මධුමාධව අරවින්ද කියන්නේ හැමෝම වගේ දන්න ගායකයෙක්, නළුවෙක්, රචකයෙක් වගේ ක්ෂ්‍රේත රැසක කටයුතු කරන කෙනෙක්. මේ කාලය තුළ නම් සමාජ මාධ්‍යය තුළ සක්‍රීය චරිතයක්. ඒ ඔහු ලියන නිදහස් ආරේ කවි සිතුවිලි සහ සංකල්පනා නිසා. ජීවිතේ අත්දැකීම් අත්විඳීම් මුහුණු පොත හරහා රසට ලියන මේ අපූරු කලාකරුවා ඉන් බලාපොරොත්තු වෙන්නේ මොනවද? ඒ ගැන වගේම ජීවිතේ ගැන කතා කරන්න අපි ඔහුට කතා කළා.
ජිවිතේ මේ දවස්වල මොකද වෙන්නේ?
ජීවිතේ… මට ලැබිලා තියෙන අරවින්ද කියන නමම හැමදේකටම යා කර ගන්න පුළුවන්. ජිවිතේ වින්ද, යාලුවෝ වින්ද, අත්දැකීම් වින්ද, ඉතින් ජිවිතේ විඳින එක තමයි අපි හැමෝටම තියෙන එකම වැඩේ. ඉන් එහා දෙයක් මම හිතන්නේ නැහැ. ආගමික පැත්තෙන් නිවනවත් ස්වර්ගය ගැනවත් හිතන කෙනෙක් නෙවෙයි මම. මේ ලැබුණු ජීවිතේ හැම තත්පරයම විඳින කෙනෙක්. වළකට වැටුණත් ඒ වළේ තියෙන මොකක් හෝ රහක් ලස්සනක් හොයලා ඒක විඳින්න මම ප්‍රගුණ කළා. ජිවිතේ නරක කාල හොඳ කාල හැම එකක්ම වින්දා.
ඔය විඳින ජිවිතේම නේද මුහුණු පොතේ අකුරු බවට පත් කරන්නේ?
ඇත්තටම ඔව්. මම හිතන්නේ මුහුණු පොතේ අරමුණම ඒක තමයි. අපි හැමෝම විවිධ මානසික මට්ටම්වලනේ ජීවිතේ ගෙවන්නේ. නමුත් මේක පාවිච්චි කරන්න ඕනේ හරි විදිය තමයි අපේ සතුට අත්දැකීම් අනිත් අයත් එක්ක ආදරෙන් බෙදා ගන්න එකට. මම මුහුණු පොත පාවිච්චි කරන්නේ ඉගෙන ගත්ත දේවල් සහ විනෝදය විහිළුව හිනාව සතුට මිනිස්සු එක්ක බෙදා ගන්න.
මුහුණු පොතේ අකුරු කරන දේවල් වලට ලැබෙන ප්‍රතිචාර කොහොමද?
මිනිස්සු හැමදේකටම හුරුවෙනවානේ. මිනිස්සු හුරු වුණාට පස්සේ විවෘත වෙනවා. මගේ මේ විවෘත වීම ඇතුළේ අනිත් කෙනෙත් යම් තාක් දුරකට ඇත්ත කතා කරන්න ගන්නවා. වැරදියට හිතුන තැන පිළිගන්න ගන්නවා. ඒ හින්දා විශේෂයෙන්ම මුහුණු පොත හොඳ වේදිකාවක් අපිට මිනිස්සු ආශ්‍රය කරන්න. අපි කරන දේවල් අගයන්න පිරිසක් ඉන්නවා කියන එක මේ තුළින් දැනෙනවා. කලාකාරයෙක්ට මේ දේවල් සාමාන්‍යයයි.
මේ වෙද්දීත් ආදරණිය බිරිඳ ඉන්නේ විදෙස්ගතවනේ, එයාගෙන් ලැබෙන ප්‍රතිචාර කොහොමද ඔය ලියන දේවල්වලට?
එයාගේ මුහුණු පොතත් හරිම සක්‍රීයයි. එයත් මම ලියන දේවල් විඳිනවා. ඇය ඇයගේ දේවල් මුහුණු පොතට එකතු කරනවා. ඇයත් ජීවිතේ විඳින සුන්දර ගැහැනියක්.
