ලොව කැලඹූ වාදන ශිල්පීන් අතර ලංකාවේ ප්‍රේක්ෂකයින්ගේ දෑස් උදුරා ගත් වයලීන වාදන ශිල්පිනියක් ද සිටින බව ඔබටත් මටත් අරුමයක් නොවේ. වමත මත රඳන වයලීනයේ තත් මත දකුණතින් ගත් බෝයෙන් මියුරු ස්වර හඬවද්දී ඒ නදින් මුසපත් ව කැරලි ගැසෙන දිගු වරලස ගත රිද්මයට මුසු වෙමින් මවන්නා වූ දෘශ්‍ය රූප ඇයගේ වැයුමට ගෙන දෙන්නේ අපූර්වාලංකාරයකි. වයලීනයක් තරම්වත් උස නැති පුංචි ම පුංචි කාලේ පටන් වයලීනයට පෙම් බැඳි ඇය ශ්‍රී ලංකා ගුවන්විදුලි වාදක මණ්ඩලයේ ප්‍රවීණ වයලීන වාද්‍ය ශිල්පී අශෝක ජයවර්ධනයන්ගේ බාල දියණිය තුෂාණි ජයවර්ධන යි.
වයලීනයට පෙම් බැන්දේ තාත්තා නිසා ද?
බටහිර සංගීත වාදන ප්‍රසංගවලට මම වයස අවුරුදු දෙකේදි තුනේදිත් ගිහිල්ලා ඒවා දැකලා, වාදන භාණ්ඩ හඳුනගෙන හිටියා. තාත්තා ගෙදර වයලීනය පුහුණු වෙනවා මම දැකලා තිබුණා. තාත්තා නිතරම වයලීන වාදන ශ්‍රවණය කළා. අපි පුංචි කාලේ නිදා ගන්නෙත් එවා අහගෙනයි. මගේ හයවැනි උපන්දිනයේදි අම්මයි, තාත්තයි මගෙන් අහලා තිබුණා කැමතිම වාදන භාණ්ඩය මොකක්ද කියලා. මම කියලා තියෙන්නේ ‘වයලීනය’ කියලා. මම වයස අවුරුදු හයේදී තමයි මුලින්ම වයලීනය වාදනය කරන්න පටන් ගත්තේ. ඒ ආනන්ද දාබරේ මහතා යටතේයි. ඔහු ඒ කාලේ රුසියාවේ ඉගෙනීම් කටයුතු කරමින් සිටින අතරතුර ලංකාවට ආව වෙලාවට ඉගැන්වීම් කළා. ඔහු නැවත රුසියාවට ගියාම මගේ තාත්තා ඉගැන්නුවා. අධ්‍යයන කටයුතු අවසන් කරලා ලංකාවට ආවාට පස්සේ ආනන්ද මහතා යටතේ මම බොහෝ කාලයක් වයලීන වාදනය ඉගෙන ගත්තා. ඊට පස්සේ වයස අවුරුදු දහඅටේදි වසරක කාලයක් මම එංගලන්තයට ගිහින් රෝයල් ඇකඩමියේ මහාචාර්යවරයකු වූ හාවඩ් ඩේවිස් මහතාගෙන් වයලීන වාදනය ඉගෙන ගත්තා. මුල ඉඳලාම වයලීනයට තමයි ආදරය කළේ. අදටත් මම ආස ම වාදන භාණ්ඩය වයලීනයයි.
පාසලේදිත් ඔබ වයලීන වාදනයට මුල් තැන දුන්නා ද?
