වැට් බද්ද දැනටමත් 15%ක් අය කරනවා. එය තවත් 3%කින් පමණයි වැඩි වෙන්නෙ. ඒකෙ ඔය කියන තරම් මහා විශාල වැඩිවීමක් වෙන එකක් නැහැ ‘ආණ්ඩුවට මුහුණ දීමට ඇති අභියෝග හා ජනතාවගේ සුබසිද්ධිය වෙනුවෙන් ආණ්ඩුව ගන්නා ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් අද සිළුමිණ හා සංවාදයට එක්වන්නේ කර්මාන්ත සහ සෞඛ්‍ය ඇමැති වෛද්‍ය රමේෂ් පතිරණයි. ‘
– ඉදිරි කාලයේදී ආර්ථිකය සුබදායි තත්ත්වයකට යනවා මිසක් ආපසු හැරීමක් සිදුවෙන එකක් නැහැ
– මැතිවරණ පැමිණි අවස්ථාවේදී ඒ වෙනුවෙන් අවශ්‍ය කටයුතු කරනවා
වර්තමාන ආණ්ඩුවේ ගමන් මාර්ගය ගැන වගකිව යුතු ඇමැතිවරයෙක් ලෙස ඔබ සෑහීමකට පත් වෙනවා ද, විශේෂයෙන්ම අපේ ආර්ථිකය තවමත් වැට උඩ වගේ තියෙන තත්ත්වයක් නේද දකින්න පුළුවන් වෙන්නෙ?
අපේ රටම ආර්ථික වශයෙන් ඉතාම අපහසු, දුෂ්කර ගමනක් තමයි අපි පහු කළේ. ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩකටයුතු වෙනුවෙන් අන්තර්ජාතික මූල්‍ය අරමුදල් මැදිහත්වීමත් සමඟ ආර්ථිකය ස්ථාවර වෙමින් සහ යථාවත් වෙමින් පවතිනවා. 2022 හා 2023 වසරවලදී රජය පැත්තෙන් ප්‍රාග්ධන ආයෝජනයක් සිදු වුණේ නැහැ. එහිදී විශේෂයෙන්ම රජය අවධානය යොමු කළේ ණය ප්‍රතිව්‍යුහගතකරණය සහ ණය පිළිබඳ වූ කරුණු බේරුම් කර ගැනීම වෙනුවෙන්.
අපේ රටේ ආර්ථිකය ස්ථාවර වෙමින් පවතින නිසා රජය පැත්තෙන් 2024 වසරේ ප්‍රාග්ධන ආයෝජනයක් සිදු වේවි. ඒ නිසා ඉදිරි කාලයේදී ආර්ථිකය සුබදායි තත්ත්වයකට යනවා මිසක් ආපසු හැරීමක් සිදු වෙන එකක් නැහැ.
නමුත් දිනෙන් දිනම බඩු මිල ඉහළ යනවා, උද්ධමනය ජනතාවට දරා ගන්න බැහැ කියලා ජනතාවගෙන්ම ආණ්ඩුවට දෝෂාරෝපණ එල්ල වෙනවා.
භාණ්ඩ මිල ඉහළ යාමට කරුණු දෙකක් බලපානවා. එකක් තමයි පහුගිය උත්සව සමයේදී නම් බඩු මිල ඉහළ යාම පේන්න තිබුණු කරුණක්. ඒ වගේම ඇතැම් වෙළෙන්දන් භාණ්ඩ වැඩි මිලට විකිණීමත් කරල තියෙනවා. ඇත්තෙන්ම ඒ සම්බන්ධයෙන් පාරිභෝගික අධිකාරිය මැදිහත්වීමෙන් කටයුතු කළ යුතුයි.
අනෙක් පැත්තෙන් බලන කොට භාණ්ඩ මිල ඉහළ යාමට හේතු වන ප්‍රධාන සාධකය තමයි ඉල්ලුම හා සැපයුම අතර තියෙන ගැටලුව. මේ නිසා අපේ නිෂ්පාදනය වැඩි දියුණු කිරීම අනිවාර්යෙන්ම සිදු කළ යුතුයි. පසුගිය කාලයේ අපේ රටේ භාණ්ඩ නිෂ්පාදනය කිරීමේ ගැටලු ඇති වුණා.