මේ කාලේ මධුමාධව තමන්ගේ දක්ෂතා වලින් හරි හැටි ප්‍රයෝජන ගන්නේ නැහැ කිව්වොත්?
තමන්ගේ ජීවිතේ අරමුණු කර ගත්ත කන්දක් තියෙනවනේ. මිනිස්සු අපිව පොළඹවනවා ඔයා ගායකයෙක් ඔයා සින්දු කියන්න ඕනේ කියලා. මම නම් සංචාරකයෙක්. මගේ කන්දේ නම සංචාරය. මට කරන්න පුළුවන් දේ කරමින් මම ජීවිතේ විඳිනවා. සමහර වෙලාවට මම මගෙන් වැඩක් ගත්තේ නැහැ වගේ දැනුනට, ඒ කාලය තුළ මම මොනවා හරි දෙයක් තුළින් ජීවිතේ විඳලා. ගායක කන්දේ මුදුනට මට යන්න ඕනෙත් නැහැ. ඉඳලා හිටලා රඟපානවා, සින්දුවක් කියනවා පොතක් ලියනවා. මේ තමයි මගේ ජීවිතේ. මට අපහාස කරන දේවල් වලින් පවා මම විඳිනවා. අපහාසය කියන්නෙත් ජීවිතේ එක කොටසක්. කිසියම් කෙනෙක් අපි නිසා පීඩනයක් පිට කර ගන්නවා නම් ඒකත් කලාවක් තමයි.
ස්වේතා දුව ගැනත් කතා කළොත්, තවමත් ඇයව අපි කලාවෙන් දකින්නේ නැහැ?
මම ගායකයෙක් වෙන්න තිබ්බ ලොකුම සුදුසුකම මගේ පවුලේ ජාන වලින් ආව හැකියාවන්. ගායනය එහෙම එනවා. නමුත් රංගනය එහෙම වෙන්නේ නැහැ. ඒකට ඕනේ තරම් අපේ රටේම උදාහරණ තියෙනවනේ. ඒ නිසා ජාන වලින් එන්නේ ගායනය. ඇයගේ අම්මා රංගන ශිල්පිනියක්. තාත්තා ගායකයෙක්. ඒ නිසා ඇය දිනෙක වෘත්තිය ලෙසින් නෙවෙයි ජීවිතේ වෙනුවෙන් ගීත ගයාවී. මේ නගරයේ ඇය කලා ශිල්පිනියක් වෙනවට නම් පුද්ගලිකව මම කැමති නැහැ.
දේශපාලන මත දරන්න ගිහින් යම් පසුබෑමක් ඇති වුණානේ, නැවතත් දේශපාලන මත දරනවද?
නැහැ. අතහැරීම කලාව නම් මම එහි පිකාසෝ. සම්බන්ධයක් වුණත් ඉවර නම් ඉවරයි. එතැනින් එහාට පටන් ගන්නේ නැහැ. දේශපාලනය නිසා කලාව තුළින් මට ආදරය කරපු අය බැලුවා මේ හාදයා මොකක් ද මේ කරන්නේ කියලා. ඒ මගේ තව කන්දක්. හැබයි ඒ කන්දට ගිය නිසා අපි එළියෙන් දකින ගල් පිළිමවල බොල් බව දැක්කා. අපි හිතපු බොල් පිළිමවල ගල් දකින්න පුළුවන් වුණා. ජීවිතේ ලබපු ලොකු අත්දැකීමක්. මගේ මතය තිබ්බේ වෙනස් තැනක. එතැන ප්‍රසිද්ධ දේශපාලන මත තිබ්බේ නැහැ. කිසිවක් නොතිබ්බ මට මිනිස්සු දුන්න මධුමාධව කියන කලාවේ නමින් නැවත කලාවට ආවා. මම දේශපාලනයෙන් අයින් වුණා.
ඒ කියන්නේ පූර්ණකාලීනව මධුමාධව අරවින්ද කියන කලාකරුව ඉතුරු වෙලා තියෙනව?