කොළොන්නාව බාලිකා මහා විද්‍යාලයට මම මුලින් ම ගියා. ඉස්කෝලේ සංගීත ගුරුවරියක් වෙලා සිටි විනිතා කරුණාරත්න මහත්මියගේ වැඩසටහන්වලට මාව සම්බන්ධ කර ගත්තා. මම පළමු වසරේ ඉඳලාම විවිධ වැඩසටහන්වලට වාදනයෙන් දායක වුණා. මම බටහිර සංගීතය හදාරමින් ඊට අදාළ විභාග කරන්න පටන් ගත්තා. ඒ විභාගවලින් වැඩිම ලකුණු ගත්තාම ප්‍රසංගයක් පවත්වනවා. එහෙම ප්‍රසංගයක් වයස අවුරුදු අටේදි රුසියානු සංස්කෘතික මධ්‍යස්ථානයේදි පැවැත්වුණා. මම එහිදී වයලීන වාදනයක් ඉදිරපත් කළා. ඒක මගේ ජීවිතයට ලැබුණු ලොකු අවස්ථාවක් වුණා. මොකද ඒ අවස්ථාවට සම්බන්ධ වුණු ප්‍රේක්ෂකාගාරය සහ අනෙකුත් ශිල්පීන් හැමෝම සංගීතය සහ වාදනය පිළිබඳ ඉතා හොඳින් දන්නා අයයි. ඊට පස්සේ මම කළ හැම විභාගයකින්ම ලංකාවේ පළමු වැනියා වුණා. ඊළඟට වයස අවුරුදු දහයෙදි, දොළහෙදි සංගීත සංධ්වනිවල වාදනයට එක් වුණා. ඒවායේ ළාබාලතම වාද්‍ය ශිල්පිනිය වුණේ මමයි. සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ මම දේශකවරියක් විදිහට මෑතක් වන තුරුම ඉගැන්වීම් කළා. එංගලන්තයේදීත් විවිධ වැඩසටහන්වලට මම වාදනයෙන් සම්බන්ධ වුණා. තරගවලට ඉදිරිපත් වෙලා සම්මාන දිනා ගත්තා.
ඔබ ඉගෙන ගත්තේ වයලීනය විතරද?
නැහැ. මම උසස් පෙළට ජීව විද්‍යාව ටික කාලයක් කළා. ඊට පස්සේ භාෂා අධ්‍යයනයෙන් උසස් පෙළ සමත් වෙලා විශ්වවිද්‍යාලය ගියා. එහිදී සමාජ විද්‍යාව, මනෝවිද්‍යාවට ඉගෙන ගත්තා. ජනමාධ්‍ය විද්‍යාලයෙන් ජන සන්නිවේදනය ඩිප්ලෝමාව කරලා ඩේලි මිරර් පුවත්පතට ටික කාලයක් ලිව්වා. පහේ ශිෂ්‍යත්ව විභාගයෙන් කොට්ඨාසයෙන්ම පළමුවැනියා වෙලා කොළඹ විශාඛා විද්‍යාලයට ගියා. විශාඛා විද්‍යාලයේ වජිරා නානායක්කාර ගුරුතුමිය මට ප්‍රසංගවලදී ගායනය, වාදනය වගේම ඒකල වාදන සඳහා අවස්ථාව ලබා දුන්නා. මගේ ප්‍රාසාංගික හුරුව ඒ නිසා ගොඩාක් වර්ධනය වුණා. පාසල් දෙකේදීම වයලීන වාදනය නිසා මං ගොඩාක් ජනප්‍රිය වුණා. ඒ අවස්ථාව මට ලැබුණේ ගුරුවරු නිසායි.
වයලීන වාදනය උගන්වන්න පටන් ගන්නේ වයස අවුරුදු කීයෙදි ද?
ඇත්තටම වයසක් හරියට කියන්නත් බෑ. මං හිතන්නේ වයස අවුරුදු අට, දහය, දොළහ වගේ ඇති. තාත්තා පන්ති කරන වෙලාවට මට කියනවා ඇවිල්ලා සමහර වාදන කොටස් ඒ ළමයින්ට උගන්වන්න කියලා. ඒ වගේම තාත්තාට පන්ති දවසක වෙන වැඩක් යෙදුණොත් තාත්තා කවදාවත් පන්ති නවත්වන්නේ නැහැ. එහෙම දවසට තාත්තා වයලීන වාදන පන්තිය මට කරන්න බාර දීලා යනවා. ඒ හැමෝම මට වඩා වයසින් වැඩි අයයි. ඒ කිසි කෙනෙක් මං පොඩියි කියලා මගෙන් ඉගෙන ගන්නේ නැතුව හිටියේ නැහැ. ඒ අතර සිටි සමහරු අද මේ ක්ෂේත්රයේ ඉහළටම පැමිණ සිටිනවා. මගෙන් ඒ කාලේ ඉගෙන ගත්ත බව ඔවුන් ප්‍රසිද්ධ මාධ්‍යවලින් කියනවා. ඒක මට විශාල සතුටක්.
