්ත්‍රික් නායකයන් ගැන පත් කිරීම ගැන තවදුරටත් සාකච්ඡා කිරීමට තීරණය විය.
ජනාධිපතිවරණය ගැන වජිරට ප්‍රශ්න වැලක්
එක්සත් ජාතික පක්ෂ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන සහ ගාල්ල දිස්ත්‍රික්කය නියෝජනය කරන තරුණ එක්සත් ජාතික පක්ෂ ක්‍රියාකාරීන් අතර හමුවක් පසුගිය බදාදා සවස ගාල්ල එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන කාර්යාලයේදී පැවැත්වුණි.
විශේෂයෙන්ම මේ දිනවල ජනාධිපතිවරණයක් පිළිබඳ විවිධ කතා සමාජයේ පැතිර යන බැවින් ඒ පිළිබඳව තම පක්ෂයේ සභාපතිවරයාගෙන් දැන ගැනීම තරුණ කණ්ඩායමේ උවමනාව විය.
මේ නිසාම හමුව ආරම්භ වූයේම ජනාධිපතිවරණය සඳහා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා ඉදිරිපත් වනවා ද යන්න විමසමිනි.
“ඇමැතිතුමනි,
ලබන අවුරුද්දේ ජනාධිපතිවරණයක් හා පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්වෙනවා කියලා බොහෝදෙනා කියනවා. ජනාධිපතිතුමත් පක්ෂ සම්මේලනයේදී මේ ගැන ප්‍රකාශ කරා.
නමුත් වෙනත් දේශපාලන පක්ෂවල අය කියනවා ජනාධිපතිතුමා ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන්නේ නැහැ කියලා. මේ ගැන තමයි අපිට ප්‍රධාන වශයෙන්ම දැන ගන්න තියෙන්නේ”
රැස්වීමේ සිටි එක් අයෙක් සභාව ආරම්භ කරමින් තම ප්‍රශ්න ඉදිරිපත් කළේය.
“අවුරුදු ගණනාවකට පසුව අපේ රටේ ක්‍රිස්තියානි ජනතාවට මෙදා නත්තල සමරන්න හැකි වුණා. පසුගිය වසර තුනක් පුරාවට ආර්ථික පීඩනයත්, ලෝකයේ ඇති වුණු වසංගත තත්ත්වයත් නිසා අපේ රටේ මහජනතාව ඉතාම පීඩනයකින් තමයි සිටියේ. බංකොලොත් වූ ජාතිය කිසිවකුත් භාර නොගන්න අවස්ථාවක රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඒ වගකීම බාර ගත්තා. කෙසේ හෝ අවුරුද්දයි මාස 6ක් ගතවන අවස්ථාවේදී රනිල් වික්‍රමසිංහ මැතිතුමාට ඒ බංකොලොත් ලේබල් එක ගලවන්න හැකි වුණා. දැන් අපේ රටේ ළමයි වෙනත් රටක ගමන් කරන කොට ඒ යන්නේ බංකොලොත් වුණු රටක ළමයි කියලා කිසි කෙනෙක් කියන්නේ නැහැ. නැවත අපි බංකොලොත් නොවූ ජාතියක් බවට පරිවර්තනය වෙලා තිබෙනවා. දැන් අපේ රටේ ව්‍යපාරිකයන්ගේ ණයවර ලිපි ලෝකය පිළිගන්න ණයවර ලිපි බවට පත් වෙලා තිබෙනවා. 2024 ජනවාරි මාසය ලබන විට නැවතී තිබුණු ලෝක බැංකු, ආසියානු සංවර්ධන බැංකු, ජයිකා ආයතනය ඇතුළු අපිට ආධාර ලබාදුන් සහ ණය දුන් කණ්ඩායම්වල සංවර්ධන ව්‍යාපෘති නැවත ශ්‍රී ලංකාව තුළ ආරම්භ වීමට නියමිතව තිබෙනවා.”යනුවෙන් වජිර අබේවර්ධන විසින් පෙන්වා දෙන ලදී.