අන්න හරි. ගොඩක් අයට දේශපාලනය අතහැර ගන්න බැහැ. මගේ දේශපාලනය තිබ්බේ ගෙදරින් පිට. ඒ නිසා මට පුළුවන් වුණා දේශපාලනය අතහැරලා මිනිස්සු මගෙන් බලාපොරොත්තු වුණු කලාකරුවාව ඔවුන්ට නැවත දෙන්න. දේශපාලනය නිසා මට අහිමි වුණු සියලුම මිනිසුන් මම දිනා ගන්නවා. මැරෙන්න කලින් මගේ අරමුණ දේශපාලනය නිසා විරසක වුණු මිනිසුන්ට මම මධුමාධව බං කියන තැනට වැඩ කරන එක.
එහෙමනම් අලුත් නිර්මාණ අහන්න දකින්න ලැබෙයි?
මේ කාලයේ ඒ වෙනුවෙන් මහන්සි වෙනවා. මම ගරු කරන සංගීත ආරවල් වලින් මෙතෙක් නොකරපු එකක් තමයි රැප් එක. මේ දවස් වල මම රැප් එකක් ලියමින් ඉන්නේ. රැප් ඒ තුළ තියෙන්නේ සමාජයේ තියෙන යම් කිසි පීඩනයක් පිට කරන්න හදපු කලාවක්. බැරිකම්වලට ලංකාවේ ගීත නැහැ. Bob Marley ගත්තම අපි දැක්කා කෙසඟ ශරීරයක් තිබ්බට Get Up Stand Up කියලා කිව්වා. ඉන්දියාවේ තියෙනවා Thoongathey Thambi Thoongathey එකෙන් කියන්නේ නිදියන්න එපා පුතේ නැගිටපන් කියලා. මට එදා පෙම්වතිය එක්ක ගිහින් තේ එකක් බොද්දි ඉන් එහා දෙයක් ඉල්ලුවොත් දෙන්න බැරි වුණු ප්‍රශ්න අදටත් දැන් ඉන්න මල්ලිලාට තියෙනවා. කවදා හරි නැගිටිනකම් බැරිකම දරා ගත්ත මිනිස්සු අපි කියන එකට ගීත ඕනේ. අපිටත් කන්න නැති රාත්‍රී තිබ්බා මල්ලියේ, හැබැයි මේ අව් වැසි සුළි සුළං වලට පස්සේ වසන්තය එනවා සත්තයි. එතකම් අහන්න ගීත අවශ්‍යයි. බොහෝවිට මේ අවුරුද්දේ එක ගීතයක් අහන්න ලැබෙයි. අනිත් ගීත දෙකත් ලබන වසර මුල් කාර්තුවේ අහන්න ලැබෙයි.
ජීවිතේ විවිධ පාරවල්වල මධුමාධව ගියා, සමහර තැන්වල නතර වුණා. තවත් තැන් වලට තිත තිබ්බා. ඒ වගේම කොමාවක් තිබ්බ තැනුත් ජීවිතේ තියෙනවා. මෙහෙම ආව ගමනේ අද ජීවිතේ ගැන මොකද හිතෙන්නේ?
බොහොම අපූරුයි. ලස්සනට ගැළපුවා. මෙහෙමයි ජීවිතේ කියන එක මම ගන්නේ මල් වත්තක් විදියට. මගේ මට්ටමින් අරවින්ද යායක්. අද මම විවාහ වෙලා හිටියට මගේ බිරියත් මේක දන්නවා. මම ප්‍රේම කරපු මගේ හිතවත්කම් තිබ්බ අයගේ දැන් ඒ සබඳකම් නැති වුණත් ඒ සියලු දෙනාගේ උපන්දින සහ ජයග්‍රහණ මම සමරනවා. මම මගේ බිරියට කියනවා අද එයාගේ උපන්දිනය. ඇයත් මට කියනවා අනේ එයාට සුබ පතන්නකෝ කියලා. එහෙම නැතුව අතහැරලා මරලා දාන්න අපි ත්‍රස්තවාදීන් එක්ක ජීවත් වුණේ නැහැනේ. ඒ නිසා මේ හැමදේම මම මතක් කරනවා. සමහර පාරවල්වල යද්දී මට මතක් වෙනවා. අනේ මෙතැනදී නේද අපි ඉස්සෙල්ලම හමුවුණේ කියන එක.
අනුෂා රණසිංහ