ඔබ වාදනයෙන් සම්බන්ධ වෙන්නේ තෝරා ගත් වැඩසටහන්වලට පමණ ද…?
ඇත්තටම තෝරා ගැනීමක් නෑ කියන්න බැහැ. මම මගේ දරු දෙන්නා, සැමියා, මගේ පවුලට මුල් තැන දෙනවා. ගෘහණියක් හැටියට ගෙදර වැඩ හැමදෙයක්ම මගේ අතින්ම ඉටු කරනවා. මම සහායටවත් කිසි කෙනෙක් අරගෙන නැහැ. දරුවෝ දෙන්නාගේ වැඩ ගැන වැඩිපුර බලනවා. ඊට අමතරව මම වැඩි ඉඩක් දෙන්නේ ඉගැන්වීම් කටයුතුවලටයි. ප්‍රධාන පන්තිය නාවින්නේත්. කොළඹින් පිට පන්තියක් මීගමුවේත් කරනවා. මුල ඉඳලාම ආසාවක් තිබුණේ කොළඹින් පිට පන්තියක් කරන්නයි. මගේ තාත්තාත් නිතර කියූ දෙයක් තමයි කොළඹින් පිට ළමයින්ටත් වයලීනය උගන්වන්න කියලා. මම විශ්වවිද්‍යාලයේ මගෙන් ඉගෙන ගන්න දරුවන්ටත් කියන්නේ එයාලා ගුරුවරු වෙලා තමන්ගේ ගමට ගිහින් උගන්වන්න කියලයි. කොළඹ අපට පහසුකම් තියෙනවා. ඒත් කොළඹින් ටිකක් දුරට ගිය තැන කිසි පහසුකමක් නැති ළමයි ඉන්නවා. ඒ නිසා මම මීගමුවේ පන්තිය කරනවා. මගෙන් ඉගෙන ගත්ත ළමයි අද ගුරුවරු වෙලා ලංකාව පුරාම විතරක් නෙවෙයි ලෝකයේ බොහෝ රටවලත් ඉගැන්වීම කරනවා. මම ඇත්තටම මගෙන් ඉගෙන ගත්ත අයට වයලීන වාදනය විතරක් උගන්වන්නේ නැහැ. මේ සමාජය දිහා සංවේදී ව දකින්නත් මං එයාලාට කියලා දෙනවා. පසු කාලයකදී මොන වෘත්තිකයෙක් වුණත් ඒ හැම කෙනෙක් තුළම සංගීතය සංවේදීකම පවත්වාගෙන යන්න එයින් පෙලඹවීමක් ඇති කරවනවා.
විභාගයකට වයලීනය වාදනය කරලා ලකුණු ගන්නවාට වඩා සංවේදී හොඳ පුරවැසියෙක් වයලීනය හරහා සමාජගත කරවීම මගේ සතුටයි. මම පුංචි කාලෙම උගන්වන්න පටන් ගත්ත නිසා මගේ වයසත් එක්ක ගත්තාම විශාල පිරිසක් මේ ක්ෂේත්රය අද ජයගෙන තිබෙනවා. මම ඒ ගැන ගොඩාක් ආඩම්බර වෙනවා. ඒ නිසා ඉගැන්වීම් සහ පවුලේ වැඩවලට බාධාවක් නොවන විදිහට මම ප්‍රසංග තෝරා ගන්නවා.