නමුත් අපට සතුටකට තියෙන්නෙ සහල් නිෂ්පාදනය වැඩිවෙලා තියෙන එකයි. පොහොර සුලබතාවක් තියෙන නිසා සහල් නිපැයුම වැඩි කරගන්න අපට හැකියාව ලැබුණා. නමුත් මහා පරිමාණ වෙළෙන්දන් සහල් තොග ගබඩා කරගෙන ඉන්න නිසා මිල වැඩිවෙන තත්ත්වයක් තියෙනවා. ඒකට අමාත්‍යාංශ මට්ටමින් මැදිහත් වෙලා අවශ්‍ය පියවර ගන්නවා.
විශේෂයෙන්ම සහල් ආනයනය කිරීමට කටයුතු කිරීම වැනි පියවර ගැනීමෙන් මිල පාලනය කිරීමට කටයුතු කරනවා. එමෙන්ම බිත්තර ආනයනය කිරීම නිසා ඒකාධිකාරිය බිඳීමට අප කටයුතු කළා.
නමුත් ආනයනය කර භාණ්ඩ ලබාදීම අපේ රටට හොඳ කරුණක් නෙමේ. අප කළ යුත්තේ අපේ රටේ ආර්ථිකය ශක්තිමත් කරන්න නම් රටේ නිෂ්පාදන ආර්ථිකය වැඩි දියුණු කිරීමයි.
ඒත් විපක්ෂය චෝදනා කරනවා ආණ්ඩුව ජනතාවට සහන දීම භාණ්ඩ මිල පාලනය මේ සේරම පැත්තකින් තියලා මැතිවරණවලට සූදානම් වෙනවා, නැත්නම් ආණ්ඩුවේ බලය රැක ගන්න උත්සාහ කරනවා කියලා.
ජනතාවට ලබා දෙන සහන හැටියට තමයි සමාජ ආරක්ෂණය ශක්තිමත් කරන්න අප කටයුතු කරල තියෙන්නෙ. විශේෂයෙන්ම අඩු ආදායම්ලාභීන්ට ජනතා සහන ලෙසින් තමයි අස්වැසුම හඳුන්වා දුන්නෙ. එහිදී විශේෂයෙන්ම සමෘද්ධි සහනාධාර ලබපු අයගෙන් බහුතරයකට අස්වැසුම ප්‍රතිලාභ හිමි වෙනවා.
ඒ හරහා ඇතැම් පවුල්වලට සමෘද්ධි සහනාධාර මෙන් දෙගුණයක් ප්‍රතිලාභ හිමි වෙනවා. ඒ කොහොම වුණත් සමෘද්ධි සහනාධාරයත් දිගටම ක්‍රියාත්මක කරන්න රජය කටයුතු කර තිබෙනවා. ඒ වගේම අප තේරුම් ගත යුතුයි ඉතිහාසය පුරාම රජයන් විසින් සෞඛ්‍ය පහසුකම්, අධ්‍යාපනය නොමිලේම ලබා දුන් බව. ඊට අමතරව රටේ සමස්ත යටිතල පහසුකම් සපයමින් පවුල් ලක්ෂ 18කට පමණ අස්වැසුම ලබා දෙනවා. ඒ වගේම රාජ්‍ය සේවකයන් ලක්ෂ 15ක් වෙනුවෙන් අපි වැටුප් දීමනා ඇතුළු පහසුකම් සපයනවා. විශ්‍රාමිකයන් ලක්ෂ 6කට පමණ විශ්‍රාම වැටුප් ගෙවිය යුතු වෙනවා. ඒ ලෙසින් සේවාවන් පවත්වාගෙන යාම ශ්‍රී ලංකාව වගේ රටකට විශාල අභියෝගයක්.
අප මේ සම්බන්ධයෙන් ඉදිරියේදී සිදු කළ යුතු වැදගත්ම කරුණ වන්නේ අපේ රටේ නිෂ්පාදනය වැඩි දියුණු කිරීමට කටයුතු කිරීමයි. රටේ සියලු ජනතාව ඒ වෙනුවෙන් ඇප කැපවී කටයුතු කළ යුතු වෙනවා. මේ කොහොම වුණත් සමාජ ආරක්ෂණ කටයුතු අපි අතපසු කරන්නේ නැහැ
වැට් බද්ද ජනවාරි මාසයේ සිට 18%ක් දක්වා වැඩි කරනවා. මේ තත්ත්වය නිසා රටේ සමස්ත භාණ්ඩ මිල විශාල ලෙසින් ඉහළ යන බවට මේ වන විටත් ආර්ථික විශ්ලේෂකයන් මෙන්ම සමාජ විචාරකයන් හා දේශපාලඥයන් විසින් පවසා තියෙනවා. මොකක්ද ආණ්ඩුවේ ප්‍රතිචාරය?