ජනපති රනිල්ට ලෝක බලවතුන් සලකපු හැටි වජිර පෙන්වයි
මේ ඉදිරිපත් වෙලා තිබෙන අපේක්ෂකයන්ට රටක් කරන්න පුළුවන් ද හෝ මේ ඉදිරිපත් වෙලා තිබෙන නායකයන්ට ලෝක නායකයන් හසුරවමින් ලංකාව ඉදිරියට ගෙනියන්න පුළුවන් ද කියලා ශ්‍රී ලාංකික සමස්ත මහජනතාව හොඳින් සිතා බැලිය යුතුයි.
උදාහරණයක් විදිහට ගත්තොත් අවුරුද්දයි මාස හයක් ඇතුළත ලෝකයේ ප්‍රධාන නායකයන්ගේ අවධානය ලංකාවට යොමු කර ගනිමින් ලංකාව බංකොලොත් භාවයෙන් මුදාගෙන ඉදිරියට ගෙන යමින් තිබෙනවා. වෙනත් ලෝකයේ බංකොලොත් වූ රටවල් අදටත් ගොඩ එන්න බැරිව සිටියදී රනිල් වික්‍රමසිංහ මැතිතුමා තමාගේ අත්දැකීම් හා පළපුරුද්ද නිසා අපේ රට බංකොලොත් භාවයෙන් මුදා ගෙන තිබෙනවා.
මෙවැනි අවස්ථාවක අනිත් අය කියන දේවල් එතුමාට කියන්න බැහැ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ හතරවෙනි පරිච්ඡේදයේ තුන්වෙනි වගන්තිය අනුව ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීමේ ඡන්ද විමසීමේ ධුරය දරන ජනාධිපතිවරයාගේ ධුර කාලය ඉකුත් වීමට පෙර මාසයකට නො අඩු නොවන සහ මාස දෙකකට වැඩි නොවන කාලසීමාවක් තුළ පැවැත්විය යුත්තේය. එසේ නම් දැනට සිටින ජනාධිපතිවරයා තරග කරනවා නම් ඔහු කියන්න ඕන මම තරග කරනවා කියලා, එතකොට ජනාධිපතිවරණයක් ඇති වෙනවා.
එසේ නොමැති නම් මැතිවරණ කොමසාරිස්වරයාගේ රාජකාරිය කළ යුතුව තිබෙනවා. එසේ නොමැතිව රටේ විවිධ දේශපාලන පක්ෂ කියන කාරණා ගැන අවධානය යොමු කරලා රටේ ජනාධිපතිවරයාට ක්‍රියා කරන්න බැහැ. නමුත් ශ්‍රී ලාංකික සමස්ත මහ ජනතාව මතක තබා ගත යුතුයි, තමන් නැවත තෙල් පෝලිමට යනවද? නැවත ගෑස් පෝලිමට යනවද? තමන් නැවත මේ රට කඩා බිමට දානවද? එසේ නොමැති නම් මේ ගත්ත ජාතික ප්‍රතිපත්ති රාමුව අවුරුදු 12 ක් පමණ එක දිගට ක්‍රියා කරන්න අවශ්‍ය පියවර ගන්නව ද කියලා.”යනුවෙන් වජිර අබේවර්ධන ප්‍රකාශ කළේය.
ගීතා සමඟ අජිත් රාජපක්ෂ පිරමිඩ අතරට
“දැන් නියෝජ්‍ය කථානායකතුමාට ගීතා කුමාරසිංහ රාජ්‍ය අමාත්‍යවරියත් එක්ක ඊජිප්තුවේ පිරමිඩ බලන්න යන්න පුළුවන්” යනුවෙන් මන්ත්‍රීවරුන් පිරිසක් පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂට ප්‍රකාශ කළේ ශ්‍රී ලංකා ඊජිප්තු පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමය පිහිටුවීමෙන් අනතුරුවයි.
ශ්‍රී ලංකා – ඊජිප්තු පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ මෙවර සභාපති ධුරයට පත් වූයේ රාජ්‍ය ඇමැතිනි ගීතා කුමාරසිංහයි.
එම මිත්‍රත්ව සංගමයේ ලේකම් ධුරයට අජිත් රාජපක්ෂ නියෝජ්‍ය කථානායකවරයා පත් විය.