ප්‍රවීණ වයලීන වාදන ශිල්පී දිනේෂ් සුබසිංහ සමඟ වයලීන වාදන ප්‍රසංගයක් කරන්න කැමති නැද්ද…?
මෙච්චර කාලෙකට එහෙම දෙයක් ගැන හිතලාවත් තිබුණේ නැහැ. ඇත්තට ම ඒක හොඳ අදහසක් තමයි. පුංචි කාලේ මගෙන් ඉගෙන ගත්ත ලොකු අය අතර දිනේෂ් සුබසිංහත් ඉන්නවා. ඔහු ඒ බව බොහෝ තැන්වල ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරනවා. ඒ ගැන සතුටුයි. දිනේෂ් සුබසිංහත් ඇතුළු ව මගේ වාදනයට සහායක් වන විදිහේ වාදන ශිල්පීන් රාශියක් එකතු කරගෙන වාදන ප්‍රසංගයක් කරන්න මගේ සිතේ ලොකු ආසාවක් තියෙනවා. ඒ සඳහා තරුණ වාදන ශිල්පීන් වගේ ම මගේ තාත්තාගේ යුගයේ වාදන ශිල්පීන්වත් එකතු කරගන්න මම කැමති යි.
ප්‍රාසාංගික බව ඔබට පුහුණු කළේ කවුද…?
පුංචි කාලේ ඉඳලා ම යමක් ඉදිරිපත් කරද්දි ඇඟෙන් ම එන ගතියක් වගේ එකක් තිබුණා. ඒ තත්ත්වය මහාචාර්ය හාවඩ් ඩේවිස් මහතාගෙන් ඉගෙන ගනිද්දි වැඩිදියුණු වුණා. ඔහු හැමවිට ම කිව්වේ වයලීනය වාදනය කරන කෙනෙක් කියන්නේ ගායකයෙක්, වාදකයෙක් වගේ ම රංගන ශිල්පියෙක් කියා යි. අපි ප්රාසාංගිකව වයලීන වාදනයක් ඉදිරපත් කරද්දි ඒක ගියක් ගයනවා වගේ ප්‍රාසාංගික හැඟීම් සහිත ව ඉදිරිපත් කළ යුතු බව මට කියා දුන්නේ මහාචාර්ය හාවඩ් ඩේවිස් මහතා යි. වාදනයත් එක්ක මගේ හදවතේ ඇති වන හැඟීම ස්වාභාවිකවම මගේ භාවයන් තුළින් මතු වෙනවා. ප්‍රාසාංගික බවේ රහස එයයි.
පුහුණුවීම් සඳහා වෙන් කරගත් කාලයක් ඔබට තිබෙනවාද…?
එහෙම නිශ්චිත වෙලාවක් නැහැ. සමහර දවස්වලට මුළු දවස පුරා ම කරලා තියෙන්නේ වයලීනය පුහුණු වීමයි. පටිගත කිරීම්, ප්‍රසංග, ගුවන්විදුලි හා රූපවාහිනී වැඩසටහන්, පන්ති, ඉගැන්වීම් හැමතැනකදී ම පුහුණුවීමකුත් සිදු වෙනවා. මේ කලාවේ පවතින්නත්, බබළන්නත් අත්‍යවශ්‍ය ම දේ වන්නේ පුහුණුවීම යි. අපි පුහුණුවීම් කළ තරමට අපේ ප්‍රාසාංගික බව හා නිපුණතාව වැඩි වෙනවා. ඒ සඳහා ලොකු කැපවීමක් කරනවා. මවක්, බිරිඳක් හැටියට මගේ යුතුකම්වලට බාධාවක් නොවන්න මං හැමවිට උත්සාහ කරනවා. කොහොම කළත් ප්‍රසංගයක්, පටිගත කිරීමක් තිබුණොත් දරුවන් බලා ගන්නේ මගේ සැමියා යි. ඔහු තොරතුරු තාක්ෂණ ඉංජිනේරුවරයෙක්. දෙමව්පියන්ගෙනුත් ලොකු සහායක් ලැබෙනවා.
තුෂාරී කළුබෝවිල