වැට් බද්ද දැනටමත් 15%ක් අයකරනවා. එය තවත් 3%කින් පමණයි වැඩි වෙන්නෙ. ඒකෙ ඔය කියන තරම් මහා විශාල වැඩිවීමක් වෙන එකක් නැහැ. නමුත් ඉන්ධන මිලට මේ හරහා බලපෑමක් වන තත්ත්වයක් තියෙනවා. ඒ තත්ත්වය වළක්වා ගැනීම පිණිස කංචන විජේසේකර ඇමැතිතුමා ඉන්ධන මිල කළමනාකරණය කිරීම සම්බන්ධයෙන් මේ වන විට සාකච්ඡා කර තියෙන්නේ.
ඉන්ධන මිල හරහා සිදුවන බලපෑම අවම කරගත යුතු වෙනවා. ඒ වගේම බොහෝ අත්‍යවශ්‍ය භාණ්ඩ වැට් බද්දෙන් නිදහස් කරල තියෙන්නෙ. ඒ වගේම තවත් භාණ්ඩ කිහිපයකට අලුතින් වැට් බදු පනවා තියෙනවා. ආර්ථිකය ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් මේ සියලු ක්‍රියාමාර්ග අරගෙන තියෙන්නෙ. කොහොම වුණත් ජන ජීවිතයට බාධාවක් නොවන ලෙස බදු අයකිරීමයි රජයේ ප්‍රතිපත්තිය වන්නේ.
අපේ රටේ ඩොලර් සංචිතය ඉහළ ගිහින් තියෙන බවට මහ බැංකුව කියනවා. ඒ වගේම සංචාරකයොත් ලක්ෂ ගණන් එන බවක් වාර්තා වෙනවා. ඒත් කියන තරම් ආර්ථික දියුණුවක් පේන්න නැහැ නේද? ඉදිරියේදී ආර්ථිකයේ මේ දිගහැරුම කොයි පැත්තට යයිද?
ඇත්තෙන්ම රටේ ආර්ථිකය නැවත යථාවත් වෙමින් තියෙන්නෙ. ලබන වසරේදී රාජ්‍ය ආයතනත් සමඟ රටේ සංවර්ධනයක් සිදු වේවි. කොහොමත් ලබන වසර 2022 වසර හා 2023 වසරට වඩා යහපත් තත්ත්වයකට පැමිණේවි. ඒ පරිවර්තනය එසේ විය යුතුයි. එය එසේම වෙයි.
නව ඉන්දීය මහකොමසාරිස්වරයකු පත් වෙලා ආවා. ඉන්දියාව අපේ අසල්වැසි රට මෙන්ම අපේ බොහෝ දේ සමඟින් ඉන්නවා. ඉදිරියේදී අපට ලැබෙන සහන මොනවගේ වෙයිද?
අපේ රටේ ආර්ථික අර්බුදය ඇති වූ සමයේ ඉන්දියාව අපට විශාල ලෙසින් උදවු වුණා. අපට ඩොලර් බිලියන 4ක පමණ ණය සහ ආධාර ලබා දුන්නා. එය අපට ආර්ථිකය ඉහළ නංවා ගැනීමට සුවිසල් මෙහෙවරක් වුණා. ඒ වගේම මෙහිදී පැවසිය යුතුයි, ඉන්දියාව කියන්නේ කලාපයේ ප්‍රබල මෙන්ම ඉතා ශක්තිමත්ව නැඟී සිටින අපේ අසල්වැසිම රට. ඒ වගේම ඉන්දියාව ආර්ථික වර්ධනය ඉහළ මට්ටමක තියෙන රටක්. ඔවුන් ලෝක බලවතෙක් ලෙස ඉදිරියට එමින් ඉන්නෙ. අපිට ඔවුන් සමඟ ඉතා සුහදව කටයුතු කළ හැකියි. කටයුතු කළ යුතුයි.
අපෙන් ඉන්දියාවටත් ඉන්දියාවෙන් අපටත් ලබා ගත හැකි අනෞන්‍ය ප්‍රයෝජන රැසක් තියෙනවා. මෙහිදී අපට ඔවුන්ගෙන් ලබාගත හැකි ප්‍රයෝජන වැඩි බවත් අප අවබෝධ කරගත යුතු වෙනවා. කොහොමත් විදේශ සම්බන්ධතා අපට ඉතාම වැදගත්.
විදේශ සම්බන්ධතා අපට වැදගත් වුවත් මේ වන විට ඉන්දුනීසියාව, මැලේසියාව වැනි රටවලට ඇතුළුවීමට සංචාරක වීසා ගාස්තු ලෙස අධික මුදලක් දැරීමට අපට සිදුව තිබෙනවා. එයත් අපේ රටේ විනිමය පිටට ඇදී යාමක්. විශේෂයෙන්ම වීසා ගාස්තු රහිතව ඉන්දුනීසියාවට ඇතුළු වූ ශ්‍රී ලාංකිකයන් මේ වන විට රුපියල් 50,000කට ආසන්න මුදලක් වීසා ගාස්තු ලෙස ගෙවිය යුතුයි. නමුත් ඉන්දුනීසියන් ජාතිකයන්ට අපේ රටට නොමිලේම ඇතුළු විය හැකියි. රාජ්‍යතාන්ත්‍රික මට්ටමින් මේ සඳහා මැදිහත්විය යුතුයි නේද?
ගාස්තු රහිත වීසා මඟින් රටක් බලාපොරොත්තු වන්නේ ඒ රටට සංචාරකයන් හා ආයෝජකයන් ගෙන්වා ගැනීමයි. විශේෂයෙන්ම නිදහස් වෙළෙඳාම ප්‍රවර්ධනය කිරීම මෙහි අරමුණක් වෙනවා. ශ්‍රී ලාංකිකයන්ට ඇති ගැටලු සම්බන්ධයෙන් අපි විදේශ කටයුතු අමාත්‍යාංශය හරහා දැනුම් දී ඒ සම්බන්ධ ඉල්ලීමක් සිදු කරන්නට කටයුතු කරන්නම්.
සමාජ මාධ්‍ය නියාමන පනත යළිත් ලබන වසරේදී කරළියට එනවා. සමාජ මාධ්‍ය නියාමන පනත නමින් මේ ගෙන එන්නේ භාෂණයේ නිදහස අහිමි කිරීමක් ද?
එවන් කිසිදු ආකාරයක මාධ්‍ය නිදහස සීමා කිරීමක් වෙන්නේ නැහැ. මෙහිදී සිදු කෙරෙන්නේ සමාජ මාධ්‍ය නියාමනය කිරීම පමණයි. වගවීම හා වගකීම සිදු කළ යුතු ආකාරයට සමාජ මාධ්‍ය භාවිත කිරීමට යොමු කිරීම මෙහි එකම අරමුණ වනවා.
නිවැරැදි තොරතුරු ජනතාවට යොමු කිරීම අපේ වගකීමක්. ඒ වෙනුවෙන් අවශ්‍ය පියවර ගැනීම පමණයි මෙහිදී සිදු කෙරෙන්නේ.
ඔබට ලැබුණු සෞඛ්‍ය ඇමැති ධුරය දකින්නේ කොහොමද? කටු ඔටුන්නක් වෙයි ද?
ඇත්තටම සෞඛ්‍ය අමාත්‍යාංශය ඉතා හොඳ යටිතල පහසුකම් සහිත ගුණාත්මක මෙන්ම සුදුසුකම් සපිරි නිලධාරීන් සිටින අමාත්‍යාංශයක්. පසුගිය කොවිඩ් සමයේ විවිධ අභියෝගවලට මුහුණ දෙන්නට අමාත්‍යාංශයට සිදු වුණා. ඒ අභියෝග ජයගෙන දැන් ඉදිරියට යනවා. අපට මේ අමාත්‍යාංශයේ කටයුතු කළමනාකරණය කරගෙන ඉදිරියට යාම ගැටලුවක් වන්නේ නැහැ.
ලබන වසරේ අනිවාර්යයෙන්ම මැතිරණවලට මුහුණ දෙන්නට වනවා. ආණ්ඩුව, ඔබ පක්ෂය සූදානම් ද ඒ වෙනුවෙන්?
අපි මේ අවස්ථාවේ සූදානම්ව සිටින්නේ ජනතාවගේ ආර්ථිකය ඉහළට ඔසවා තබා රට ඉදිරියට ගෙන යාමටයි. මැතිවරණ පැමිණි අවස්ථාවේදී ඒ වෙනුවෙන් අවශ්‍ය කටයුතු කරන්නම්.
තාරක වික්‍රමසේකර